Last Updated on 2 weeks by admin
කවුඩංගොල්ලේ මහවිදානෙ

Pic. credit: thebookseller.com © shutterstock
කාලයකට පෙර ඉස්කෝලෙ මහත්තයා ‘කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරයි’ යනුවෙන් කළුලෑල්ලේ ලියා, ‘තොපිත් ලියාගනියව්’ කීවේය. එදා පටන් මම කියවන්නෙකු වූයෙමි. සම්පූර්ණ මිනිහෙකු වීම වැළකුණේ පසුගිය මැතිවරණ සමයේ දේශපාලන සංවාදයක පැටලුන අවස්ථාවක ප්‍රතිවාදියෙකු මගේ දත් දෙකක් ගැළවීමෙනි.
විප්ලවවාදීහු පසු නොබසිති. මම බොරු දත් වහල්ලක් දාගෙන අංග සම්පූර්ණ මිනිහෙකු බවට පත් වී ඒ බව කියන්නට චිත්ත ප්‍රීතියෙන් යුතුව මායියා ඉදිරියට ගියෙමි.
‘ඒ වුනාට අනේ ඉස්මුදුන පිටිපස්සේ තට්ටෙනෙ.’ කී ඈ හක හකගා හිනැහෙන්නට වූවාය.
ඒ එක්කම මගේ හිතට මාර හිතුවිල්ලක් ආවේය. ඒ, කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකු කරයි නම්, ලිවීම මිනිසාට මොකක් කරනු ඇත්ද යන්නයි. මම ලියන්නට පටන් ගතිමි. ඒ වැඩේ නම් ලේසි නැත. දැනට මිටි බඳින ලද කඩදාසි ගෝනි 3ක් දරමැස්සේත්, 4ක් පිළිකන්නේ අගුව උඩත් තිබේ.
‘මොන කෙහෙම්මලකට මේවා එකතු කරනවාද මන්ද? අඩුගානේ බෑග් ටිකක් වත් අලවලා කීයක් හරි හොයාගන්ඩ හිතුවොත් නරකද?’. පිළිකන්න පැත්තටත් දරමඩුව පැත්තටත් යන වාරයක් ගානේ මායියා බටනළාව වයයි.
ඇය මොනාව කිව්වත්, උණහපුළුවාට උගේ පැටියා මැණිකකි.
මේ අතර භයානක දෙයක් සිදු විය.
‘ඔය ලියන වැඩේ නං එච්චර හොඳ වෙන පාටක් නෑ. ලියන මිනිස්සුන්ට මොළේ කුඩා වෙන ලෙඩක් හැදෙනව වගේ.’ මායියා කීවාය.
ලියමින් හිටි මා ගැස්සී පෑනත් වීසි විය.
‘කවුද කිව්වෙ? කොහෙද තිබුණෙ?’
‘වෙන කොහෙන්ද අනේ මට ඕවා එන්නෙ. බුකියෙන් මිස?’
‘කෝ බලන්ඩ?’ මම ඇගේ ටැලිපෝනයට එබුණෙමි. ඈ මට මුහුණුපොතේ පෝස්ටුවක් පෙන්නුවාය.
‘කෝ එහෙම මොකවත් මෙතන නෑනෙ. මේ වෙන ජරමරයක්නෙ.’
‘ඒක තේරුම් ගන්ඩ මොළේ ඕනැ.’
මම මායියාගේ ඉහේ හිට පතුල දක්වා ක්ෂණයකින් බැලුවෙමි. කට ඇර දත් ඇඳි දෙකත් පරීක්ෂා කළෙමි. කොණ්ඩය කළුය. දිගය. දත් සියල්ල තිබේ. ඒ ගැන නම් ඇය මට ස්තුතිවන්ත විය යුතුය. නියපිටින් ගිය තුවාල කැළලක් ඇගේ ඇඟේ නැත. හම, කහ ගැහුණු ගස්ලබු ගෙඩියක පොත්ත වගේය. ඇය සම්පූර්ණ ගැහැණියකි. එවැනි කෙනෙකු කියන දෙයක් ගැන මීට වඩා ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය.
පෝස්ටුව, පොත් එළිබස්සන්නන්ගේ සංගමයට ඔච්චමට මෙන්, ‘අනිච්චේ දුක්ඛේ’ එළිබස්සන්නෝ ආයතනයේ පොලුමංකඩ දැමූ එකකි.
අනිච්චේ දුක්ඛේ අත්පිටපත් සම්මාන ලැබූ හෝ නිර්දේශිත කිසිම පොතක්, තම සංගමයේ ‘තබක්ක පුස්තක’ සම්මාන සඳහා සලකා බලන්නේ වත් නැතිව පැත්තකට දාන්නට එළිබස්සන්නන්ගේ සංගමය ගත් අත්තනෝමතික තීරණයට විරෝධය පාන ලියන අප්පුලා, තම පොත් තබක්ක පුස්තක සම්මාන උළෙලට ඉදිරිපත් කරන්නට එපා යැයි කියා තමාට දන්වා එවා ඇතැයි පොලුමංකඩ කියයි. එසේ දන්වා එවා ඇත්තේ පොඩි පහේ අයත් නොවේය. ආචාර්ය මහාචාර්යාදී පඬිවරුය.
ඒක දැකීමෙන් මගේත් ඇඟේ මයිල් කෙලින් විය. හිතට ලොකු වීරියක් ආවේය.
‘මමත් ලියනවා ලියුමක් මම ලියමින් ඉන්න අත්පිටපත අනිච්චේ දුක්ඛේ තරගයට ඉදිරිපත් කරනවා, ඒක තේරිලා මුද්‍රණය කළාම එළිබස්සන්නන්ගේ සංගමේ සම්මාන උළෙලට සලකා බලන්න එපා කියල. මේ වගේ අත්තනෝමතික වැඩවලට අපි එකහෙළාම විරෝධය පාන්ඩ ඕන. එකෙන්ම.’
එසේ කියමින් මා බඩගෙඩියට උඩින් ඇති ලෑලිකෑල්ල පුම්බන්නට උත්සාහ කළත් වහාම ක්‍රියාත්මක වී කඩාවැටෙන්නට ගිය සරම අල්ලා ගන්නට සිදු විය.
‘අත්තනෝමතික කියන්නෙ මොකක්ද?’ මායියාගේ කටඅඬ අමුතුය.
මම වහාම පොත් රාක්කය පැත්තට හැරුණෙමි.
‘ඕකට සද්දකෝස ඕන නෑ. අත්තනෝමතික කියන්නෙ තමන්ගෙ තනි කැමැත්තට වැඩ කරනවට. එළිබස්සන්නන්ගේ සංගමේ තමන්ගෙ කැමැත්තට මිස වෙන කාගෙ වත් කැමැත්තටද වැඩ කරන්ඩ ඕන?’
‘ඔයා කියන්නෙ එළිබස්සන සංගමේ දාලා තියෙන මේ පොත් තහංචිය හරියි කියලද?’
‘නෑ අනේ. ඒක වැරදි වැඩක් කියල අපේ පූසත් කියයි.’
‘එහෙනං දැං මොකද්ද ඔයා….?’
‘මෙහෙමනෙ අනේ….. සංගමේ ලේකම් හරි සභාපති හරි, සංගමයේ සාමූහික තීන්දුවකට පිටින් තනි කැමැත්තට මේ තීරණය අරගෙන නම්, ඔන්න කියන්න පුළුවන් ඒක අත්තනෝමතික වැඩක් කියල. මේ තීන්දුව අරන් තියෙන්නෙ සංගමය. ඒ වගේ දේකට අත්තනෝමතික කියන වචනෙ යොදන එක වැරදියි කියලයි මං මේ ඔයාට තේරුම් කරන්ඩ හදන්නෙ.’
‘අප්පට සිරි…. ඔයා මෙච්චර සාහිත්‍යකාරියක් කියලා මං දැනගෙන හිටියෙ නෑනෙ.’
‘මට ජපානෙ ඉකේයා විශ්වවිද්‍යාලෙ පරමානු බල හා න්‍යෂ්ටික විද්‍යා අධ්‍යයන අංශෙන් සිංහල සාහිත්‍යයට පීඑච්ඩී එකකුත් තියෙනව. ඒත් සහතිකේ තැපැල් කන්තෝරුවෙදිම මීයො කාලා. ඉතිං මං ඒක කාටවත් කිව්වෙ නෑ. සහතිකේ අතේ නැති නිසා.’
‘අපි ජලින්ද නයතිස්සට කියා සහතිකේ ගෙන්නා ගමු දැ’යි අහන්නට සිතුනත් කරබාගෙන හිටියෙමි.
‘හැබැයි ඔන්න පඬිතුමාලා නම් කරලා තියෙන්නෙ අත්තනෝමතික වැඩක් කියල කීවට වරදක් නෑ.’
‘ඒ කොහොමද?’
‘එළිබස්සන්නන්ගෙ සංගමේ මේ තීන්දුව බලපාන්නෙ පඬිතුමාලා දෙතුන් දෙනෙකුට විතරද?’
‘නෑ.. මුළු රටේම සාහිත්‍යයට…. කොටින්ම මේ මට පවා බලපානවානෙ.’
‘ඔව්. එතකොට, පඬිතුමාලා අනික් ලියන අප්පුලාගේ ලියන මැණිකෙලාගෙ අදහස් විමසන්නෙ නැතිව, එහෙමත් නැතිනං ලියනප්පුලාගෙ සංගම් රැස් කරලා…..’
‘එහෙම සංගම් දැන් තියෙනවද?’
‘චන්දෙට කලින් නම් තිබුණා. හරි, එහෙම ඒවා නැතිනම්, අලුතින් රැස්වීමක් කැඳවලා කට්ටිය සාකච්ඡා කරලා තීන්දුවක් අරගෙන නේද සුදුසු ක්‍රියාමාර්ගයකට යන්ඩ තිබුණෙ?’ එහෙම නේද පඬිවරු වුනාම වැඩ කරන්ඩ ඕන?’
මායියාගේ නුවණ හැඳි මිටට වඩා දිග බව දැනේ.
‘ඒක අත්තනෝමතික වැඩක් නෙවෙයිද?’
‘ඒ වගේ තමයි.’
‘අනික මොකටද ඒ ලියුම පොලුමංකඩට යැවවෙ? එළිබස්සන්නන්ගෙ සංගමේට එපැයි යවන්න.’
‘ඔව්… ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා තමයි නේද?’
‘පඬිතුමාලාට තිබුණෙ මේ ගැන ජාතික මට්ටමේ සාකච්ඡාවක් පටන් ගන්න. එළිබස්සන්නන්ගේ සංගමයට කරුණු පහදලා මේක නිවැරදි කරවන්ඩ. ඒ මොකවත් නැතිව මෙයාලත් එකට එක කරන එක වැරදියි. බැලුවාම දෙගොල්ලම එකයි. එළිබස්සන්නන්ගෙ සංගමේ නං ඉන්නෙ වැඩි දැන උගත්කමක් නැති මුදලාලිලා කියලා අපි හිතමුකො. ඔය සමහරු එහෙමනෙ කියන්නෙ. ඒ මිනිස්සුන්ට තේරෙන විදියට තීන්දුවක් ගත්තා කියමුකො. ඒකෙ හරි වැරැද්ද තේරුම් කරලා දෙන්ඩ ඉන්න අය ඊටත් එහානෙ අනේ…. ඔයා පොඩ්ඩක් බලන්ඩකො අනේ මේ විනිල් සුජේවිරිවර්ධන පඬිතුමාගෙ ලියුම..’ ඇය ඔලොක්කු හිනාවක් පාමින් ටෙලිපෝනය දිගු කළාය.
මම ඒ ලියුම කියවාගෙන ගියෙමි.
‘ව්‍යාකරණ දෝෂ, අකුරු වැරදි වගේ අවුල් කීපයක් තියෙනවා නේද?’ මම ඇඟ බේරාගැනීමට සුදුසු වාක්‍යයක් ගැටගැහුවෙමි.
‘ඊට එහා දෙයක් අහුවුනේ නැද්ද?
මම ඔළුව කසමින් ටෙලිෆෝනය දිහා බලාගෙන හොරගල් ඇහුලුවෙමි. මා දැන් ලේඛකයකු නිසා අනුන් ලියන ඒවා එච්චර උනන්දුවෙන් කියවන්නේ නැත. මායියා ටෙලිෆෝනය උදුරා ගත්තාය.
‘මේ බලන්ඩකො පොර ලියනවා, ‘කොටින්ම තබක්ක පුස්තක ඒ තරම්ම තබක්කද? යන ප්‍රශ්නය මහජන අවකාශය තුළ ගිගුම් දෙන්නට නියමිත නිසාය.’ කියල.
‘මහජන අවකාශය තුළ ගිගුම් දෙන්නට නියමිත නිසාය’ යන්න කීප වරක්ම මුමුණමින් මම එය තේරුම් ගැනීමට උත්සාහ ගත්තෙමි. පොඩි අඤ්ඤකොරොස් තත්වයකි.
‘පව්….’ මායියා කීවේ ඇත්තටම දුකෙන් වගේය.
‘පඬිතුමාටද?’
‘නෑ සේරටම..’
‘ඇයි ඒ?’
‘මේ පඬිවරු තමයි සාහිත්‍ය ලෝකෙ පොරවල්. උන්නැහැ සාහිත්‍ය සම්මාන මණ්ඩල සාමාජිකයෙක්. විචාරකයෙක්. කවියෙක්. ලේඛකයෙක්. නාට්‍ය රචකයෙක්, සේරටම හපන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්..
‘ඉතිං….’
‘ඉතිං කියන්නෙ, මේ වගේ අප්පල පය ගහල ඉන්න ක්ෂේත්‍රවලට යන කලදසාව ගැන තමුසෙට තේරෙන්නෙ නැද්ද හැබෑටම?’ මායියාගේ හඬ එන්න එන්නම උච්ඡ වෙන පාටය.
‘අනික මේ බලන්ඩ… පොලුමංකඩ මේ කරන වැඩේ. ලියන අප්පුලා තමන්ගේ පොත් තබක්ක පුස්තක සම්මානවලට දාන්න එපා කියලා දැන්නුවා කියලා පොස්ට් දානව. ඒ මදිවට ඒවා අනික් ලියන අප්පුලාටත් කියලා අරිනවලු මැසෙන්ජරෙන්. ඒක හරියට අර නාළාගිරියට රා පොවනවා වගේ වැඩක්නෙ.
‘ඒ කිව්වෙ?’
‘දැන් ඕවා දැක්කාම පොලුමංකඩ ළඟ පොත් ගහන සෙට් එක කලබල වෙනව. තබක්ක පුස්තකේට පොත් දෙන්න එපා කියලා නොකියා හිටියොත් එයාලා කැපෙයි කියලා හිතෙනව. ඉතිං පෝලිමට ලියුම් ලියන්ඩ ගන්නව. මේකත් අනියමින් පුද්ගලික නිදහසට බලපෑම් කිරීමක් වගෙයි මට නම් තේරෙන්නෙ.’
‘ඕකෙන් නිකං ලියන අප්පුලා අතින් නොකියා කියවෙනවා නේද අපිට සම්මාන ඕන කියල.’ මටත් දාර්ශනික අදහසක් වගේ එකක් පහළ විය.
‘ඒ කොහොමද?’ පළවෙනි වරට මායියා පරාජය පිළිගත්තාය.
‘ඒකට මොළේ ඕනැ.’ ඉඩ ලද තැන මමත් ෂොට් එකක් දුන්නෙමි.
‘මං කිව්වෙ ඇත්ත නෙමෙයිද? ලියන මිනිස්සුන්ට කල් යද්දි මොළේ කුඩා වෙන ලෙඩක් හැදෙන බව තේරෙන්නෙ නැද්ද, මේවා අහද්දි දකිද්දි?’
මම වීසි වී ගිය පෑන අහුලා ගත්තෙමි.
‘ලියන්නෙ එහෙම නෑ ආයෙ කිසි දෙයක්. ඔයාගෙත් මොළේ කුඩා වෙන්ඩ පුළුවන් ඔහොම ගියොත්.’
මෙතෙක් කවදාවත් මගේ ලේඛන වැඩවලට බාධා කර නැති මායියා සැර දැම්මාය.
‘නෑ මං මේ හැදුවේ ලියන එක නැවැත්තුවා කියලා ලියන්ඩ. මං හිතුවා මගේ ලේඛක ජීවිතයේ අවසාන වාක්‍යය මෙහෙම ලියන්ඩ. බිරිඳගේ කීම අසා ලේඛන කලාවට සමුදෙන්න තීරණය කළ අසහාය ලේඛකයකු වශයෙන්…’
‘ලේඛන කලාවට සමුදෙන්න? ඔයා කොහෙද අනේ කලාත්මක දෙයක් ලියලා තියෙන්නෙ?’
‘හරි එහෙම නං ලේඛන වෘත්තියට කියල පොඩි සංශෝධනයක් කරමු.
‘ඔයා ලියපු දේකින් එක සත පහක් හම්බ කරලා තියෙනවාද, ලේඛන වෘත්තියට සමුදෙන කතා ලියන්න?
‘එහෙනං අපි මොකක්ද එතෙන්ට දාන වචනේ….?’
‘කඩදාසි ගෝනි ගණන් ලිව්වා කියලා ලේඛකයෙක් වෙන්ඩ පුළුවන්ද අනේ? මොන කොහෙම්මලක්වත් ලියන්ඩ ඕන නෑ. ඔච්චරම ලියන්ඩ ආසා නං මට අර පළා ටික ලියල දෙන්ඩ.’
මායියා කුස්සිය පැත්තට යන්නට හැරුණාය. මමද ඒ පැත්තට හැරුණෙමි.