බුද්ධ ශාසන ඇමතිට විරේක බේතක්

Last Updated on 10 hours by admin

බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ඇමති, සහෝදර මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ඇමතිවරයකු වන්නට පෙර යූටියුබ්කරුවකු සමග කළ සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ.

මහාචාර්යවරයා, හිනිදුම කල්වාරිය තැනුවේ තම පියා බවත් පල්ලියට අල්ලපු වත්තේ වාසය කළ තම පවුල පල්ලිය සමග දැඩි සම්බන්ධයක් තිබුණ බවත් කියයි. අදටත් නත්තලට ගවලෙන් සෑදීම මහාචාර්යවරයා පුරුද්දක් වශයෙන් කරන්නේලු. ඔහු පවසන පරිදි, එකල බෞද්ධයන් හා කිතුනුවන් අතර කිසිදු ගැටුමක් තිබී නැත. ප්‍රදේශයට අවශ්‍ය වඩු, මේසන්, බාබර්වරුන් වැනි වෘත්තිකයින් පුහුණ කර ඇත්තේ පල්ලියේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙනි. මේ නිසා ආගම් පිළිබඳව විවෘත මනසින් බලන්නට තමාට හැකියාව ලැබුණු බව මහාචාර්ය හිනිදුම සෙනවි කියයි.

සාකච්ඡාවේදී මහාචාර්යවරයා මෙන්ම යූටියුබ්කරුවාද පවසන්නේ, වර්තමානයේ ඇති ආගමික ගැටුම්, දේශපාලන අවශ්‍යතා මත නිර්මාණය වී ඇති බවයි.

සියලු ආගම්වලට අයත් ජනතාවට ගැටුම්වලින් තොරව සහජීවනයෙන් ජීවත් විය හැකි නම් එය ඉතා වටිනා දෙයකි. නමුත් අද ලෝකය පුරාම ඇත්තේ ආගමික ගැටුම්ය. කතෝලික, ඉස්ලාම්, හින්දු වැනි බලවත් ආගම් විසින් කරගෙන යන යුද්ධ නිසා බෞද්ධයන්, යුදෙව්වන් වැනි සුළු ආගමික කණ්ඩායම් අනතුරට ලක්ව සිටී. බුදු දහම මැවුම්කරුවකු නොපිළිගන්නා එකම ආගම බැවින් එය සෙසු ආගම් සියල්ලේම ඉලක්කයක් වී තිබේ. බටහිර රටවල සැලකිය යුතු ජන පිරිසක් කිතු ඇදහිල්ල ගැන අවිශ්වාසයෙන් බුදු සසුන වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබීම, බුදු සසුන මර්දනය කිරීමට බලවත් ආගම්වලට ඇති වුවමනාව තීව්‍ර කරන්නට සමත්ව තිබේ. මේ අවබෝධයෙන් තොරව ආගමික සහජීවනයක් ගැන කතා කිරීම සම්පප්‍රලාප දෙඩීමකට සමානය.

මහාචාර්ය සෙනෙවිගේ ගම හිනිදුමය. එයින් කිලෝ මීටර් 40ක් පමණ දුරින් බද්දේගම පිහිටා තිබේ. බද්දේගම නාමය ඇසුණු සැණින් ඉතිහාසය දන්නා අයට සිහිවන්නේ බද්දේගම වාදයයි. බෞද්ධයන්ට එරෙහි කිතුණු ප්‍රහාර ඉවසන්නට බැරිම තැන භික්ෂුන් වහන්සේ කිතුණුවන් හා වාදකිරීම ආරම්භ වූයේ, බද්දේගමිනි. බෞද්ධයන්ට එරෙහි අවලාද ප්‍රහාරවල අරමුණ වූයේ, බුදුදහම ගැන ජනතාව තුළ අවිශ්වාසයක් කළකිරීමක් ඇතිකරවා ඔවුන් කිතුනු ආගමට හරවා ගැනීමයි. බුදු සසුනයට එරෙහිව මාලිමාව හා ජවිපෙ අනුගමනය කරන්නේද එම මඩගැසීමේ ප්‍රතිපත්තියමය.

බද්දේගමින් ඇරඹි වාද මාලාවේ කූඨප්‍රාප්තිය සිදු වූයේ පානදුරයෙනි. බද්දේගමවාදයටත් ඈත අතීතයේ බෞද්ධයන්ට එරෙහි මිෂනාරී කැලෑපත්තර ව්‍යාපාර පැවතියේය. ඊටත් පෙර පාවිච්චි වූයේ කඩු, තුවක්කු, කාලතුවක්කු ආදියයි. ඒවා ගැන කතා කිරීමට මෙය අවස්ථාව නොවෙතත්, ඇමතිවරයාගේ අවධානය මේ අතීතය කෙරෙහි යොමුකරවන්නේ, එයින් ‘ආගමික සහජීවනය’ ගැන යම් අවබෝධයක් ලැබිය හැකි බැවිනි.

පානදුරා වාදයෙන් පරාජයට පත් වූ කිතුනු බලවේගය බෞද්ධයන් වෙනත් ක්‍රමවලින් බිලී බෑම ඇරඹුවේය. වෘත්තීය පුහුණු පාසල් හා මරණාධාර සමිති ඒ උපක්‍රම අතරින් ජනප්‍රියම ක්‍රම දෙකකි. ඔවුන්ගේ උපක්‍රමය සාර්ථක බව සුනිල් සෙනෙවි මහාචාර්යවරයාගේ පැහැදිලි කිරීම්වලින්ම සනාථ වේ.

මහාචාර්යවරයා උගතෙකි. ලංකාව වැනි රටවල උගතුන් බොහෝමයකට ලෝකය ගැන යම් දැනුමක් ඇත. ඒ දැනුම නිසාම ලෝකයේ සිදු වන දේ නොදන්නා විදිහට හැසිරෙන උගතුන් පිරිසක්ද සිටිති. මහාචාර්ය සෙනවි ඒ කොයි ගොඩට අයත් වුවත් ලංකාවේ ආගම් අතර සමගිය ඇති කිරීමට ගත හැකි මූලික පියවර කීපයක් ඔහුගේ අවධානය පිණිස යොමු කරමු.

මහාචාර්යවරයා පළමුව පිළිගත යුතු ඇත්ත වනාහි, ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව බෞද්ධයන් වුවද, බලය යොදා ව්‍යාප්ත කිරීම නිසා ලෝකයේ වැඩියෙන් පැතිර ඇති ආගම් හමුවේ බුදු දහම යනු ඉතා කුඩා ආගමක් බවයි. ලෝකයේ කිතුනුවෝ බිලියන 2.4ක් ද ඉස්ලාමිකයන් බිලියන 1.9ක් ද හින්දූන් බිලියන 1.2ක් බෞද්ධයින් මිලියන 535ක් ද සිටිති.

2012 සංගණන වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70.2%ක් හෙවත් එක්කෝටි හතළිස්දෙලක්ෂයකට ආසන්න බෞද්ධයෝ පිරිසක් (14,272,056) සිටිති. අංක ගණිත දැනුම ඇති ඕනෑම කෙනෙකුට බෞද්ධයා කොතරම් කුඩා කණ්ඩායමක් දැයි අවබෝධ කරගත හැකිය.

කිතුණු, ඉස්ලාම්, හින්දු යන බලවත් ආගම්වලට බලවත් මූලස්ථාන තිබේ. ඒවා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉතාම විධිමත්ව සංවිධාන කරන ලද ඒවාද වේ. ලෝකය පුරාම පිහිටි සිය ආගමික ශාඛා ජාලය මෙහෙයවනු ලබන්නේ මේ මූලස්ථාන මගිනි. බෞද්ධයන්ට එවැනි මූලස්ථානයක් නැත. ශ්‍රී ලංකාවේ බෞද්ධ මූලස්ථාන ගැන කතාකරන්නට දෙයක් නැත. දේශපාලකයන් ඉදිරියේ නොනැමෙන කොඳු ඇති මහානායක හිමිවරුන් සිටියේ නම් වර්තමානයේ බුදුසසුනට මේ ඉරණම අත්වන්නේ නැත. බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති පුටුවේ වාඩි වී ටික කාලයක් යන විට ඒ ඒ ආගම්වල උෂ්ණය නිසා පුටුව කොතරම් රත්වේ දැයි ඇමතිවරයාට දැනගන්නට ලැබෙනු ඇති.

‘ආගමික කොල්ලය’ (Religious Appropriation) මේ වන විට ලෝකයේ – විශේෂයෙන්ම බටහිර රටවල උගතුන් අතර – විශාල කතිකාවක් ඇති මාතෘකාවකි. ‘ඇප්‍රොප්‍රියේෂන් යන වචනයට සිංහලෙන් අනුයෝජනය, අයිති කරගැනීම, විසර්ජනය වැනි විවිධ වචන කෝෂකරුවන් ඉදිරිපත් කරන නමුත් මෙහි නියම අරුත සාමාන්‍ය ජනතාවට වැටහෙන්නේ ‘කොල්ලය’ යන වචනය යෙදූ විටය. (Appropriation – the action of taking something for one’s own use, typically without the owner’s permission) ඇතැම් උගතුන්, තම ආගම් අතීතයේ කළ අපරාධ යටගැසීමේ අරමුණ ඇතිව වචන හා යෙදුම් පාවිච්චි කරන අවස්ථා තිබේ. කල්චරල් ඇප්‍රොප්‍රියේෂන් කතිකාව පවා එවැනි අරමුණක් ඇතිව අරඹන ලද්දක් බවට විවේචන තිබේ.

මෙහිදී බොහෝකොටම සාකච්ඡා කෙරෙන්නේ සුළු ආගමික කොටස්වල උරුමයන් බලවත් ආගමිකයන් විසින් පාවිච්චි කිරීම පදනම් කරගනිමිනි. මෙය ‘කල්චරල් ඇප්‍රොප්‍රියේෂන්’ නමැති කතිකාවේම දිගුවකි. සාමාන්‍ය ජනතාවට තේරෙන සරල බසින් පැහැදිලි කරන්නේ නම්, ‘ආගමික කොල්ලය’ යනු කිසියම් ආගමක වැදගත් අංග, වෙනත් ආගමක් හෝ ආගමක බැතිමතුන් විසින්, ඊට ආවේණික පදනම නොසලකමින්, අනවසරයෙන් පාවිච්චි කිරීමයි. කොල්ලකෑමයි. ඇතැම් උගත්තු ඊට අවශෝෂණය යන නමද යොදති.

ලෝකයේ බලවත්ම ආගම වන කතෝලික ආගමේ ශ්‍රී ලංකා මූලස්ථානය දිගු කලක් මුළුල්ලේ බුදු සසුනටම ආවේණික වූ සංස්කෘතිකාංග කොල්ලකමින් සිටී. ඔවුන් කොල්ලකෑ බෞද්ධ වචන හා සිරිත් බොහෝ තිබේ. කිතුණු පූජකවරුන්ගේ තනතුරු නාම යෙදෙන්නේ, බ්‍රදර්, ෆාදර්, බිෂොප්, ආච් බිෂොප්, කාදිනල් ආදි වශයෙනි. බ්‍රදර්, ෆාදර් යන වචන සහෝදරයා, පියා ආදි වශයෙන් සිංහලට පරිවර්තනය කළ හැකිය. නමුත් සිංහල සම්ප්‍රදායට අනුව පූජකවරයක් බඳු තනතුරක් ගෞරවණීය එකකි. ඒ නිසා පරිවර්තනයේදී සහෝදරතුමා, පියතුමා, ආදි වචන යෙදේ. පුරාණයේ පූජකවරුන් පාදිලි උන්නාන්සේ යනුවෙන් හැඳින්විණි.

දැනට කාලයක පෙර සිට පූජකවරුන් හැඳින්වීමට හිමිපාණන් යැයි යෙදීම පැහැදිලිවම බෞද්ධ සංස්කෘතිකාංග හොරකමක් වේ. බෞද්ධයන්, භික්ෂූන් හැඳින්වීමට යොදන හිමි, අනුනාහිමි, නාහිමි, මාහිමි වැනි වචනවල සංස්කෘතික අරුතක් හා පදනමක් තිබේ. ඒ අරුත් නොසලකා, එම වචන වෙනත් ආගමික පූජකවරයකු හැඳින්වීම සඳහා යෙදීම පැහැදිලිවම ආගමික කොල්ලයකි.

බිෂොප්, ආච්බිෂොප් වැනි වචන එක එල්ලේ සිංහලට පරිවර්තනය කරන්නට නොහැකිය. මුල් යුගයේ කවුරුන් හෝ බිෂොප් යන්න බිස්කුව වශයෙන් පරිවර්තනය කර තිබුණි. ඒ, භික්ෂුව යන වචනයෙන් බිඳගත් එකකි. ආච් බිෂොප් යන්නට එවැනි වචනයක් වත් නැත. ඒ වෙනුවට ‘අග්‍රරාජගුරු’, ‘අගරදගුරු’ වැනි යෙදුම් පාවිච්චි කරන්නට පටන් ගැනීම ආගමික කොල්ලයකි. අගරදගුරු යන වචනයේ ආච් බිෂොප් යන තේරුම නැත. ‘අග්‍රරාජගුරු’ නැතිනම් ‘අගරදගුරු’ යනු රජුගේ ප්‍රධාන උපදේශකයාය. අගරදගුරු තනතුරින් පිදුම් ලැබුවේ අසරණසරණ සංඝරාජ නාහිමියන්ය. ආච් බිෂොප්තුමා යනු කතෝලික සභාවේ ඉහළ නිලයක් දරන තැනැත්තකු විනා අගරදගුරුතුමෙකු නොවේ.

මැල්කම් රංජිත් කාදිනල්තුමන් කාදිනල් තනතුරට පත් වූ පසුව නම යෙදෙන්නේ මැල්කම් කාදිනල් රංජිත් යනුවෙනි. මැල්කම් හා රංජිත් නම් දෙක මැදට කාදිනල් යනුවෙන් යෙදීමට හේතුව එය කිතුණු සම්ප්‍රදායක් වීමයි. මේ සම්ප්‍රදාය නොදන්නා කෙනෙකුට, මැල්කම් රංජිත් කාදිනල්තුමා යනුවෙන් නොව මැල්කම් කාදිනල් රංජිත් යනුවෙන් නම යෙදීම අපභ්‍රංශයක් වීමට ඉඩ තිබේ. බෞද්ධයන්ටද එවන් සම්ප්‍රදායක් තිබේ. ඔවුන් හිමි, හිමිපාණන්, අගරදගුරු වැනි වචන පාවිච්චි කළේ ඒ සම්ප්‍රදායට අනුවය. කිතුණුවන් ඒ සම්ප්‍රදාය තුට්ටුවකට මායිම් නොකර එම වචන පාවිච්චි කිරීම වරදකි. හොරකමකි.

කතෝලිකයන් පාවිච්චි කරන ‘කුඩා කිතුණු සංඝ’ යන යෙදුම තවත් කොල්ලයකි. බෞද්ධයන් සංඝ යන යෙදුම පාවිච්චි කරන්නේ භික්ෂූන් හැඳින්වීමටය. බෞද්ධයන් භික්ෂූන් හැඳින්වීමට පාවිච්චි කරන වචනයක්, කිතුනුවන් වෙනත් අරුතකින් පාවිච්චි කිරීම සංස්කෘතික සොරකමක් මෙන්ම බුද්ධාගමට කරන නිග්‍රහයක්ද වේ. මෙවැනි තවත් උදාහරණ රාශියක් තිබේ.

ඇමතිවරයා ආගමික සහජීවනය ආරම්භ කළ යුත්තේ මේ ආගමික හොරකම් නතර කිරීම සඳහා යම් සාධාරණ පියවරක් ගැනීමෙනි.

ඇමතිවරයාට කළ හැකි තවත් දෙයක් තිබේ. ලංකාවේ කොතැනකවත් හින්දු කෝවිළක් තනනවාට විරුද්ධව බෞද්ධයින් කටයුතු කර තැත. තිබෙන කෝවිල් ඉවත් කරන්නැයි උද්ඝෝෂණ පවත්වා නැත. නමුත් උතුරේ පන්සල් තිබෙනවාට, බුදුපිළිම තබනවාට විරුද්ධව කාලයක් මුළුල්ලේම දෙමළ ජාතිවාදී දේශපාලකයෝ විරෝධතා එල්ල කළහ. මාලිමා ආණ්ඩුව පත්වූ පසුව දැන් නැවතත් උතුරේ එවැනි වාතාවරණයක් ඇතිව තිබේ. කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව ජනාධිපති සහෝදරයාට ලිපියකින් පවා මේ ගැන දන්වා තිබේ.

මේ අසාධාරණය නැවැත්වීමට කටයුතු කිරීමෙන් ඇමතිවරයාට ආගමික සහජීවනය ගොඩනැගිය හැකිය.

නැගෙනහිර පළාතේ මුහුදු මහාවිහාරය, සබරගමුව පළාතේ කුරගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ඉස්ලාම් අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්ව ඇත්තේ දිගු කාලයක සිටය. මේ මංකොල්ලය නැවැත්වීමට කටයුතු කිරීමෙන් ඇමතිවරයාට ආගමික සහජීවනය ගොඩනැගිය හැකිය.

අදාශ්‍යමාන සංවිධාන ගලගොඩඅත්තේ ඥානසාර වැනි භික්ෂූන් උපයෝගී කරගෙන බුදු සසුන විනාශ කිරීමට පාර සුද්ද කරගෙන ඇති හැටි පසුගිය කාලයේ බෝධි සභාව මගින් පැහැදිලි කෙරිණි. සහෝදර සුනිල් සෙනෙවි ඇමතිවරයාටත් ඒ ලණුව ගිලී ඇත්නම්, මේ ලිපිය එය එළියට ගත හැකි විරේක බේතකි. මේ රටේ සැබෑවටම පීඩාවට පත්ව සිටින ආගමික කොටස බෞද්ධයන් බව ඇමතිවරයා පළමුව අවබෝධ කරගත යුතුය. එවිට ඇමති බලතල පාවිච්චි කර ආගමික සහජීවනය පිණිස මාර්ගය සකසා ගත හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link