දෑසම පෙනෙන ජාති අන්ධයෝ

Last Updated on 4 hours by admin

ලංකාව උගතුන්ගෙන් අඩුවක් නැති රටකි. ඇතැම් ලාංකික උගතුන් ජීවත් වන්නේ විදේශයන්හිය. ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල වෙසෙන මෙවැනි උගතුන් පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් රට වැසියන්ට දැනගන්නට ලැබෙන අවස්ථා ඇත. ඒ බොහෝ විට පුවත්පතකිනි. කලාතුරකින් රටට පැමිණෙන එවැන්නෙකු හඹා ගොස් තොරතුරු අසා පත්තරයක ලිපියක් පළකිරීමට සූදානම් මාධ්‍යවේදියෝ සිටිති. එවැනි රට උගතුන් ගැන තොරතුරු සපයන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෝද සිටිති. පිටරටක සිට හපන්කම් කරන පුද්ගලයින් කැඳවමින් ඔවුන්ගේ දැනුම ගැන රටවැසියාට හෙළිකිරීම මොවුන්ගේ සිරිතකි. ඇතැම් රට උගතුන් කරන්නේ මෙවැනි වැඩසටහන් නිපදවන්නන් තමා වෙසෙන රටට ගෙන්වා ඔවුන් ධෛර්යවත් කිරීමයි. ඇතැම්විට මෙය පිට කසා ගැනීමේ ක්‍රියාවකි. ලංකාවේ ප්‍රසිද්ධියට පත් වන පිටරට ජීවත් වන උගතුන් අතුරින් ඔවුන් ජීවත් වන රටවල ප්‍රසිද්ධියක් දරන උගතුන් දුර්ලභය.

අනුරාධපුරයේ රජකම් කළ කුමාර ධාතුසේන රජු දඹදිව රාජ්‍යයන්හි පවා උගතකු වශයෙන් කීර්තිය ලැබූවෙකි. දඹදිව සිට රටට පැමිණි උගතෙකි. ඔහු දඹදිව් තලයේ කීර්තිය ලබන්නේ ජානකීහරණය නමැති සංස්කෘත කාව්‍යය රචනා කිරීමෙනි.

පාලි, සිංහල භාෂාවන්ට අමතරව, දඹදිව උගතුන්ගේ භාෂාව වී පැවති සංස්කෘත භාෂාවෙන් ග්‍රන්ථ සම්පාදනය කිරීමට සමත් සිංහල පඬිවරු අනුරාධපුර රාජධානි සමයේ ලංකාවේ විසූහ. කුමාරදාස කවියා රචනා කළ, රාම, සීතා, රාවණ කතාව අඩංගු ජානකීහරණය ඊට හොඳම උදාහරණයයි. ජානකීහරණය සංස්කෘත කාව්‍ය සම්ප්‍රදායයන් සහ රසවාදයන් ඉදිරිපත් කළ බ්‍රාහ්මණ පඬිවරුන්ගේ අත්පොතක් වූයේය. එනිසා කුමාරදාස කවියා ඔහු ජීවත් වූ කාලයේම බ්‍රාහ්මණ පඬිවරුන්ගෙන් ගෞරවය ලැබූ බව පෙනේ. ඔහුගේ ග්‍රන්ථය, ඔහු ජීවත් වූ කාලයේම දඹදිව රාජ්‍යයන්හි භාවිත වෙනත් භාෂාවන්ට පරිවර්තනය වූයේය.

ජානකීහරණයට ඉන්දියාවේදී ලැබුණු සැලකිල්ල ලංකාවේදී ලැබුණේදැයි ඇතැම්හු ප්‍රශ්න කරති. ඊට හේතුව විද්‍යමාන සිංහල පොත පතේ ජානකීහරණය ගැන ඉතා අඩුවෙන් සඳහන් වීමයි. ඇත්ත වශයෙන්ම ඊට වඩා වැදගත් කාරණාව විදේශීය ආක්‍රමණවලට ලක්වූ බොහෝමයක් අවස්ථාවන්හි විහාර මංකොල්ලකෑම සහ පොත්ගුල් ගිනි තැබීම සිදුවූ බව පිළිගැනීමයි. විශේෂයෙන්ම ලංකාව යටත්කර ගැනීමට වෙහෙසුන පෘතුගීසීන් ජයවර්ධන පුරයේ සහ සීතාවක රාජධානියේ විහාරාරාම පොත්ගුල් සියල්ලම විනාශ කිරීම නිසා සිංහල උරුමය වශයෙන් පැවති පොත පත බොහෝමයක් විනාශයට පත් වුණි. එනිසා සමහරුන් සිදුවූ වැදගත් කාරණාව අමතක කර කුමාරදාසයන්ගේ ජානකීහරණය ගැන ලංකාව සැලකිලිමත් වී නැතැයි දක්වන අදහස වෙනත් අරමුණකින් ඉදිරිපත් කරන්නක් දැයි සැකයක් මතුවේ.

දඹදෙණි සහ ජයවර්ධනපුර රාජධානි සමයන්හි ලියවුණු පොත් කිහිපයක ජානකීහරණය කර්තෘ ගැන යම් යම් සටහන් අඩංගු වේ. ‘කුමාරදාස නම් රජ මහ පණ්ඩිතව නව අවුරුද්දක් රාජ්‍යකොට කාලිදස් නම් යහළුවා මළදා තෙමේ ද ගිනිවැද පරළොව ගියේ ය’ යි පූජාවලිය සඳහන් කරයි. ඒ පුවත පැරකුම්බා සිරිත කාව්‍යයේ අඩංගු වී ඇත්තේ මෙසේය.

වෙහෙර දසටක් පුරා කරවා දහ අටක් මහ වැව් බැඳී
වසර එක දා බිසව් අබියෙස් මහණුවම් තෙමගුල් යෙදී
ඇජර කිවියර පිනින් ජානකි හරණ ඈ මහ කව් බැඳී
කුමර දස් රද කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී

කුමාරධාතුසේන හෙවත් කුමාරදාස රජතුමා විසින් ජානකීහරණය කාව්‍යය රචනා කළ බව පිළිගැනේ. වංශ කාව්‍යයේ හැටියට රාජ්‍ය බලය පිළිබඳ ආරාවුලක් නිසා ධාතුසේන රජු ඝාතනය කෙරුණි. කාශ්‍යප සිංහාසනය ලබා ගත්තේය. රජුට බියේ සොහොයුරු මුගලන් කුමරු දකුණු ඉන්දියාවට පලා ගියේය. වසර ගණනාවක් එහි ජීවත් වූ ඔහු දකුණු ඉන්දියාවේ උපකාරය ලැබ සේනාවක් රැගෙන පැමිණ කාශ්‍යප රජතුමා පරදවා ජීවිතක්ෂයට පත්කර රාජ්‍ය බලය ලබාගත්තේය.

ඉන්දියාවේ විසූ මුගලන්ගේ බිසව හා දරුවන් ගැන විස්තර වංශකතාවේ සඳහන් නොවේ. යම් යම් සාධක ආධාරයෙන් ඔහුගෙන් පසුව රාජ්‍ය බලය ලැබූ ඔහුගේ පුත්‍රයා කුමාරධාතුසේන (කුමාරදාස) ඉන්දියාවේ අධ්‍යාපනය ලැබුවකු යයි අනුමාන කිරීමට පුළුවන. එකට ඉගෙනීම නිසා කුමාරදාස සහ කාලිදාස කල්‍යාණ මිත්‍රත්වය ගොඩනැගුණි. කාලදාසයෝ මිහිදු හිමියන් වැඩ විසූ උදේනි නුවර උදේනි විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකි. යක්ෂ සම්බන්ධතාවයක් ඇත්තෙකි. ඔහුගේ මේඝදූතය කාව්‍යය වස්තු වෙන්නේද යක්ෂ ප්‍රේම වෘත්තාන්තයකි. ලංකාවට පැමිණි කාලිදාස අවාසනාවන්ත මරණයකට පත්විය. කාලිදාස දැවූ චිතකයට පැන කුමාරදාස කවියා දිවි නසා ගත්තේය. මේ පුවත විස්තර වන ජනප්‍රවාද තිබේ. ඒවා ගැන විස්තර අඩංගු ලිපි විටින් විට පුවත් පත් සඟරා ආදියේ පළවී ඇති නිසා යළි සඳහන් කිරීම අවශ්‍ය නොවේ.

රට පරාදීන වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කුමාරදාස කවියා ලියූ ජානකීහරණය කාව්‍ය සංග්‍රහය විනාශ විය. රටවැසියන් බොහෝ දෙනෙකුට කවියා සහ ජානකීහරණය අමතකව ගියේය. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපතිව වැඩ විසූ ශ්‍රී ධර්මාරාම නාහිමියෝ ජානකීහරණය පිළිබඳව ලියවුණු සන්න පොතක් සොයාගෙන, ඒ ඇසුරෙන්, ක්‍රි. ව. 1803 දී ජානකීහරණය රටට ඉදිරිපත් කළහ. උන්වහන්සේ එම පොත සර් ආතර් එළිබෑන්ක් හැව්ලොක් ආණ්ඩුකාරයාට පිළිගැන්වූහ. එය ඉංග්‍රීසි ජාතික ශාස්ත්‍රඥයින් ජානකීහරණය ගැන උනන්දුවීමට හේතුවක් විය.

1920 වර්ෂයේදී දකුණු ඉන්දියාවේ ප්‍රභූ නිවෙසක තිබී ජානකීහරණයේ පිටපතක් සොයාගැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිලධාරීහු සමත් වූහ. එයින් පසුව ජානකීහරණයේ පිටපත් කිහිපයක්ම ඉන්දියාවේ ස්ථාන ගණනාවකින් හමුවී තිබේ. ඒ අතරින් දෙකක් සහ ධර්මාරාම හිමියන්ගේ පොත ඇසුරෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ වියතුන් දෙදෙනා ජානකීහරණය පැරණි සංස්කෘත කාව්‍ය සංග්‍රහයේ අංග සම්පූර්ණ සංස්කරණයක් පිළියෙල කළහ. ජානකීහරණය සිංහල පරිවර්තනක් කළ පියදාස නිශ්ශංක තමා තෝරාගත්තේ 1969 වසරේදී ආචාර්ය ගොඩකුඹුර ප්‍රකාශයට පත්කළ දේවනාගරී අකුරෙන් ලියවුණු ජානකීහරණය බව සඳහන් කරයි.

ජානකීහරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ උගතුන්ට වඩා වැඩි උනන්දුවක් ඉන්දියාවේ උගතුන්ට තිබේ. ඉන්දියාවේ ශාස්ත්‍රඥයින් කිහිප දෙනකුම ජානකීහරණය පිළිබඳව ඉතා වටිනා නිබන්ධන ප්‍රකාශයට පත් කිරීම ඊට සාක්ෂ්‍යයි. මේවා මගින් ජානකීහරණය සහ එහි කර්තෘවරයා පිළිබඳ නොයෙක් කාරණා සාකච්ඡා කර තිබේ. ඒ හැම කෙනකුම ගුර්ජර ප්‍රතිහාර රාජ්‍යයේ රාජකීය පුස්තකාලය භාරව සිටි රාජසේකර නමැති පඬිවරයා රචනා කළ ‘කාව්‍යමීමංසා’ නමැති පොතේ සඳහන්, කුමාරදාස කවියා පිළිබඳ සටහනක් කෙරෙහි අවධානය යොමුකර තිබේ.

කුමාරදාස කවියා ජාති අන්ධයකු යයි රාජසේකරයෝ සඳහන් කරති. කුමාරදාස කවියා සිංහල රජකෙනකු නොවිය හැකි යැයි ඇතැමුන් පවසන්නේ රාජසේකරයන්ගේ මෙම ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබමිනි. ජානකීහරණය ගැන අදහස් දැක්වූ පරණවිතානයෝද ඒ මතයේ පිහිටා කුමාරදාස රජු සහ කවියා දෙදෙනකු බවට තර්ක කරති.

ජානකීහරණය ඉතාම රසවත් හා අර්ථවත් කාව්‍යයකි. ඇස් ඇත්තෙකුට මිස උපතින් අන්ධ පුද්ගලයකුට එහි අඩංගු පරිසර වර්ණනා සහ කාන්තා වර්ණනා ඉදිරිපත් කළ නොහැකිය. රාජසේකර කවියා බොරුකාරයෙක් නොවේ. මහා පඬිරුවනකි. පූජාවලිය වැනි ධර්ම ග්‍රන්ථයකද බොරුවක් සඳහන් නොවේ. එසේනම් සිදුව ඇත්තේ කුමක් විය හැකිද?

සිංහල-රාජ්පුත් ඓතිහාසික සබඳතා ගැන සෙවීම මේ ගැටලුවට විසඳුමට හොඳම මගයි. රාජසේකර කවියා සිංහලයන් සහ සිංහල දේශය ගැන බොහෝ තොරතුරු දැන සිටි පඬිවරයෙකි. අපගේ ‘රාජ්පුත් සිංහල නෑදෑකමේ සිහිවටනය – සොකරි’ පොතෙහි මේ පිළිබඳව සහ රාජසේකරයන්ගේ ‘බාලරාමායනයේ’ සිංහල දේශය ගැන සඳහන් තොරතුරු අන්තර්ගතය. රාජසේකර පඬිවරයා කුමාරදාස කවියාට බෙහෙවින් ඇලුම් කළ අයෙකි. ඔහු, කුමාරදාස කවියා ජාතිඅන්ධයකු යැයි හඳුන්වන්නේ එය සිංහල රටේ විසූ සිංහලයන්ගේ අදහසක් ලෙසින් සලකමිනි.

කුමාරදාස රජතුමා වෙහෙර විහාර හැදූ නමුත් ජානකීහරණය ලියා විෂ්ණු දෙවියන්ට පූජා කළේය. මෙයින් පැහැදිලි වන්නේ පියා සමග ඉන්දියාවේ ගතකළ කාලයේදී කුමාරධාතුසේනයන් විෂ්ණු වන්දනාවට පුරුදු වී ඇති බවයි. පිට රටවල සිටින විට රට දේවලට ගරුකිරීමේ ගතිය එකලද තිබී ඇත. මොනතරම් උගතෙකු වුවද, කුමාරධාතුසේන ජාතිඅන්ධයෙකු සේ සිංහලයන්ට පෙනෙන්නට හේතුව ඔහු විෂ්ණු වන්දනාවේ නියැළීමයි. රාජසේකර පඬිවරයාද කුමාරදාස කවියාගේ දක්ෂකම සහ පාණ්ඩිත්වය පිළිගත්තේය. නමුත් ඔහු ජාතිඅන්ධයෙකු සේ සැලකුවේය. පිටරට සිටින බොහෝ උගතුන්ගේ ඇත්ත තත්ත්වය මෙයයි. යථාර්ථය ගැන වැටහීමක් ඇති රාජසේකර වැනි උගතුන්ට ඔවුන් පෙනෙන්නේ ජාතිඅන්ධයන් ලෙසිනි.

කාව්‍යමීමංසාවේ ජාතිඅන්ධකම වශයෙන් සඳහන් වන්නේ උපතින් ලැබූ අන්ධභාවය නොවේ. උපතින් ලැබු පරගැති භාවයයි. කුමාරදාස රජවීමෙන් පසු ඒ පරගැති භාවය නැතිකර ගත්තේය.

(2019 අප්‍රේල් 21 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link