Last Updated on 4 days by admin
ඩේවිඩ් ඇන්තනි
Pic. credit: Discovery FB page
ඉන්දියාවේ කුරු ක්ෂෙත්රයේ සිදු වූ කුරු පාණ්ඩ්‍ය සංග්‍රාමය පිළිබඳ යම් යම් ඓතිහාසික වර්තා ඇත. එය ඉතිහාස සාක්කි ඇති පළමු වෙනි ලෝක යුද්ධ හැටියට සැලකීමට පුළුවන. උත්තරා පථයේ ප්‍රධාන රාජ්‍යයන් දෙක පාලනය කළ එකම පවුලේ දෙපිරිසක අතර ඇති වූ විරසකය යුද්ධයක් දක්වා වර්ධනය වූයේය. ඊට සම්බන්ධ වන්නට භාරතයේ පැවති සියලුම රාජ්‍යයන්ට සිදු විය.
යුද්ධයට පිටරටවල් ද ඊට එක් විය. දකුණු ඇමරිකාවේ රටවල් කුරු ක්ෂෙත්රයේ යුද්ධයට සම්බන්ධ වූයේය. අවසන් අදියරේ ‘දෙවිවරු’ද යුද්ධ භූමියට ආහ. ක්රිෂ්ණ, යුද්ධයට පැමිණි ‘දෙවියෙකි’. යුද රථය පැදවූ අර්ජුන සමග යුද්ධ භූමියේ සිට ඔහු කළ සංවාදය ‘භගවත් ගීතාවේ’ අඩංගුයි. මේ ‘දෙවිවරුන්’ යුද්ධයේ දී න්‍යෂ්ඨික අවිවලට සමාන අවි භාවිත කර ඇතැයි ඇතැම් ඉතිහාසකරුවෝ සිතති. ලෝක ඉතිහාසයේ බිහිසුණුම විනාශය කුරු පාණ්ඩ්‍ය යුද්ධය නිසා සිදු විය. එය ලෝක යුද්ධයක ස්වභාවයයි.
ඕනෑම යුද්ධයක ජයග්‍රහණය ලබන්නේ වඩාත් දක්ෂ යුද්ධ උපක්‍රම හා යුද්ධ ආයුධ භාවිත කරන හමුදාවයි. ඊට වුවමනා සාක්කි දෙවන ලෝක සංග්රමයෙන් ඉදිරිපත් කිරීමට පුළුවන. ආසියාවේ මහා බලවතා වශයෙන් යුද්ධයට පැමිණි ජපානය, ඇමරිකාව දැමූ පරමාණු බෝම්බ දෙකෙන් කඩා වැටුණි. එතැන් පටන් ජපානය ඇමරිකාවේ යටත් රටක් වූයේය. තවමත් එහි ඇමරිකානු හමුදා කඳවුරු පවතී. රුසියාව, බි්රතාන්යය, ප්‍රංශය, ඇමරිකාව යන රටවල් මිත්‍ර හමුදාවක් වී ජර්මනියට පහර දෙන්නට වූහ. ජර්මනියේ නායක හිට්ලර් සතුරන්ට හසු නොවී දිවි නසාගත් බව පැවසේ. ඉන් පසුව මිත්‍ර හමුදාවේ රටවල් ජර්මනිය බෙදාගත්හ.
විප්ලවයට පෙර රුසියාව පාලනය කළේ සාර් පරපුර විසිනි. ඉවාන් සාර් පෘථිවියේ සිටි බිහිසුණුම බලගතුම පාලකයා වූයේය. සාර් පාලනය වෙනස් කළ කොමියුනිස්ට් හමුදාවෙන් සාර් පරපුරේ අත දරුවකුට තියා ගර්භණී කාන්තාවකට වත් නිදහස නොලැබුණි. රුසියාවේ බලයට පත් වූ කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරවරුන් අතර රටේ නායකත්වය සඳහා බල අරගලක් ඇති විය. එය අවසානයේ වූයේ පක්ෂයේ පහළ තනතුරක් දැරූ ජෝසප් ස්ටාලින් බලයට පත් වීමෙනි. මිලියන් ගණනක් මනුෂ්‍යයින් මරා දැමූ ස්ටාලින් ඉවාන් සාර්ට වඩා බිහිසුණු පාලකයෙක් වූයේය. සාර් පාලනයට වඩා කොමියුනිස්ට් පාලනය දරුණු වූ බව එයින් උගත හැකි පණිවිඩයයි.
ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍යයෝ හිරු නොබසින අධිරාජ්‍යය නමින් ලෝක පූජිත වී සිටියහ. ඉන්දියාවේ බලය ලබාගැනීමට ඉදිරිපත් වූ මහත්මා ගාන්ධිට බ්‍රිතාන්‍ය හමුදාව අවි බලයෙන් පරාජය කළ නොහැකි විය. ඔහු අවිහිංසාවාදී සේනාවක් හැදුවේය. එහි සෙබළු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ප්‍රතිප්‍රහාර නොදුන්හ. පස්දෙනා බැගින් කණ්ඩායම් හැදී අත්වැල් බැඳගෙන විථිවලට ඇතුළු වී බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ගුටි බැට, තුවක්කු පාරවල් කෑහ. වෙඩි පහරට ලක්වී මිය ගියහ. ඒ කුමන පරාජය ලැබුවත් කොයි මොහොතක හෝ අවිහිංසාව බිඳකට වත් වෙනස් කරන්නට ගාන්ධි සූදානම් නොවීය. අවසානයේ බ්‍රිතාන්‍යය පැරදුණි. ගාන්ධිට රට ලැබුණි. ගාන්ධිගේ අවිහිංසාවාදී පාලනය බ්‍රිතාන්‍ය පාලනයට වඩා දරුණු එකක් වූ ආකාරය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
රාජපක්ෂ ආණ්ඩු හරි ක්‍රියා මෙන්ම වැරදි ක්‍රියාද කළහ. ආණ්ඩුවේ මාධ්‍ය හැර සමාජ මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍යවලින් ඔවුන්ගේ වැරදි වැඩියෙන් ඉදිරිපත් විය. ගෝඨාභය පලවා හැරීමට අරගලය නමින් කැරැල්ලක් ඇති විය. අවසානයේ මහජනයාට එපා වී සිටි මහලු රනිල් වික්‍රමසිංහ බලයට පත් වූයේය. ඔහුට දිගු කලක් රට පාලනය කළ නොහැකි බව අරගලය මෙහෙයවූ සියලු බලවේගයන්ට වැටහුණි. ඔවුහු සීයාට මුවා වී සිටි මාලිමාව බලයට පත් කළහ. නැපෝලියන්, ප්‍රංශ විප්ලවයේ දරුවා වශයෙන් සැලකේ. ලංකාවේ අරගලයේ දරුවා අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපති සහෝදරයාය. මාලිමා පාලනය, වැරදි ක්‍රියා අතින් රාජපක්ෂ පාලනය පරාජය කරන ලකුණු ගත වූ කෙටි කාලයෙන් ප්‍රදර්ශනය කර තිබේ.
නිකරගුවාහි බිහි වූ සැන්ඩනිස්ටා රජය සැබෑ අරගලයක යෙදුන උගතුන් පිහිටුවූ ආණ්ඩුවකි. එය තමන්ට වුවමනා ලෙසට කටයුතු නොකරන බව දුටු ජාත්‍යන්තරය සැන්ඩනිස්ටා රජය කඩා ඉහිරුවේය. මාලිමාව රට පාලනයට උගතුන් එක් වූ අවස්ථාවක් යයි බොහෝ රටවැසියෝ සිතුහ. ඔවුන් තෝරාගත් කතානායක හොර සහතිකකාරයකු බව හෙලි වූ මොහොතේ කතානායකව එලවා මාලිමාව පිරිසිදු කරගැනීමට නොසිතූ නායකයෝ හොරාව ආරක්ෂා කළහ.
ජාත්‍යන්තරය මාලිමා ආණ්ඩුවෙන් බලාපොරාත්තු වන්නේ රනිල් ඇරඹූ වැඩ කොටස ඉදිරියට ගෙන යාමයි. දේශපාලන අන්ධයන්ට එය නොපෙනේ. උගත් කපටින් කරන්නේ, එය නොවැටහෙන සේ රඟපෑමයි. පාලනය තුළ සිදු වන මේ වරද නිසා මාලිමා මන්ත්‍රීවරු පැන පැන අනුවණකම් කරති. ‘ගුරුවරයා හිටගෙන මුත්‍රා කරන විට ගෝලයා දුව දුව මුත්‍රා කරයි’ යන්න පෘතුගීසි කන්‍යාරාමයකින් පිටවූ උපහැරණයකි. එය පෘතුගීසීන් සමග ලංකාවටත් පැමිණ ඇත.
බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ ඇති බෙංජි ඇගළුම් ආයතනය ඉදිරිපිට සිදු වූ ජහුටා නැටිල්ල, මාලිමා මන්ත්‍රීවරුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නකි. මෙම ආයතනය සේවක සේවිකාවන්ට ගමනා ගමන පහසුකම් සලසා තිබේ. මැරයන් ඒ සඳහා යොදවන වෑන් සහ බස් රථවලින් කප්පම් ගැනීම පටන් ගත්තේ කම්හල ඇරඹු කාලයෙදීමය. පසුව ප්‍රදේශයේ මන්ත්‍රීවරු ඒ ක්‍රියාව තමන් අතට ගත්හ. එය ඔවුන්ගේ ආදායම් මගක් මෙන්ම හිතවතුන්ට සලකන ක්‍රමයක් ද වූයේය.
දැන් මැතිවරණය අවසන් වී මාස කිහිපයකි. මාලිමාව ජනතා අප්‍රසාදයට පත්වෙමින් පවතී. සිය හිතවතුන්ට රැකියා දීමට නොහැකිව එහි මන්ත්‍රීවරු ලතවෙති. ඊයේ මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බෙංජි කම්හල වෙත පැමිණ ඇත. ඔවුන් ප්‍රවාහන සේවය පැහැරගන්නට පැමිණි බවත් දැනට ප්‍රවාහන සේවා සපයන පිරිස ඔවුන්ගේ වාහන වට කරගත් බවත් වාර්තා විය. මේ සිදු වන්නේ මාලිමා මන්ත්‍රීවරුන් ද පෙර ආණ්ඩුවල මන්ත්‍රීවරුන් කළ දේම කිරීමයි. එය හරියට කරගන්නට බැරිව ඔවුහු කරදරේ වැටෙති. එදාට වඩා අද වෙනසකට ඇත්තේ මාලිමා මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් උගතුන් වීමයි.
නරියා සත්ව ලෝකයේ උගතෙකි. මෝඩ හාවා රවට ලවා ලබු කිරිබත් උයවා ඒ සියල්ල කෑ නරියාට බඩඑළිය ගියේය. ඒ ජරාව ඇඟේ තැවරුන නිසා හාවා ඉක්මනට දුව ගොස් ජලාශයකට පැන ඇඟ පිරිසිදු කරගෙන පැමිණියේය. ‘උඹ ඇඟ පිරිසිදු කරගත්තේ කොහොමද? කියා නරියා ඇසුවේය. එවිට හාවා, ‘රෙදි නැන්දා තමාව පිරිසිදු කළ බව’ කීවේය. නරියා, රෙදි නැන්දා වෙත ගොස් තමාව පිරිසිදු කරන්නැයි ඉල්ලීමක් කළේය. උගේ කකුල් කෙටියෙන් අල්ලා ගත් රෙදි නැන්දා, ‘තෝ නේද මගෙ කුකුළන් කෑවෙ?’ කියමින් නරියාව ගැසුවේය.