බුර්රිදාන්ගේ බූරුවා

Last Updated on 3 days by admin

Pic. Credit: LinkedIn.com

ජනමාධ්‍යයන්ගෙන් රටට හෙළි වූ ලෙසට පෙරහැරක් නරඹමින් සිටි කළුතර දිස්ත්‍රික්කයේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රී සහෝදරිය සමීපයට පැමිණි පාරේ නටමින් ගිය කෝලමේ ලෙන්චිනාහාමි ‘උගන්ඩාවේ තැන්පත්කර තියෙන ඩොලර් ලංකාවට ගෙනඑන්නේ කවදාදැ’ යි ඇසුවාය. මන්ත්‍රී සහෝදරිය ’බොරු කීමත් ඇත්ත කීමත් ප්‍රජතන්ත්‍රවාදයට අයිති මිනිස් නිදහසක් ’ බව කියා ඇත්තේ සිද්ධියෙන් දින කිහිපයකට පසුවයි. මැටාව මිරිස්ගලක් වශයෙන් යොදාගන්නා සමහරුන් කරන්නේ මන්ත්‍රී සහෝදරියගේ කතාව අඹරා අඹරා සම්බෝල හැදීමයි.

බටහිර දර්ශනවාදයේ පියා යැයි බොහෝ දෙනෙකු පිළිගන්නා ඇරිස්ටෝටල්, පිරිමින්ගේ කටේ ස්ත්‍රීන්ගේ කටේ ඇති දත්වලට වඩා එක දතක් වැඩිපුර පිහිටන්නේ යයි සඳහන් කළේය. අවශ්‍ය අයෙකුට ගැහැණුන්ගේ කටවල් පරික්ෂා කර මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට පුළුවන. දන්ත වෛද්‍යවරුන් කියන්නේ දත්වල ස්ත්‍රී පුරුෂ භේදයක් නැති බවයි. ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන්නේ පැරණි ග්‍රීක ජනප්‍රවාදයකි. ඔහු එය දාර්ශනිකව විවරණය කරයි. ක්‍රිස්තියානි ආගම තහවුරුවීමට පෙර ග්‍රීසියේ පැවතුනේ දෙවි දේවතාවියන් වන්දනා කළ සමාජයකි.

ග්‍රීසියේ, ඇත්තට බිය වූ කාලයක් උදා විය. සොක්‍රටිස් ඇත්ත කියා මරණ දඬුවම හිමිකර ගත්තේය. ගාන්ධාරයේ තක්ෂිලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුව සිටි පිතගුරුස් (පෛතගරස්) තම රටට ගොස් ඇරඹූ විද්‍යාපීඨය ගිනි තබා වනසන ලදී. රෝමවරුන්ගේ බලය පැතිරුන හැම තැනක මෙවැනි අපරාධ සිදු විය. ක්‍රිස්තියානි පූජක බෲනෝ බෞද්ධ පොත්පත් කියවා නිර්මාණවාදය ගැන සිතීම ඔහු මරණයට පත්කිරිමට හේතුවයි. යේසුස් වහන්සේට දඬුවම් කරන්නට හේතුවත් සත්‍ය ප්‍රකාශ කිරිමයි. ක්‍රිස්තියානි දේධධර්මාචාර්ය ජෑන් හස් බයිබලයේ ඇතැම් කරුණු ගැන විමසිලිමත් වුයෙන් අත්අඩංගුවට ගෙන කතෝලික අධිකරණයට ඉදිරිපත්කර පුළුස්සා දමන ලදි.

ඇත්ත කතා කළ පුද්ගලයන්ට දඬුවම් කිරීම රෝම ශිෂ්ටාචාරයේ ප්‍රධාන ලක්ෂණයකි. එය පැතිර ගිය හැම රටකම ඇත්ත කී පුද්ගලයින් ඝාතනය කරනු ලැබ තිබේ. පාප්තුමාගේ හමුදාවක් වශයෙන් ලංකාවට පැමිණි පෘතුගීසින් කළේද එයමයි. ‘විච් හන්ටින්’ නමින් යුරෝපයේ සිදුවී ඇත්තේ ඇත්ත කී ගැහැණුන් මරාදැමීමයි. කාලයක් ජර්මනියේ බර්ලින් නගරයේ මැරූ ස්ත්‍රීන් සිහිකර අලංකාර උත්සවයක් පැවැත්විණි. එදින සැන්දෑවේ කාන්තාවෝ එක්වී සටන්පාඨ කියමින් වීථි සංචාරය කළහ.

ඉහත කී මන්ත්‍රිවරිය ඇත්ත සහ බොරුව පිළිබඳව කතාව කියන්නේ නත්තල නිමිත්තෙනැයි අපට සිතේ. උගන්ඩා කතාව කෙසේ වෙතත් මෙවර ඇය කියන්නේ බොරුවක් නොවේ. සංවාදයට ලක් කළ යුතු දාර්ශනික අදහසකි.

ප්‍රජතන්ත්‍රවාදය යනු බටහිරුන්ගේ දේශපාලන විද්‍යාවේ ඉතා වටිනා සංකල්පයකි. රට කරවන පක්ෂයේ සාමාජිකාවක වු ඇය, සිය රජය මේ ක්‍රියා දෙකෙන් එකක්වත් නීති දමා අහුරන්නේ නැති බව කියයි. බොරුව වැළැක්වීමට නීති පනවන්නට ගියොත් නත්තලවත් පැවත්විය නොහැකි බව ඇයගේ කතාව ගැන විමසිල්මත්වන්නන්ට වැටහේ.

නත්තලේ ඉතිහාසය පිළිබඳව බොහෝ ඉතිහාස තොරතුරු ප්‍රසිද්ධ වී තිබේ.ඒ බොහොමයකින් කියවෙන්නේ දෙසැම්බර් 25 සමරන නත්තල ක්‍රිස්තියානි ආගම බිහිවිමට පෙර යුරෝපයේ පැවති, ක්‍රිස්තියානි දේවගැතිවරුන් ’පැගන්’ නමින් හිංසනයට ලක්කළ මිථ්‍යාදෘෂ්ටික ආදිවාසින්ගේ උත්සවයක් බවයි. කතෝලික හා ක්‍රිස්තියානි ආගම්වලින් කියන්නේ යේසු උපත දෙසැම්බර් 25 සිදු වූ බවයි. ඕතඩ්‍රොක්ස් ක්‍රිස්තියානි මතය වෙනත් එකකි.

අපි, මහ බොරු පිළිගන්නා ලෝකයක පිහිටි කුඩා දිවයිනක වාසය කරමු. මන්ත්‍රී සහෝදරිය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන්නියකි. ඇත්ත කීම වගේම බොරු කීමත් ප්‍රජතන්ත්‍රවාදී අයිතියක් බව ඇය කියයි. වරද ඇත්තේ ඇය පෙරදිග සම්ප්‍රදාය නොසැලකීමයි. ඇය කරන්නේ, දේව බලැති ජෙරමි සිවුරක් ඇඳුම කරගෙන සිටින අසරණයාව නටවනවාට සමාන ක්‍රියාවකි. හින්දූහු, ඇත්ත ශිව දෙවියන්ට සමාන කරති. ‘සත්‍යම් ශිවම් සුන්දරම්’. බෞද්ධ සම්ප්‍රදායට පොඩි බොරුවක් කීමත් පාපයකි. ‘මුසාබස් නොකියමි’ යන්න සිංහල බෞද්ධයන් අවුරුදු දහස් ගණනක් තිස්සේ පිළිපැදිමට උත්සාහ කරන පන්සිල් පදයකි.

මන්ත්‍රී සහෝදරියගේ දාර්ශනික අදහස බෞද්ධ ඉගැන්වීමට විරුද්ධ සංකල්පකි. මාලිමාව අදීනත්වය ගැන මොරගසන පර සිරිත් අගයන බටහිරුන්ගේ දේශපාලන සංවිධානයකි. El BURRO DE BURIDAN පෘතුගීසි (හෝ ස්පාඤ්ඤ) ජනකතාවේ අර්ථය මෙසේය.

ජෝන් බුර්රිදාන් නමැති දාර්ශනිකයාට බුරුවෙක් සිටියේය. ඌ ප්‍රසිද්ධ වුයේ බුර්රිදාන්ගේ බූරුවා නමිනි. අලුතින් වැඩට පැමිණි බුර්රිදාන්ගේ සේවකයා විශාල ඕට් බඳුනක් උගේ එක් පැත්තකිනුත් වතුර බාල්දියක් අනිත් පැත්තෙනුත් තබා ගියේය. බුරුවා වතුර බොනවාද ඕට් කනවාද තීරණය කරගන්ඩ බැරිව කල්පනා කරමින් ඉඳ මිය ගියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link