මාලිමාවේ අල්ලස් සෙල්ලම

Last Updated on 4 weeks by admin

ප්‍රජාතන්ත්‍රවාදය සහ කොමියුනිස්ට්වාදය යන රාජ්‍ය පාලන ක්‍රම දෙකම බටහිර රටවලින් හඳුන්වා දෙන ලද ඒවා වේ. මේ දෙකෙහි සමානතා මෙන්ම අසමානතාද පවතී. රට මහජන නියෝජිතයන් මගින් පාලනය කෙරෙන නිසා මේ ක්‍රම දෙක රාජාණ්ඩු ක්‍රමයට වඩා වෙනස්ය. එහෙත් ප්‍රධාන පාලන සභාවට (පාර්ලිමේන්තුවට) මහජන නියෝජිතයින් පත් කරගනු ලබන ක්‍රමය අසමානය.

වර්තමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා පූර්ණ කාලීනව වැටුප් ගෙවීමේ ක්‍රමයක් පවතී. ඊට ප්‍රධාන හේතුව විවිධ තරාතිරමේ පුද්ගලයන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට පෙළඹවීමයි. දේශපාලකයන්ට ස්ථිර වැටුපක් හිමි නොවේ නම්, රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට පෙළඹෙන පිරිස අඩු විය හැකිය. ස්ථිර රැකියාවක් කර මාසික වැටුපක් ලැබීමට සුදුසුකම් ඇති පුද්ගලයකු, සහභාගි වන වාර ගණන හෝ පැය ගණන හෝ පදනම් කරගෙන වැටුප් ගෙවන (පාර්ලිමේන්තු) සේවාවකට සම්බන්ධ වීමට උනන්දු නොවේ. ඇතැම් රටවල පාර්ලිමේන්තු නියෝජිතයන්ට විශ්‍රම වැටුප් ගෙවනු ලබන්නේද ඒ හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ටත් වැටුප් හා විශ්‍රාම වැටුප් හා තවත් වරප්‍රසාද හිමි වේ. එය මහජනයාට අප්‍රිය වන්නට හේතුව හැන්ද අතේ තිබුණු දේශපාලකයන් රටේ සෙසු කිසිදු සේවකයකුට නැති ආකාරයට වැටුප්, විශ්‍රාම වැටුප් හා තවත් වරප්‍රසාද බෙදා ගැනීමයි. පාලන බලයක් නොතිබුණ ජවිපෙ සෙසු පක්ෂවල දේශපාලකයන්ට විරුද්ධව ජනතාව පොළඹවමින් මන්ත්‍රී වැටුප්, විශ්‍රාම වැටුප් හා වරප්‍රසාද විවේචනය කළාය. එහෙත් ජවිපෙ මන්ත්‍රීවරුන් වැටුප්, විශ්‍රාම වැටුප් හෝ වෙනත් වරප්‍රසාද නොගෙන සිටියේද නැත.

ජවිපෙ/මාලිමාව සිය මන්ත්‍රීවරුන්ගේ වැටුප් පක්ෂයේ ගිණුමට බැර කර, ඔවුන්ට පක්ෂයෙන් දීමනාවක් ලබාදීම හඳුන්වා දුනි. ඔවුහු එය, වැටුප් නොගෙන රට වෙනුවෙන් සේවය කිරීමක් යැයි කියති. මෙය කොමියුනිස්ට් රටවල භාවිත කරන ලද පැසිස්ට් උපක්‍රමයකි. මෙයින්, මහජනයා රැවටීවමටත් මහජන නියෝජිතයන් පාලනය කිරීමටත් පක්ෂයේ නායකයින්ට මග පෑදේ.

ඇමරිකාවේ හා කැනඩාවේ හැරුණුකොට, බටහිර බොහෝ රටවල දේශපාලන පක්ෂ තම මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් කොටසක්, ‘බද්දක්’ ලෙස පක්ෂ අරමුදලට ලබාගනිති. ඒ රටවල පොදු ජනතාව මේ බව නොදන්නා තරම්ය. මේ පිළිබඳව පර්යේෂණයක නිරත වූ එසෙක්ස්ටර් විශ්වවිද්‍යාලයේ සන්සන්දනාතාත්මක දේශපාලනය පිළිබඳ සහකාර මහාචාර්ය නිකොල් බොලියර් සහ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ පාර්ලිමේන්තු කටයුතු සහ දේශපාලන විමර්ශන අංශයේ ආචාර්යවරයකු වූ සිම් ට්‍රම්, ඉතා වටිනා වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එහි සඳහන් ලෙසට මන්ත්‍රීවරුන්ගෙන් මාසිකව ස්ථාවර මුදලක් ලබාගැනීම දේශපාලන පක්ෂවලට හොඳ ආදායම් මාර්ගයකි. මේ අයකිරීම් කිසි සේත්ම පරිත්‍යාග හෝ ස්වේච්ඡාවෙන් කෙරෙන ගෙවීම් හෝ නොවේ. පක්ෂවල අභ්‍යන්තර නීති රෙගුලාසි මගින් සිදු කෙරෙන්නකි. ඔවුන්ගේ දත්තවලින් පැහැදිලි වන පරිදි, දේශපාලන පක්ෂ වමට බර වන තරම වැඩි වන්නට වැඩි වන්නට ඔවුන් මන්ත්‍රීවරුන්ගෙන් ලබාගන්නා මුදල් ප්‍රමාණය වැඩි වේ. නීත්‍යානුකූලභාවයක් දිය නොහැකි මේ වැඩපිළිවෙළ දේශපාලන පක්ෂ විසින් ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි කෙනෙකු පුදුම විය හැකියැයි ඔවුහු කියති.

මහජනයාගේ බදු මුදලින් මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන වැටුප, දේශපාලන පක්ෂක ආදායමක් වීම විෂමාචාරයකි. රාජ්‍ය (මහජන) දේපොල අවභාවිතයකි. ඊට හේතුව පක්ෂ භාණාඩාගාරයට එකතු වන මුදල් පරිහරණය පක්ෂයේ නිලධාරීන් අතට ගිය පසු, මේ ක්‍රියාදාමයේ නීත්‍යනුකූලභාවය හා ඖරසභාවය (legality and legitimacy) අතර රේඛාව බොඳව යාමයි.

පර්යේෂකයන් දෙදෙනා එක එල්ලේ නොකියා, දැනෙන්නට ඉඩ හරින කාරණයක් තිබේ. එනම්, වාමාංශික පක්ෂවල මන්ත්‍රීවරුන් මුහුණ දෙන බලහත්කාරයයි. එම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කෙරෙන පාලන ක්‍රමයකි. අවසාන විග්‍රහයේදී, ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසාගේ පුද්ගලික නිදහස, කැමැත්ත ආරක්ෂා කිරීමයි. නියෝ ලිබරල්වාදය වැනි දේශපාලන දර්ශනවලට පවා පදනම වැටෙන්නේ, මේ පුද්ගලික නිදහස නමැති සංකල්පය හරහාය.

දේශපාලන පක්ෂකය රෙගුලාසි මගින් මන්ත්‍රීවරයෙකුගේ හෝ මන්ත්‍රී ධුර අපේක්ෂකයකුගේ පුද්ගලික අපේක්ෂාවනට වැට බැඳෙන්නේ නම්, එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මන්ත්‍රීවරුන්ට හා පක්ෂ සාමාජිකයන්ට, වෙනත් පක්ෂයකට එක්වීමට නිදහස ලබාදී ඇත්තේ එම පදනමේ පිහිටමිනි.

මන්ත්‍රීවරුන් සිය වැටුප සම්පූර්ණයෙන් හෝ එයින් කොටසක් හෝ පක්ෂ අරමුදලට දීම සහ පක්ෂ ප්‍රතිපත්තියක් ලෙස එම මුදල පක්ෂයට ලබාගැනීම අතර බරපතල වෙනසක් තිබේ. ජනතා බදු මුදල් පදනම් කරගනිමින් සිදු කෙරෙන එම ක්‍රියාවේ විනිවිදභාවයක් ජනතාවට නොපෙනෙන නිසා, තත්වය වඩාත් උග්‍ර වෙයි. මේ නිසා ජවිපෙ/මාලිමාව මන්ත්‍රීවරුන්ගේ වැටුප පක්ෂ අරමුදලට බැර කරගැනීම, ප්‍රජාතන්ත්‍රවායට පටහැණි ක්‍රියාවකි. ෂෙෆීල්ඩ් හා ට්‍රම් පැහැදිලි කරන්නේද, මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් කොටසක් පක්ෂ අරමුදල්වලට ලබාගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවයි.

මාලිමාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප නොව විශ්‍රාම ගිය මන්ත්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කිරීම පිළිබඳව කතා කිරීමට හේතුවක් තිබේ. පක්ෂයේ මන්ත්‍රී ධුරය දැරීමට අවශ්‍ය නම්, වැටුප පක්ෂ භාණ්ඩාගාරයට ලබාදිය යුතු බවට සිය මන්ත්‍රීවරුන්ට හා මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ට අභ්‍යන්තර රෙගුලාසි පැනවීමේ හැකියාව ජවිපෙට/මාලිමාවට ඇත. එම නිසා මන්ත්‍රී ධුරයද මුදල්ද යන්නෙන් තමා කැමති දේ තෝරා ගැනීමට මන්ත්‍රීන්ට/අපේක්ෂකයින්ට සිදු වේ. නමුත් විශ්‍රාමිකයකුට එවැනි රෙගුලාසි පැනවීමේ හැකියාවක් ජවිපෙට/මාලිමාවට නැත.

මේ පසුබිම වටහාගත් විට, මන්ත්‍රී වැටුප් පක්ෂ අරමුදලකට බැර කර ගැනීම අල්ලසක් සහ දූෂණයක් නිසා ඊට එරෙහිව වෙනම ක්‍රියාමාර්ග ගත යුතු බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශයේ පදනමක් තිබේ.

මාලිමා ආණ්ඩුව පිහිටුවා සතියකින්, මාලිමා කැබිනට් මණ්ඩලය රැස්වී මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ බව රාත්‍රී ප්‍රවෘත්තිවලින් අසන්නට ලැබෙනු ඇතැයි සමන්ත විද්‍යාරත්න පැවසූ බව 2023 වසරේ අගෝස්තු මස 1 වැනිදා මාධ්‍යයන්හි පළ වී තිබුණි. මාලිමා ආණ්ඩුව පිහිටුවා තුන් මසකට ආසන්න වී, විද්‍යාරත්නගේ කතාව කයිවාරුවක් බවට පත් වන විට එජාපයේ රවි කරුණානායක ඒ යෝජනාව ඉදිරිපත් කළේය. ඉතා දිගු කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ, ඇමති ධුර දැරූ රවි කරුණානායකගේ යෝජනාව පිළිගන්නවා හැර වෙනත් විකල්පයක් මාලිමා ආණ්ඩුවට නොවීය. දැන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර මෙන්ම රජයේ වාහනද අවශ්‍ය නැතැයි යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් තිබෙන බව වාර්තා වේ.

මේ ආකාරයෙන් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්, වරප්‍රසාද ආදිය නැති කිරීම සුබදායී දෙයක් නොවේ. සතියෙන් විශ්‍රාම වැටුප අහෝසි කරන බව කී මාලිමාව දැන් නිහඬව සිටීමෙන් පැහැදිලි වන්නේ, ඔවුන් තුළ පවා ඒ සඳහා ඇති අකමැත්තයි. රවි කරුණානායක වැනි ධනවතුන්ට වැටුප්, විශ්‍රාම වැටුප්, වාහන හෝ වෙනත් වරප්‍රසාද නැතිව නොමිලේ සේවය කිරීමට ඇති හැකියාව සියලු දෙනාටම නැත. සිදු විය යුත්තේ අනවශ්‍ය තරම් විශාල වැටුප් සහ වරප්‍රසාද ආදිය නොදී ඒවා සාධාරණ අයුරින් ලබා දීමයි. විශ්‍රාම වැටුප් අහෝසි නොකර ක්‍රමවේදය සංශෝධනය කළ හැකිය. වසර 5ක් සේවය කළ පමණින් විශ්‍රාම වැටුපට හිමිකම නොදී සේවා කාලය දිගු කිරීම එක් උදාහරණයකි. මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය තරම් පීඩන එල්ල කරන්නට යෑම රටට සුබවාදී දෙයක් නොවේ.

විප්ලවයෙන් සාර් පාලනය අවසන් කළ පසු, රුසියාවේ සාර් පාලනයට සහාය දැක්වූ පුද්ගලයින්ට ස්ටාලින්ගේ පාලනයට සහාය දැක්වීමට සිදු විය. ස්ටාලින් පාලනය, සාමූහික ගොවිපොල ක්‍රමට රටට හඳුන්වා දුන්නාය. සාමූහික ගොවිපොලේ භූමිය සහ අස්වැන්න සියලු සාමාජිකයන් දෙනා අතර බෙදී යයි. ගොවිපොලේ ස්ත්‍රීන්, දරුවන්, සතුන්, යන්ත්‍ර ආදි සියලු දේට සාමූහික අයිතියක් ඇති විය යුතු යැයි යෝජනාවක් සමහර සහෝදරවරුන්ගෙන් ඉදිරිපත් වුනි. එය ක්‍රියාත්මක වූයේ නම් සාමූහික ගොවිපොලේ කාන්තාව පොදු භාණ්ඩයක් බවට පත් වීමට ඉඩ තිබුණි.

මාලිමාව බලය ලබාගැනීම සඳහා ජනතාවගේ මොළ හේදීමට කී කතා ගොන්නක් තිබේ. දැන් ඒවා එකින් එක බොරු වෙමින් පවතී. මේ කතාවලින් කොටසක් රුසියාව අසරණ කළ කොමියුනිස්ට් කාලයට අයත් ඒවාය. ඉතිරි කොටස යූඑස්ඒඩ්ස්වලට දිවූ රාජ්‍ය නොවන සංවිධානවල වුවමනා පරිදි කී කතාය. හරිනි අමරසූරිය දෙවැනි කණ්ඩයම නියෝජනය කරයි. මේ මාර්ග දෙකම රටට සුදුසු නැත.

1 thought on “මාලිමාවේ අල්ලස් සෙල්ලම”

  1. රණසිංහ

    මේකට විරුද්ධව උසාවි යන්න බැරිද? මහජන මුදල් පක්ෂ අරමුදලකට යවනවට මහජනයට විරුද්ධ වෙන්න අයිතියක් නැද්ද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top