“පන්සල තමයි අපේ ආහාර ගබඩාව, අපේ ආයුධ ගබඩාව”

Last Updated on 3 hours by admin

අපි ලෙනින් කියවමු – 3

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

“Assassination attempt on Lenin”, painting by Pyotr Belousov, 1957 – Pic. Credit: USSR pictures

මැලිබන්, ගුණසේන, ගොඩගේ, දාස, නවලෝක වැනි වෙළෙඳ සමාගම් බිහි කළ උත්සාහවන්ත මිනිසුන් පිළිබඳ තොරතුරු සති අන්ත පුවත්පත්වල කලින් කල පළ වේ. සතේ අතේ නැතුව කොළඹට පැමිණ අසීරු ජීවිත ගෙවමින් ව්‍යාපාරිකයන් බවට පත් වූ මොවුන්ට සමාන කළ හැකි පුද්ගලයින් පිළිබඳ තොරතුරු හැම ධනපති සමාජයකටම පොදුය. සමාජවාදී සමාජයක එවැනි පුද්ගලයින් නූපදී. ඊට හේතුව ඒ රටවල් ධනවතුන් බිහිවීම වළක්වා තිබීමයි. එසේ වුවද ලංකාවේ ඇතැම් සමාජවාදී නායකයින්ගේ දරුවන් සහ බිරියන් ඉඩකඩම්, ගේදොර, ව්‍යාපාර මිලයට ගෙන ඉහළ ධනවතුන් හැටියට ධනපති රටවල පදිංචි වූ බවට සාක්ෂ්‍ය පවතී. අනෙක් වැදගත් කරුණ මොවුන් බොහෝමයකගේ දරුවන් බටහිර රටක උසස් අධ්‍යාපනය ලබා උගතුන් වීමයි.

ෆෝඩ් මෝටර් රථ සමාගම බිහි කළ ඇමරිකානු ජාතික හෙන්රි ෆෝඩ් පදික වේදිකාවේ සපත්තු ඔප දමන්නෙකු ලෙස ජීවිතය අරඹා මහා ව්‍යාපාරිකයෙකු බවට පත් වූවෙකි. ඔහුගේ පාසල් යන වයසේ දරුවන් එදිනෙදා වියදමට මුදල් (‘පොකට් මනි’) ඉල්ලූ විට ඔහු ඔවුන්ව ෆෝඩ් සමාගම ඉදිරිපිට පදික වේදිකාවට පිටත් කළේය. වැඩට එන සේවකයින්ගේ සපත්තු ඔප දමා වියදමට මුදල් සොයාගන්නට ඔවුන්ට සිදු විය. ’මගෙ ළමයි මං පෝසත් වුනේ කොහොමද කියල ඉගෙනගන්ඩ ඕනැ’ මේ ගැන ප්‍රශ්න කළ මිතුරෙකුට ෆෝඩ් කියා ඇත. රුසියාවේ අගමැති කෘෂෙව්ගේ පුත් ෂර්ජි කෘෂෙව් ඇමරිකානු පුරවැසියෙකු වී ඇමරිකාවේ පදිංචි වූයේය. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ පුතා ස්ටෙෆන් බ්‍රෙෂ්ට් ඇමරිකාවේ පදිංචි වූයේය.

ධනේශ්වර සමාජයක වෙසෙන දිළින්දෙකුට වුවත් කලාතුරකින් හෝ පොහොසතෙකු වීමට අවස්ථාව ලැබේ. රුසියානු විප්ලවය එහි ජනතාවට ඒ අවස්ථාවත් අහිමි කළේය. ධනපතින්ට විරුද්ධව දුප්පතුන්ගේ හිතේ වෛරය පැතිරවීම මාක්ස්ගේ න්‍යාය වූයේය. ’නිර්ධනයිනි උඹලාගේ අත් කකුල් බැඳ තියෙන දම්වැල් හැර උඹලාට නැතිවෙන්ඩ වෙන කිසිම දෙයක් නෑ’ ඔහු ලියයි. මෙය මනසට ගන්නා නිර්ධනයින්ට ඔවුන් පොහොසත් යයි දකින හැම කෙනෙකුම වනසා දැමීමට සිතේ.

මාක්ස් ජීවත්වූ කාලයේ රුසියාව උග්‍ර වැඩවසම් රටකි. රට වැසියෝ ඔවුන්ගේ හැම සිරිතක්ම ක්‍රිස්තියානි ආගමට අනුව සකස්කරගෙන සිටියහ. එමනිසා දිළින්දන් විප්ලවයකට පොළඹවන රුසියානු මාක්ස්වාදීන්ට බයිබලය රැගෙන ඔවුන් වෙත යන්නට සිදු විය. ’දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝය. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය ’ යැවි දේවපුත්‍රයා කී බව බයිබලය (ලූක් 6. 20) සඳහන් කරයි. මෙවැනි බයිබල් වගන්ති නූගත් තරුණයින්ට පෙන්වූ උගත් කාඩර්වරු, ‘පොහොසතුන් විනාශ කිරීම දේවරාජ්‍යයට යන එකම මාවත ය’ යන ආකල්පය දිළිඳු කිතුනුවන්ගේ මොළයට රිංගවූහ.

පූජ්‍ය උඩකැන්දවල සරණංකර සහ පූජ්‍ය නාරාවිල ධම්මරතන ස්වාමින් වහන්සේ ලංකාවේ වමේ ව්‍යාපාරය ගොඩනැංවීමට මූලික වූහ. පළමු වරට දර්ශනය පිළිබඳව සිංහලෙන් ග්‍රන්ථයක් කළ ධම්මරතන හිමියෝ බුදුදහම සහ මාක්ස්වාදය අතර සමානකම් පෙන්වූහ. ලෝකයේ බිහිවූ පළමු වැනි සමාජවාදියා බුදුරජාණන් වහන්සේ යයි උන්වහන්සේ පැවසූහ. (බුදුසමය හා මාක්ස්වාදය) කාලයක් යන විට, තමන් ලියු දෙයින් රටට සිදු වන විනාශය උන්වහන්සේට වැටහුණි. එබැවින් වරද නිවැරදි කරමින්, ‘ලංකාවේ අනාගතය රඳාපවතින්නේ බුදු දහම මතද මාක්ස්වාදය මතද’ යන්න ප්‍රශ්න කරමින් තවත් පොතක් ප්‍රසිද්ධ කරන්නට උන්වහන්සේට සිදු විය. රුසියාවේ ඇති වටිනා බෞද්ධ පොත් 9ක් ලබාගැනීමට බෞද්ධයන් කටයුතු කළ යුතු බව උන්වහන්සේ එහි අවධාරණය කර තිබුණි.

විජේවිර රුසියාවෙන් ලැබූ දැනුමෙන් ජවිපෙ ගොඩනැගුවේය. ‘සහෝදරයා, පන්සල තමයි අපේ ආහාර ගබඩාව, අපේ ආයුධ ගබඩාව’ ඔහු කීවේය. ඔහු පෙන්නූ මග දිග ගිය කාඩර්වරු ගමේ පන්සලට ඇතුළු වූහ. ඔවුන්ට කිසි වෙහෙසක් නැතිව පන්සලේ තරුණ භික්ෂුන් වහන්සේ ගොදුරුට ගත හැකි විය. ජවිපෙ පන්සලට රිංගාගැනීම විශාල ශාසනික පරිහානියක ඇරඹුමක් විය. අද අප අත්විඳිමින් සිටින්නේ එහි ප්‍රතිඵලයි.

පූජ්‍ය ගල්ලැහැමුල්ලේ අරියමුනි හිමි, පූජ්‍ය නාරාවිල ධම්මරතන හිමියන්ගේ ගෝල නමකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අරියමුනි ස්ථවිරයෝ ජේවිපීකාරයෙකු වූහ. අප්‍රේල් කැරැල්ලෙන් පසුව පොලිසියට හසුවූ උන්වහන්සේ බේරාගැනීමට ධම්මරතන හිමියන්ට විශාල වෙහෙසක් දරන්නට සිදු විය. මෙය එක සිද්ධියක් පමණි. මෙවැනි සිදුවීම් බොහෝය.

ජවිපෙට බැඳී මදාවියන් බවට පත්වන තරුණ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් නොයෙක් කැපකිරීම් කරන්නට පිය සෙනහස ඇති නායක හාමුදුරුවරුන් බොහෝ නමකට සිදු විය. මෙවැනි පිය පුතු සබඳතාවක් වෙනත් කිසිම ආගමක නැත. විශ්වවිද්‍යාලයට ගොස් මාක්ස්වාදයට ගොදුරු වන ගෝල භික්ෂූන්ට අවනත වන්නට බොහෝ නායක හිමිවරුන්ව සිදුවී තිබේ. වර්තමානයේ බොහෝ සිංහල මවුපියන්ට, දූදරුවන්ගේ උගත්කම, රැකියාව නිසා ඔවුන්ට කීකරු වී ජීවත් වන්නට සිදුවී ඇත. මේ නිසා භික්ෂු සමාජය මෙන්ම සිංහල සමාජයත් විනාශවෙමින් පවතී.

විප්ලවයෙන් රුසියාවේ රාජ්‍ය බලය අල්ලාගත්තේ කොමියුනිස්ට් පක්ෂය මිස නිර්ධනයින් නොවේ. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍ය කාරක සභාව රට පාලනය කිරීම අතට ගත්තේය. ජනතාව ආණ්ඩු බලය දුන්නේ මාලිමාවට වුවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා විසින් ආණ්ඩුව මෙහෙයවන බවට විශ්වාසයක් බොහෝ රටවැසියන් අතර පවතී.

ලෙනින් සහ ස්ටාලින් ජන සංහාර කළහ. රටවැසියන්ට මිනීමැරීමට අනුබල දුන්හ. රටවැසියකු අතින් සිදුවන ලොකුම අපරාධය පැරණි ක්‍රමය යළි ඇති කිරීමට ආධාර කිරීමය යන මතයේ සිටියහ. ඔවුන්, සිය වැරදි දකින්නන් සහ විවේචකයින් දුටුවේ යළි පැරණි ක්‍රමය වෙතට රට ගෙනයන්නට වෙහෙසෙන්නන් ලෙසිනි. ඔවුන් ගැන සෙවූ විශේෂ පොලිසි සහ අලුත් අධිකරන රට පුරා පිහිටුවා තිබුණි .මේවායින් වැරදිකරුවන් වූ පුද්ගලයින් මරණ දඬුවමට වඩා බිය වූයේ සයිබීරියාවට යෑමටයි.

1918 ලෙනින් ඝාතන ප්‍රයන්තයකට පසුව ‘පන්ති සතුරන්’ විනාශ කිර්‍රමේ මුවාවෙන් දේශපාලන ප්‍රතිවාදීන් සංහාරයට ඇරඹුණ ‘රෙඩ් ටෙරර්’ වැඩසටහන යටතේ රහස් පොලිසිය (චෙකා) මගින් මරා දමන ලද වැසියන් පිරිස මිලියනයකට අධික යැයි ඇතැම් වාර්තාවල සඳහන්ය. මෙහිදී ලෙනින් ඉතා සාහසික අයුරින් ජන සංහාරයට අණ දුන් බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. සතුරන් විනාශ කර බෝල්ෂෙවික් පාලනය ස්ථාවර කිරීම මෙහි අරමුණ විය.

මුලු රටේම වැසියන් පොලිස් ඔත්තුකරුවන් කරන්ට ලෙනින්ගේ පාලනයට හැකිවිය. පැවැත්මට, තනතුරු හා උසස්වීම් ලබාගන්නට තිබුණු එකම මාර්ගය කේලම් කීමයි.

පුරුෂයෝ භාර්යාවන්ට විරුද්ධව පැමිණිලි කළහ. භාර්යාවෝ පුරුෂයින්ට විරුද්ධව පැමිණිලි කළහ. දරුවෝ දෙමව්පියන්ට විරුද්ධව පැමිණිලි කළහ. පාසල් ළමයි ගුරුවර ගුරුවරියන්ට විරුද්ධව පැමිණිලි කළහ. රුසියාව විසින් මේ ක්‍රමය නැගෙණහිර ජර්මනිය, පෝලන්තය, බල්ගේරියාව වැනි රටවලත් ඇතිකර තිබුණි. මේ හැම රටක්ම කොමියුනිස්ට් ක්‍රමය යටතේ පොලිස් රාජ්‍ය වී තිබුණි. ඇමති ලාල්කාන්ත පසුගියදා පැවසූ රාජ්‍ය බලය ලබාගැනීම යනු එවැනි පොලිස් රාජ්‍යයක් බිහි කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top