දිලිත්ට විමල් එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරිවෙන්න බෑ

Last Updated on 1 month by admin

‘විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවාවිද’ කියන ලිපිය කියවූ මගේ මිතුරෙක් ‘‘දිලිත්ට රෙද්දක් ඇඳගෙන නාමල් එක්ක දේශපාලනේ කරන්න බෑ’ කියා ලියා එව්ව.

මා පිළිතුරක් යවමින් ‘දිලිත් රෙද්දක් ඇඳගෙන ඉන්න ෆොටෝ එකක් මං තාම දැකලා නෑ. ඒත් දිලිත්ට විමල් වීරවංශ එක්ක දේශපාලනේ කරද්දි අඳින කලිසම පිටින් නාමල් එක්ක දේශපාලනේ කරන්න බැරි වෙන්න බෑ’ කියා සඳහන් කළා.

දිලිත් ජයවීර මෙවර මේ රටේ ජනාධිපති වෙනවා නම් ඉතා හොඳයි. රනිල් සජිත් අනුර තිදෙනාටම තියෙන්නෙ ඕජස් ගලන දේශපාලන ශරීර. ඔවුන් තිදෙනාගෙම දේශපාලන දක්ම විජාතිකයි. දිලිත්ට රට ගොඩගන්න දේශීය දැක්මක් තියෙනව. ඔහු අනිත් සාම්ප්‍රදායික දේශපාලකයින්ට වැඩිය වෙනස් විදියට හිතන කෙනෙක් බව පැහැදිලියි. නමුත් දිලිත් මෙවර මැතිවරණයේ ජයග්‍රහකයා වේවියි හිතන්ඩ බැහැ. ඊට එක හේතුවක් තමා මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් ජනතාව නොමග යැවිම. ඔවුන් කසිකබල් දේශපාලකයින්ගේ එකතුවිම් පෙන්වමින් රනිල් සජිත් සහ අනුර යන තිදෙනාගෙන් එක් අයෙක් දිනවන්ඩ මහන්සි ගන්නව. මේ තුන්දෙනාම 13 ට පක්ෂයි. මේ තුන්දෙනාටම ජාතිකත්වයක් නැහැ. ඡන්ද දායකයින් මේ ඇත්ත තේරුම් ගැනිම උඩ දිලිත්ගේ ජය රඳා පවතිනව.

දිලිත්ගෙ ගමන පටන්ගත්තෙ බෝම්බ දෙකක් කකුල් දෙකේ බැඳගෙන. ඒ තමා සරත් අමුණුගම හා හේමකුමාර නානායක්කාර. දෙන්නාම ජනතාව අතර අප්‍රසාදයට ලක්වුණ දේශපාලකයින්. තමන්ගේ දේශපාලන බීජයට ළදරු වියේම පණුවන් තැබිම දිලිත්ට සිදුවු ලොකුම පාඩුවයි. දිලිත් ඊළඟට කරන්නෙ විමල්, උදය, චන්න ඇතුළු පිරිස එකතු කරගැනිමයි. උදය කටට බ්රේක් නැති කෙනෙක්. නමුත් උදය චන්න වගේ අය එකතු කරගැනීම දිලිත්ට ලොකු හානියක් නෙවෙයි. ඒත් විමල්ගෙ තත්වය ඊට වෙනස්.

විමල් ඇතුළු පිරිස එකතු කරගත්තේ ජාතිකවාදී කඳවුරේ සියලු බලවේග එකතුකිරීමේ අරමුණ යටතේ බව ඒ දවස්වල කියවුණා. මම ඒ අවස්ථාවේ ලිව්වා, ජාතිකවාදීන් එක ගොඩකට එකතුවීම හොඳයි. නමුත් විමල්ලා තමයි 69 ලක්ෂයේ ජනවරම විනාශ කරන්න මූලික වුණේ. ඒ නිසා ඔවුන් ස්වයං විවේචනයක් ඇතිව මේ ගමන ඉදිරියට යායුතුයි කියල. නමුත් ස්වයං විවේචනයක් තවම සිදුවෙලා නෑ. ඒ නිසාම ඔවුන්ගේ දේශපාලන ඉදිරි ගමනේ ස්වරූපයත් සැකයි.

විමල් හා නාමල් අතර ලොකු වෙනසක් දකින්ට බැහැ. නාමල් ජනාධිපතිවරයකුගේ තරුණ පුතෙක් වශයෙන් සෝබන වැඩ කළා. බලය පාවිච්චි කළා. විමල් ඇමතිවරයකු වශයෙන් සෝබන වැඩ කළා. බලය පාවිච්චි කළා. දෙන්නාගේම පොදු ලක්ෂණය බලයට කෑදරකමයි. දේශපාලනය කරන කවුරුත් බලයට කැමතියි. ඒකයි දේශපාලනයට එන්නෙ. ලැබෙන බලය පාවිච්චි කරලා කරන ක්‍රියාව තමයි පුද්ගලයාට අනුව වෙනස් වෙන්නෙ.

වංශකතාවෙ හැටියට ගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා අතර ගැටුමක් ඇතිවුනා. ගැමුණු කුමාරයා තිස්ස පරදවා රට දැය සමය වෙනුවෙන් සටන් කළා. රට දැය බුදුසසුන රැක ගැනිමට ගැමුණු කුමාරයාට හැකිවුනා. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු පිස්සු නටලා සිංහල රාජවංශය අතුරුදහන් කරලා දැම්මා.

ගෝඨාභය ජනාධිපතිවෙලා තමන්ට විරුද්ධව කොළඹට එන විරෝධතා පෙළපාළිකරුවන්ට නිදහසේ එන්න ඉඩ ඇරලා තනතුර දාලා යන තැනට වැඩ සලසා ගත්තා. රනිල් උද්ඝෝෂකයන්ට දෙකක් දීලා පන්නා ගන්නව. එකම බලය දෙන්නා පාවිච්චි කළේ දෙවිදියකටයි.

මගේ වැටහීම පරිදි විමල් උග්‍ර බලලෝභියෙක්. ඔහුගේ පක්ෂයේ හිටි දක්ෂයින් එකා පස්සේ එකා ඔහු හා පක්ෂය හැරදා ගියා. ඊට හේතුව විමල් සමග ඉන්න දක්ෂයින්ට ඉදිරියට එන්ඩ බැරිකමයි. ඔය ලෙඩේ විජේවීරටත් තිබිලා තියෙනවා.

විමල්, පැරදිලා ගෙදර හිටිය මහින්දව ඉස්සරහට දාගෙන ‘මහින්ද සුළඟ’ ඇරඹුවේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. මහින්දට ශ්‍රීලනිපයේ නායකත්වය නැතිවුණා. පක්ෂයක් නැති මහින්දව කර තියාගෙන විමල් ලොකු ගමනක් යන්න හිතුවා. විමල්ගේ අරමුණ වුණේ මහින්ද නම් කරන අපේක්ෂකයාව විමල්ගේ පක්ෂයෙන් ජනාධිපතිවරණයට දාන්න. එතකොට ජනාධිපති පත්වෙන්නෙ විමල්ගෙ පක්ෂයෙන්. ඒක විමල්ගෙ ඉදිරි ගමනට ලොකු ජවයක්. අගමැතිකම වුනත් ඉල්ලන්න තරම් හේතුවක්. නමුත් බැසිල් පොහොට්ටුව හැදුවායින් විමල්ගේ ඉලක්කය වැරදුණා. විමල් බැසිල් එක්ක තිබුණ කෝන්තරය මෙයින් පසු උග්‍ර වුණා.

ඔය කෝන්තරය තමයි ද්විත්ව පුරවැසි අර්බුදයටත් හේතු වුණේ. අවසානයේ විමල්ලා 69 ලක්ෂයේ ආණ්ඩුව කඩාවැටෙන තැනට වැඩ කළා. තමන් කරන වැඩෙන් ආණ්ඩුව කඩාවැටෙන බවක් දකින්නට විමල්ලාට හැකියාව තිබුණෙ නෑ. එයින් පෙනෙන්නේ විමල්ගේ බලලෝභීකම විතරක්ම නෙවෙයි. ඔවුගේ දේශපාලන දැක්මේ දුර්වලකමයි. අපරිනතභාවයයි.

විමල්ගෙයි බැසිල්ගෙයි විරසකය නිසා ජනාධිපතිකම අතඅරින්න වුනා කියලා ගෝඨාභය මෑතකදි කිව්වා. නන්නත්තාර වුන විමල් දිලිත්ගෙ පානෙන් එළිය බලන්න හදනව. ලබ්බට තියපු අත තමයි පුහුලටත් තියන්නෙ කියන කතාව දිලිත් අහල ඇති.

දිලිත්ට සරත්, හේමකුමාර, විමල් වගේ පිරිස් එකතු කරගන්න යම් යම් හේතු තියෙන්නෙ ඇති. එයින් ප්‍රකාශවෙන්නෙ දිලිත්ට විමල්, හේමකුමාර, සරත් වගේ අය එක්ක දේශපාලනය කරන්න පුළුවන් නම් නාමල්, බැසිල් එක්ක දේශපාලනේ කරන්න පුළුවන් බවයි.

ජාතිකවාදින් හැම දෙනාම ඔවුන්ගේ පුද්ගලික වාදභේද අමතක කර එකමුතු විය යුතු අවස්ථාවකයි රට තියෙන්නෙ. ජනාධිපතිවරණය බොහෝ දෙනා හිතනවාට වැඩිය තීරණාත්මකයි. ඒ මන්ද යන්න ඊළඟ ලිපියෙන් කියන්නම්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link