බොදු බල බින්ද බොදු බල සේනාව

Last Updated on 1 month by admin

සෑම් සෙනෙවිරත්න

Pic. credit: UCA News

ඇප ලැබිලා එළියට ආව ඥනසාර හාමුදුරුවෝ බොහෝම සැලසුම් සහගත කතාවකුයි මාධ්‍ය ඉස්සරහා කළේ. ජුලි 22 වැනිදා ‘ඩේලි මිරර්’ පත්තරේ පළ වුණ ලිපියකට අනුව, හාමුදුරුවෝ කියල තියෙන දේවල් කීපයක් මෙහෙමයි.

  1. ලෝක ත‍්‍රස්වාදී කණ්ඩායම්වල බලපෑම මත ආසියාවේ ඉතාම දරුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය සඳහා ලංකාව තෝරාගෙන තියෙන බවටත්, ආගමික ස්ථාන, ආගමික උත්සව ඉලක්ක කරගෙන එල්ල කරන්න සැලසුමක් තියෙන බවට 2014 ජුනි 20 වැනිදා උන්වහන්සේලාට තොරතුරක් ලැබිලා තියෙනවා දික්වැල්ලේදී ෂයික්වරයකුගෙන්. තමන් මේ බව ආරක්ෂක අංශවලට දන්වන්න ගියොත් අන්තවාදින් විදියට සලකලා අත්අඩංගුවට ගන්න ඉඩ තියෙන නිසා බොදු බල සේනාව හරහා එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යොමු කරන්න හිතුවා කියලා ෂයික්වරයා කියලා තියෙනවා.
  2. ඥනසාර හාමුදුරුවෝ ප‍්‍රධාන බොදු බල සේනාවේ ඉහළ නිලධාරින් මේ බව රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්ව හිටි ගෝඨාභය රාජපක්ෂට දන්වලා තියෙනවා. ඔහු ඒ ගැන ක‍්‍රියාමාර්ග ගත්ත නිසා ඒ කාලයේ ප‍්‍රහාරයක් එල්ල වුණේ නෑ.
  3. ඒ වගේම උන්වහන්සේ කාදිනල්තුමාවත් හමුවෙලා මේ ගැන දන්වලා තියෙනවා.

කාදිනල්තුමා නම් කියන්නේ ගලගොඩ අත්තේ හාමුදුරුවෝ එතුමා හමුවීමට ආවත් අර වගේ ප්‍රහාරයක් ගැන කිසිවක් නොකියපු බවයි.

2021 නොවැම්බර් 11 වැනිදා ‘ඬේලි මිරර්’ පුවත්පතේ ඊශ්වරන් රත්නම් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, බොදු බල සේනාවේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා වූ ඩිලන්ත විතානගේ ඔවුන්ට මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකුගෙන් ලැබුණු ඔත්තුවක් පිළිබඳව පවසා තියෙනවා. ඒ අන්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳවයි. ඔවුන් සතුව ඒ බව ඔප්පු කළ හැකි ලිපි ලේඛන රාශියක් තිබිලත් තියෙනවා. ඔහු කියන විදියට ඒ සිද්ධිය වෙලා තියෙන්නෙ 2012 මාසයේ මැදි භාගයේදියි.

බොදු බල සේවා බෞද්ධ සංවිධානය බෞද්ධයින් සමඟ කටයුතු කරන නිසා මේ පිළිබඳව වෙනත් ක‍්‍රමයකින් කටයුතු කරන ලෙසඩිලන්ත මුස්ලිම් ජාතිකයින්ට පවසා තිබෙනවා. එසේ කරන්නට ගියොත් ඔවුන්ව ඝාතනය කරන්නට ඉඩ ඇතැයි කී ඔවුන් ආයාචනා කර තියෙනවා මේ පිළිබඳ ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස. ඒ අනුව තමයි ඥනසාර හාමුදුරුවෝ, මේ පිළිබඳව ජනතාවට කරුණු කියන්න තීරණය කරලා තියෙන්නෙ.

‘උන්වහන්සේ නීතිය හා සාමය පිළිබඳව විශ්වාස කළේ නැද්ද? මෙවැනි දේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රමවේදයක් තියනවා නේද?’ කියලා මෙහිදී මාධ්‍යවේදියා ඩිලන්තගෙන් අහනවා. පිළිතුර මෙහෙමයි.

‘‘මට එහෙම කියන්න බෑ. ඒත් මූලිකව අපි හිතුවා අපි අන්තවාදී වැඩ ගැන සමාජය දැනුවත් කළ යුතුයි කියලා. ජනතාව මේවා ගැන දැනගත්තාම ආරක්ෂක පියවර ගනීවි. නමුත් මට හිතෙනවා මාධ්‍ය සහ සමහර දේශපාලන කන්ඩායම් අපිව ඉස්ලාම් විරෝධීන් බවට ප‍්‍රචාරය කළා. දැන් හැමෝම හිතන්නේ බොදු බල සේනා මුස්ලිම් විරෝධී සංවිධානයක් බවයි. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි.’’

ඥනසාර හාමුදුරුවෝ හා ඩිලන්ත පවසන මුස්ලිම්වරුන් ඔත්තු දීම එකම සිදුවීමද සිදුවීම් දෙකක්ද කියන එක පැහැදිලි නෑ. නමුත් එකක් පැහැදිලියි. ඒ බොදු බල සේනාව අන්තිම මෝඩ විදියට කටයුතු කරලා තියෙන බව. මාධ්‍යවේදියාත් අවධාරණය කරන විදියට මෙවැනි ප‍්‍රශ්න හමුවේ කටයුතු කරන පිළිවෙළක් තියෙනවා. මා ඒ බව කලින් ලිපියෙනුත් පෙන්වා දුන්නා. ඒ තමයි මෙවැනි ඔත්තු, රාජ්‍ය බුද්ධි අංශවලට දැනුම් දෙන එක. වගකීමෙන් තොරව ඒවා ප‍්‍රචාරය කරන්න ගියාම ප‍්‍රතිඵල භයානකයි. එක පැත්තකින් අන්තවාදීන්ට හැංගෙන්න අවස්ථාව ලැබෙනවා. අනික් පැත්තෙන් ජනතාව කලබල වෙනවා. ජාතින් අතර අසමගිය ගොඩනැගෙනවා. මේ සියල්ල අපි පහුගිය කාලයේ අත්දුටුවා.

ඩිලන්ත කියන විදියට මුස්ලිම්වරුන් ඔවුන්ට ඔත්තුව දෙන්නේ 2012 දෙසැම්බර් මැද භාගයේදියි.

ඥනසාර හාමුදුරුවෝ කියන විදියට ඔත්තුව ලැබෙන්නෙ 2014 ජුනි මාසයේ. පාස්කු ප්‍රහාරයට අවුරුදු 6කට විතර කලින් ප්‍රහාරයේ ස්වභෙවයත් එක්ක සියල්ල එළියට වන විදියට වැඩ කරන්න තරම් ජාත්‍යන්තර සම්බන්ධකම් සහිත ත්‍රස්තවාදින් දුර්වලද? පාස්කු ප්‍රහාර ගැන පිටරටකින් ඔත්තුව ලැබුණෙ සිද්ධියට කිට්ටුව. මං හිතන්නෙ බොදු බල සේනාවට මේ වගේ ත්‍රස්තයන් ගැන පුංචි දැනුමක්වත් තිබිලා නෑ.

සහරාන්ලා ප්‍රහාරය එල්ල කළේ ඊට ටික කලකට පෙර කිතුණුවෙක් ඔස්ට්රේලියාවෙ මුස්ලිම් පල්ලියක බැතිමතුන්ව ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් බවට එකල වාර්තා පළ වුනා.

අපි ටිකක් ආපහු හරිලා බලමු ඔය කියන 2012 – 2014 කාලයේ බොදු බල සේනාව කොයි විදියේ දේවල්ද කරමින් හිටියේ කියල.

බොදු බල සේනා සංවිධානයෙ පළමු ජාතික සම්මේලනය පැවැත්වුණේ 2012 ජුලි 28 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවෙදි.

බොදු බල සේනාව මුලින්ම ප්‍රසිද්ධ වුණේ 2012 ජුලි මාසෙ මුල මැදපෙරදිගදී බුදුන් වැන්ද බෞද්ධයින්ව අත්අඩංගුවට ගත් සිද්ධියකට විරෝධය පළ කිරීමේ සිද්ධියෙන්.

ඊළඟට 2012 ඔක්තෝබර් 4 වැනිදා බොදු බල සේනාව කොළඹ බංගලි දේශ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනවා බංගලි දේශයේ බෞද්ධ විරෝධී කෝලාහලවලට විරෝධය දක්වමින්.

2012 ඔක්තෝබර 25 වැනිදා බොදු බල සේනාව බදුල්ලෙදි මුස්ලිම් ආක‍්‍රමණයට විරුද්ධව ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනව.

2012 නොවැම්බර 29 වැනිදා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා භූමි ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුවා.

තවත් මෙවැනි විරෝධතා රාශියක් බොදු බල සේනාව පැවැත්වුනා. ඒවා අතරින් 2013 පෙබරවාරි 17 කොළඹදී පැවති රැස්වීමේදී ඥනසාර හිමියන් පළ කළ අදහස් දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. විශේෂයෙන්ම, මුස්ලිම් අන්තවාදින්ට විරුද්ධව නිල නොවන සිවිල් පොලිසියක් පිහිටවිය යුතු බවට උන්වහන්සේ කළ යෝජනාව ඉතා බරපතල එකක්.

2013 පෙබරවාරියේ එවක බොදු බල සේනාවේ නායක කිරම විමලජෝති හාමුදුරුවෝ බුර්කාව තහනම් කළ යුතු බවට යෝජනාවක් ගෙනාවා. ඒ වගේම බොදු බල සේනාව අබායා පැලඳීම තහනම් කිරීමේ සටනක් ඇරඹූ බවට මාධ්‍ය වාර්තා පළ වුනා.

2013 පෙබරවාරියේ බොදු බල සේනාව හලාල් සහතික නිකුත් කිරීමට එරෙහිව විරෝධයක් ආරම්භ කළා.

2014 පොසොන් පෝය දා (ජුනි 12) අලූත්ගම කෝලාහලය හටගත්තා. ඊටත් ඥනසාර හාමුදුරුවන්ගේ කතාවක් හේතු වුණ බවට චෝදනා ආවා. ඩිලන්තම පිළිගන්නවා ඥානසාර හාමුදුරුවො එතනට වැඩිය එකම වරදක් බව.

මෙයින් මුල් සිද්ධි දෙකේදිම බොදු බල සේනාව විරෝධය දක්වන්නෙ මුස්ලිම් රටවලට. අනෙක් සිද්ධිවල ඉලක්කය වෙන්නෙ මුස්ලිම් ආක‍්‍රමණය සහ පොදු මුස්ලිම් සමාජය. එතකොට බොදු බල සේනාව බොහොම ළාබාල සංවිධානයක්. මුස්ලිම් විරෝධීන් වශයෙන් ප්‍රසිද්ධ වුන සංවිධානයක් ආරම්භ වී කෙටි කලකින් විශාල විශ්වාසයක් ඇතිව ඇවිත් මුස්ලිම් ත‍්‍රස්තවාදීන් පිළිබඳව ඔත්තු දෙන්න තරම් විශ්වාසයක් මුස්ලිම් ජාතිකයන් කීප දෙනෙකුට ඇති වුනේ කොහොමද?

මෙය හොඳ සිහියෙන් කල්පනා කළ යුතු දෙයක්.

2014 වෙන කොට බොදු බල සේනාව අන්තවාදී සංවිධානයක් විදියට මුස්ලිම් සමාජයේ විතරක් නෙවෙයි සිංහල සමාජයේත් නරක නාමයක් හිමිකරගෙන හිටියෙ. ඥනසාර හාමුදුරුවන්ගේ කලකාරී හැසිරීම් හා කතා සමාජයේ තද විවේචනයට ලක් වුණා. මා කලින් සඳහන් කළ පුවත්පත් සාකච්ඡාවෙදි ඩිලන්තත් මේ බව පිළිගන්නවා.

ඒ මට්ටමේ කෙනෙකුට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශයින් රහසිගත වැදගත් ඔත්තුවක් දෙන්න තරම් මෝඩයෙක් ඉන්න පුළුවන්ද? කියන හැටියට ඔත්තුව දීලා තියෙන්නෙ සාමාන්‍ය පුද්ගලයෙකුත් නෙවෙයි. ෂයික්වරයෙක්. මුස්ලිම් නායකයෙක්.

රාජ්‍ය බුද්ධි අංශවලට, පොලිසියට, ආරක්ෂක ආමාත්‍යංශයට මේ තොරතුරු දෙන්න වෙනත් ක‍්‍රමයක් ඔවුන්ගේ ඔළුවට ආවේම නැද්ද? නිර්නාමික ලියුමක් යැවීම, අන්තර්ජාලය මගින් දැන්වීම වගේ ක‍්‍රමයක් පාවිච්චි නොකළේ ඇයි?

මම කලින් ලිපියෙන් කිව්වා, ඉස්ලාම් ආගමට, අල්ලාට අපහාස කරපු කෙනෙකුට තොරතුරු දෙන්න ඉස්ලාම්වරයකු ඉදිරිපත් වීම සැක සහිත බව. ඒ වගේම මම කිව්වා, එහෙම ඉන්න පුළුවන් නමුත් ඒ වෙනත් අරමුණකින් බව.

ඥනසාර හාමුදුරුවෝ හැම තැනම ගිහින් චණ්ඩි පාට් දදා ඉන්නකොට, මුස්ලිම්වරුන්ම ඇවිල්ලා, ‘අපිට හාමුදුරුවෝ තමයි විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා. ඒකයි මේක හාමුදුරුවන්ටම කියන්න ආවෙ’ කිව්වාම මොකද වෙන්නෙ? හාමුදුරුවෝ මුරුංගා අත්තේ කෙළවරටම යනව. ‘මං කරගෙන යන වැඩපිළිවෙළට මුස්ලිම් අය පවා කැමතියි. ඒකයි මේවා මට කියන්නේ’ කියලා ලණුව ගිලිනවා.

2012 දී බොදු බල සේනාව වැඩ අල්ලනකොටම කට්ටියක් ඇවිල්ලා හාමුදුරුවන්ව ‘ෆෝම්’ කළා. හාමුදුරුවෝ ලණුව ගිලලා කළහකාරී වැඩ දිගටම කරගෙන ගියා. කොල්ලන්ගෙ භාෂාවෙන් කියනවා නම් මේක කබ්බො ෆෝම් කිරිල්ලක්. ඉස්සර මිනිස්සු නම් කිව්වෙ ‘මරක්කල ගුරුකම’ කියලයි.

මේ කාලයේ විවිධ නම්වලින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවයි කියන සංවිධානය බෝ වුණා. සමහර ඒවා අවංක වෙන්න පුළුවන්. සමහරු අවස්ථාවාදීන් නැත්නම් කාඞ්බෝඞ් දුටුගැමුණුලා. එහෙම කෙනෙක්, ලොකු මුදලක් දෙනවා නම් සිංහල බෞද්ධ ඡන්ද ටික අරගෙන දෙන්නම් කියලා දුරකථන සංවාදයකදි කියන හඬ පටයක් පහුගිය කාලේ ප්‍රසිද්ධ වුණා.

ඒ එක්කම වඳ කොත්තු, වඳ තනපට, වඳ යටකලිසම් ගැන කතාබහ වේගයෙන් සමාජයේ පැතිරෙන්න ගත්තා.

අවසානයේ ඒ සේරම බොරුවෙලා සිංහල බෞද්ධයා කිසිම දැනුමක් නැතිව මුස්ලිම්වරුන්ට හිංසා පීඩා කරන, බොරු චෝදනා එල්ල කරන කලහකාරී මෝඩයින් පිරිසක් බවට මතයක් ගොඩනැගුණා.

ඉස්ලාම් ආගමට මුවාවී අන්තවාදී වැඩ කරන්නන්ට එයින් ආවරණයක් ලැබුණා. ගෝල්ෆේස් කෝලාහලය පිටිපස්සෙ ඉස්ලාම් අන්තවාදින් ඉන්න බව තේරුම් ගන්න සිංහල බෞද්ධයින්ට ඉව නැතිවෙන්න එයත් එක හේතුවක්. බොදු බල සේනාව ජනතාවට ඉස්ලාම් අන්තවාදීන් ගැන කරුණු කියල වෙලා තියෙන සෙතේ මොකක්ද?

සිංහල බෞද්ධ සමාජයත්, භික්ෂුවත් අන්තවාදී, හිංසාකාරී, ප‍්‍රචණ්ඩ පිරිසක් බවට රටේ අන්‍යාගමිකයන් අතරත් ජාත්‍යන්තර ප‍්‍රජාව අතරත් මතයක්, කළු පැල්ලමක් ගොඩනැගුණා.

ඥනසාර හාමුදුරුවො ලණුව ගිල්ලා. කඹ වමාරන්න වෙලා තියෙන්නෙ සමස්ත සිංහල බෞද්ධ සමාජයට.

මේ බව ඩිලන්ත පවා කියනවා. මාධ්‍යවේදී ඊෂ්වරන් රත්නම් මෙහෙම අහනවා,

‘පේන හැටියට බොදු බල සේනාව එහි මූලික අරමුණුවලින් පිටපැනලා නේද?’

ඩිලන්ත මෙහෙම උත්තර දෙනවා.

‘නෑ. බොදු බල සේනා සංවිධානය දිහා බැලූවොත් එහෙම හිතන්න බෑ. නමුත් බොදු බල සේනාව කියන්නේ ඥානසාර හාමුදුරුවො කියලා හිතුවොත් එහෙම කියන්න පුළුවන්. බොදු බල සේනාව ආරම්භ කළේ කීප දෙනෙක්. මම හාමුදුරුවන්ට කියලත් තියෙනවා කතා පවත්තද්දි පරිස්සම් වෙන්න කියල.’

(මතු සම්බන්ධයි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link