Last Updated on 5 hours by admin

2012 විනාශයට පෙර මාලදිවයින් කෞතුකාගාරයේ බෞද්ධ පුරාවස්තු තැන්පත් කර තිබුණු ආකාරය. Pic. credit:https://observer-media.go-vip.net/
මාලදිවයින් ලංකාව මෙන්ම ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මිනිස් ජනාවාසයකි. එහි වාසය කළ, ඉස්ලාම් ඉගැන්වීමට කිසිම සම්බන්ධකමක් නැති, ‘යක්ෂයින්’ පිළිබඳව ජනශ්‍රැති එහි තිබේ. කොරල්ගලින් හැදූ යකුන්ගේ රූප මාලදිවයිනෙන් හමු වේ. රටේ වංශයක් ගැන ලියවුන වංශ කතාවක් එහි නැති බව ඇත්තකි. මහාවිහාරයක් පැවති බවට නම් සාක්ෂ්‍ය පවතී. ලංකාවේ අභයගිරියට සහ ජේතවනාරාමයට සමාන විහාර පසු කලෙක ගොඩනැගී තිබේ. සමහර අටොලුවල, හවිත්ත (උස්තුබු) ගොඩනැගිලි නටබුන් දක්නට පුළුවන. ඒවායින් සමහරක්, සර්වඥ ධාතු තැන්පත් කර තිබු ඒවාය. නමුත් ශ්‍රී ලංකාව මිස, මාලදිවයින බුදුන් උපන් රට යයි කියන කෛරාටිකයෙකු හෝ මෝඩයෙකු හෝ ගැන තොරතුරක් අසන්නට නොලැබේ.
මහාවංශයේ සඳහන් ලෙසට විජය සහ පිරිවර පිටත් කරන විට, ඔවුන්ගේ භාර්යාවෝද, සිංහපුරයෙන් පිටත් කරනු ලැබූහ. ඔවුන් ගොඩබැස්ස රට පසු කලෙක, ‘මහිලා දිවයින්’ නමින් ප්‍රසිද්ධ විය. මාල දිවයින් නම හැදෙන්නේ මහිලා දිවයින් නාමය මුල් කරගෙන යයි සමහරු සිතති. ඉස්ලාම් කාලය දක්වාම මෙහි රජකම කාන්තාවක දැරූ බවටත් විශ්වාසයක් පවතී.
ලෝක කාන්තාවෝ සංවිධානයේ ක්‍රියාකාරිනියක වූ ඌට ක්‍රිකල් ඇතුළු පිරිසක සමග ජර්මනියේ ‘හෙචින්ගන්’හි නිවසක වාසය කළ සමයේ, මට ටියුබින්ගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සමග මිත්‍ර සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව ලැබුණි. ඌටගේ හිමියා බර්න්හාට්ගේ මිතුරකු වූ ඔහු නෝර්වේජියානු ජාතික තෝර් හයර්ඩාල්ගේ මාලදිවයින් (දිවෙහි) ඉතිහාසය ගවේෂණවලට සම්බන්ධ වූ අයෙකි. මේ ඇසුර නිසා මාලදිවයින් ඉතිහාසය ගැන උනන්දුවක් ඇති වූයෙන් පසු කලෙක ‘මාලදිවයින්’ නමින් පොතක් ප්‍රකාශයට පත් කරන්නට මට හැකි විය. මතක පමණින් එය ප්‍රකාශයට පත් වූයේ ගෙවිඳු කුමාරණතුංගගේ මුද්‍රණාලයෙනි. ඒ කාලයේ මාලදිවයින් පිළිබඳ අප දැනගත් බොහෝ තොරතුරු එහි අඩංගු කර තිබුණි.
ලංකාව මෙන්ම දිවෙහි රටත් විදේශ ආක්‍රමණයන්ට මුහුණ දී තිබේ. ඒවායින් ගැලවුනද, කැලිකට්හි සැමොරින්ගේ ආක්‍රමණයෙන් පසු දකුණු ඉන්දියාවේ මුස්ලිම් අධිරාජ්‍යයක් ගොඩනැගූ මයිසුර්හි හයිදර් අලිගේ හමුදාවෙන් ගැලවීමට දිවෙහි රාජ්‍යයට නොහැකි විය. ආක්‍රමණය හේතුවෙන් ඉස්ලාම් ආගම වැළඳගත් කේරලයින් අතිවිශාල පිරිසක් මාල දිවයිනේ පදිංචි වූහ. ඔවුන්ගේ අවිගත් පිරිස් රටේ පන්සල් වනසමින් භික්ෂු භික්ෂුණීන් ඝාතනය කරමින් රට ඉස්ලාම් ජනාවාසයක් කළහ. වර්තමානයේ මාලදිවයිනෙහි, ඉස්ලාම් ආගම හැර වෙනත් ආගමික පුළුටක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට තුළ ඉස්ලාම් නොවන ආගමක් ඇදහීම දඬුවම් ලැබෙන වරදක් කර තිබේ. එම නිසා රට ඇතුළට බුදුරුවක් අඩංගු වෙසක් පතක් වත් ගෙනයාමට නුපුළුවන.
ඉස්ලාම් ආගම සමග දිවෙහි රටට පැමිණි කුරාන භාෂාව හේතුවෙන් එහි දේශීය භාෂාව වඳ වී යමින් පවතී. රජයේ ආරාධනා ලැබ එහි ගොස් දිවෙහි බස ගැන පර්යේෂණ පැවැත්වූ ලංකාවේ උගතුන්ගේ ලේඛන කිසිවක මේ ඇත්ත සඳහන් නොවේ. මාලදිවයින් රාජ්‍ය අනුග්‍රහය නැතිව දිවෙහි භාෂාව ගැන තොරතුරු සොයන්නෙකුට මහාවංශ ඉතිහාස කතාවේ ඇත්තක් පෙනේ. එවැන්නා දිවෙහි බස හා පැරණි සිංහල භාෂාව අතර පවතින සමානකමක් දකියි. ජනාවාසව පැවති දිවෙහි රටේ හැම දිවයිනකම පන්සලක් පැවතීම ඊට බාහිර පුවතකි. මේ ඇතැම් විහාර, ලංකාවේ භික්ෂු භික්ෂුණී ආරාම සමග සම්බන්ධකම් පැවැත් වූයේ නැතැයි කීමට නුපුළුවන.
මාලදිවයින් බෞද්ධ ඉතිහාසය ලෝකයට හෙළි කිරීමේ ගෞරවය, යටත් විජිත සමයේ ලංකාවේ සිවිල් සේවා නිලධාරියෙකුව සිටි එච්. සී. පී. බෙල්ට හිමි වේ. එහි ගොස් තොරතුරු සොයා බලා ඔහු පිළියෙල කළ මාලදිවයින් ගවේෂණ වාර්තාව විශ්මය ජනක තොරතුරු අඩංගු ලියවිල්ලකි. ප්‍රධාන දූපතේ මාලේ නම් නගරය මැද මහා බෝධියක් තිබූ බවත් එය කේන්ද්‍ර කරගෙන හතර දෙසට විහිදුන මාර්ග (මගු) හතරක් තිබූ බවත් බෙල් සඳහන් කරයි. විනාශ කර ඇති මාලේ මහා බෝධිය, සිංහල රටේ සිරි මහ බෝධිය පිහිටුවූ කාලයේ පිහිටුවන ලද්දක් යයි අනුමාන කිරීමට පුළුවන.
තෝර් හයර්දාල් මාලදිවයින් ඉතිහාසය සෙවීමට වෙහෙසුන නොර්වේජියානු ගවේෂකයකි. ධනවත් සුදු ජාතිකයෙකු වූ ඔහු එම කාර්යය ඉතා පහසුවෙන් කළේය. මාලදිවයින් කෞතුකාගාරයේ ගෝනිවල දමා සඟවා තිබූ බුදුරූ පවා ඔහුගේ පරීක්ෂාවට හසු විය. ඒ අනාවරණයෙන් පසුව රටේ සමහර පාලකයින් පුරාවිද්‍යා පර්යේෂණ ආධාරයෙන් අතීත ඉතිහාසය සෙවීමට සිතූ නමුත් ඒ හැම විටකම ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් අවි අමෝරාගෙන පැමිණියහ. තලිබාන් ප්‍රතිපත්තිය අනුගමනය කළ ඔවුන් පොළොවෙන් සොයාගන්නා හැම පිළිමයක්ම නොපමාව කුඩු කර දැමුහ.
2012 වසරේ මාලදිවයින් කොෟතුකාගාරයට පැන එහි ආරක්ෂිතව තිබුණු පැරණි බුදුරූ සියල්ලම විනාශ කරන්නට ඔවුන්ට හැකි විය (2012/2/14 නිව්යෝක් ටයිම්ස්) මාලදිවයින් බෞද්ධ ඉතිහාසය හෙළිවීම වැළැක්වීම යනු රටෙහි ජනතාවගේ ප්‍රජා අයිතිය වැනසීමකි. එය වැරදි දෙයක් බව මූලධර්මවාදයෙන් අන්ධ වූ කිසිවකුට නොවැටහේ.
අතීතයේ මාලදිවයිනේ සිදුවූ ආගමික පෙරළිය ලංකාවේ සෙමින් සෙමින් සිදු වී දැන් කුණාටුවක් ලෙසින් පැතිරේ. මහනුවර සිංහල රාජධානිය සමයේ සියයට සියයක් සිංහලයින් විසූ දැන් ඉතා අඩු සිංහල ජනගහනයක් ඇති ත්‍රිකුණාමලේ සම්බෝධි විහාරයට කඩා පැනීමේ සිද්ධිය ඊට සාක්කියකි.
මඩකලපු ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අයිති දැන්වීම් පුවරු ගැලවීම ගැන අදහස් දක්වන ඊට සම්බන්ධ වූවන් කියන්නේ ප්‍රදේශීය සභාවල අවසරය නැතිව එවැනි දැන්වීම් පුවරු සවි කිරීමට පුරාවිද්‍යාකාරයින්ට නොහැකි බවයි. සමගි ජන බලවේගය ප්‍රධාන සමහර දේශපාලන බලවතුන් කෑ ගසමින් කියන්නේ ප්‍රාදේශීය සභා ඡන්ද පැවැත් විය යුතු බවයි.
රට බෙදා හෝ අපට බලය දෙන්න යන හඬ ඒ ඝෝෂාවෙන් නිකුත් වේ.
