Last Updated on 2 weeks by admin
පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 2 කොටස
සෑම් සෙනෙවිරත්න

අනුර දිසානායක ජනපති පදවියට පත්ව, රවි සෙනෙවිරත්න හා ෂානි අබේගුණසේකර ආරක්ෂක අංශවල ඉහළ තනතුරුවලට පත්වූ පසුව, පොත් එළිදැක්වීමේ උළෙලකදී, සිරිල් ගාමිණී පියතුමා, පාස්කු බෝම්බයේ මහමොළකරු ගැන ප්‍රකාශයක් කළේය. එතුමා පැවසූ පරිදි, පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අබු හින්ද් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි තැනැත්තෙකි. ඔහු කාලයක් මුළුල්ලේ සහරාන් සමග දුරකථනයෙන් කතාබහ කරමින් සිට ඇත. ඒ කාලයේ මේ පුද්ගලයා ගැන සෙවූ එවක රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා වූ රවි සෙනෙවිරත්න, ඔහු කවුරුන්ද යන්න අනාවරණය කරගෙන තිබේ. මේ පිළිබඳව ඔහු අධිකරණයේදී විනිශ්චයකාරවරයෙකුටද හෙළිදරව් කර ඇත. අබු හින්ද් යනු කවුරුන්දැයි සිරිල් ගාමිණී පියතුමා පවා දන්නා බවත්, දේශපාලකයන් පිරිසක රැක ගැනීමේ අරමුණින් අබු හින්ද්ව අත්අඩංගුවට ගැනීම වළක්වනු ලැබ ඇති බවත් එතුමන් දේශනයේදී කියා තිබුණි.
සිංගප්පූරුවේ නැන්යැංග් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව පිළිබඳ මහාචාර්යවරයකු හා තර්ජන පිළිබඳ විශේෂඥයකු වශයෙන් ගෝලීය ආරක්ෂක ක්ෂේත්‍රය තුළ කීර්තියක් උසුලන, රොහාන් ගුණරත්න, අබු හින්ද් කවුරුන්දැයි පැහැදිලි කළේ අදින් වසර කීපයකට පෙරය. ඔහු පැහැදිලි කරන පරිදි, අබු හින්ද් යනු, ශ්‍රී ලංකාවේ අයිසිස් ත්‍රස්තවාදීන් කොටු කරගැනීමට ඉන්දියානු බුද්ධි අංශ විසින් සම්පාදනය කරන ලද පරිගණක වැඩසටහනකි. මිනිස් හඬින් කතාබහ කළ හැකි, අසන ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි හා ප්‍රශ්න අසමින් තොරතුරු දැනගැනීමට හැකියාව ඇති ඉතා සූක්ෂ්ම ‘රොබෝවෙකි’. සහරාන් සමඟ දුරකතන සංවාදවල යෙදෙමින් තොරතුරු ලබාගෙන ඇත්තේ මේ රොබෝවා විසිනි.
රවි සෙනෙවිරත්න අබු හින්ද්ව වරදවා තේරුම් ගෙන තිබේ. කාදිනල්තුමා හා සිරිල් ගාමිණි පියතුමා මුළා වී සිටින්නේ රවි සෙනෙවිරත්න පවසා ඇති වැරදි තොරතුරටය. පෙනෙන හැටියට ඔවුන්ගේ අරමුණ අබු හින්ද් යනු, එවක හමුදා බුද්ධි අංශ සුරේෂ් සලේ බව රටට කීමයි. චැනල් 4 චිත්‍රපටයේ ඇතුළත් මවුලානාගේ ප්‍රකාශ ඒ සඳහා පාවිච්චි කිරීම ඔවුන්ගේ අරමුණ බව පෙනෙන්නට තිබේ. (මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කෙරේ.)
මුස්ලිම් නායකයකු බව පැවසෙන රාසික් මොහොමඩ් කදිර් ඛාන්, යූටියුබ් සාකච්ඡාවකදී පවසන්නේ, ප්‍රහාරය රෝ සංවිධානය විසින් සැලසුම් කරන ලද අතර කාදිනල්තුමා මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ඒ බව දැන සිටි බවයි.
පාස්කු දිනයේ පූජාවට පූජකවරුන් සහභාගි වී නැතැයිද ඊට හේතුව කාදිනල්තුමා ප්‍රහාරය ගැන දැන සිටීම යැයිද සමාජයෙන් චෝදනාවක් එල්ල වී තිබෙන බව ඇත්තකි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූවන් පිළිබඳ මාධ්‍ය වාර්තා ගණනාවක් පරීක්ෂා කර බැලුවද, අනතුරට බඳුන් වූ පූජකවරයකු හෝ පූජකවරියක පිළිබඳ වාර්තාවක් අපට හමු නොවිණි.
කාදිනල්තුමා මේ ප්‍රහාර සැලසුම ගැන මුල පටන් දැන සිටියේ නම්, ඊට ඉඩ දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. කාදිනල්තුමාට මේ පිළිබඳව දැනගන්නට ලැබුණේ නම්, ඒ ප්‍රහාරයට පෙරදා පමණ යැයි අනුමාන කළ හැකිය. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවලට තොරතුර ලබාදුන්නද, සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුණු නිසා, ප්‍රහාරය සැබෑවටම එල්ල වනු ඇතැයි සැක පිට, තොරතුර සැපයූ පාර්ශ්වය විසින් කාදිනල්තුමාට මේ බව දැනුම් දීමට යම් ඉඩක් තිබේ. එය එසේ වූයේ නම්, යම් ඔත්තු සේවාවක් සිය තානාපති කාර්යාලය හරහා කාදිනල්තුමාට මේ පිළිබඳව දැනුම් දුන්නේ යැයි සිතීම තර්කානුකූලය. (මේ පිළිබඳව ඉදිරි ලිපියකින් වෙනම සාකච්ඡා කෙරේ.) ප්‍රහාරයක් නිශ්චිතව එල්ල වනු ඇතැයි නොසිතූ නමුදු, ආරක්ෂක පියවරක් වශයෙන් පූජකවරුන් පාස්කු පූජාවට සහභාගි වීමෙන් වැළකී සිටියා විය හැකිය.
කාදිනල්තුමා ඉන්දියාව පිළිබඳව කිසිවක් නොකියන්නේ එතුමාත් මීට සම්බන්ධ නිසා යැයි කදීර් ඛාන් කීවද එයත් පිළිගත නොහැකිය. එහෙත්, එතුමා ඇත්ත කතා කළහොත් පාස්කු ප්‍රහාරයේ සුලමුල පාදාගැනීම පහසු වන බව නම් ස්ථිරය.
මෙහි තවත් පැත්තක් තිබේ. හිටපු ඇමති හරින් ප්‍රනාන්දු, ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට බුද්ධි අංශවලට ලැබුණු ලේඛනවල ඡායාරූප සිය මුහුණුපොතේ පළ කර, රහස් තොරතුරු කාන්දුවක් (‘දෙයාර් ඊස් අ බ්‍රීච්’) ඇතැයි සටහනක් දමා තිබුණි. එයින් පැහැදිලි වන්නේ, මේ තොරතුර බාහිර පාර්ශ්වයන් වෙතට කාන්දු වී ඇති බවයි. ඇතැම් විට, බුද්ධි තොරතුර පිළිබඳව අදාළ පාර්ශ්වයන් ක්‍රියාත්මක නොවන බව පෙනෙද්දී, බුද්ධි අංශවලට සම්බන්ධ යම් තැනැත්තෙකු, මේ තොරතුර කාදිනල්තුමා, යම් යම් ඇමතිවරුන් ආදි පිරිස් වෙත යොමු කළේ යැයිද සිතිය හැකිය.
මෝදිගේ ජයග්‍රහණය පිණිස ඉන්දියාවේ හින්දූන්ගේ ඡන්ද අපේක්ෂාවෙන් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේය යන්න කාදිර් ඛාන්ගේ තවත් අදහසකි. ඔහු පවසන ආකාරයට සහරාන් ඇතුළු තරුණයින් ත්‍රස්තයින් බවට පත් කර ඇත්තේ රෝ සංවිධානය විසිනි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව මෙහෙයවා ඇත්තේ ඉන්දියානු ආරක්ෂක හමුදා බුද්ධි අංශය විසිනි.
මුස්ලිම් තරුණයින්ට මැදපෙරදිගදී අවි පුහුණුව ලබාදීම දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රියාවකි. ආණ්ඩුවට ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි නම්, එය තම කණ්ඩායමට කළ හැකි බව, නැගෙනහිර පළාතේ මුස්ලිම් තරුණයෝ, අනූව දශකයේ මුල භාගයේ පැවසූහ. මුස්ලිම් තරුණයින්ට ඒ සඳහා අවශ්‍ය අවි පුහුණුව මැදපෙරදිග රටකදී ලැබුණු හැටිද ඔවුහු විස්තර කළෝය.
ඥානසාර හිමියන් සහ මැදපෙරදිග අතර රටට ජනතාවට සඟවන සබඳතාවක් ඇති අයුරු මින් පෙර බෝධි සභාවේ පළ කරන ලද ලිපිවලින් පැහැදිලි කෙරිණි. මෑතකදී, ඥානසාර හිමියෝ පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමන් වහන්සේ දන්නා බව ප්‍රකාශ කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වූහ. ‘තමන් වහන්සේ සතු තොරතුරු ලබාදෙන්නේ ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් පමණක් බව පවසන උන්වහන්සේ, කට කෑවත් වෙඩි තැබුවත් ඒ තොරතුරු වෙනත් කෙනෙකුට නොදෙන බව අවධාරණය කළහ. යම් පුද්ගලයකු කරන මෙවැනි රඟපෑම්වලින් හෙළිදරව් වන්නේ, පුහු වීර චරිත රඟදැක්වීමට මිනිසුන් තුළ ඇති ආශාවයි. උන්වහන්සේට ‘මහමොළකාරයා’ පිළිබඳව තොරතුර ලැබුණේ ඊයේ පෙරේදා නොවේ නම්, කළ යුතුව තිබුණේ, වසර කීපයකට පෙර එකම රටක් එක නීතියක් කොමිසමේ සභාපතිකම දරන කාලයේ වත් මේ පිළිබඳව අදාළ අංශවලට දැනුම් දීමයි.
දැන් නැවතත්, නැගෙනහිර පළාතේ ඉස්ලාම් ආගමේ නාමයෙන් ක්‍රියාත්මක අන්තවාදීන් පිළිබඳ මාධ්‍යවල තොරතුරු පළවීම, අළු යට ගිනි තිබුණු බවට සාක්කියකි. අශ්රොෆ් මුස්ලිම් කොංග්‍රසය ඇරඹුවේද, සහරාන් වැඩ ඇල්ලුවේද නැගෙනහිරිනි. මුහුදු මහා විහාරය, දීඝවාපිය, අලියඩිවෙම්බු, මොට්ටයාගල, මාණික්කමඩු ආදී බෞද්ධ සිද්ධස්ථාන ඉස්ලාම් අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත් වූයේද නැගෙනහිරය.
තවත් මුස්ලිම් කණ්ඩායමක් නියෝජනය කරන මිෆ්ලාල් මව්ලවිවරයා යූටියුබ් සාකච්ඡාවකදී අඟවන්නේ, මෙය රෝ සංවිධානය සහ ලංකාවේ වෙනත් මුස්ලිම් පාර්ශ්ව එක්ව එල්ල කළ ප්‍රහාරයක් බවයි. ලංකාවේ මුස්ලිම් ජනයා අපකීර්තියට පත්කිරීම සඳහා රෝ සංවිධානය මෙය සැලසුම් කළ බව ඔහුගේ අදහසයි. රෝ සංවිධානයට මේ ප්‍රහාරය එල්ල කරන්නට වුවමනා වූවා නම්, ඔවුන් බෝම්බකරුවන්ගේ ලැයිස්තුව ඇතුළත් ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලංකාවේ බුද්ධි අංශවලට ලැබෙන්නට ඉඩ තබන්නේ නැත.
මේ ඉස්ලාම් බැතිමතුන් උත්සාහ කරන්නේ, සිය කණ්ඩායම බේරා චෝදනාව ඉන්දියාව මත පටවන්නටය.
මේ කිසිවකු බුද්ධි අංශයක ක්‍රියාකාරිත්වය පිළිබඳව පළල් දැනුමක් ඇති අය නොවේ. කදීර් ඛාන් බුද්ධි අංශ සමග සමීපව කටයුතු කර ඇති අයකු බවට යූටිබ්කරු කරන හැඳින්වීම ඛාන්ද අනුමත කරයි. තමන් බුද්ධි අංශ සමග වැඩ කළා යැයි ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රසිද්ධියේ පවසන්නන්ගේ කතා පිළිගන්නට තරම් ජනතාව මෝඩ විය යුතු නැත. මෙවැනි මෝඩයින්ව සාකච්ඡාවලට ගෙන්නා, ඔවුන්ගේ මෝඩ කතා අන්තර්ජාලයට මුදාහැරීම ඔවුන් මෙන්ම බුද්ධි අංශද ඇතැම් විට කලාපීය හා ජාතික ආරක්ෂාවද අනතුරේ වැටීමට හේතුවක් විය හැකිය. මෙවැනි යූටියුබ්කාරයින් නියාමනය කිරීමේ වැඩසටහනක් පිළිබඳව ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යාමු විය යුතුව තිබේ.
මෙය රෝ සංවිධානය විසින් සැලසුම් කරන ලද ප්‍රහාරයකැයි සිතීමට නොහැකිය. හේතුව, ශ්‍රී ලංකාව තුළ ජිහාඩ් ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ජිහාඩ් ත්‍රස්තවාදීන්ද දිරිගැන්වීමක් වන හෙයිනි. ඉන්දියාව යනු ඉස්ලාම් අන්තවාදීන්ගෙන් වට වූ භූමි කලාපයකි. අයිසිස් සංවිධානය ඉන්දියාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පසුගිය ලිපියෙන් පැහැදිලි කෙරිණි. ඉස්ලාම් අන්තවාදය තුරන් කිරීමට ඉන්දියාව විශාල වෙහෙසක් ගනී. එවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරවීමෙන් ඉන්දියාවට සිදු වන්නේ පාඩුවක් විනා වාසියක් නොවේ. මෑත අතීතයේ, ඇතැම් අවස්ථාවල ආරක්ෂාව සම්බන්ධ කටයුතුවලදී දක්නා ලැබුණු දුර්වලතා පිළිබඳව රෝ සංවිධානය ඇතුළු ඉන්දීය බුද්ධි අංශවලට එල්ල වෙමින් තිබුණු විවේචන හමුවේ, එවැනි ප්‍රහාරයක් ඉන්දියානු ඔත්තු සේවාවක් විසින් සංවිධාන කෙරෙනු ඇතැයි කිසි සේත්ම සිතිය නොහැකිය.
චැනල් 4 නාළිකාව, පාස්කු ප්‍රහාරය පිළිබඳ චිත්‍රපටය විකාශය කළේ, 2023 ජිනීවා මානව හිමිකම් සමුළුවට සමගාමීවය. ඔවුන් මේ ආකාරයෙන්ම, වසර කීපයකට පෙර මානව හිමිකම් සමුළුවක් ආසන්නයේ, ‘ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ්’ චිත්‍රපටය විකාශය කළේය. මේවායේ අරමුණ ලෝකය හමුවේ රට – විශේෂයෙන් සිංහල බෞද්ධයින් – අපහසුතාවට පත් කිරීමයි.
චැනල් 4 නාළිකාව බ්‍රිතාන්‍ය රජයට අයත් ආයතනයකි. එහෙත් බීබීසී ආයතනයට මෙන් එයට රජයේ මුදල් ලැබෙන්නේ නැත. ආයතනය පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සපයා ගැනීම චැනල් 4 නාළිකාවට භාරය. එවැනි ආයතන, මුදල් පෙන්නා නම්මා ගැනීම අපහසු නැත. ශ්‍රී ලංකාවේ ණය බර ගෙවා නිම කිරීමට තරම් තමන්ට මුදල් ඇතැයි, දෙමළ ඩයස්පෝරාව අරගලය කාලයේ පැවසීය. ඇමරිකානු සෙනෙට් සභිකයින්ගේ කාර්ය මණ්ඩලවල සිටින දෙමළ සම්භවයක් ඇති පුද්ගලයන්ගේ මාර්ගයෙන්, සෙනෙට් සභිකයින්ගේ මැතිවරණ ව්‍යාපාරවලට ආධාර කරන මුවාවෙන් අල්ලස් දී, ඔවුන් ලවා ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ උත්සාහයන් පවා අතීතයේ වාර්තා වී ඇත.
මානව හිමිකම් සමුළුව අවස්ථාවේ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා එහි විධායක නිෂ්පාදක Ben de Pear සහ නිෂ්පාදන අධ්‍යක්ෂ Thom Walker ජිනීවා ගියහ. එහිදී මානව හිමිකම් රැස්වීම පැවති ස්ථානයට සැතපුම් කීපයක් දුරින්, චිත්‍රපටය පිළිබඳව, 10 දෙනෙකු පමණ පිරිසක් ඉදිරියේ සංවාදයක්ද පවත්වා ඇත. මේ සංවාදය සංවිධාන කර ඇත්තේ, මහනුවර ප්‍රදේශයෙන් ජිනීවාවලට ගොස් ස්වර්ණාභරණ ව්‍යාපාරයක නිරත අයකු ඇරඹූ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. පාස්කු ප්‍රහාරයට ඇතැම් දේශපාලකයන් සම්බන්ධ කරමින් මහා කුමන්ත්‍රණයක් ගොතන්නට උත්සාහ කරන කොළඹ වෙසෙන පුද්ගලයන් කීප දෙනෙකුට මේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා මුදල් සපයා ඇති බවට චෝදනා එල්ල වී ඇතැයිද ‘ශ්‍රී ලංකා ගාඩියන්’ අනාවරණය කරයි.
ඒ සංවාදය අවස්ථාවේ ජිනීවාහි වෙසෙන, මානව හිමිකම් කටයුතුවල නිරත, හිටපු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදියෙකු ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වෙනුවෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ තොම් පැකිළෙමින් පවසා ඇත්තේ, සුරේෂ් සලේ සහ සහරාන් අතර හමුවක් සිදු වූ බව හෝ ඒ දෙදෙනා අතර මොනයම් ආකාරයක හෝ සම්බන්ධයක් තිබුණ බව හෝ ඔප්පු කෙරෙන කිසිදු සාක්කියක් තමන් සතුව නැති බවයි. ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වැඩි දුරටත් පවසන්නේ, මවුලානා ඉදිරිපත් කරන කරුණු සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කිරීමට චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයාට හෝ අධ්‍යක්ෂවරයාට නොහැකි වූ බවයි. මෙය විනයගරුක, මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරන මාධ්‍යවේදියකු කිසි විටෙක නොකරන කාර්යයකි.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිට එරෙහි නඩුවේ (එච්.සී. (ටී.ඒ.බී.) 2900/21) මහාධිකරණ විනිසුරු ඒ.කේ.ඒ. පටබැඳිගේගේ නියෝගයේ මෙවැනි සටහනක් තිබේ. “ගැටලුවේ සංවේදීතාව මත පදනම්ව ඕනෑම පුද්ගලයෙකුට (සාක්කි නොමැතිව) එරෙහිව නඩු පැවරීම අනුමත කළ නොහැක.” මෙය අධිකරණ කටයුතුවලට පමණක් නොව මාධ්‍යයටද අදාළය. මාධ්‍ය වනාහි, එක්තරා ආකාරයක ජනතා අධිකරණයකි. සාක්කියක් නොමැතිව කිසියම් පුද්ගලයකු ඉදිරිපත් කරන විස්තරයක් හුදු කතාවකට හෝ කුමන්ත්‍රණයකට සීමා වේ.
මේ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ බෙන් ඩි පෙයාර් විසින් 2022 අරඹන ලද අලුත්ම ආයතනයක් වන ‘බේස්මන්ට් ෆිල්ම්ස්’ මගිනි. මේ නම් කිරීමද සදාචාරාත්මක නැත. ‘බේස්මන්ට් ෆිලිම්ස්’ නමින් කීර්තිමත් ඉතිහාසයක් සහිත, චිත්‍රපට හා වීඩියෝ නිර්මාණකරුවන්ගේ සිත් දිනාගත් ආයතනයක්, ඇමරිකාවේ නිව් මැක්සිකෝහි තිබේ. බෙන්, අනියම් මාර්ගයකින් ඒ කීර්ති නාමය අයුතු ලෙස පාවිච්චි කර ඇත. එයද විනයගරුක මාධ්‍යවේදියකුට තරම් නොවන්නකි. විශේෂයෙන්ම බෙන් බඳු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුට තරම් නොවේ. ඔහු 2012 සිට 2022 දක්වා චැනල් 4 නාළිකාවේ ප්‍රවෘත්ති කර්තෘ වශයෙන් සේවය කළේය. ඒ සම්බන්ධකමත්, මුදල් කුට්ටියත් නොවන්නට, සාක්කියක් නැතිව ඉදිරිපත් කෙරෙන මෙවැනි චිත්‍රපටයක්, චැනල් 4 නාළිකාවේ, ඩිස්පැච්’ විශේෂාංගය යටතේ විකාශනය කෙරෙනු ඇතැයි සිතන්නට නොහැකිය. චිත්‍රපටය ගැන ජිනීවාහි සම්මන්ත්‍රණයක් සංවිධාන කළ පුද්ගලයන්ගේ ඉව පාරේ ගිය විට, මේ සඳහා මුදල් යෙදවූවන් සොයාගැනීම අපහසු නොවනු ඇත.
බ්‍රිතාන්‍ය රාජ්‍ය තොරතුරු වෙබ් අඩවියට අනුව, බෙන්ගේ ‘බේස්මන්ට් ෆිල්ම්ස්’ ආයතනය Company number 13959660 ලියාපදිංචි කර ඇත්තේ 2022 මාර්තු 7 වැනිදාය. එහි සිටින එකම නිලධාරියා ඔහු පමණි. බේස්මන්ට් ආයතනයේ කාර්ය මණ්ඩලයද දෙදෙනෙකුට සීමා වේ. ඒ බෙන් හා උක්ත චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස 2022 අග භාගයේ ආයතනයට එක් වූ රොබට් මැක්වීන්ය. බැලූ බැල්මට මෙය ‘ඇහින්දාස්’ ආයතනයක ස්වරූපය ගනී. (මේ වන විට – 2025/3/20 – ආයතනය තහවුරැ කිරීමේ ප්‍රකාශය කල් ඉකුත් වී ඇතැයි රතු නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.)
බෙන් ඩි පෙයාර් වර්ගවාදය ඇවිලෙන අයුරින් මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ චෝදනාවට ලක්වූවෙකු වීමද මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණකි.
‘ශ්‍රී ලංකා ගාඩියන්’ අනාවරණය කළ තවත් ඉතා වැදගත් කරුණක් තිබේ. එනම්, මේ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරු වන අසාද් මවුලානාට, 2022 වසරේ එජා මානව හිමිකම් කවුන්සලයෙන් රැකියා අවස්ථාවක් ලැබීමයි. සාමාන්‍ය ජීවිතයක් ගත කළ මවුලානා ලංකාවෙන් පිට වන අවස්ථාව වන විට ඔහුගේ එක් ගිණුමක පමණක් රැපියල් මිලියන 70ක මුදලක් තිබී ඇත. ඒ තරම් මුදලක් ඔහුට ලැබුණේ කෙසේද? මේවා මේ සිද්ධිය පිළිබඳව බරපතල සැකයක් මතු කෙරෙන කාරණාය.
මේ චිත්‍රපටයේ එක් සාක්කිකරුවකු වශයෙන් ඉදිරිපත් කරන සරත් කෝන්ගහගේ, චිත්‍රපට නිෂ්පාදකයින් තමාව මුළා කර ප්‍රකාශයක් ලබාගත් බවටත්, එයින්ද ප්‍රචාරය කර ඇත්තේ, නිෂ්පාදකයින්ගේ අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය පරිදි ඉතා සුළු කොටසක් බවටත් චෝදනා කර තිබුණි.
මෙවැනි කරුණු, චිත්‍රපටයේ නිර්මාපකයන්ගේ විමර්ශණශීලීභාවය, මධ්‍යස්ථභාවය, සදාචාරසම්පන්නබව, විනගරුකබව සහ විනිවිදභාවය වැනි ගුණාංග අභියෝගයට ලක් කරන අතර ඔවුන් කිසියම් අරමුණක් ඇතිව, තොරව චිත්‍රපටය නිෂ්පාදනය කළ බවට සාක්කි සපයයි.
චිත්‍රපටයෙන් තමාට එල්ල කෙරන චෝදනාවලට පිළිතුරු දෙමින් සුරේෂ් සලේ පවසා තිබුණේ, තමන් 2018 වසර පුරාම මැලේසියාවේ සේවය කළ බවයි. ඒ බව මැලේසියානු රාජ්‍ය නිලධාරීන්ගෙන් තහවුරු කරගත හැකි යැයි සලේ, චැනල් 4 නාළිකාවට යෝජනා කළේය. (යහපාලන ආණ්ඩුව සලේගේ බුද්ධි වාර්තාව කුණු කූඩයට දමා, ඔහු මැලේසියාවට යැවූ අයුරු පසුගිය ලිපියෙන්ද පැහැදිලි කෙරිණි.)
සලේට එරෙහි තවත් චෝදනාවක් වන්නේ, බෝම්බ ප්‍රහාරය දිනයේ, පිල්ලෙයාන්ගේ සගයකු දුරකතනයෙන් ඇමතූ සලේ, තාජ් සමුද්‍ර හෝටය අසලින් කිසියම් තැනැත්තකු කැඳවාගෙන එන ලෙස උපදෙස් දුන් බවයි. මේ චෝදනාව සිරිල් ගාමිණී පියතුමාද, වක්‍රාකාරයෙන් එල්ල කළේය. ඒ එතුමා, රහස් පොලිසියට කාරණා 8ක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. එම දුරකථන ඇමතුමට අදාළ අයිපී (IP) අංකය කාගේදැයි හෙළිදරව් කරන ලෙස එතුමා පැවසුවේය. තාක්ෂණය භාවිතයෙන් වංචනික ලෙස අයිපී අංක වෙනස් කළ හැකි බව (IP Spoof) ඇතැම් විට පියතුමා නොදන්නවා විය හැකිය. මේ චෝදනාවට පිළිතුරු දෙමින් සලේ පවසා තිබුණේ, ඔහු එදින රාජකාරි කටයුත්තක් සඳහා ඉන්දියාවේ ගත කළ බවයි. ඒ බව ඉන්දියානු බලධාරීන්ගෙන් තහවරු කරගත හැකි බව ඔහු යෝජනා කර තිබුණි.
මවුලානාගේ කතාව මගින් සලේට එල්ල කෙරෙන චෝදනා ඔප්පු කිරීමට චැනල් 4 සතුව කිසිදු සාක්කියක් නැතැයි චිත්‍රපටයේ නිෂ්පාදක හා අධ්‍යක්ෂ පවසා ඇතත්, ඒ චෝදනා සාවද්‍ය බව ඔප්පු කිරීමට, සලේ සාක්කි ඉදිරිපත් කරයි.
මේ අනුව, චැනල් 4 චිත්‍රපටයෙන් ඉදිරිපත් කළ මවුලානාගේ චෝදනා අසත්‍යයක් බව ඔප්පු වේ. ‘ගවේශණාත්මක’ වාර්තා චිත්‍රපටය, විකට චිත්‍රපටයක් බවට පත් වේ. වර්තමාන විදේශ කටයුතු ඇමති එවක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැන්නෝ නම් මවුලානාගේ කතාව ඉහ මුදුනින් පිළිගත්හ. ‘වහාම සලේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව’ ඔහු ඒ කාලයේ ප්‍රකාශ කර තිබුණි. ඒ නිසා යටත් පිරිසෙයින් මවුලානා කියන කතාව ඇත්තක් වීමේ යම් හෝ සම්භාවිතාවක් තිබේ දැයි විමසා බලමු.
මවුලානා යනු පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම්වරයෙකි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ විශ්වාසවන්තම කටයුතු පැවරෙන්නේ පුද්ගලික ලේකම්වරයාටය. ඇතැම් දේශපාලකයන් සිය පවුලේම අය පුද්ගලික ලේකම් තතනතුරට පත්කරගැනීමට එක් අප්‍රකට හේතුවක් නම් මේ විශ්වාසවන්තභාවය පිළිබඳ ප්‍රශ්නයයි. ඒ අනුව, පිල්ලෙයාන්, මෙවැනි අතිශය බරපතල රහසිගත කාර්යයක් සිය මාධ්‍ය ලේකම්වරයා වූ මවුලානාට පැවරීය යන්න කෙතරම් දුරට පිළිගත හැකි කාරණයක්ද?
මවුලානා යනු පිල්ලෙයාන්ගේ සමීපතමයකු බව සහරාන් ඇතුළු පිරිස දනී. මවුලානා චැනල් 4 නාළිකාවට පවසා ඇති පරිදි, ඔහුට සහරාන්ගේ ඥාති සොහොයුරු මව්ලවිවරයාව මුණගස්වා ඇත්තේ පිල්ලෙයාන්ය. පිල්ලෙයාන් යනු රාජපක්ෂවරුන් සමග දේශපාලනයේ නිරත චරිතයක් බව සහරාන්ලාට රහසක් විය නොහැකිය.
සහරාන් ඇතුළු පිරිස, සුරේෂ් සලේ කවුරුන්ද යන්න නොදැන සිටියා යැයිද සිතිය නොහැකිය. ඔවුන් සතුවද යම් ආකාරයක රහස් ඔත්තු සේවාවක් තිබෙන්නට ඇති බවට සැක නැත. එබඳු කණ්ඩායමක් සුරේෂ් සලේ යනු හමුදා බුද්ධි ප්‍රධානියකු බව නොදැන සිටි බව හෝ ඒ බව දැන ඔහු සමඟ සාකච්ඡාවකට ගියේ යැයි සිතීම හෝ අසීරුය.
මවුලානා චැනල් 4 නාළිකාවට පවසන තොරතුරු අනුව, සලේ හා සහරාන් ඇතුළු පිරිසගේ සාකච්ඡාවට ඔහු සම්බන්ධ වී නැත. එයින් ඇඟවෙන්නේ, ඔවුන් සාකච්ඡා කළ දේ, මවුලානා නොදැනගත යුතු ඒවා බවයි. සාකච්ඡාව අවසානයේ, එතරම් රහසිගත සාකච්ඡාවක අරමුණ, එනම්, ‘රට තුළ අනාරක්ෂිත තත්වයක් ඇති බව අඟවන්න රාජපක්ෂලාට අවශ්‍යයි. ගෝඨාභයට බලයට එන්න තියෙන එකම අවස්ථාව ඒකයි’, යනුවෙන් හමුදා බුද්ධි අංශයක හිටපු ප්‍රධානියකු වූ සලේ වැනි පුද්ගලයකු විසින්, සාකච්ඡාවට සහභාගි නොවී එළියට වී ඉන්නට සලස්වන ලද පුද්ගලයෙකු සමඟ පවසන ලදැ පිළිගත හැකිද?
සලේ වනාහි බුද්ධි නිලධාරියකු වශයෙන් හොඳ සිහිබුද්ධියෙන් කටයුතු කළ අයෙකි. ඒ බවට හොඳම සාක්කිය, ඔහුගේ ඡායාරූප හා පුද්ගලික තොරතුරු අන්තර්ජාලයෙන් සපයා ගැනීමට ඇති අසීරුවයි. වගකීමෙන් තොර කවුරුන් හෝ එළියට දැමූ අපැහැදිලි ඡායාරූපයක් දෙකක් හා විස්තර හැර ඔහු ගැන තොරතුරක් සොයා ගැනීම අසීරුය. රවි සෙනෙවිරත්න වැන්නවුන්ගේ ඡායාරූප නම් පසුගිය සමයේ හතු පිපෙන්නා සේ මාධ්‍යවල පළ විණි. පසුගිය සමයේ ඊශ්‍රායල් බුද්ධි අංශයේ ‘යුනිට් 8200’හි අණදෙන නිලධාරියා වූ යොසී සාරියල් අන්වර්ථ නාමයකින් පළ කළ පොතක විද්‍යුත් වෙළුමේ (ඊබුක්) අතපසු වීමකින් ඔහුගේ විද්‍යුත් තැපැල් (ඊමේල්) ලිපිනය පළ වී විශාල ප්‍රශ්නයක් ඇති විය.
ගෝඨාභයට 2018 වසර වන විට බලයට ඒම සඳහා බෝම්බ පිපිරවීමේ අවශ්‍යතාවක් නොතිබුණි. ඒ වන විට ගෝඨාභය වටා විශාල රැල්ලක් ගොඩනැගෙමින් පැවතියේය. ඒ නිසා, ‘ගෝඨාභයට බලයට එන්නට ඇති එකම මාර්ගය රට තුළ අනාරක්ෂිත තත්වයක් ඇතැයි මවා පෙන්වීම යැයි සලේ මවුලානාට කීවේය’ යන කතාව පදනමක් නැති එකකි.
සහරාන් ඇතුළු පිරිස ජිහාඩ් සටන්කාමීන් වූහ. ජිහාඩ් සටන්කාමීන් යනු ඉස්ලාම් ආගමේ නාමයෙන් යුද වදින, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන පිරිසකි. එවන් පිරිසක් වෙනත් අරමුණක් වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා පෙළඹවීමට නොහැකිය. සහරාන් සහ පිරිස අතර එකම පවුලේ සහෝදරයෝද සිටියහ. එකම පවුලේ සොයුරන් දෙදෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට පෙළඹීමට තරම්, ප්‍රබල හේතුවක් ඉදිරිපත් කරන්නට, ජීවිතයේ පළමු වරට ඔවුන් හමු වූ සුරේෂ් සලේට හැකි යැයි විශ්වාස කළ හැකිද? මරාගෙන මැරෙන ජිහාඩ් සටන්කාමීන් ගැන දන්නා පුද්ගලයින්ට නම් එය සුරංගනා කතාවක් පමණි.
සහරාන් ඇතුළු පිරිසගේ මරාගෙන මැරෙන ප්‍රහාරය වටහාගත හැක්කේ, ඔවුන් ඒ තත්වයට පත් කළ මූලධර්මය සහ එයින් උපන් මානසිකත්වය ගැන දැනුම ලබාගැනීමෙන් පමණි.
(මතු සම්බන්ධයි)
පාස්කු ප්‍රහාරයට ගෝඨාභය කොටුවෙයිද – 1 කොටස මෙතනින්