මහාවංශයේ නැති ඉතිහාස කතා

Last Updated on 5 hours by admin

‘යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවකි’ යන ප්‍රවෘත්තිය යුරෝපයේ පැතිරුනේ ඉන්දියාවේ සංචාරයක යෙදුන රුසියානු ගවේෂක නිකොලොස් නොටෝවිච් ‘යේසුස් ක්‍රිස්තුස්ගේ අප්‍රකට ජීවිතය (The Unknown Life of Jesus) තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කිරීමෙන් පසුවයි. බිෂොප්වරුන්ගේ පාර්ශ්වය ඊට පිළිතුරු දුන්නේ නොටෝවිච් අවමානයට ලක් කෙරෙන ප්‍රවෘත්ති පැතිරවීමෙනි. ක්‍රිමියාවේ උපන් යුදෙව්වෙකු වූ නොටෝවිච් ක්‍රිස්තියානි ආගමට සතුරුකම් කරන්නෙකු බව පෙන්වීමේ හැකියාව ඔවුන්ට තිබුණි. මෙය, යුරෝපයේ ක්‍රිස්තියානි ආගමිකයන්, යේසුස් වහන්සේව මරා දමන ලද්දේ යුදෙව්වන් යැයි පෙන්වමින් යුදෙව් මනුෂ්‍යයින් පිළිකුලට හා අවමානයට ලක්කරමින් සිටි කාලයකි.

කාශ්මීරයේ ශ්‍රී නගර්හි උපන් ඉස්ලාම් ආගමේ ‘සුෆි’ කණ්ඩායමට අයත් පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය ෆීඩා හසානියන් Fida Hassanian යේසුස් වහන්සේගේ ගැන සෙවූවෙකි. ජර්මනියට පැමිණ සිටි ඔහු යේසුස් වහන්සේගේ සොහොන කාශ්මීරයේ ඇති බව ප්‍රසිද්ධ සඟරාවකට ප්‍රකාශ කළේය.

පකිස්ථානයේ අහමඩ්ඩියා ඉස්ලාම් සංවිධානය ඇරඹූ මිර්ෂා ගුලාම් අහමඩ්, ඊට පෙර යේසුස් වහන්සේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ අයෙකි. පැරණි ලේඛන කියවූ ඔහු ඒවායින් සාක්කි දක්වමින් කුරුසියේ ඇණගැසු යේසුස් වහන්සේ ඉන්දියාවට ගෙන එන ලද බවත් එසේ පැමිණි කණ්ඩායමේ යේසුස් වහන්සේගේ මව මරියාතුමිය සහ සොහොයුරු අපොස්තල් තෝමස් සිටි බව කීවේය. තක්ෂිලාහිදී මරියතුමිය මියගිය බවත් එතුමියගේ දේහය තැන්පත් කළ ස්ථානය ‘මරී’ නමින් හඳුන්වන බවත් පැවසූ ඔහු යේසුතුමා කාශ්මීරයේදී මියගිය බව සඳහන් කළේය. 1950 දී එම සංවිධානයේ කවජා නසීර් අහ්මඩ් Khwaja Nazir Ahmed” ‘ජේසුස් ඉන් හෙවන් ඔන් අර්ත්’ Jesus in Heaven on Earth   මැයෙන් පොතක් ප්‍රකාශයට පත් කළේය. මෙය ඒ කාලයේ දැඩි සංවාදයට ලක්වූ පුවතකි.

පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා Khyber-Pakhtunkhwa පළාතේ චිත්‍රාල් Chitral දිස්ත්‍රික්කයේ ‘කලෂා’ Kalasha නම් මනුෂ්‍ය කණ්ඩායම වෙසෙයි. කලෂා ජනශ්‍රැතිය පරිදි, ඉන්දු ග්‍රීකයින් ඔවුන්ගේ මුතුන් මිත්තෝ වෙති. ඇතැමෙකු අසා ඇති ලෙසට, ඇලෙක්සැන්දර්ගේ මරණයෙන් පසු ග්‍රීක රාජධානියක් පිහිටුවූ සෙලියුකස් නිකේටර්ගේ හමුදාවේ සෙබළුන්ගෙන් ඔවුහු පැවත එති. කලෂාවුන් ග්‍රීකයන්ගෙන් පැවතෙන්නන් විය යුතු යැයි බොහෝ දෙනෙකු තීරණය කරන්නට හේතුව ඔවුන්ගේ දේහ ලක්ෂණයි. ග්‍රීකයන්ගේ හමේ වර්ණයට සමාන හම, තඹ පැහැති හිසකෙස් සහ ඇස්වල නිල් ඉංගිරියා ඔවුන්ගේ අවධානය යොමු වූ ප්‍රධාන කරුණු තුනකි. ලංකාව, ඉන්දියාව වැනි රටවල යේසුස් වහන්සේ සහ මරියා පෙන්වන චිත්‍ර හා ප්‍රතිමා රාශියකි. ඒ බොහෝමයකින් යුදෙව් පෙනුම නොව ග්‍රීක පෙනුම ඇති දේවපුත්‍රයා සහ මව දැක්වෙයි. ඊට හේතුව මේ චිත්‍ර හා ප්‍රතිමා සම්ප්‍රදායන් ඇරඹූවන්, ග්‍රීකයන් යුදෙව්වන්ට වඩා උසස් යයි සැලකීම විය යුතුය.

මෑත කාලයේ කලෂාවුන් පිළිබඳව ජාන පර්යේෂණ (ඩීඑන්ඒ) ගණනාවක් සිදු කර ඇත. ඒවායෙන් තහවුරු වන්නේද ඔවුන් ග්‍රීකයන්ගෙන් පැවතෙන බවයි. මේ අතර කලෂාවුන්ගේ ඇඳුම් පැළඳුම් හා ගති සිරිත් පරීක්ෂා කර ඔවුන් යුදෙව්වන් හා අතර කිසියම් සබඳතාවක් ඇති බව කියන පිරිසක්ද සිටිති. ඉන්දු ග්‍රීක රාජධානි කාලවලදී යුදෙව්වන් හා ඉන්දු ග්‍රීකයන් අතර බොහෝ මිශ්‍රවීම් සිදු වී ඇත. යුදෙව්වන් සම්පූර්ණයෙන්ම යටපත් කර ග්‍රීකයන් පමණක් ඉතිරි කරගැනීම පසු කාලීන යුරෝපා ඉතිහාසකරුවන්ගේ සිරිත විය.

මගධයේ මෞර්ය රාජ වංශය ඇරඹෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්යගෙනි. මේ කාලය ගැන ප්‍රකාශ වන ග්‍රීක ලේඛන සෑහෙන ප්‍රමාණයක් තිබේ. ඒවාට අනුව චන්ද්‍රගුප්ත රජු, හෙලන් නමැති මැසිඩෝනියානු ග්‍රීක කුමරියක බිසොව කරගෙන සිටියේය. පාලි මූලාශ්‍රයන්හි ඔහුගේ පුතා බින්දුසාරගේ ආශ්චර්වත් උපත ගැන සඳහන්ව ඇත. බින්දුසාර ග්‍රීක කුමරියක පාවා ගෙන සිටියෙකි. අශෝක කුමාරයා එම බිසවගේ පුතෙකි.

බින්දුසාර රජු අශෝක කුමාරයාව අවන්ති රාජධානිය වෙත පිටත් කළේ ඔහු අතින් සොහොයුරන් මිය යනු ඇති බවට අනාවැකියකින් කියවුන නිසා බව වංශකතාවේ සඳහන් වෙතත් එය ඊට වඩා වැදගත් දේශපාලන හේතුවකි. ඒ බව පැහැදිලි වන්නේ අශෝක කුමාරයා තක්ෂිලාවේ වෙසෙමින් ඉන්දු ග්‍රීක රාජධානි මායිමේ පිහිටි ජම්බුද්වීපයට අයත් ගාන්ධාර කාම්බෝජ රාජධානි ආරක්ෂා කිරීමට වෙහෙසුන බැවිණි. එම නිසා අශෝක රජු පිහිටුවූ ධර්ම ලිපි වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම ප්‍රදේශවලයි.

අශෝක රාජයාගේ ගල්වඩුවන් ධර්ම ලිපි පිහිටුවීමේදී මාගධී (ප්‍රාකෘත), කරෝෂ්ඨී, ග්‍රීක සහ ඇරමයික් භාෂා භාවිත කර ඇත. මාගධී මගධයේ රාජ්‍ය භාෂාව වූයේය. කරෝෂ්ඨි ගාන්ධාරයේ භාෂාවයි. ඊට ගාන්ධාරී නමත් යෙදේ. ඇරමයික් මෙම කලාපයේ විසූ යුදෙව්වන් භාවිත කළ භාෂාව බව බොහෝ ඉතිහාසකරුවන් නොසලකා ඇති කරුණකි.
කන්දහාර් ලිපිය ලියා ඇත්තේ ග්‍රීක් ඇරමයික් ද්වි භාෂාවෙනි. යේසුස් වහන්සේ දේශනා පවත්වා ඇත්තේ ඇරමයික් භාෂාවෙනි. කාලිංග යුද්ධය වැනි මහා සටනක් කළ නමුදු, අශෝක රාජයා දෙමළ බසින් එකම ධර්ම ලිපියක් වත් පිහිටුවා නැත. ඊට හේතුව ද්‍රවිඩ ධර්ම භාෂාවක් ලෙස සකස් වීම, අශෝක රාජයාගේ කාලයට පසු සිද්ධියක් වීමයි. ඉන්දියාවේ දකුණේ හා සිංහල දේශයේ ධර්ම ලිපි ලියවී ඇත්තේ මාගධී (ප්‍රාකෘත) බසිනි.

අවන්තියට යන අතරමග විදිසාහි අශෝක කුමාරයා නැවතුණි. ඒ විදිසාහි වෙළෙඳ නායකයෙකු මාළිගාවකය. මෙම නායකයා බැංකු හිමියෙකු බව සඳහන් වීම, ඔහු මහා ධනවතෙකු බව ප්‍රකාශ කිරීමකි. මේ කාලයේ යුදෙව්වන් කලාපයේ වෙළෙඳ බලය හිමි කරගෙන සිටි ජනතාවයි. ඔවුන් බෞද්ධයන් වූ බවට අප්‍රමාණ තොරතුරු ඇත. ඉස්ලාම් ආක්‍රමණවලට හසු වූ යුදෙව්වන් සියලු දෙනාටම මරණය හෝ නව ලබ්ධිය තෝරා ගැනීමට සිදු විය.

අශෝක කුමාරයා මෙම වෙළෙඳ නායකයාගේ දුව වූ දේවී සමග සම්බන්ධතාවක් ඇති කර ගත්තෙන් ඇයත් කැටුව අවන්තියේ උදේනි නුවරට ගියේය. එතුමා බෞද්ධයෙකු වූයේ කෙසේද යන්න ගැන මහාවංශයට හා මහාවංශ ටීකාවට වඩා විස්තර අටුවාවේ තියෙන්නට ඇතැයි මහාචාර්ය ගුණපාල මලලසේකර සඳහන් කරයි. අශෝක කුමාරයා දේවිය සමග ගිය වන්දනා ගමනක් ගැන සඳහන් සෙල්ලිපියක් ‘සරුමරු’ පුරාණ බෞද්ධ විහාර සංකීර්ණයෙන් කලකට පෙර සොයාගනු ලැබුවේය. එම ස්ථානයේ තිබී ගරා වැටුණු ස්තූප තිස් තුනක් සොයාගත් බවද එම විස්තර ලේඛනයේ ඇත.

සාංචියේ සිට සරුමරුවලට කි.මි. 120ක දුරකි. දකුණින් පඤ්ඤගුරාව, උතුරින් විදිසාව හා බටහිරින් උජ්ජයිනිය මැද භූමි කලාපයක මෙම ස්ථානය පිහිටා ඇත. අශෝක රාජයාගේ දේවිය බෞද්ධ පවුලකට අයත් බවට මේ සෙල්ලිපිය ද සාක්කියකි. අශෝක කුමරාට දාව දේවිය ලැබූ දරු දෙදෙනා පසු කලෙක මහින්ද හා සංඝමිත්තා නම්වලින් බුදුසසුනේ පැවිදි වූහ. මේ නම් මාගධියට පෙරළා ගත් ග්‍රීක හෝ ඇරමයික් නම් විය යුතුයි. කාශ්මීර උගතුන් පවසන ලෙසට යේසුස් වහන්සේව එහි හඳුන්වා ඇත්තේ ඉසා ලෙසිනි. මරියා, මීරා නමින් හැඳුනුම් ලැබ ඇත.

ශුද්ධ වූ බයිබලය නමින් හැඳුනුම් ලබන ග්‍රීක බයිබලය, ඊජිප්තුවේ සිටි ටොලමි පිලඩෙල්පස් (ග්‍රීක පාරාවේ) රජු ඇලෙක්සැන්ද්‍රියාවේ ජාතික පුස්තකාලයට කැඳවු ඊශ්‍රායලයේ සිටි ගෝත්‍ර 12 නියෝජනය කළ වියතුන් 72කු විසින් හේබ්රෙව් බසින් ග්‍රීක බසට පෙරළන ලද්දකි. පැරණි හේබ්රෙව් බයිබලයක් ගැන වර්තමානය දන්නේ නමින් පමණකි. ග්‍රීක බයිබලයේ හැටියට ජේසුස් වහන්සේ කුරුසයේ සිට ‘අබා’ට අඬ ගැසුවේය. එතුමා ඇරමයික් බසින් අබා යයි කියා ඇත්තේ පියාටය යන්න ක්‍රිස්තියානි මතයයි. කාශ්මීර ගාන්ධාරී කලාපයේ ‘අබා’ යනු මව මිස පියා නොවීය. සංස්කෘත බසින් පවා අබා යැයි කීවේ මවටයි.

පැරණි සාංචි විහාරයට පසු කාලයක කොටස් රාශියක් එකතු වූ නමුත් එය ප්‍රථමයෙන් විදිසා දේවියගේ පියා තැනවූ ඔවුන්ගේ පවුලේ විහාරයකි. බින්දුසාර පිය රජුගේ මරණය ගැන දැනගත් අශෝක යුවරජු මගධ රාජ්‍යය ලබාගැනීමට උදේනි නුවරින් පිටත් වී දේවි හා දරු දෙදෙනා විදිසාවට යවා තිබේ. මහින්ද හිමියෝ සිංහල දේශයට පිටත් වීමට පෙර විදිසාවේ සාංචි විහාරයට ගොස් සිය මව හමු වූහ. ඇතැම් විට එතුමියත් භික්ෂුණියක වූවා විය හැකිය. සංඝමිත්තා තෙරණිය වැඩසිටියේද එහිමය.

සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණීන් පිරිස සාංචියේ සිට සිංහලේට වැඩියහ. සාංචිය භික්ෂු භික්ෂුණීන් දෙපාර්ශ්වයම වාසය කළ විහාරයකි. ඒ කරුණ සැලකිල්ලට ගත් විට, ස්ත්‍රී පුරුෂභාවය, කාමය රාග ආදී මනෝභාවයන් පිළිබඳ පැරණි බෞද්ධ මතය, පසු කාලීන මතය නොවන බව පෙනේ. සාංචි විහාරයේ වෙසන භික්ෂුවක හෝ භික්ෂුණියක අතින් එහි වෙසෙන භික්ෂු භික්ෂුණීන්ගේ සාමූහිකත්වය බිඳෙන යම් වරදක් සිදු වුවහොත් එම භික්ෂුව හෝ භික්ෂුණිය සිවුරෙන් ඉවත් කර සුදු අන්දවා විහාරයෙන් පිටත ඉන්නට සැලැස්විය යුතු යයි සඳහන් අශෝක රජුගේ සාංචි ලිපිය බෞද්ධ සිරිත හා රාජ්‍ය නීතිය යන දෙකම ක්‍රියාවට නැගුණු හැටි පෙන්වන සාක්කියකි. සිංහලේද මේ සම්ප්‍රදායන් ක්‍රියාත්මක වූ නමුත් ජෛන, බ්‍රාහ්මණ සහ හින්දු බලපෑම්වලට දැඩිව හසු වීමෙන් බුදු සසුනේ විශාල වෙනස්කම් සිදු විය.

කාශ්මීර, ගාන්ධාර ප්‍රදේශයට වැඩ සිටින මජ්ඣන්තික තෙරුන් ගැන ඇසූ කලාපයේ අධිපති අරවාල නාරජු, උන් වහන්සේට පීඩා කරමින් තරවටු කරන්නට වූයේය. ඒ බව සඳහන් වංශකතාවේ අනෙකධා යන පදයට අර්ථ දක්වන ටීකාව ’මුඩු හිස් ඇති සුන් බුන් වැරහැලි ඇඳගත් මේ තෙමේ කවරෙක්දැ ’යි නාරජු ඇසූ බව සඳහන් කරයි. මෙයින් කියැවෙන්නේ බුදුන් ජීවමාන කාලයේ භික්ෂුව පෙරවූ සිවුර ගැනයි. මෙය සාංචියේදී වෙනස් විය. ඊට ප්‍රධාන හේතුව මගධ රජ පවුලේ සාමාජික සාමාජිකාවන් භික්ෂු ශාසනයට ඇතුළු වීමයි.

සිංහල භික්ෂු භික්ෂුණීන්ගේ සිවුර සකස් වන්නේ සාංචි සම්ප්‍රදායටයි. සාංචියේ භික්ෂූන්ගේ සිවුර ග්‍රීක දෙවිවරුන්ගේ වස්ත්‍රය අනුව පිළියෙල වූවකි. ගල්වඩුවන් නෙළූ බුද්ධ ප්‍රතිමාවේ සිවුරේ පවා ඒ ලක්ෂණ දකින්නට පුළුවන. සාංචියේ භික්ෂුණින් වහන්සේලාගේ සිවුර ග්‍රීක යුදෙව් කාන්තාවගේ ඇඳුම අනුව සකස් කරගන්නා ලද්දකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top