Last Updated on 6 days by admin
ඩේවිඩ් ඇන්තනි
දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව කේන්ද්‍ර කරගත් සෝවියට් දේශය නමැති සුවිශාල අධිරාජ්‍යය ගොඩනැංවීමට ජෝසප් ස්ටාලින් සහෝදරයා මූලික වූයේය. ඔහුගේ මරණයෙන් පසු ඒ හා සමාන ශක්තිමත් නායකයෙකු බිහිකර ගැනීමට රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයට නොහැකි විය. ලංකා ගුරු සංගමය නම්, ගුරු වර්ජන මෙහෙය වීමට සමත් ජෝසප් ස්ටාලින් කෙනෙකු බිහි කර ගත්තේය.
‘පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්ඩ බෑ’යි සිංහල කියමනක් තිබේ. මාලිමා ආණ්ඩුව පණ්ඩිතයන්ට සලකන ආණ්ඩුවකි. එදා රුසියානුවෝත් උගත්කම කෙරේ විශ්වාසයෙන් රාජ්‍ය නායකයා ලෙස මිචායිල් ගොර්බචෝව් තෝරාගත්හ. එවිට ඇමරිකාව ප්‍රධාන බොහෝ බටහිර රටවල් ගොර්බචොව් අගයන්ට වූහ. ඔවුන්, ගෝර්බි, නොබෙල් තෑග්ගට සුදුස්සෙකු කිරීම රුසියානු කොමියුනිස්ට් පක්ෂය කිහිලිවලින් ඔසවා මුරුංගා අත්තේ තැබීමකි.
මධ්‍යස්ථවාදියෙකු බව කීවත් පාප්තුමා දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ හිට්ලර්ගේ පැත්තේය. යුද්ධයෙන් පසු එතුමා ළං වූයේ පෝලන්තයේ හාබර් ඩොක් කම්කරු වෘත්තිය සමිති නායකයෙකු වූ ලේච් වැලේසාටයි. ප්‍රතිඵලය, පෝලන්තය සෝවියට් කඳවුරෙන් වෙන් වීමයි. ඒ සමග සෝවියට් දේශය ඉහිරුණි. අද නැටෝවට එක් වන්නට වෙහෙසෙන යුක්රේනය ඒ කාලයේ රුසියානු දේශයේ කොටසකි. වැල්ඩ්මියර් පුටින් රටේ නායකයා නොවන්නට මේ වන විට රුසියාව යුක්රේනයේ කොටසකි.
බටහිර බලවතුන්ගේ වුවමනාව ඉටු කළ වැලේසා දැන් පොට්ට කාසියකට සමානය. රෝගීව සිටින ඔහු දොඩවන විකාරයක් හෝ ලෝකයාට ඇසනේනේ කලාතුරකිනි. ‘ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලෝකයට අවාසනාවන්ත සිද්ධියක් යැ’යි ඔහු මෑතකදී කීවේය. (ඒපී නිවුස් ඔක්. 14) බරැක් ඔබාමා, ජෝ බයිඩන් වැනි නායකයින් නිසා ඇමරිකාව දුර්වල වෙමින් පැවතුණි. ඇමරිකානුවෝ රට ගොඩනගන්ට සුදුස්සා ට්‍රම්ප් යයි සිතූහ. ලෝකය යුද්ධ පිටියක් වනු දක්නට අකමැති විශාල පිරිසක් ට්‍රම්ප්ගේ ජය ගැන ප්‍රීති වෙති.
ලංකාව ලෝක සිතියමේ කුඩා දිවයිනකි. ලෝකයේ මෙවැනි රටකට කළ හැකි හපන්කම් ඉතා සීමිතය. නමුත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය මහා හපන්කම් කළාය. ලෝක බලවතුන්ට නොනැමී නොබැඳි ජාතීන්ගේ සමුළුවට නායකත්වය දීම නිදසුනකි. ඊට අකැමති වූ රටවල් ලංකාවේ දේශපාලනඥයින් යොදවා සිරිමාට නොයෙක් අපහාස කළහ. ආර්. ප්‍රේමදාස කී කුණුකතා නිදසුනකි. අන්තිමට ජේආර් ජයවර්ධන යොදවා ඇය පරාජය කරන්ට ඔවුන්ට හැකි විය. ජේආර් ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම රටේම ප්‍රජා අයිතිය නැසීමකි.
කොටි සංවිධානය තමිල්නාඩුවේ උපන්නකි. ජේආර්, සිරිමාව බිම හෙලද්දී ඉන්දිරා ගාන්ධිට බටහිර රුකඩයක් වූ ජේආර්ගේ පාලනය බිඳ දැමීමට වුවමනා විය. රජීව් ගාන්ධි සමයේ, ඉන්දියානු හමුදාව ලංකාව ආක්‍රමණය කිරීම, ජේආර් බියවීම සහ රට දෙකඩ කිරීමට පාර කැපෙන 13 ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත සම්මත කරවීම සිදු විය. මේ කාලයේ ජවිපෙ ප්‍රබල ඉන්දියානු විරෝධයක් ඉදිරිපත් කළ සංවිධානයකි. ඒ භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදිට ඇමරිකාවට ඇතුළු වීමට විසා නොලැබුණ සමයකි. බටහිරුන්ට ඔහු ආගම්වාදියෙකු වූයේය. මෝදි ඉන්දියාවේ නායකයා වූ පසු කලාපයේ දේශපාලනය වෙනස් විය.
ලංකාවේ විප්ලවකාරයින් පොට්ට කාසි බවට පත් කරවමින්, ජවිපෙ මාලිමාව බවට පත්වීම සහ ඊට රටේ මහබලයක් ලැබීම මෙම කලාපීය දේශපාලනයේ කොටසකි. ඒ ගැන විවිධ අදහස් පවතී. ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මාලිමාව යට සැඟවුන හස්තය යැයි සමහරු පිළිගනිති. රාජපක්ෂ විරෝධය ඇති කිරීම බටහිර තානාපති කාර්යාලවල මෙහෙයුමක් බව තවත් පිරිසකගේ අදහසයි. මැල්කම් කාදිනල් රංජිත් ප්‍රධාන ලංකාවේ කතෝලික සභාව මාලිමාවේ ප්‍රධාන ආධාරකරුවා වූ බව දෘශ්‍යමාන සිදු වීමකි. කිසිවෙකු කතා නොකරන අදෘශ්‍යමාන ක්‍රියාව වන්නේ දෙමළ ඩයස්පෝරාව බිහිවීම සහ එහි වැඩ කොටසයි. ‘ගෝඨා ගෝ හෝම්’ සහ රනිල් බලයට පත්වීම යට සැඟවුන හස්තය දෙමළ ඩයස්පෝරාව යයි සිතන පිරිසක් සිටිති. රාජපක්ෂලාගේ පොහොට්ටුව ජනතාවට එපා කරවීමට රනිල් සමත් විය.
ජේආර්ගේ සමයේ එජාපය මෙහෙයවූ ජාතිවාදී කෝලහාලය නිසා ලංකාවේ දෙමළ ජනයා බුරුතු පිටින් රට ගියහ. ජේආර් පාලනය, ඒ සඳහා පහසුකම් කෝලහාලවලට පෙර සකසා තිබුණි. රටින් පිටවන්නන්ට ගමන් බලපත්‍ර (පාස්පෝට්) ගැනීමේ පහසුකම එකකි. ගුවන් ගමන් පහසුකම් සැලසීම තවත් ක්‍රියාවකි. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවා එරටට දෙමළ ජනයා ගෙන ඒමට ආධාර කළාය. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන්හි නියෝජිතයෝ ජර්මනිය තුළ දෙමළ සරණාගතයින්ට පිහිට වීමට සූදානමින් සිටියහ.
ලංකාවෙන් පිට වූ දෙමළ ජනයාගෙන් හැදුණු ශ්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාව ඉන්දියාව කැඩීමේ ක්රියාවේ යෙදෙන ආකාරය, ‘බ්‍රේකින් ඉන්දියා’ ග්‍රන්ථය පෙන්වා දෙයි. මේ ඇත්ත වටහාගත් නරේන්ද්‍ර මෝදිගේ පාලනය, කොටින්ගේ ඉන්දියාව කැඩීමේ පාර වෙනස් කර තිබේ.
මාලිමා ආණ්ඩුව හොරුන් සෙවීමේ වෑයමක් පෙන්වමින් සිටියි. මහජනයාගේ අවධානය ඒ ගැන යොමුවද්දී උතුරේ හමුදා බලය දුර්වල වේ. බෙදුම්වාදියෝ මහවිරු සැමරුම් පවත්වති. ඒ ගැන අසන මාධ්‍යකරුවෙකුට, ‘තමන්ගේ මියගිය නෑයින් සිහිකිරීමේ හැකියාව රටේ වැසියන්ට ඇතැ’යි ඇමති දොස්තර ජයතිස්ස සහෝදරයා පිළිතුර ලෙස කීවේය. මෙවැනි උත්තරවලින් කරන්නේ ආඳුන් මෙන් ලිස්සා යෑමයි.
බෙදුම්වාදීන්ට ඉඩ දෙන රජය, ජාතිවාදය හා ආගම්වාදය මඩින මුවාවෙන් සිංහල බෞද්ධයා දුර්වල කිරීමේ වැඩපිළිවෙළක නියැළී සිටින බව ඉතා පැහැදිලිය. අනුර දිසානායක සහෝදරයා රාජාසන කතාවේදිත් මේ බව කීවේය.
ඉන්දියාවට හානිදායක දේ කළ ඕනෑම පුද්ගලයෙකු ඉන්දියාවට දේශද්‍රෝහියෙකි. බාඩා කල්ලියට සම්බන්ධ පුද්ගලයින් ජර්මනියට ත්‍රස්තවාදියෝ වෙති. ඔවුන්ට මියගියවුන් සමරා උත්සව පැවැත්වීමට නොහැක. වනසා දැමූ කළු ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධව සිට මියගිය පුද්ගලයින් සිහි කෙරෙන උත්සව පැවැත්වීමට ඇමරිකාවේ ඉඩක් නොලැබේ. චීනය, රුසියාව වැනි රටවලින්ද මෙවැනි සාක්කි පෙන්විය හැක.