මහාචාර්ය අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරය

Last Updated on 4 hours by admin

(පපඩම් ඇදුරන්ගෙන් සාහිත්‍යය බේරා ගනිමු)

ඉන්දියාවේ උපාධිධාරීන්ට ගවේෂණාත්මක අධ්‍යාපනය සඳහා එංගලන්ත විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව පිරිනැමීම, යටත් විජිත කාලයේ අරඹන ලද සිරිතකි. මෙය ඉතාම සටකපට යටත් විජිතවාදී උපායකි. අධ්‍යාපනය පිණිස එංගලන්තයට කැඳවන විද්‍යාර්ථීන්ට ගවේෂණ මාතෘකාවක් දී ඉන්දියානුවන්ගේ සංස්කෘතික රහස් දැනගනිමින් ඔවුන් ලවාම ඉන්දියානු සංස්කෘතියට පහර දී දුර්වල කිරීම මෙයින් සිදු විය. මිෂනාරී දේවගැතිවරුන් ඇරඹූ මෙම වැඩපිළිවෙළෙහි ආරම්භය සිදු වූයේ ඉන්දියානුවන් කිහිප දෙනෙකු, සංස්කෘත භාෂාව සාහිත්‍ය සහ ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳව වැරදි තොරතුරු, නව දැනුම ලෙසින් සමාජගත කිරීමෙනි.

දකුණු ඉන්දියාවේ ද එයම සිදු විය. ගවේෂණාත්මක දැනුම ලැබූවන් ලෙසින් හැඳින්වුන උගත්තු, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දෙමළ ශිෂ්ටාචාරයක් යැයි හැඳින්වූහ. දලිතයන් අවුස්සා ඔවුන් ක්‍රිස්තියානීන් බවට පමුණවා සටන්කාමී දලිත් දේශපාලන ව්‍යාපාරයක් බිහි කරන තමිල්නාඩුව සංස්කෘත හා හින්දි භාෂාවලට විරුද්ධ ප්‍රාන්තයක් කිරීම මේ උගතුන්ගේ හපන්කමකි. ආචාර්ය උපාධියකට සූදානම් වෙමින් සිටි කාන්චන ඉල්ලයියා, පුවත්පත් සාකච්ාඡවකදී ‘අපට ඉන්දියාවෙන් සංස්කෘත භාෂාව මරා දමන්නට අවශ්‍යයි’ කීවේය.

ශිෂ්‍යත්ව ලැබ බටහිර රාජ්‍යයන්හි විශ්වවිද්‍යාලවලට යන ශ්‍රී ලංකාවේ විද්‍යාර්ථීන් වැඩි පිරිසක්, ඉගෙනීමට රට යන ඉන්දියානුවන්ට සමානය. ලංකාවේ දී හොඳ සිංහල බෞද්ධයන් වූ ඔවුන් මනසින් බටහිරුන් වී සිය උරුමයට බැට දෙන්නට ගනිති. බෞද්ධ චාරිත්‍ර අනුව පැවැති, බෞද්ධ කාන්තාවක වූ මාලිනී ෆොන්සේකාගේ අවමගුල් සභාවේ කතාවක් පැවැත්වු මහාචාර්ය සෞම්‍ය ලියනගේ කතාව අවසන් කළේ, ‘මාලිනීට සුබ නින්දක්’ කියමිනි. මිය යාම නින්දක් නොවේ. ක්‍රිස්තියානි සිරිතට අනුව නම්, කෙනෙකු මිය යාම යේසුතුමන් නැවත ඉපදී නැවත කැඳවන තුරු සිදු වන දිගු නින්දකි. මීට අවුරුදු පනහකට පෙර බස්නාහිර මුහුදුබඩ ප්‍රදේශයේ මරණයක් සිදු වූ විට ‘ආර්අයිපී’ ඉංග්‍රීසි අකුරු ලියූ කුඩා බැනරයක් එල්ලීම සුලබ දසුනකි. එබැවින් බෞද්ධ අවමංගල සභාවක කතාවක් පවත්වමින් මිය ගිය අයට සුබ නින්දක් පැතීම එක්තරා සංස්කෘතික ආක්‍රමණයකි

සමාජ විප්ලවවාදීන් සේ හැසිරෙන ලියනගේ වැනි උගතුන්ගේ පැවත්ම හා කීර්තිය ගොඩනැංවීමේ අදාශ්‍යමාන වැඩපිළිවෙළක් ද පවතී. ඇමරිකාවේ විසූ ගනනාථ ඔබේසේකර හා ලංකාවේ විසූ එම්. එච්. ගුණතිලක ඔසවා තැබුණු හැටි සෙවීමෙන් මේ කාරණය වටහා ගැනීමට පුළුවන. මාලිනී ෆොන්සේකාගේ අවමංගල සභාවේ කළ කථාවේදී මහාචාර්ය සෞම්‍ය ලියනගේ පාවිච්චි කළ ‘ප්‍රොතෙස්තන්ත බුද්ධාගම’ ගනනාථ ඔබේසේකරගේ නිෂ්පාදනයකි. උරුමයට බැටදෙන්නන් එකා පස්සේ එකා පෝළිමට එන හැටි ඔහුගේ කතාවෙන් ප්‍රකාශ වේ. ලංකාවේ බුදුදහම, ‘ප්‍රොතෙස්තන්ත බුද්ධාගම’ යනුවෙන් නම් කිරීම බෞද්ධ විරෝධී ක්‍රියාවකි.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ශිෂ්‍යත්වයකින් ඇමරිකාවට ගොස් විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූවෙකි. පෙරළා ලංකාවට පැමිණි හෙතෙම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය තනතුරක් ලබාගත්තේය. ‘නව කවි සළකුණ’ ඔහුගේ කෘතියකි. මේ කෘතිය සම්පාදනය කරන ඔහු, ‘සන්දර්භගත දාර්ශනිකත්වය‘ නමැති න්‍යාය පැහැදිලි කිරීමේ මුවාවෙන්, සිය දේශපාලන මතවාද සාහිත්‍ය පාඨකයන්ට හා විද්‍යාර්ථීන්ට පෙවීමට උත්සාහ කරයි.

අමරකීර්ති සිය දේශපාලන අරමුණ ඉටු කරගනුව ප්‍රවේශය ගන්නේ මෙසේය:

(උපුටාගැනීමේ ආරම්භය)

‘සන්දර්භලත දාර්ශනිකත්වය යැයි මා හඳුන්වන ගුණය පිළිබඳ මගේ ප්‍රියතම කවියෙකුගේ කවියක් ඇසුරින් පැහැදිලි කරන්නට කැමැත්තෙමි. අගා ශහිද් අලි (1949-2001) මෑතකදී ඉංග්‍රීසියෙන් ලියූ විශිෂ්ට ඉන්දියානු කවියෙකි. කාශ්මීර කඳුකරයේ කලෙක සුන්දර සන්සුන් බව සහ සාමය පමණක් නොව සුන්දර පරිසරයත් ඉන්දියානු සහ පකිස්ථානු දෙපසෙහිම ජාතිකවාදය නිසා බිඳ වැටුණු පසු දීර්ඝ කාලයක් ඇමරිකාවේ ජීවත් වූ ඔහු තමන්ව හඳුන්වා ගත්තේ කාශ්මීර-ඇමරිකානු කවියෙකු ලෙසය. කවි පොත් පහක් හයක් ලියන විටම ඔහුගේ කවිය ඇමරිකානු පාසැල් පාඨග්‍රන්ථවලට පවා ඇතුළත් විය. ඔහුගේ කවිය ඉතාම දාර්ශනික කවියකි. එහෙත් ඒ දාර්ශනිකත්වය වියුක්ත දාර්ශනිකත්වයක් නොවේ. ඔහුගේ කවියේ දාර්ශනිකත්වය එන්නේ, ජාතිවාදය, ජාතිකවාදය, අධිරාජ්‍යවාදය, ජාතික අනන්‍යතා දේශපාලනය, බල දේශපාලනය ආදිය විසින් විනාශ කරන ලද ලෝකයක තතු තුළින්මය.

ඔහුගේ ෆෙයාවෙල් හෙවත් “සමුදීම” කවිය ආරම්භ වන්නේ මෙසේය:

එක්තරා තැනකදි මට ඔයා
ඉන්න කියන තැන් හොයා ගන්න බැරි උනා
උන් ජන විනාශයක් සාදා ඊට සාමෙ යැයි කියනවා
ඔයා වෙන්ව ගිය දා
ගල් පවා වලලා දැමුනා
අනාරක්ෂිතයින්ට ආයුද කොහිද?

ඊළඟට කවිය වෙත මා කියන සන්දර්භගත දාර්ශනිකත්වය පැමිණෙයි. කවියා මෙසේ කියයි:

“මගේ මතකය අවුරා සිටි ඔබේ ඉතිහාසයේ මාවත’‘

මේ නම් මොන තරම් දාර්ශනික කියමනක්ද? විවිධ රටවල දේශපාලන හිංසනවල එක් මූලික පදනමක් වන්නේ එක් ජනපිරිසක් ඉතිහාසය යැයි ගන්න දේ අනික් ජන පිරිසකගේ මතය සමග ගැටීමයි. සිංහල ජාතිකයන් වන අප චිරත්නත ඉතිහාසය යැයි කියන දේ දෙමළ ජනයාගේ මතකය සමග සම්පූර්ණයෙන්ම පාහේ විරුද්ධ වන අවස්ථා ඇත. දෙමළ ජාතිකවාදීන් නිතර කියන ඉතා පැරණි ද්‍රවිඪ ශිෂ්ටාචාරයක් පිළිබඳ ඉතිහාසය සිංහල අපේ මතකය සමග ගැටෙයි. කාශ්මීරයේත් හින්දු ඉතිහාසය හා මුස්ලිම් මතකය අතර තිබෙන්නේ මේ ගැටුමය. මේ උගුලෙන් ගැලවෙන්නට අපට හැකි වන්නේ ඉතිහාසය මිනිස් ඉතිහාසයක් මිස ‘ජාතික’ යැයි ජනවාර්ගික නමක් දිය හැකි දෙයක් නොවන බව වටහා ගැනීමෙන් පමණි. ප්‍රගතිශීලී ඉතිහාස අධ්‍යයනය යනු යම් සංස්කෘතියක විකාශනය සහ පැවැත්මට විවිධාකාර මනුෂ්‍යයන් සමස්තයක් ලෙස කළ දායකත්වය වටහා ගැනීමය.

අගා ශහිද් අලි කවියා නැවත මෙසේ කියයි.

‘මමයි. ඔයාට නැති වුණ සියලු දේ මමයි.
ඔබට බෑ. මට සමාව දෙන්න ඔබට බෑ.
ඔබේ අංග සම්පූර්ණ සතුරා මමයි

ඔබට මා ඕනෑ උනා
මාව අංගසම්පූර්ණ කරන්න ඔබට ඕනෑ උනා
ඔබ නැති තැන ඔබ මා සතුරෙකු බවට ඔප දැම්මා’

මේ අවසන් යෙදුම හරිම අපූරුය. ඔබ නැති තැන යනු ඔබ සිහියෙන් නොසිටින තැනය. ජාතිවාදය, ජාතිකවාදය හා ජනවර්ග කේන්ද්‍රීය ඉතිහාසය ඔබේ මනුෂ්‍යත්වය ඔබ වෙතින් ඉවත් කර ඇත. ඒ නිසා ඔබ කරන්නේ මාව සතුරෙකු බවට ඔප දැමීමය. මේ ‘මා’ සහ ‘ඔබ’ වසන රට කවියා විස්තර කරන්නේ මෙසේය:

‘මේ රටේ අපි ගෙවලින් එළියට බහින්නෙ
දොරවලුත් අතින් අරගෙන
දරුවො පැන දුවන්නෙ
ජනේලත් අතින් ගෙන
උන් ජන විනාශයක් සාදා
ඊට සාමෙ යැයි කියනවා’

කවියා සිය කවිය අවසන් කරන්නේ මෙසේය.

‘මොනවා හරි විදියකින් ඔබ මගේම වී නම්
ලෝකෙ කොහොම නම් වෙන්න තිබුණද?’

මේ කවිය සමහර විට ආදර කවියක් විය හැකිය. මේ වූකලි භාෂාත්මක සැරසිලි අවම කවියකි. එහෙත් එහි එන දිදුලන කියමන් කවියාගේ පෞද්ගලික අත්දැකීම ඉක්මවා දාර්ශනිකාලෝකයක් නිකුත් කරයි. ඒ දාර්ශනිකත්වය වියුක්ත උත්තර ඓතිහාසික දාර්ශනිකත්වයක් නොවේ.’ (නව කවි සරණිය, 208-211 පිටු)

(උපුටා ගැනීම අවසන්)

බටහිර සාහිත්‍ය විචාරකයින් පැහැදිලි කරන ලෙසට සන්දර්භගත දාර්ශනිකත්වය යනු සාහිත්‍ය නිර්මාණයක නිශ්චිත ඓතිහාසික, සමාජීය හා සංස්කෘතික සන්දර්භයක් ඇසුරින් එහි අර්ථය නිරූපණය කිරීමේ විචාර ක්‍රමයකි. මේ මගින්, අන්තර්ගතයේ අර්ථය කෙරෙහි එකී සාධක බලපෑම් කරන්නේ කෙසේදැයි අවධාරණය කරයි. ඒ යටතේ, කෘතියේ අන්තර්ගතයට සම්බන්ධ ඉතිහාසය, සමාජ දේශපාලන සංස්කෘතික කරුණු, ලේඛකයාගේ පුද්ගලික ජීවිතය වැනි සාධක ගණනාවක් සැලකිල්ලට ගැනේ. වචනවල තේරුම් පවා අර්ථකථනය කෙරෙනුයේ, සන්දර්භයට ගැලපෙන අයුරිනි.

මේ න්‍යාය භාවිත කරමින් නිර්මාණයක් විචාරයට ලක් කිරීම, ‘මගේ මතකය අවුරා සිටී ඔබේ ඉතිහාසයේ මාවත’ යන වැකිය දැක, ‘මේ නම් මොන තරම් දාර්ශනික කියමනක් දැයි’ අමරකීර්ති පවසන පරිදි සරල කාර්යයක් නොවේ. අනික් අතින්, ‘මෙය ආදර කවියක් විය හැකි යැ’යි පැවසීමෙන් පැහැදිලි වන්නේ, ඔහුට මේ කවිය ග්‍රහණය වී නැති බවයි.

‘එක්තරා තැනකදි මට ඔයා
ඉන්න කියන තැන් හොයා ගන්න බැරි උනා’

යන ආරම්භයම, අමරකීර්තිට කවියේ ගැඹුර නොදැනෙන බව පෙන්වන සාක්කියකි. අමරකීර්ති කවිය වරදවා ගෙන ඇති බවට හොඳම නිදසුන ‘ඔයා’ නමැති යෙදුමයි.

‘ෆෙයාවෙල්’ කවිය, සන්දර්භගත දාර්ශනිකත්ව න්‍යායට අනුව තේරුම් ගැනීමට කාශ්මීර ඉතිහාසය, කවියට නිමිති වූ දේශපාලන සමාජ සංස්කෘතික කරුණු හා අඝා ෂහීඩ් අලිගේ ජීවිතය පිළිබඳ දැනුම අවශ්‍යය.

කාශ්මීරයේ කතාව

කාශ්මීරය දිගු ලේඛනගත ඉතිහාසයක් ඇති රටකි. ‘රාජතරංගනී’ කාශ්මීර වංශකතාවකි. බෞද්ධ ඉතිහාසයට අනුව එය කසස්ප බුදුන් විසූ රටයි. මධ්‍යතන යුගයේ කාශ්මීරයට කඩාවැදුන ඉස්ලාම් ආක්‍රමණයෝ බෞද්ධයින් විශාල පිරිසක් කඩුගෑවෝය. ඉතිරි වූ බෞද්ධයන්ට ඉස්ලාම් ආගම වැළඳගන්නට සිදු විය. කාශ්මිරයේ සුෆි මුස්ලිම්වරුන් වශයෙන් හැඳින්වෙන්නේ ඔවුන්ය. එහෙයින් කාශ්මිරයෙන් බෞද්ධයන් අතුරුදහන් විණි. ඉස්ලාම් ආක්‍රමණය අවස්ථාවෙහි එහි සිටි හින්දු බ්‍රාහ්මණයින් අතරින් යම් පිරිසක් බ්‍රාහ්මණයින් වශයෙන්ම ජීවත් වන්නට සමත් වූහ. බෞද්ධයින් නොසිටි නිසා, බ්‍රාහ්මණයින්ගෙන් පැවත එන පිරිසක් වන පණ්ඩිත්වරුන් කාශ්මීර නිම්නයේ ආදිවාසීන් නොහොත් උරුමක්කාරයින් වශයෙන් සැලකිණි.

බ්‍රිතාන්‍යයන් සැදූ භූගෝලීය බෙදීමේ සිතියමට අනුව නැගෙනහිර හා බටහිර යනුවෙන් පකිස්ථානයේ කොටස් දෙකක් ඉන්දියාවට දෙපැත්තෙන් ඇති විය. කාශ්මීරය පිහිටියේ එහි උතුරු කොනේ ඉන්දියාවට, බටහිර පකිස්ථානයට හා චීනයට මායිම්වය. කාශ්මීරය යනු නැගෙනහිර යුරෝපයට හා මධ්‍යම ආසියාවට ගොඩබිමින් ඇතුළු වීමට ඉන්දියාවට ඇති එකම මාර්ගයයි. ඉන්දියාවට එය අහිමි කරගත නොහැක. එය අහිමිකර ගැනීමෙන් ඉන්දියාවේ වෙළඳ කටයුතු බිඳ වැටේ. ආරක්ෂාව නැතිව යයි. එනිසා, කාශ්මීරයේ අයිතිය වෙනුවෙන් රටවල් තුනම ඉදිරිපත් වීමට හේතුව හුදු ජාතිය හෝ ආගම හෝ නොවේ. කාශ්මීරය සිය භූමියට එක් කරගන්නට ඉන්දියාවට අවශ්‍ය වූ නමුත් පකිස්ථානය හා චීනය කාශ්මීර භුමියට අයිතිය ප්‍රකාශ කළෙන් කාශ්මීරය කැබලි තුනකට වෙන් විණි. පකිස්ථානයට හිමි වූ කොටසේ ඉස්ලාම් ආගමිකයන් බහුතරයක් වූ අතර පණ්ඩිත්වරුන් එහි සුළු ජනයා බවට පත් වූහ. පසු කාලීනව එය ත්‍රස්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත් විණි.

කාශ්මීරයේ බලය සඳහා යුදමය තත්වයන් ඇති වූ පසු පණ්ඩිත්ලාට පකිස්ථාන රජයේ හමුදාවලින් මෙන්ම ඉස්ලාම් අන්තවාදීන්ගෙන්ද පීඩා ඇති වුණි. පිටවීම හෝ මරණය හෝ තෝරා ගන්නා ලෙස ඔවුන්ට නිල වශයෙන් දැනුම් දීම් කෙරුණි. පණ්ඩිත්වරුන් කාශ්මීර නිම්නය හැර යන තීන්දුවට එළඹුනේ ඉන් පසුවය. ඊට එකම හේතුව ප්‍රචණ්ඩ ඉස්ලාම් මූලධර්වාදයට හිස නමන්ට ඔවුන්ට සිදු වීමයි. 1990 ජනවාරි 20 වැනිදා රෑ කාශ්මීර නිම්නයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු පණ්ඩිත්වරුන් දහස් ගණනක් සිය උරුම බිම හැරදා නික්ම යන්නට තීන්දු කළහ. මේ නික්මයෑම, 20 වැනි සියවසේ ලෝකයේ සිදු වූ විශාලතම නික්මයෑම ලෙස සැලකේ.

අඝා ෂහීඩ් අලි කිෂිල්බාෂ්

අඝා ෂහීඩ් අලි කාශ්මීරයේ කිෂිල්බාෂ් (Qizilbash or Kizilbash) නමැති බලගතු සියා මුස්ලිම් පෙළපතකට අයත් පුද්ගලයෙකි. කිෂිල්බාෂ් පෙළපතට සුෆි මුස්ලිම්වරුන්ගේ සම්බන්ධයක් තිබේ. ඒ අනුව අඝාගේ පරපුරට බෞද්ධ මුලක් ඇති බව පැහැදිලිය. අඝාගේ ආදි මුතුන් මිත්තන් කාශ්මීර වැසියන් නොවේ. ඔවුන් ගාන්ධාරයේ (වර්තමාන ඇෆ්ගනිස්ථානයේ) කන්දහාර් සිට කාශ්මීරයට සංක්‍රමණය වී ‘ශ්‍රී නගර්’හි පදිංචි වී ඇත. ගාන්ධාරය, කාශ්මිරයට බොහෝ කලකට පෙර ඉස්ලාම් ආක්‍රමණයට ගොදුරුවු බෞද්ධ රටකි.

අඝා උපන්නේ දිල්ලියේදීය. මාපිය දෙදෙනාම කීර්තිමත් උගත්තුය. ඔහුගේ මව කාශ්මීරයේ පළමු උපාධිධාරිණියයි. අඝා ෂහීඩ්ගේ බාල කාලයෙන් සැලකිය යුතු කොටසක් ගත වූයේ කාශ්මීරයේය. 1964දී ඔහුගේ පියා දරු පවුලද සමග උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගියේය. අඝාට ඇමරිකාවේ දොර ඇරෙන්නේ ඒ ගමනෙනි. (1967දී) පෙරළා ඉන්දියාවට ගිය අඝා දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලැබුවේය. පසුව අඝා වැඩිදුර අධ්‍යාපනය පිණිස ඇමරිකාවට ගිය අතර 1975 දී එහි නිත්‍ය පදිංචිකරුවකු වූයේය. අඝා ෂහීඩ්ගේ ළමා වියේ පටන් මිතුරකු වූ ද, ‘ද කන්ටි්‍ර විතවුට් අ පෝස්ට් ඔෆීස්’ කවිය පබඳිනුව නිමිත්ත සැපයූ තැනැත්තා වූ ද, ඉර්ෆාන් හසන් පවසන පරිදි, අඝා හැම ග්‍රීෂ්ම නිවාඩුවකටම කාශ්මීරය බලන්නට ගියේය. ඒ සිය නිජබිමට ඇති ආදරය නිසාය.

සිය ජාතිකත්වය පිළිබඳව අඝා විවිධ අදහස් පළ කර තිබේ. කිහිප වරක්ම ඔහු, තමා ඉංග්‍රීසියෙන් ලියන කවියකු පමණක් බව පවසා ඇත. විටෙක ඔහු, තමා කාශ්මීර ඇමරිකානුවකු බව කියා තිබේ. එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසන්නේ, පළල් අර්ථයෙන් පාවිච්චි කරන්නේ නම්, කාශ්මීර ඇමරිකානුවකු වෙනුවට, ඉන්දියානු ඇමරිකානු, දකුණු ආසියානු ඇමරිකානු, ඇමරිකානු මුස්ලිම් ආදී යෙදුම් පාවිච්චි කිරීමේ වරදක් නැති බවයි. ඇමරිකාවේ ‘පොයට්‍රි ෆවුන්ඩේෂන්’හි ඔහු පිළිබඳව ඇති විස්තරයට අනුව නම්, ඔහු තමාව හඳුන්වා ගෙන ඇත්තේ, ඉංග්‍රීසියෙන් ලියන ඇමරිකානු කවියකු වශයෙනි. තවත් තැනක සඳහන් පරිදි, හෙතෙම, තමා සංක්‍රමණිකයකු වශයෙන් හඳුන්වා තිබේ. ඔහුගේ කවිවල සඳහන් වන්නේ තමා පිටුවහල්කරුවකු බවයි.

අඝා කවි ලියන්නේ ඇමරිකානු කවියන් නව ආකෘති පිළිබඳ අවධානය යොමු කරමින් සිටි සමයේදීය. ‘නිව් ෆෝමර්ලිස්ම් මූමන්ට්’ ඒ වෙනුවෙන් බිහිවූ සාහිත්‍ය සංවිධානයකි. නිදහස් කවි සම්ප්‍රදාය කවියේ ජනප්‍රියත්වය අඩුවීමට හේතු වී ඇති බැවින්, ‘සොනට්’, ‘ගස්ල්’ සහ වෙනත් සඳැස් කාව්‍ය රටා ඇසුරින් අලුත් ආකෘති නිර්මාණය කරගත යුතුය යන්න නව ආකෘතිවාදීන්ගේ අදහස විය. අඝා ද, ඔවුන් සමග එක් විය. එම නිසා ඔහුගේ කවිවලට විවිධ බටහිර කාව්‍ය සම්ප්‍රදායයන් මෙන්ම උර්දු, සුෆි, පර්සියානු කාව්‍ය සම්ප්‍රදායන්ද බලපෑවේය. ගස්ල් කවිය ඇමරිකාවේ ජනප්‍රිය කිරීමට අඝාගේ නිර්මාණ බෙහෙවින් බලපෑවේය.

‘ෆෙයාවෙල්’ ආදර කවියක් ද?

අඝා ෂහීඩ්ගේ කවිය පිළිබඳ විවරණයක් කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. එසේ වුවත් අමරකීර්ති මෙය ආදර කවියක් විය හැකි යැයි පවසන්නේ කවිය අවබෝධ කරගෙන නැති නිසා බව පැහැදිලි කිරීම පිණිස එහි කොටස් කීපයක් වත් විස්තර කර කවිය කුමක් දැයි පැවසීම උචිතය.

අමරකීර්ති සිය නව කවි සරණිය කෘතියෙහි ඇතුළත් කර ඇත්තේ ‘ෆෙයාවෙල්’ කවියෙහි තැනින් තැන කොටස් කීපයක් පමණි. ‘ෆෙයාවෙල්’ තරමක් දිග කවියකි. අමරකීර්ති සිය පොතට ඇතුළත් කර ඇති කොටස් මෙහි වරහන් තුළ දක්වා තිබේ.

(At a certain point I lost track of you.
They make a desolation and call it peace.
when you left even the stones were buried:
the defenseless would have no weapons.)

When the ibex rubs itself against the rocks,
    who collects its fallen fleece from the slopes?
O Weaver whose seams perfectly vanished,
   who weighs the hairs on the jewller’s balance?
(They make a desolation and call it peace.)
Who is the guardian tonight of the Gates of Paradise?

(My memory is again in the way of your history.)
Army convoys all night like desert caravans:
In the smoking oil of dimmed headlights, time dissolved- all
winter- its crushed fennel.
We can’t ask them: Are you done with the world?

In the lake the arms of temples and mosques are locked in each other’s
reflections.

Have you soaked saffron to pour on them when they are found like this
centuries later in this country
I have stitched to your shadow?

(In this country we step out with doors in our arms
Children run out with windows in their arms.)
You drag it behind you in lit corridors.
if the switch is pulled you will be torn from everything.


At a certain point I lost track of you.
(You needed me. You needed to perfect me.
In your absence you polished me into the Enemy.
Your history gets in the way of my memory.
I am everything you lost. You can’t forgive me.
I am everything you lost. Your perfect Enemy.)
Your memory gets in the way of my memory:

I am being rowed through Paradise in a river of Hell:
Exquisite ghost, it is night.

The paddle is a heart; it breaks the porcelain waves.
It is still night. The paddle is a lotus.
I am rowed- as it withers-toward the breeze which is soft as
if it had pity on me.

If only somehow you could have been mine, what wouldn’t
have happened in the world?

(I’m everything you lost. You won’t forgive me.)
My memory keeps getting in the way of your history.
There is nothing to forgive. You can’t forgive me.
I hid my pain even from myself; I revealed my pain only to myself.

There is everything to forgive. You can’t forgive me.

(If only somehow you could have been mine,
what would not have been possible in the world?)

(for Patricia O’Neill)

කවිය ආරම්භයේ ‘ඔබ’ You යන්නෙන් අදහස් කෙරෙන්නේ, කාශ්මීර පණ්ඩිත්වරුන් මිස ආදරවන්තියක නොවේ. මෙය එක් අතකින් අඝා පුද්ගලිකව පණ්ඩිත්වරුන්ට ආමන්ත්‍රණය කිරීමක් ලෙස හෝ පණ්ඩිත්වරුන්ගේ නික්මයෑමෙන් ශෝකයට පත් කාශ්මීර මුස්ලිම්වරුන් පිරිසක් වෙනුවෙන් පණ්ඩිත්ලා ආමන්ත්‍රණය කිරීමක් සේ ගත හැකිය.

පළමු කොටසේ මුල් දෙපෙළෙන් පැවසෙන්නේ, කථකයාට කිසියම් අවස්ථාවක පණ්ඩිත්වරුන් අහිමි වූ බවයි. එකියන අවස්ථාව නම්, පණ්ඩිත්වරුන් නිජබිම හැර නික්ම ගිය අවස්ථාවයි. අමරකීර්ති එය ‘එක්තරා තැනකදි මට ඔයා ඉන්න කියන තැන් හොයා ගන්න බැරි උනා’ යැයි පරිවර්තනය කිරීමෙන් මතු වන්නේ වැරදි අදහසකි. එනම්, කථකයාට කිසියම් තැනැත්තකු කිසියම් ස්ථානයකදී හොයාගැනීමට නොහැකි අයුරින් මගහැරී ඇති බවයි. අමරකීර්ති ග්‍රහණය කරගෙන ඇත්තේ අඝාගේ කවියේ වචනාර්ථය විනා ධ්වනිය නොවේ. කාව්‍ය පරිවර්තනයේ ඇති එක් දුෂ්කරතාවක් මෙයයි.

අමරකීර්ති, කවිය, කෙටිකතාව හා සමාන යැයි සිතන සෙයකි. කවියේදී වඩාත් වැදගත් වන්නේ වචනවල ව්‍යංජනා ගුණයයි. ධ්වනියයි. බොහෝ දෙනා වචනවල ‘බර’ යැයි හඳුන්වන්නේ මේ ගුණයයි. කවියේදී මුල් භාෂාවේ වචන වෙනත් භාෂාවකට පරිවර්තනය කළ පමණින්, ධ්වනි ගුණය මතු නොවේ.

ඛලීල් ජිබ්රාන්ගේ කෘතියක් සිංහලයට පරිවර්තනය කරමින් සිටි ඇස්. ජී. පුංචිහේවා ලොකු ගැටලුවකට මැදි වූයේය. ඒ, ginger pickle යන ඉංග්‍රීසි යෙදුමට සුදුසු සිංහල යෙදුමක් සොයා ගැනීමට නොහැකි වීමෙනි. ‘ඉඟුරු අච්චාරු’ යන්න සිංහල පාඨකයාට ‘දැනෙන්නේ නැති බව’ ඔහුට සිතුණි. හේතුව ඉඟුරු අච්චාරු සිංහලයින්ට ආගන්තුක දෙයක් වීමයි. ඔහුට ගැලපෙන වචනයක් සොයාගන්නට වසර 9ක් ගත විය. අවසානයේ ඔහු ඊට යෙදුවේ ‘ඉඟුරු පැහි’ යනුවෙනි.

පළමු කොටසේ තුන් වැනි හා හතර වැනි පේළි මෙසේය:
when you left even the stones were buried:
the defenceless would have no weapons.

පණ්ඩිත්වරුන්ගේ අසරණභාවයත්, ඔවුන් සිය නිජබිමෙන් සදහටම එළවා දමන ලද බවත් මෙයින් පැහැදිලි කෙරෙයි. ගල් යනු දැඩි ස්ථිරසාර පහසුවෙන් විනාශ නොවන දෙයකි. ගල් පවා වළලා දැමීම, සියල්ල විනාශයට පත් වුණු, නැති වුණු බව පහදයි. ජනවහරින් කියන්නේ නම්, සමතලා කර දැමුණු බවයි. තෙවැනි පේළිය අගට යොදා ඇති දෙතිත හා බැඳි සිව් වැනි පේළිය, පණ්ඩිත්ලා ගලක් වත් ගසා ගන්නට බැරි තරම් අසරණ, අනාරක්ෂිත, නිරායුද පිරිසක් වූ බව ධ්වනිත කරයි.

අමරකීර්තිගේ සිංහල පරිවර්තනයෙහි පළමු කවියේ, ජන විනාශයක් ගැන කියන තෙවැනි පෙළ, අඝාගේ කවියෙහි වෙනත් තැනකින් (එය දෙවැනි කවියෙහි තුන් වැනි පෙළයි) ගෙනැවිත් බහාලන එකකි. They make a desolation and call it peace. මේ කවි පේළිය අඝා ෂහීඩ්ගේම අදහසක් නොව ක්‍රි.ව. 55 විසූ රෝම දේශපාලකයකු හා ඉතිහාසඥයකු වශයෙන් හැඳින්වෙන, ඇග්‍රිකෝලාහි ටැසිටස් විසින් රචනා කරන ලදුව කැලඩෝනියන් නායකයකු වූ කැල්ගකස් සිය කතාවකදී ප්‍රකාශ කරන ලද, “solitudinem faciunt pacem appellant” යන ලතින් වාක්‍යයේ ඉංග්‍රීසි අනුවර්තනයයි. රෝම ආක්‍රමණයේ විනාශකාරී උපක්‍රම සහ ඔවුන් ලද ජයග්‍රහණය සාමය ලෙස හඳුන්වමින් කළ රැවටීම විදහා දැක්වීමට මේ වැකිය යොදා ගැනිණි.

desolation යන්නට අරුත් කිහිපයක් තිබෙන නමුදු, අරුත මතු කරගත යුත්තේ සන්දර්භයට අනුවය. කාශ්මීරයේ යුද කෝලාහල, ස්ත්‍රී දූෂණ, පහරදීම් ආදිය සිදු වූ බව ඇත්තකි. එහෙත් කවියට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පණ්ඩිත්වරුන්ගේ නික්මයෑම නිසා ඔවුන්ගේ ශිෂ්ඨාචාරයම කාශ්මීර නිම්නයෙන් (පකිස්ථානයට නතු වූ) අතුරුදහන් වීමයි. පණ්ඩිත්වරුන් නික්මගිය පසු ඉතිරි වූයේ මුස්ලිම් ජනයා පමණි. ඒ නිසා කලකෝලාහල නිම වී සාමය ඇති විය. අඝා කවියට නගන්නේ ඒ යථාර්ථයයි. අමරකීර්ති ‘ජන විනාශය’ යන වදන් යොදන්නේ කොටි පරාජය කළ යුද්ධයේ අවසන් සමයේ සිදු වූවා යැයි බොරු චෝදනා නගන ‘ජන සංහාරය’ සිංහල පාඨකයාගේ ඔළුවට හිමින් සීරුවේ ඇතුළත් කිරීමටයි.

‘In this country we step out with doors in our arms
Children run out with windows in their arms.’

මෙහි දොර සහ වැඩිහිටියනුත්, ජනේල සහ දරුවනුත් අපූර්ව සංකල්ප රූප ගොන්නකි. fදාර යනු ආරක්ෂාවයි, ජනේලය යනු නිදහසයි. වැඩිහිටියන් ආරක්ෂාව සොයා පිටිවහල්ව යද්දී, දරුවන් නිදහස සොයා යන බවක් එක් අතකින් එයින් ඇඟවෙයි. වැඩිහිටියන්ගේ සහ දරුවන්ගේ හැසිරීම්, ඔවුන් සිතන පතන අයුරු නිවැරදිව ධ්වනිත වන පරිදි වචන අඝා වචන පාවිච්චි කර තිබේ. වැඩිහිටියන්ගේ පිටවීම විස්තර කිරීමට ‘ස්ටෙප් අවුට්’ (පිය නගනවා, පා තබනවා) යැයි යොදන ඔහු, දරුවන් වෙනුවෙන් යොදන්නේ ‘රන්’ (දුවනවා) යනුවෙනි. වැඩිහිටියන් මේ ගමන යන්නේ කැමැත්තෙන්ම නොව, නොකර බැරි නිසාය. අකමැත්තෙනි. හිමිහිට පා තබා යන්නේ එබැවිනි. දරුවන්ට මේ සිද්ද වන්නේ කුමක් දැයි හරිහැටි නොතේරේ. සමහර දරුවන්ට මෙය ආස්වාදජනක ගමනක් සේ හැඟෙනවාද විය හැකිය. ඒ නිසා ඔවුහු සුපුරුදු කෙළිදෙලෙන් දුවමින් යති.

උරුම බිමෙන් පිටව ගියද, ඔවුන් සිතින් ඒ හා බැඳී සිටින බවද දොර ජනෙල් මගින් සංකේතවත් කෙරෙයි. නිවෙස යනු භූමිය බඳුම නිශ්චල දේපොලකි. එහි ගලවාගෙන යාමට හැකි කොටස්වලට ඇත්තේ දොර ජනෙල් පමණි. නිජබිමෙන් වෙන් වන්නන්, ඒ සිහිවීම පිණිස පස් මිටක් ගෙන යෑම සුලභ කතාවකි. අඝා ෂහීඩ් එය නව්‍ය සංකේත මගින් වඩාත් පළල් අරුත් ධ්වනිත වන සේ ඉදිරිපත් කරයි. අලිගේ සරල වචනවල කොතරම් ධ්වනියක් තිබේ දැයි මෙයින් පැහැදිලිය.

‘ෆෙයාර්වෙල්’ වනාහි පෙර’පර දෙදිග කාව්‍ය සම්ප්‍රදායයන් කිහිපයක් භාවිතයෙන් නිමි කවකි. ‘මේ වූකලි භාෂාත්මක සැරසිලි අවම කවියකැ’යි අමරකීර්ති කියන්නේ ඔහුට මෙහි ඇති භාෂාත්මක සැරසිලි දැකගන්නට හැකියාවක් නැති හෙයිනි. සංස්කෘත විචාරකයින් කියන්නේ කවියේ රස විඳීමට වාසනා ගුණය තිබිය යුතු බවයි. ලියනගේට අඝාගේ කවියේ රස විඳීමට වුවමනා වාසනා ගුණය නැත. භාෂාත්මක සැරසිල්ලක් නැති තැන කවියක් කොහිද? කවිය යනු භාෂා හරඹයේ අග්‍රඵලයයි.

අමරකීර්ති, මෙය ආදර කවියක් විය හැකි යැයි සිතන්නේ එහි මුල් කොටස හා අග කොටස වරදවා ගැනීමෙන් විය හැකිය. මුල් කොටස ඉහත පැහැදිලි කෙරිණි. අග කොටස මෙසේයි:

If only somehow you could have been mine,
what would not have been possible in the world?

වචනාර්ථයෙන් සැලව බැලුවහොත් මෙයින් පැවසෙන්නේ, කොයි විධියකින් හරි ඔයා මගේම කරගන්න පුළුවන් වුනා නම්, මේ ලෝකෙ මොනවද කරන්න බැරි? වැනි අදහසකි.

‘මොනවා හරි විදියකින් ඔබ මගේම වී නම් – ලෝකෙ කොහොම නම් වෙන්න තිබුණද?’ යනුවෙන් අමරකීර්ති මේ පේලි දෙක පරිවර්තනය කර ඇත්තේ වාචාර්ථය ගැනීමෙනි.

අඝා ෂහීඩ් මේ පවසන්නේ පෙම්වතියක ගැන නොවේ. මේ ඉතා ප්‍රබල ධ්වනියක් ඇති වචන මාලාවකි. කුමන ආකාරයකින් හෝ පණ්ඩිත්වරුන් සහ මුස්ලිම්වරුන් සහජීවනයෙන් ජීවත් වන පසුබිමක් නිර්මාණය කරන්නට හැකි වූයේ නම්, ලෝකයේ කරන්නට බැරි දෙයක් තිබේ දැයි කවියා ප්‍රශ්න කරයි. අනෙක් අතින් එයින් ගම්‍යවන්නේ, එබඳු දෙයක් කිරීමට ඇති අසීරුතාවයි.

‘your history gets in the way of my memory’

අමරකීර්ති, කවියෙහි කොටස් කීපයක් සිංහලෙන් ඉදිරිපත් කරන නමුදු ඒවා අතරින් ඔහුගේ අදහස් දැක්වීමට ලක් වන්නේ කවියේ පේළි දෙකක් පමණි. ඒ, ” ‘your history gets in the way පේළිය සහ In your absence you polished me into the Enemy පේළියයි. ඔහුගේ අරමුණ මේ කවි පේළි දෙක ඔහුගේ දේශපාලන මතවාදයට ගැලපෙන පරිදි අර්ථගන්වා එම දේශපාලන මතය පාඨකයන්ට කාවැද්දීමයි. කාව්‍ය විචාරකයෙකුට නොගැළපෙන පටු දේශපාලන වුවමනාවක් ඉටු කිරීමට කාව්‍යයේ එම වචන පේළිය යොදා ගැනීම හා එය ශ්‍රී ලංකාව හා ගැලපීමට ගන්නා උත්සාහය හේතුවෙන් අමරකීර්ති මංමුලාවුවෙකු බව ඔප්පු වේ.

‘your history gets in the way of my memory’ වදන් පෙළ, අඝාගේම නිර්මාණයක් නොව, ඔහු අහිංසක ලෙස සොරකම් කළ එකක් බව දන්නා පිරිස අල්පය. මේ යෙදුමෙහි සැබෑ නිර්මාණකාරිය, සම්මානිත මහාචාර්ය පැට්‍රිෂියා ඕනිල්ය.

ඕනිල් සහ අඝා, ඇමරිකාවේ හැමිල්ටන් කොලිජියේ දී දැනහඳුනා ගත් අතිශය සමීප මිතුරෝය. අපගේ සංවාදයට බඳුන් වන වැකිය පැට්‍රිෂියා මුවින් ගිලිහී ඇත්තේ, ඇයට වඩා වයසින් බාල සගයකු සමග පැවති සංවාදයකදීය. 60 දශකයේ ජීවිතය පිළිබඳව මේ සංවාදය පැවතී ඇත්තේ 90 දශකයේ මුලදීය. පැට්‍රිෂියා 60 දශකය පිළිබඳව තම ජීවිත අත්දැකීම් ඇසුරින් විස්තර කළ අතර වයසින් බාල මිතුරාට ඒ පිළිබඳ ජීවිත අත්දැකීම් තිබී නැත. ඒ වෙනුවට කරුණු දක්වනු ලැබ ඇත්තේ කියවූ පොත්වලින් සහ නැරඹූ චිත්‍රපටිවලින් දැන උගත් කරුණු ඇසුරිණි. එහෙත් ඒ කරුණු සත්‍යයෙන් තොර විකෘතියක් වූයෙන් තව දුරටත් සංවාදය කරගෙන යන්නට නොහැකි තත්වයක් උදාවිය. ඒ අවස්ථාවේ, පැට්‍රිෂියා, your history gets in the way of my memory යැයි කීවාය. එතැන සිටි අඝාට මේ අපූරු වැකිය ඇසුණි. ටික කලකට පසුව ඔහු එය ‘ෆෙයාර්වෙල්’ කවියට ඇතුළත් කළේය. (මෙය මහාචාර්යවරිය වෙතින් තහවුරු කරගන්නා ලද සත්‍ය පුවතකි) ඒ කළ අහිංසක හොරකමට හිලව්වක් ලෙස කවිය අවසානයේ ‘ෆෝ පැට්‍රිෂියා’ යනුවෙන් යෙදිණි. (අමරකීර්ති මෙය ආදර කවියකැයි වරදවා ගන්නට, එයද හේතු වූවා විය හැකිය.)

පැට්‍රිෂියා, තමා දන්නා සත්‍ය ඉතිහාසයට එරෙහිව ඇගේ සගයා ඉදිරිපත් කළ විකෘති ඉතිහාසය ප්‍රතික්ෂේප කරමින් පැවසූ වැකිය, අඝා භාවිත කර ඇත්තේ ඊට සපුරාම විරුද්ධ අරුතිනි. එනම්, අඝාගේ මතක සටහන්වලට වඩා සැබෑ ඉතිහාසය වෙනස්ය. මේ ප්‍රතිවිරුද්ධ භාවිතාව නිසා, අඝා නොදැනුවත්වම, කවියේ සෙසු කොටස්වලින් මතු කෙරෙන අදහස්වලට සපුරාම පටහැණි අදහසක් මෙයින් පැන නැගී කවිය විකෘතියක් බවට පත් වෙයි.

ඉහත සඳහන් කෙරුණු ඉර්ෆාන් හසන්ගේ ප්‍රකාශයෙන් මෙන්ම අඝා තමන් පිළිබඳව කර ඇති හැඳින්වීම්වලින්ද පැහැදිලි වන්නේ අඝා ෂහීඩ් ජාතිකත්වය පිළිගත් අයෙකු බවයි.

අමරකීර්ති පෙන්වන්නට උත්සාහ කරන්නේ ඊට විරුද්ධ දෙයකි. ඔහු ජාතිකත්වය අයහපත් දෙයක් බව පවසයි. එය පැහැදිලි කිරීමට ජාතිකත්වය පිළිගත් කවියෙකුගේ ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වන්නේ, ඔහු අඝා ෂහීඩ්ගේ කවිය රස නොවින්ද බව හා සන්දර්භගත දාර්ශනිකත්ව න්‍යාය යටතේ එය විමසුමට ලක් කර නැති බවයි.

අඝා ’ෆෙයාවෙල්’ කාව්‍යය මගින් මූලිකව පවසන්නේ, අසරණභාවයේ පත්ලට වැටී සිටි පණ්ඩිත්ලාට සිදු වූ හිංසාව සහ ඊට අදාළ දේශපාලන සහ යුදමය පසුබිම ගැනයි. ඇමරිකාවේ ජීවත් වූ අඝා, කවියෙකු වශයෙන් පණ්ඩිත්ලා කෙරෙහි ස්නේහයක් දැක්වූයේ නම් පුදුමයට කාරණයක් නොවේ. අඝා ෂහීඩ් සිය ආගමට දැඩි සේ භක්තිමත් වූයේය. ඔහු ඉස්ලාම් ලෝකයෙන් වෙන් වූ බව කිසි විටක කියා නැත. කාශ්මීරයේ මුස්ලිම් පවුලකට අයත් සල්මන් රූෂ්ඩි මෙන්, ඉස්ලාම් මූලධර්මවාදීන් තැතිගන්වනසුලු කිසිවක් ලියා නැත.

‘ෆෙයාවෙල්’ කවිය මගින් පණඩිත්ලා වෙත කාරුණික බැල්මක් හෙළුවද your history gets in the way of my memory පද පෙල ඊට ඇතුළු කිරීම මගින්, අඝා පණ්ඩිත්ලාට කරන්නේද අසාධාරණයකි. ඔවුන්ගේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමකි. ඔහු කවියේ සෙසු කොටස්වලින් හින්දු බ්‍රාහ්මණයින් වෙත හෙළන සානුකම්පිත, ආදරණීය දෘෂ්ටිය සමග මේ අදහස එක් එල්ලේම ගැටෙයි. නමුත්, වචන භාවිතාවේ ඇති සුන්දරත්වය, නැතිනම් කාව්‍ය ප්‍රයෝග නිසා, පාඨකයාට මෙන්ම විචාරකයාටත් එකවර මෙය නොදැනෙයි. මේ තත්වය අවබෝධ වන්නට නම්, සමස්ත ඉතිහාසය දෙස විමසුම් ඇසින් බැලිය යුතුය.

කාශ්මීරයේ හින්දු බ්‍රාහ්මණයින් හෙවත් පණ්ඩිත්ලාට දිගු ඉතිහාසයක් තිබේ. අඝා තම මතකය යැයි කියන්නේ ඔහු ළමා වියේ ගත කළ කාලයේ අත් දුටු ඉතිහාසයටයි. එය අඝාට මතක ඉතිහාසය වුවද, පණ්ඩිත්ලාට එය සැබෑ ඉතිහාසය නොව, මෑත ඉතිහාසයයි. තමන්ගේ උරුමය තමන්ට අහිමි වූවාට පසු කාලයේ ඉතිහාසයයි.

එහෙයින් පැට්‍රිෂියාගේ Your history gets in the way of my memory වදන් පෙළ ඇගේ සංවාදය හා ගැළපුනද, අඝාගේ කවියේ අර්ථය සමග ගත් විට දැකිය හැක්කේ විකෘතියකි. අමරකීර්ති මෙය අඝාගේ කවියේ ඇති දාර්ශනික අදහසක් යැයි කීවද, ඔහුම පවසන විචාර න්‍යායේ පිහිටා එය විග්‍රහ කරන්නට ඔහු අසමත්ය. ඒ වෙනුවට ඔහු එය ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිවාදීන්ට උඩගෙඩි දීම පිණිස පාවිච්චි කරයි.

දාර්ශනික අදහසක් යනු ජීවිතයට හෝ සමාජයට හෝ යහපතක් කෙරෙන නැවුම් අදහසකි. පැට්‍රිෂියාගේ වැකිය කාව්‍යාත්මක නමුත් එහි අලුත් දර්ශනයක් නැත. ‘මා අත්විඳි සත්‍ය ඉතිහාසය හමුවේ පොතපතින් හා චිත්‍රපටියෙන් ඉගෙන ඔබ පවසන දේ අසත්‍යයකි’ යන්න පැට්‍රිෂියාගේ වැකියේ අර්ථයයි. අඝා ෂහීඩ් වහවැටුණේ තම මිතුරියගේ ප්‍රකාශනයේ සුන්දරත්වයටය. එය තම නිර්මාණයේ අරුත හා ගැටෙන බවක් ඔහුට නොවැටහිණි.

අමරකීර්තිට අනුව ජාතිකත්වය උගුලකි. ‘මේ උගුලෙන් ගැලවෙන්නට අපට හැකි වන්නේ ඉතිහාසය මිනිස් ඉතිහාසයක් මිස ‘ජාතික’ යැයි ජනවාර්ගික නමක් දිය හැකි දෙයක් නොවන බව වටහා ගැනීමෙන් පමණි’ ඔහු කියයි. නූතන බටහිර විද්‍යාඥයින් පැහැදිලි කරන පරිදි, ජාතිකත්වය වැනි අදහස් මිනිස් මොළයෙහි ජනිත වන්නේ සිය පැවැත්ම සඳහා කණ්ඩායම් සාමූහිකභාවය අවශ්‍ය නිසාය. එය සිරුරේ රසායනික ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නකි.

බුදු දහමට අනුව මෙය පෘතග්ජනභාවයේ ලකුණකි. පෘතග්ජනභාවයෙන් මිදී සක්කායදිට්ඨිය නැති කරගන්නා තැනැත්තන්ට එවැනි හැඟීම්වලින් මිදීමට පුළුවන. අඝා ෂහීඩ් සක්කායදිට්ඨියෙන් මිදුණු අයෙකු නොවේ. අමරකීර්ති සක්කාටදිට්ඨිය නැතිකරගත් තැනැත්තෙකු යැයි කියන්නට සාක්කිද නැත. ඔහු, ඉතිහාසය මිනිස් ඉතිහාසයක් මිස ජාතික යැයි ජනවාර්ගික නමක් දිය හැකි දෙයක් නොවන බව අනුන්ට අවබෝධ කරදෙන්නට සුදුසුකම් ඇත්තෙකු නොවන බව සනාථ කෙරෙන සාක්කි නම් තිබේ. මේ නිදසුන්ය:

අමරකීර්ති කවිය පිළිබඳ පළ කළ එක් පොතක, රත්න ශ්‍රී විජේසිංහගේ නිර්මාණ ගැන කිසිවක් නැත. රත්න ශ්‍රී විජේසිංහගේ කවි ගැන කතා නොකර, වත්මන් කවිය ගැන කතාකිරීම එක් අතකින් ශාස්ත්‍රීය දුර්වලකමේ ලකුණකි. අමරකීර්ති රත්න ශ්‍රී ගේ නිර්මාණ ගැන සාකච්ඡා නොකරන්නේ, ඔහු සමඟ ඇති පුද්ගලික අරෝවක් නිසා බව තතු දන්නෝ දනිති. අනික් අතින් ඔහු හැකි හැම තැනකදීම රත්න ශ්‍රී දෙකයි පනහට දමා කතා කරයි. එමෙන්ම, ඔහු සිය මහාචාර්ය පදවියේ ආනුභාවයෙන් ආච්ඥාවෙන් විශ්වවිද්‍යාලය් මෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රයේද සතුරන් පොලු ගසන බවත් ගොට්ටන්ගේ සුඛ විහරණය පිණිසම කටයුතු කරන බවත් සුප්‍රකට රහසකි. ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම්, මෙබඳු ගෝත්‍රවාදීන්ගෙන් විශ්වවිද්‍යාල හිස් නැත. මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය සරත් විජේසූරිය සහ තවත් බොහෝ අය ගැන ප්‍රසිද්ධව ඇති එබඳු කතාවලින් යුද්ධය හා සාමයට වඩා විශාල පොතක් පුරවන්නට පුළුවන. විජේසූරිය මෑතක පළ කළ ‘කවි මංජුසාව’ දක්ෂ කවිකිවිඳියන් ගණනාවකගේ බෙල්ල කැපූ කෘතියකි.

ජාතිකත්වයෙන් තොරව පොදු මිනිසුන් වශයෙන් සිතන්න යැයි කියන්නට අමරකීර්තිට සදාචාරාත්මක අයිතියක් නැත. ඒවා පුහු මිනිසුන්ගේ ආකර්ශණය දිනාගත හැකි සුන්දර වාක්‍යයන් පමණක්ම වේ. අඝා ෂහීඩ් වුව ජාතිකත්වය ගැන එක් එක් වෙලාවට එක් එක් කතා කියා තිබේ. තමා ඉංග්‍රීසියෙන් ලියන ඇමරිකානු කවියෙකැයි අඝා පැවසූ බව ‘ඇමරිකන් පොයට්‍රි ෆවුන්ඩේෂන්’ කියයි. එය අඝාගේ කපටි කතාවකි. ඇමරිකාවේ අඝාට ඇති ප්‍රසිද්ධියට එක් හේතුවක්, ඔහු ඇමරිකානුවකු ලෙස පෙනී සිටීමයි. ජාතියක්, ආගමක් නැත වැනි කතා කියන බොහෝ කලාකාරයෝ ආත්ම වංචාකාරයෝය. බොහෝ දෙනා සිය ආගමට ජාතියට එරෙහිව කතා කරන්නේ එවැනි කතාවලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබිය හැකි බැවිනි.

අමරකීර්ති මෙහිදී ඉතා සාවද්‍ය ප්‍රකාශයක් කරයි. ඒ ජාතිකත්වය සහ ජාතිවාදය පටලැවීමයි. ජාතිකවාදය නිසා ලෝකය විනාශ වී ඇතැයි ඔහු කියයි. මෙය ලෝකයේ බොහෝ රටවල ජාතිකවාදය හිස ඔසවන කාලයකි. යුරෝපය එහි පෙරමුණේම සිටී. ජාතිකවාදය සහ ජාතිවාදය එකක් නොවේ. ජාතිවාදියා තම ජාතිය පමණක් පිළිගෙන සෙසු ජාතීන් ප්‍රතික්ෂේප කරන්නෙකි. උතුරේ දෙමළ ජාතිවාදීන් උදාහරණයකි. ඔවුහු සිංහලුන්ට උතුරට එන්නට ඉඩ නොදෙති. ඉපැරණි පන්සල් පවා උගුල්ලා දමන්නට වෙහෙසෙති. සිංහල ජාතිකවාදියා එවැනි ස්ථාවරයක් නොදක්වයි. රටේ ඕනෑම තැන දෙමළ ජනයාට ජීවත් වීමට හැකියාව ඇත්තේ එහෙයිනි. සිංහල ජාතිකවාදියා කරන්නේ, දෙමළ ජාතිවාදියාගෙන් සිංහලයින් ආරක්ෂා කරගැනීම පිණිස ඉදිරිපත් වීමයි. ජාතිකවාදය පිළිබඳ අදහස් සිංහලයින් අතර ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින මේ සමයේ අමරකීර්තිලාට අවශ්‍යව ඇත්තේ සිංහල ජාතිකවාදියාත් ජාතිවාදියකු කර ජනතා අප්‍රසාදයට පත් කිරීමයි. ඒ ඔවුන්ගේ පක්ෂ දේශපාලනයේ සුබසිද්ධිය වෙනුවෙනි. දෙමළ ජාතිවාදීන් සමග මාලිමාව හොර ගිවිසුම් ගසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

විවිධ ජාතීන්, ආගම් අතර සංහිඳියාව ඇති කළ හැක්කේ කෙසේද යන්න ගැන අපූරු අදහසක් අඝාගේ කවියේ තිබේ. එය නම් දාර්ශනික කියමනකි.

In your absence you polished me into the Enemy.

අමරකීර්ති මේ කවි පේළිය ගැන මෙසේ කියයි:

‘ඔබ නැති තැන යනු ඔබ සිහියෙන් නොසිටින තැනය. ජාතිවාදය, ජාතිකවාදය හා ජනවර්ග කේන්ද්‍රීය ඉතිහාසය ඔබේ මනුෂ්‍යත්වය ඔබ වෙතින් ඉවත් කර ඇත. ඒ නිසා ඔබ කරන්නේ මාව සතුරෙකු බවට ඔප දැමීමය.’

අමරකීර්ති එසේ කියන්නේ ඔහුම පවසන විචාර න්‍යායේ පිහිටා නොව, ඔහුගේ දේශපාලන අවශ්‍යතාවට අනුවය. අඝා, ජාතිකත්වය ප්‍රතික්ෂේප කළ අයෙකු නොවේ. එම නිසා අමරකීර්ති පවසන ආකාරයේ අර්ථයක්, අඝා මේ කවි පේළියෙන් අරමුණු කළ බව පැවසිය නොහැකිය. මෙහි In your absence යනු පණ්ඩිත්වරුන් විතැන්වීමයි. polished me into the Enemy යනු මා සතුරෙකි යන සිතිවිලි වර්ධනය වූ, වර්ධනය කරවන ලද බවයි. ඔබත් අපත් දෙපසකට වී, අප අතර ඇසුර නැති වූ පසු, මා සතුරකු බවට ඔබ තුළ වූ අදහස් වැඩි දියුණු වූ, වැඩිදියුණු කරවූ බවයි.

සංහිඳියාව ඇති වන්නේ විවිධ ජන වර්ග ආගමිකයින් එකට වාසය කිරීමෙනි. වෙන් වෙන්ව වාසය කිරීමෙන් හා රටවල් කැබලි කර ඒ ඒ පිරිස්වලට පැවරීමෙන් වන්නේ, එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය නැති වී වෛරය, ක්‍රෝධය පැතිරීමයි. අඝාගේ මේ කියමන සත්‍යයකි. ශ්‍රී ලංකාවේ උතුරේ සිද්ධ වූයේ එයයි. දීර්ඝ කාලයක් දෙමළ ජනයා සමඟ සමගියෙන් එහි විසූ සිංහල ජනයා යාපනයෙන් පන්නා දමන ලදහ. එයින් පසු කාලයේ සිදුවූයේ බලලෝභී, අවස්ථාවාදී, බෙදුම්වාදී දෙමළ දේශපාලඥයින් හා ත්‍රස්තවාදීන්, සිංහලයින් යනු දෙමළ ජනතාවට හිංසා පීඩා කරන නපුරු ජනකොටසක්ය යන අදහස යාපනේ දෙමළ ජනයාගේ හිතට ඇතුළු කිරීමයි. ගොබෙල්ස් න්‍යායට අනුව දිගින් දිගටම මේ බොරුව අසන්නට සැලස්වීමෙන් සිංහලයින් නැති යාපනේ ඇතැම් ජනයා දේශපාලඥයින් කියන කතාව ඇත්තක් යැයි පිළිගන්නට පෙළඹුණහ.

එහෙත් යාපනේ පොදු ජනතාව මේ අදහස පිළිගන්නේ නැත. හොඳම උදාහරණය නාවක්කුලියේ තාවකාලිකව පදිංචි කර ඇති 80 දශකයේ යාපනේ විසූ සිංහලයින් සහ ඔවුන් පදිංචි භූමිය ආසන්නයේ පිහිටි ‘300 ගමේ’ ජීවත් වන දෙමළ ජනයා අතර ඇති මිත්‍රත්වයයි. එහෙත්, දෙමළ ජාතිවාදියෝ ඒ මිත්‍රත්වය පවත්වාගෙන යෑමට ඉඩ නොදෙති.

සිංහල දෙමළ ජනතාව එකට වෙසෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි සහ රටේ වෙනත් ප්‍රදේශවල, දෙමළ ජනතාව සිංහලයන් ගැන හොඳ අවබෝධයකින් සිටිති. සංවිධානාත්මකව කෝලාහල ඇති කෙරුණු අවස්ථා කීපයකදි ගැටුම් ඇති වූවා මිස, සිංහලයන් දෙමළ ජනයාගේ සතුරන්ය, සිංහලයන් දෙමළ ජනතාවට අසාධාරණකම් කරන්නේය යන අදහස් ඔවුන් තුළ නැත.

සිංහලයන් දෙමළුන්ට සතුරුකම් කරන්නේ නම්, උතුරේ යුද්ධය නිසා කරදර සිදුවෙද්දී, දෙමළ ජනයා සිංහලයන් සිටින දකුණට ගියේ ඇයිදැයි අරුන් සිද්ධාර්ථන් ප්‍රශ්න කරමින් පහදා දුන්නේ මේ යථාර්ථයයි.

උතුරු වෙනම රාජ්‍යයක් බිහිකිරීමට අවශ්‍යව ඇත්තේ බෙදුම්වාදී දේශපාලකයන්ට මිස සාමාන්‍ය ජනයාට නොවේ. මාලිමාව අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නට යන්නේ බෙදුම්වාදීන්ගේ අරමුණ ඉටුකර දෙන්නට මිස, දෙමළ ජනතාවගේ යහපතට නොවේ. කාදිනල්තුමා ඇතුළු පිරිස ඊට සහාය දෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය මගින් බුද්ධ ශාසනය දුර්වල කිරීමේ අරමුණිනි.

දෙමළ ජනතාවගේ (නැති) ප්‍රශ්න විසඳන්නට නම් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි fදාඩවන අමරකීර්ති වැන්නන්ට අඝා ෂහීඩ් අලි අපූරු පාඩමක් කියා දෙයි. ලොව ඇතැම් තැනක රටවල් බෙදී කෑලි කැඩී අලුත් රටවල් බිහි වන මෙසමයේ, මෙය නම් අලුත් දර්ශනයකි. සිංහලයන් උතුරේ පදිංචි වීම සාමයට බාධාවක් යැයි කියන මාලිමාවේ දේශපාලනයට මෙය හොඳ උත්තරයකි.

උතුරේ සිංහලයින් වාසය නොකළ බවත්, එහි ඇති බෞද්ධ පුරාවස්තු දෙමළ බෞද්ධයන්ගේ බවත් දෙමළ බෙදුම්වාදීහු පවසති. අමරකීර්ති උතුරේ දෙමළ ඉතිහාසයක් ගැන කියන්නේ ඒ ලණුව ගිලීමෙනි.

අංක 13, 141 සීගිරි ගීවලින් සීගිරිය නැරඹීමට උතුරින් පැමිණි සිංහලයින් ගැන කියැවේ.

  1. උතුර්පස් වැසි සමනලබතිමි. මෙ ගී ලීමි
    අරන අවුජ් බෙයදගිර නැග ඇති පවසයෙනි
    පියසිනි එවන්නෙහි එනො සිහිනෙයිනි දුටුයයුන සෙයි

මේ කවිය ලියා ඇත්තේ උතුරින් පැමිණි සමනලබති නම් අයෙකි. එය සිංහල නමක් බව පැහැදිලිය.

  1. උතුර්පස් වැසි අග්බොයි මෙ ගී
    ම සෙයි එ මෙදෙස සැනැහැත්තන් ඇත්තක් සෙයි
    තෙමෙ ගතුද් එ මෙ සිත් සෙ දස යෙයි බලයි නො

උතුරින් පැමිණි අග්බො නමැත්තෙකු ලියූ මේ කවිය එහි සිංහලයින් විසූ බවට හොඳ සාක්කියකි.
යාපනේ ඇති දෙමළ සෙල්ලිපි උපුටමින් එහි දෙමළ උරුමය ගැන කියන්නෝ සිටිති. යාපනේ ඇති පැරණිම සෙල්ලිපිය 12 වන සියවසේදී මහාපරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දකි. එහි පරාක්‍රමබාහු රජු හැඳින්වෙන්නේ ‘සකල සිංහල චක්‍රවර්තී’ යනුවෙනි. ඌරාතොටින් (වර්තමාන කයිට්ස්) රටට ගොඩබසින දෙමළ නාවිකයින් බදු ගෙවිය යුතු බව ඒ සෙල්ලිපියෙන් ප්‍රකාශ කෙරෙයි. එය දෙමළ බසින් පළ කරවන්නට හේතුව එයින්ම පැහැදිලිය. කෝල්බෲක් කොමිසම් වාර්තාවේද උතුරේ දෙමළ වැසියන් හැඳින්වෙන්නේ සංචාරක වෙළෙන්දන් වශයෙනි.

ආචාර්ය Dagmar Hellmann Rajanayagam විසින් The Indian Economic and social History Reviwe සඟරාවේ 26 කාණ්ඩයේ 2 වැනි කලාපයට (1989) Arumuka Navalar: Religious reformer or national leader of Eelam යනුවෙන් සැපයූ ලිපියේ, ක්‍රි.ව. 1796 දී බ්‍රිතාන්‍ය පාලකයන් යාපනය අර්ධද්වීපය තුළ හින්දු කෝවිල් 300ක් ඉදි කළ බවට තොරතුරු ඉදිරිපත් කරයි. මේ කෝවිල් ඉදිකර ඇත්තේ ඒ වන විට පැවති බෞද්ධ විහාර මතය.

පසුව බ්‍රිතාන්‍යයන්, ආරුමුග නාවලර් ඉදිරියට දමා බොරු ඉතිහාසයක් ප්‍රචාරය කරන්නේ සිංහල දෙමළ දෙපිරිස අතර අසමගිය ඇති කිරීමේ අරමුණෙනි. දෙමළ ජාතිවාදය ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙළේ ප්‍රතිඵලයකි. අද දක්වා කාශ්මීරයේත් ශ්‍රී ලංකාවේත් ඇත්තේ එදා බ්‍රිතාන්‍යයන් නිර්මාණය කළ අර්බුදවල ප්‍රතිඵලයි. අප දෙරටේ පමණක් නොව, බ්‍රිතාන්‍යයන් කඩාපැන්න හැම රටකම මෙවැනි අර්බුද පවතී.

දෙමළ ජාතිවාදය උත්සන්න වූ පසු, 80 දශකයේදී යාපනේ විසූ සිංහලයින්ට හා මුස්ලිමුන්ට යාපනේ හැරදා යන්නට සිදු විය. බොහෝ දෙනාට සිය දෙපොළ හා උපයා සපයාගත් සියල්ල අහිමි විය. අදටත් ඔවුන්ට ආපසු යන්නට හැකි වී නැත. ආරක්ෂක හමුදාවලට ලබා දුන් ඉඩම් ආපසු දෙන්නැයි උද්ඝෝෂණය කරන අය, යාපනේ සිටි සිංහල, මුස්ලිම් මිනිසුන් හා ඔවුන්ලේ දේපොල කතා නොකරති.

එහෙයින්, අමරකීර්තිලා මහ ඉහළින් වර්ණනා කරන බොරු ඉතිහාසයට එරෙහිව ‘යුවර් හිස්ටරි ගෙට්ස් ඉන් ද වේ ඔෆ් මයි මෙමරි ඇන්ඩ් මයි හිස්ටරි’ යැයි කියා සත්‍යය පැහැදිලි කරන්නට යාපනේ විසූ සිංහලයින්ට පුළුවන.

අමරකීර්ති ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක සාහිත්‍යය හදාරා ආචාර්ය උපාධිය හිමි කරගත් නමුදු, ඔහු කවි විචාරයට ලක් කරන්නේ තමා උගත් විචාර න්‍යායයන්ට අනුව නොවේ. මොන තරම් දේ හැදෑරුවත්, කෙබඳු අත්දැකීම් ලැබුවත් ඒ දැනුම, සම්ප්‍රදායයන්, විනය පසෙක දමා සිය පටු ද්ශපාලන අරමුණු වෙනුවෙන් ඉදිරිපත් වීම ඔහුගේ ස්වභාවයයි. අරගලය සමයේ ඔහු ඇමරිකානු තානාපතිනි ජුලී චංග් අමතමින් ‘දි අයිලන්ඩ්’ පුවත්පතට ලියූ වීවෘත ලිපිය උදාහරණයකි.

ඔහු ලිපිය අරඹන්නේ මෙසේය:

April 7, 2022

I know quite well that Americans do not like too much formality, and let me address you by your first name, Julie.

So, dear Julie,

Let me introduce myself first. I am a Fulbright Scholar (1998-2000), and I am extremely proud that I am one. After my Fulbright period, I was awarded a series of other fellowships by the University of Wisconsin to finish my PhD. Before joining the University of Peradeniya, I taught for four years at Cornell University. All those 10 years in the US and the education I received there enriched my vision of life and the world.

මොළයේ අමාරුවක් නැති මොනම හෝ උගතෙක් මෙවැනි මෝඩ ලිපියක් නොලියයි. ලංකාවේ ඇමරිකානු තානාපතිවරියට නමින් ආමන්ත්‍රණය කිරීම තානාපති සම්ප්‍රදාය නොදත් හෝ නොසලකන ත්‍රස්තවාදී ක්‍රියාවකි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් පළ කර ඇති තානාපතිවරුන්ගේ අත්පොතේ සඳහන් පරිදි, තානාපතිවරයකුට නමින් ආමන්ත්‍රණය කළ හැක්කේ දීර්ඝ කාලීන මිතුරකුට පමණි. නැතිනම්, Mr. /Madam Ambassador or Ambassador Jones ආදි වශයෙන් ගෞරවාන්විතව ඇමතිය යුතුය. ලංකාවේ ඇමරිකානු තානාපතිනිය යනු ඇමරිකාවේ සලකුණයි. අමරකීර්තිගේ ලිපිය ඇමරිකාවට අපහාසයකි.

රාජපක්ෂවරුන්ට ඇමරිකාවේ පදිංචියට ඉඩ නොදෙන්නැයි ඔහු ජුලී චංග්ට දන්වන්නේ ඇමරිකාව ඉතිහාසයේ එවැනි වැරදි කළ රටක් බව සඳහන් කරමිනි. යම් පුද්ගලයෙකුට ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන්නැයි ඇමරිකානු තානාපතිවරයෙකුට නිර්දේශ කළ හැක්කේ, එයින් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය උල්ලංඝණය වේ නම් හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ නම් හෝ පමණි. ඔහු වියානා සම්මුතිය උල්ලංඝණය කරන්නැයි ඇමරිකානු තානාපතිනියට කියයි. අමරකීර්තිගේ ලිපිය පුරාම දකින්නට ඇත්තේ, තානාපතිවරයකු සතු වගකීම් සහ බලතල පිළිබඳ ඔහුට කිසිදු අවබෝධයක් නැති බවයි.

ඇමරිකාවේ විසූ වසර 10 තුළ ජීවිතය ගැනත් ලෝකය ගැනත් සිය දැක්ම පොහොසත් වූ බව මෙම ලියුමේ සඳහන්ව ඇතත්, අමරකීර්තිට එවැනි දැක්මක් ඇතැයි නොපෙනේ.

තමා කෙතරම් ප්‍රශස්ති ලියුවත්, මහාචාර්යතුමා තමන්ව සත පහකට ගණන් ගන්නේ නැතැයි ප්‍රියංකර නිවුන්හැල්ල කලකට පෙර කංකෙඳිරිගාමින් උන්නේය. පසුගියදා අමරකීර්ති ඔහුගේ දොළදුක සන්සිඳුවා තිබුණි. ඒ නිවුන්හැල්ල පිළිබඳව තම පොතක ඇගැයුමක් කිරීමෙනි. සතුටින් පිම්බුණ නිවුන්හැල්ල මෙසේ ලියයි.

(උපුටාගැනීම)

“ලියනගේ අමරකීර්තිගේ නවතම කාව්‍ය සංග්‍රහය මහ සිහිනයක මිහිරි කරදර නමින් දැන් නිකුත් වී ඇත. එය විදර්ශන ප්‍රකාශනයකි. මේ නවතම කාව්‍ය සංග්‍රහයේ ඔහුගේ කවිය ගැන මා පළකළ අදහසක් උපුටා දක්වන්නට තරම් ඔහු නිහතමානී වී තිබීම මහත් සතුටකි. ඇතුළු පිටුවක ඔහුගේ කවිය වෙත මා දැක්වූ සංවේදීතාවය ඔහු අගය කර ඇත්තේ පරාක්‍රම, රත්න ශ්‍රී, සරත් විජේසූරිය, සුනිල් විජේසිරිවර්ධන, බුද්ධදාස ගලප්පත්ති වැනි ප්‍රකට සාහිත්‍ය චරිත අතර මගේ නම සඳහන් කරමිනි. මා වැඩිපුරම කතා කර ඇති නන්දන වීරසිංහ වැනි කවියකුගේ පොතක අවම වශයෙන් මගේ නමක් හෝ සඳහන් වී නොමැත.”

(උපුටාගැනීම අවසන්)

සාහිත්‍යකරුවන් ගැන පර්යේෂණ කරන මනෝවිද්‍යාඥයින්ට හා සමාජවිද්‍යාඥයින්ට මෙවැනි ප්‍රකාශ මැණික් ඉල්ලම් බඳුය.

දේශපාලන දැක්ම අතින්ද නිවුන්හැල්ල අමරකීර්තිට සමාන, දෙමළ බෙදුම්වාදයට කඹුරන්නෙකි. සිංහල බෞද්ධ සංස්කෘතියට ද්වේශ කරන්නෙකි. ඔහු පසුගිය රණවිරු සැමරුමදා මුහුණු පොතේ මෙවැනි සටහනක් තැබුවේය.

(උපුටාගැනීම)

“ඉස්ලෝකවල මාපිය ගුණ සම්භාවනා වාගේ වැඩසටහන් හරියට. ළමයි දෙමව්පියො එකට තියලා අඬවනවා. එහෙම දේවල් මාර බුද්ධාගම වෙච්ච රටක තව අවුරුදු ගානක් ඔය යුධ ජයග්‍රහණ මගුල සමරයි. බුදුන් රෝහිණී නදිය සමීපයට ගිහිල්ලා ශාක්‍ය කෝලිය දෙපිරිසට කියපු දේවල් බුද්ධාගමට ඒ එකක් ගන්ඩ තිබුණහම ඇති.”

(උපුටාගැනීම අවසන්)

පසුව නිවුන්හැල්ල, අමරකීර්තිගේ පොතක් ගැන විචාරයක් ලියමින් මෙසේ කියයි.

(උපුටාගැනීම)

“…ඇතැම් කවියක ඔහු රූපකය යොදාගන්නා ආකාරය අතිශයින් රමණීය වන අතරම එමගින් කවියේ බහුශාබ්දිකත්වය තියුණුව අවුළුවයි. “අන්ධ කුකුළා” නම් කවිය මේ සඳහා දිය හැකි කදිම නිදර්ශනයකි. ඉතා සිත් ඇදගන්නා සුළු තානයකින් හඬ නගා කියවීමට ද හැකි ඒ කවියේ ස්ටැන්සා කීපයක් පහතින් දැක්වේ.

එන්න මා හා හොයන්නට යමු
අන්ධ කුකුළා ලගින තැන්

අන්ධ කුකුළා හඬනගයි
තිත්ත මහ රෑ පාන්දර හෝ මහ දවල්

එළිය එළියක් වී ඇතැයි
ඌ සිතන විට මහ රැයෙත්
අන්ධ කුකුළා හඬ නගයි

ඒ සෑම විට මමද ඇහැරෙමි
සැවුල් කැඳවුම් නාදයෙන්

………..
……….

කවිය කීප වරක් කිය වූ පසු ලගින තැන සොයා ගත නොහැකි වූ අන්ධ කුකුළා ගේ නාදය විවිධ තල වෙත අප ගෙන යයි.’

(උපුටාගැනිම අවසන්)

කුකුළන්ට වේලාව දැනගන්නට හෝ ලගින තැන සොයාගන්නට හෝ ඇස් පෙනීම අවශ්‍ය තැන. කුකුළාගේ සිරුරේ ජීවවිද්‍යාත්මක හෝරා යන්ත්‍රයක් internal circadian clock තිබේ. උගේ මොළයේ කේතුක ග්‍රන්ථිය Pineal gland නම් ග්‍රන්ථියක්ද පිහිටා ඇත. මේ ග්‍රන්ථිය හිස්කබල විනිවිද ආලෝකය හඳුනාගන්නට සමත්ය. ඌ නිසි වේලාවට හඬලන්නේ මේවායේ ආධාරයෙන් මිස හිරු එළිය දැකීමෙන් නොවේ. එසේම ගඳසුවඳ සහ වෙනත් ක්‍රම මගින් ස්ථාන හඳුනාගැනීමේ හැකියාවද ඌට තිබේ. මිනිසුන් ‘ඉව’ යැයි කියන්නේ ඒ හැකියාවන්ටය. ඒ නිසා අන්ධ කුකුළා ගැන ගුරුන්නාන්සේ මෙන්ම ගෝලයාද කියන්නේ විකාර කතාවකි.

පර්යේෂණාගාරවල බිහි කරනු ලබන කුකුළන්ටද ඉහත කී හැකියාවන් තිබේ. නමුත් පර්යේෂණ අවශ්‍යතා සඳහා කරනු ලබන විපර්යාස හේතුවෙන් උන්ගේ කායික මානසික තත්වයන්හි වෙනස්කම් ඇති වේ. ප්‍රමිතියෙන් තොර ගුරුවරුන්ට අසු වන සිසුන්ට සිදු වන්නේද මීට තරමක් සමාන විපතකි.

අමරකීර්ති විශ්වවිද්‍යාල මහාචර්යවරයෙකි. නිවුන්හැල්ල ගුරුවරයෙකි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අබ සරණය.

අමරකීර්තිගේ පොත ගැන ලියූ විචාරයේ නිවුන්හැල්ල මෙසේද කියයි.

“අමරකීර්තිගේ කවිය වෙත එළඹිය යුත්තේ ද ඔහුගේ කුඩා කවි මැදුරේ ඇති fදාරවල්වලින් හිස නමා පාත්වී ගෙනය. තමන් ඉතා උස නිසා හිත පාත් කොට දොරෙන් ඇතුළු නොවන කෙනෙකුට ඔහුගේ කවිය විඳීමේ වාසනාව මග ඇරෙයි.”

මහාචාර්ය අමරකීර්ති, අඝා ෂහීඩ්ගේ කවිය සමග ඔට්ටු වන ඔට්ටු විල්ල, ඔහු සාහිත්‍ය ලෝකයේ ලිලිපුට්ටෙකු බවට සාක්කියකි. හිස නමා ගෙන මිස, අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරයට ඇතුළු විය නොහැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top