Last Updated on 8 months by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
ඇල්ෆ්රඞ් හෙන්ෂ්කි – එමිල් ඕලික්ගේ සිතුවමක් (1915).
බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව පැහැදිලි කරන හුනුවටයේ විනිශ්චය අඩංගු ‘පුත්‍ර ප්‍රශ්නය’ සහ යුදෙව් රටේ සාලමොන් රජුගේ ප්‍රඥාව හෙළි කරන බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ අඩංගු කතාව අසමාන ආගමික ග්‍රන්ථ දෙකක ඇති සමාන කතා දෙකකි. මෙය සිදුවූයේ කෙසේදැයි වටහාගත හැක්කේ කාශ්මීර හා යුදෙව් ඉතිහාස හැදෑරීමෙන් පමණි. එය මේ ලිපියට අදාළ කාරණයක් නොවේ. ජාතක කතා චීනය සහ අපරදිග ලෝකයේ බොහෝ රටවලට දැනගන්නට ලැබී ඇත්තේ කාශ්මීරයේ භික්ෂුන් වහන්සේගෙන් බව මෙහි සඳහන් කරමු. ඈත අතීතයේ සිට කාශ්මීරයේ යුදෙව් ගම්මාන පැවතුන බව කාශ්මීර ඉතිහාසකරුවෝ පැහැදිලි කරති. එසේම කාශ්මීරයෙන් සහ සිංහල දේශයෙන්, ඇලෙක්සැන්දර් අධිරාජයාගේ ඉල්ලීම පරිදි, ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයට ජාතක පොත් පරිත්‍යාග කෙරුණු බවට ඓතිහාසික සාක්ෂ්‍යද තිබේ.
ශ්‍රව්‍ය හා දෘශ්‍ය කාව්‍යයන් වශයෙන් හෝ ප්‍රතිමා සිත්තම් හැටියට හෝ ජාතක කතා මහජනයාට ඉදිරිපත් කිරීම බෞද්ධ කලාවේ අතීත ලක්ෂණයකි. මහජනතාවගේ ප්‍රඥාව විකසිත කිරීම බෞද්ධ කලාවේ මූලික පරමාර්ථය වූයේය. බෞද්ධයින් මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය වටහා ගත්තේ ජාතක කතා ආධාරයෙනි. ජාතක කතා නාට්‍ය ලෙසින් ඉදිරිපත් කිරීමට පටන්ගත් පසුව බණ ඇසූ ජනයාට ජාතක කතා නරඹන්නට අවස්ථාව ලැබුණි.
ජාතක නාට්‍ය රඟදැක්වීම බෞද්ධ රටවල පැවති පොදු සිරිතකි. මෙම සිරිත චිරාත් කාලයක් මුළුල්ලේ ලංකාවේද පැවතුණි. සිංහල බෞද්ධයන් නොදැනුවත්වම එහි අවසානය සිදුවූයේ නාඩගම් නිෂ්පාදනය කිරීමේ ජාතික සම්ප්‍රදාය උගතුන් අතට පත්වීමෙනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මනමේ ශෛලීගත නාට්‍යය වේදිකාගතකිරීම නාඩගම් කලාව උගතුන් අතට පත් වූ අවස්ථාවයි. මෙයින් පසුව ශෛලීගත නාට්‍ය මිස නාඩගම් නිෂ්පාදනයක් සිදු නොවිණි.
භාරතයේ බුදුසසුන නැතිව යාමත් සමග ඊට අයත් හැම දෙයක්ම නැති විය. චීනයේ මෙවැන්නක් සිදු නොවීය. එහි විහාර භූමි තුළ නාට්‍ය පෙන්වීම සඳහාම ගොඩනැංවූ නාට්‍යාගාර අදටත් ආරක්ෂා වී පවතී. ජර්මනිය පෙරදිග ශාස්ත්‍රඥයින් බිහි කළ රටකි. යටත් විජිත සමයේ ඔවුන් අතරින් සමහරෙක් චීනය ගැන සෙවූහ. චීනයේ නාට්‍ය කලාව ගැන දැනගත් ක්ලවුබුන්ග් නමැති ජර්මන් ජාතික නාට්‍ය නිෂ්පාදකයා දෙවන ලෝක යුද්ධයට පෙර හුනුවටයේ කතාව Die Kreiderkrest නාට්‍යය බර්ලින් වේදිකාවේ ඉදිරිපත් කළේය.
නාසිවාදින් බලවත් වෙද්දී ජර්මනියේ විසූ යුදෙව්වන් මෙන්ම ඔවුන්ට උපකාර කළ ජර්මන් ජාතිකයින් සෑහෙන පිරිසක්ද රටින් පිටවූහ. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්, දේශපාලන රැකවරණ සොයා ඇමෙරිකාවට ගිය ජර්මන් නාට්‍ය නිෂ්පාදකයෙකි. ඔහු ඇමෙරිකාවේ විසූ සය වසරක කාලයේ දී බ්‍රෝඩ්වේ සමාගමේ ආධාරය ලබාගෙන හුනුවටය නාට්‍යය වේදිකාගත කළේය.
දෙවන ලෝක සංග්‍රාමය අවසන් වූයේ ජර්මනිය පරාජය වී රට කොටස් දෙකකට බෙදී යාමෙනි. නැගෙනහිර ජර්මනිය හා නැගෙනහිර බර්ලිනය සෝවියට් කඳවුරට අයිති කොමියුනිස්ට් රටක් වූයේය. බ්‍රෙෂ්ට් රහසිගතව රුසියානු මාක්ස්වාදින් සමග සම්බන්ධ වී කටයුතු කරන බව දැනගත් ඇමරිකානු පොලිසිය එවැනි කටයුතුවල යෙදෙන්නන් ගැන සොයා බැලූ කොමිසම ඉදිරියේ පෙනී සිටින්නැයි බ්‍රෙෂ්ට් කැඳවූවේය. ඔහු වහා රටින් පිටවී ස්විස්ටර්ලන්තයට ගොස් එතැනින් නැගෙනහිර ජර්මනියට ගියේය. බර්ලින් නාට්‍ය පර්ෂදය නමින් සංගමයක් පිහිටුවා ගත් ඔහු ‘කොකේෂියානු හුනුවටය’ නාට්‍යය වේදිකාගත කළේය.
බ්‍රෙෂ්ට් මේ මගින් කොමියුනිස්ට්වාදය ප්‍රචාරය කිරීමට සම්බන්ධ වූයේය. ඒ නාට්‍ය කතාව දේශපාලනීකරණයට ලක් කිරීමෙනි. හුනුවටයේ කතාවෙන් භූමියට හිමිකම් කියන පාරම්පරික උරුමක්කරුවන් හෙවත් ‘වැඩවසම් සමාජය’ සහ කොමියුනිස්ට් විප්ලවයෙන් බිහි වූ සාමූහික ගොවිපොළ ක්‍රමය නියෝජනය කරන්නන් අතර ගැටුමක් ඉදිරිපත් වේ. මෙය පන්ති දෙකක් අතර සිදුවන අරගලයකි. පහත දැක්වෙන්නේ, හෙන්රි ජයසේන පරිවර්තනය කළ හුනුවටයේ කතාව පෙළ පොතේ උපුටනයකි.
ද. පස- මහල්ලා: “මේ මිටියාවත හැමදාම අපට අයිතිවෙලා තිබුණෙ”
ව. පස- සොල්දාදුවා: “මොකක්ද ඒකෙ තේරුම? හැමදාම දෙයක් කාටවත් අයිති වෙන්නෙ නෑ. හැමදාම? ඔහෙ තරුණ කාලෙ තමා තමන්ටවත් අයිතිවෙලා හිටියෙ නෑ. කස්බෙක් කුමරුන්ට අයිතිවෙලා හිටිය මිසක්.
කොකේෂියන් චෝක් සර්කල්’ නාට්‍යය නිපදවීමෙන් බ්‍රෙෂ්ට් ලැබුවේ කීර්තිය පමණක්ම නොවේ. ධනයද ඉපයුවේය. ඔහු කැඳවූ සෝවියට් නායකයෝ ඉහළම සම්මාන හා මුදල් පිරිනමා ඔහු ගෞරවයට ලක් කළහ. ඔහු ලැබූ ස්ටාලින් තෑග්ගේ වටිනාකම ඩොලර් ලක්ෂ පහකි.
බ්‍රෙෂ්ට්, නාට්‍ය කලාව ධනය හා කීර්තිය උපයා ගැනීමේ පහසු මගක් කරගත් කලා ව්‍යාපාරිකයෙකි. නාට්‍ය නිෂ්පාදනයෙන් ඔහු තරම් ධනය සෙවූ පුද්ගලයෙකු ලෝක ඉතිහාසයේ තවත් නැත. බ්‍රෙෂ්ට් උපයන මුදල් ස්විස් බැංකුවක තැන්පත් කළේය. ඔහුගේ පුතා ඇමරිකාවට සංක්‍රමණ වී සිටියේය. බ්‍රෙෂ්ට්ගේ මරණයෙන් පසුව ඒ මුදල් ඔහුට ලැබුණි.
බ්‍රෙෂ්ට් ලෝක ප්‍රසිද්ධ මාක්ස්වාදී නාට්‍යකරුවා වන විට ඇමරිකාවෙන් බ්‍රෙෂ්ට් ගැන සොයා බැලූ ආකාරය පැහැදිලි නැත. නමුත් ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ෆෙඑජි, බ්‍රෙෂ්ට් නාට්‍යකරුවාගේ ඉතිහාසය සොයා ‘Sex Politics and making of the Modern Drama’ මැයෙන් විශාල පර්යේෂණ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය. බ්‍රෙෂ්ට් කළ හැම වංචාවක්ම එහි අඩංගු වේ. බ්‍රෙෂ්ට් දරුණු ගණයේ නාට්‍ය පිටපත් සොරෙකු බව ෆෙඑජි පැහැදිලි කර දෙයි.
රූත් බර්ලාවු, මර්ගරේට ස්ටෙෆින්, එලිසබෙත් හැම්ප්ට්මන් නමැති කාන්තාවන් තිදෙනාගෙන් ලිංගික ප්‍රයෝජන ලැබූ බ්‍රෙෂ්ට් කිසිම මුදලක් නොගෙවා ඔවුන් ලවා නාට්‍ය කතා ලියවාගත් බව මෙම පොතෙන් හෙළිකෙරේ. මහාචාර්ය ෆෙඑජි පෙන්වාදෙන පරිදි, කොකේෂියානු හුනුවටයේ කතාව බ්‍රෙෂ්ට් නාට්‍ය සමාගමේ සාමාජිකාවක වූ රූත් බර්ලාවුගේ නිර්මාණයකි. රූත් එහි පෙළ සකස් කර ඇත්තේ ඇයගේද මිතුරෙකු වූ ක්ලවුබුන්ග් නම් නාට්‍ය ශිල්පියා, චීනයේදී දුටු ‘හුනුවටයේ කතාව’ නාට්‍යය ඇසුරින් නිර්මාණය කළ ‘චෝක් සර්කල්’ නාට්‍යයෙන් ආස්වාදය ලබමිනි. ක්ලවුබුන්ග් චීන නාට්‍ය පිළිබඳව ගවේෂණය කළ පුද්ගලයකු බව ඉහත සඳහන් කෙරිණි. ක්ලවුබුන්ග් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ මහාචාර්ය ෆෙඑජි පවසන්නේ, ක්ලවුබුන්ග් වඩාත් කනගාටු වී ඇත්තේ, බ්‍රෙෂ්ට්, හුනුවටයේ කතාව නාට්‍යය සොරකම් කිරීම පිළිබඳව නොව තම නාට්‍ය රීතිය සොරකම් කිරීම පිළිබඳව බවයි. එය බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය රීතිය පිළිබඳව උනන්දු වන්නන්ගේ අවධානයට ලක්විය යුතු කතාවකි.
බ්‍රෙෂ්ට්ට පෙම්බැඳි රූත්, ඔහු නිසා දරුවකු ලැබුවාය. හුනුවටයේ නාට්‍යයේ කාන්තාවන් දෙදෙනකු ඉල්ලා සිටින දරුවා රූත්ගේ පුත් මයිකල් බව ෆෙඑජි පෙන්වා දෙයි.
කොකේෂියානු හුනුවටය නාට්‍යයේ කතාව පාඨකයාගේ ප්‍රයෝජනය සඳහා ඉතාම කෙටියෙන් ඉදිරිපත් කළොත් මෙසේය: කොකේෂියාවේ ඇතිවූ යුද්ධය සමයේ ප්‍රදේශ ආණ්ඩුකාරයෙක් සතුරු හමුදාවෙන් බේරී රටින් පලා ගියේය. බියෙන් හා කලබලයෙන් කටයුතු කළ ඔහුගේ මෙහෙසිය නටෙල්ලා තම දරුවා – මයිකල් මාළිගාවේ දමා සැමියා සමග පලා ගියාය. මුළුතැන් ගෙයි සේවිකාව ගෲෂා අනාථ වූ මයිකල්ට මව වූවාය. ඈ මයිකල්ව ආරක්ෂා කරගෙන හදාවඩා ගැනීමට අප්‍රමාණ දුක් ගැහැට වින්දාය. යුද්ධය නිම විය. ආණ්ඩුකාරයා සහ මෙහෙසිය ද නැවත පැමිණියහ. ඔවුන්ගේ සොල්දාදුවන් පිරිසක් ගොස් ගෲෂා භාරයේ සිටි මයිකල් පැහැරගෙන ආහ. නටෙල්ලාට මයිකල් ආපසු දීමට ගෲෂා කැමති නොවූවාය.මේ ආරාවුල රජතුමාගේ අධිකරණයට ඉදිරිපත් වූයේය. නඩුව විනිශ්චය කළේ අපක්ෂපාතී අනුකම්පා විරහිත විනිසුරුවකු වශයෙන් ප්‍රසිද්ධිය ලබා සිටි අස්ඩෙක්ය.
අස්ඩෙක් අධිකරණ ශාලාවේ හුනුවටයක් අන්දවා ඒ මැද දරුවා තබා තමා වෙත ඇදගෙන හිමිකරගන්නා ලෙස කාන්තාවන් දෙදෙනාට නියම කළේය. දරුවා ඇදගන්නා කාන්තාවට ඔහු හිමිවන බව ඔහු පැවසුවේය. “දරුවා මරා දමන්න බෑ. නටෙල්ලාට දෙන්න.” ගෲෂා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියාය. දරුවාගේ හිමිකාරිය ගෲෂා බව විනිසුරු තීන්දු කළේය.
හෙන්රි ජයසේන, බ්‍රෙෂ්ට්ගේ හුනුවටය නාට්‍යය සිංහලෙන් නිෂ්පාදනය කිරීමෙන් පසුව බ්‍රෙෂ්ට් හා ඔහුගේ දෘෂ්ටිය පිළිබඳ නොයෙකුත් විචාර පොත්පත් ලංකාවේ ලියවුණි. ඒ විචාර වැඩිම ප්‍රමාණයක් දේශපාලන ප්‍රචාරක ලියවිලි වශයෙන් සැලකීමට සිදුවේ. නිදසුනක් දක්වතොත්, ‘බ්‍රෙෂ්ට් පරම සතුරකු වශයෙන් සැලකූ හිට්ලර්, ඔහු අල්ලා ගැනීමට සෑම උපායක්ම යෙදූ බව එක් විචාරකයෙක් සඳහන් කර තිබේ. බ්‍රෙෂ්ට් නමැති නාට්‍යකරුවෙකු ගැන හිට්ලර් දැන සිටි බවක් හෙළිකෙරෙන කිසිම සාක්ෂ්‍යයක් නැත. බ්‍රෙෂ්ට් දෙවැනි ලෝක සංග්‍රාමයට පසු කාලයක ප්‍රසිද්ධ වූවෙකි.
‘කොකේෂියන් චෝක් සර්කල්’ ගුණධර්ම කණපිට පෙරළුණු සමාජයකින් බිහි වූවක් වශයෙන් හැඳින්වීම තවත් අසත්‍ය කතාවකි. හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ හුනුවටයේ නාට්‍යයෙන් සිංහල සමාජයට විපතක් සිදු විය. ඊට එක හේතුවක් හුනුවටය ජාතක කතාවක් විකෘති කිරීමෙන් කළ නාට්‍යයක් වීමයි. ඉතා දීර්ඝ කාලයක් අ.පො.ස. උ. පෙළ නිර්දිෂ්ට ග්‍රන්ථයක් වශයෙන් හුනුවටය පාසල්වල භාවිත කිරීම තවත් විපතකි. එයින් ඉදිරිපත් කරන්නේ සිංහලයන්ගේ ජාතික දර්ශනයට හාත්පසින්ම පටහැණි භුමිය පිළිබඳ දර්ශනයකි. ඒ පිළිබඳව අපි මතු දිනෙක කතා කරමු.
2018 දෙසැම්බර් 09 ඉරිදා අරුණ පුවත්පත