Last Updated on 6 months by admin
සෑම් සෙනෙවිරත්න
නාවික හමුදා නිල ලාංඡනය
පසුගිය දිනෙක මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා, වෙසක් කූඩුවලට නැංගුරම් කුරුසය යෙදීම සම්බන්ධව අපූරු ලිපියක් බෝධි සභාවට ලියා තිබුණා. එය කියවූ කරුණු නොදන්නා ගැටවුන් කීපදෙනෙක්, මහාචාර්ය එඞ්වඞ්ට අපහාසාත්මක දේ මුහුණු පොතේ ලියා තිබුණු අයුරු මට මගේ මුණුබුරෙක් පෙන්නුවා.
ඒ නොමේරූ තරුණයින් හිතන්නේ, එම නැංගුරම් කුරුස ලකුණ නාවික හමුදාවේ ලාංඡනය බවයි. නාවික හමුදා නිල ලාංඡනය කුමක් දැයි නොදන්නා මේ අසරණයින්, නැංගුරම් කුරුසය ගැන නොදැනීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ තමයි ඇතැම් නූතන තරුණයින්ගේ හැටි. තමන් අනුන්ට ඇඟිල්ල දික් කරමින් හිනාවෙන විට තමන් දෙසට ඇඟිලි තුනක් වත් දික්වෙන බව මේ තරුණයින් අවබෝධ කරගත යුතුයි.
නාවික හමුදා නිල ලාංඡනයේ කුරුස නැංගුරම හෝ කුරුස හැඩයක් අඩංගුව නැහැ. එහි ඇත්තේ රාජ්ය ලාංඡනයට නැංගුරමක් එක් කළ රූපයක්. (ලිපිය ආරම්භයේ ඇති රෑපය බලන්න)
රට යටත් විජිතයක්ව තිබුණ කාලයේ නම් නාවික හමුදා කොඩියේ කුරුසයක් තිබුණා. එහි ඇත්තේ කරුසයේ පැත්තකට වෙන්නට සිංහ කොඩියක් යෙදූ රූපයක්. එම කුරුසය බි්රතාන්ය කොඩියෙන් උපුටා ගත් එකක් බව පෙනෙනවා.
යටත් විජිත සමයේ නාවික හමුදා කොඩිය
සිරිමා බණ්ඩාරනායක රජය සමයේ 1972 දී රට ජනරජයක් වූ පසුව නාවික හමුදාවට අලූත් නිල ලාංඡනයක් නිර්මාණය වුණා. එය තමයි වර්තමාන නාවික හමුදා නිල ලාංඡනය.
නැංගුරම් කුරුසය (Anchored cross) යුදෙව් ආගමේ බලපෑම මත නිර්මාණය වුණු කිතුණු ආගමික සංකල්පයක්. මහාචාර්ය එඞ්වඞ් කියා ඇති දේ ඇත්තක්. ඇත්තෙන්ම එය නැංගුරමක හැඩයට නිර්මාණය කළ කුරුසයක්. නැංගුරම් කුරුසය විවිධ ආකාරයේ හැඩතලවලින් යුක්තව නිර්මාණය කර ඇති ඇයුරු විවිධ ස්ථානයන්හිදි දකින්න පුළුවන්.
නැංගුරම් කුරුසය
මෙය ‘බලාපොරොත්තුවේ කුරුසය’ කියාත් හඳුන්වනවා. ඊට පදනම වැටෙන්නේ පරණ බයිබලයේ හීබෲ 6:19 වගන්තියෙන්. සරලව කියනවා නම් එයින් අදහස් කරන්නේ, ආගම පිළිබඳ විශ්වාසය නැංගුරමක් මෙන් ශක්තිමත්ව අචලව තිබිය යුතු බවයි. මුල් කාලයේ කිතුනුවන් අතර නැංගුරම් කුරුසය බෙහෙවින් ජනප්රිය වූ බව ආගමික පොතපතේ සඳහන් වෙනවා.
කිතුණු ආගමේ ඇතැම් කණ්ඩායම් ආගමික විශ්වාසය පෙන්වීම සඳහා නැංගුරම් කුරුසය ගෙල පැළඳ සිටිනවා. මෙතෝදිස්ත මිෂනාරිවරුන් එක් උදාහරණයක්. එසේම විවිධ හැඩවලට නිර්මාණය කරගත් නැංගුරම් කුරුස දකින්නට පුළුවන්.
විවිධ හැඩයේ නැංගුරම් කුරුස (Photo credit: vanishingtattoo.com)
නාවික හමුදාවේ තනතුරු නිල කොඩි හා ලාංඡන කිහිපයක නැංගුරම් කුරුසය ඇතුළත්ව ඇති බව මගේ නිරීක්ෂණයට ලක්වුණා.
නැංගුරම් කුරැසය සහිත වයිස් අද්මිරාල් කොඩිය
නැංගුරම් කුරුසය සහිත නාවික හමුදා ලාංඡන
කලකට පෙර හරස් දණ්ඩක් (Stoke) සහිත නැංගුරම් විශේෂයක් භාවිතාවේ තිබුණා. නමුත් එය නැංගුරම් කුරුසය නෙවෙයි. ඇමරිකානු නාවික හමුදා ලාංඡනයේ මේ නැංගුරමේ රුවක් තිබෙනවා. එය නිසි අවබෝධයෙන් යුතුව කළ නිර්මාණයක්.
හරස් දණ්ඩ සහිත නැංගුරම (Picture credit: Encyclopedia Britannica
ඇමරිකානු නාවික හමුදා නිල ලාංඡනය Picture credit: US Navy
මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා තම ලිපියේ පළ කර තිබුණු වෙසක් කූඩුවල ඇත්තේ, නාවික හමුදාවේ නිල ලාංඡනය නොවන බව අවධාරණය කළ යුතුයි. නැංගුරම් කුරුසය නාවික හමුදාවේ තනතුරු නිල කොඩිවලට හා වෙසක් කූඩුවලට ආවේ කෙසේ දැයි කියන්නට මම සාත්තරකාරයෙක් නෙවෙයි. නාවික හමුදාවේ බලධාරීන් ඒ ගැන සොයාබැලීම වැදගත්.