Last Updated on 2 months by admin
සෑම් සෙනෙවිරත්න
‘සිංහල ජාතික චින්තනය’ කලක් ඉතා ජනප්‍රිය වූ මතවාදයකි. මහාචාර්ය නලින් ද සිල්වා එය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූවෙකි. ඉතා කෙටි කාලයක දී මහාචාර්ය නලින්, අමරසේකරලාගේ ජාතික චින්තනය විකාරයක් බව පැහැදිලි කිරීමට ඉදිරිපත් විය. ඉතා මෑතකදී ගුණදාස අමරසේකර අනුර ජනාධිපතිවරයාට යැවූ ලිපිය, මහාචාර්ය නලින් ද සිල්වාගේ අදහස නිවැරදි බව තහවුරු කරන අපුරු සාක්කියකි.
‘තමන් බලයට පත් කළ බහුතර ජනතාවගේ හදගැස්ම පිළිබඳව අවබෝධයෙන් ජනාධිපතිවරයා දළදා වහන්සේ වැඳපුදාගත් බව’ අමරසේකර ලියයි.
අනුර ජනාධිපතිවරයා දළදා වැන්දේ, බහුතර ජනතාවගේ හදගැස්ම පිළිබඳ අවබෝධයෙන් නොවේ. ඔහුට එවන් වැටහිමක් තිබුණේ නම්, ප්‍රතිපල නිකුත් කළ සභාවේදී, බෞද්ධ සිරිත් නිග්‍රහයට ලක් නොකරයි. ඔහු දළදා වඳින්නට තීරණය කරන්නේ, ඉදිරියේ එන මහා මැතිවරණය පසු වන තෙක් සම්ප්‍රදාය කැඩීමට අපොහොසත් බැවිනි.
ජවිපෙ ජනාධිපතිවරණය තෙක්ම සංස්කෘතියට, ජාතියට, බුද්ධාගමට විරුද්ධව කටයුතු කළේය. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ අනුර ජනාධිපතිවරයා, මහා සංඝරත්නය සිහිකර සභාවෙන් අවසර නොගැනීමෙන් හා තෙරුවන් සරණයි කියා කථාව නිම නොකිරීමෙන් පෙන්නුවේ ඔවුන්ගේ සැබෑ ස්වරූපයයි.
ජාතික චින්තනය කෙසේ වෙතත් අමරසේකරගේ උත්සාහය, 1962 දී තමන් පැවසූ අනාවැකියක් ඔප්පු කිරීමටය. ‘සංස්කෘති’ සඟරාවේ 10 වැනි සංවත්සරයට තමන් සැපයූ ලිපියකින්, ‘අනාගතයේ මේ රට උගත් නිර්ප්‍රභූ ගැමි තරුණ පරපුර විසින් අත්පත් කරගත යුතු යැ’යි කීම ඒ අනාවැකියයි. සිය විකාර අනාවැකිය සඵල වූ බව රටට ඒත්තු ගැන්වීමට සැරසෙන ඔහු වැල යන පැත්තට මැස්ස ගහයි. යටි අරමුණ, ජවිපෙට ළං වී ඔවුන්ගේ න්‍යායාචාර්යයා වීමේ බලාපොරොත්තුව විය හැකිය. 89-89 භීෂණ සමයේද ඔහු වෙතින් එවැනි හැසිරීමක් දකින්නට ලැබුණි.
අමරසේකර උගතකු යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. සාමාන්‍ය මිනිසුන්ගේ අදහස උගතකු වන්නට නම් උපාධියක් තිබිය යුතු බවයි. මෙයද බ්‍රිතාන්‍ය නිලධාරින් රටට දැමූ අදහසකි. මේ දිනවල ‘පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවමු’ යන වෙළෙඳ දැන්වීමේ අදහස එයයි. විශ්වවිද්‍යාලවලට එන ගැමි තරුණයන්ට සිදුවන්නේ කුමක් දැයි අමරසේකර හොඳින්ම දනී. ‘බල්ලො මරා හරි සල්ලි හොයාගෙන ඩිග්රි ගහන්නේ ……’
මෙම දීන චින්තනය රටට බෝ කළේ ඔහු අධ්‍යාපනය ලැබූ සමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. පේරාදෙණි විශ්වවිද්‍යාලය, සුරා සූදුවෙන් තොර ගැමි තරුණයන් බේබද්දන් කර, සිංහල බෞද්ධ විරෝධී රා පොවා නාළාගිරියන් හැටියට සමාජයට මුදාහැරීමේ පුරෝගාමී මෙහෙයක් කළ ආයතනයකි. අදත් මේ තත්වයේ වෙනසක් නැත. සංස්කෘතියට, ඉතිහාසයට, බුද්ධාගමට ගරහන්නන් අතර විශ්වවිද්‍යාල උගතුන් එමටය.
රටේ අවාසනාව විද්යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක පේරදෙණිය අනුකරණය කරමින් විශ්වවිද්‍යාල බවට පත්විමයි. එදා තරුණ අමරසේකරත් දීන පේරාදෙණි චින්තන රැල්ලට අසු වී කවි කතා ලියා තිබේ. යළි උපන්නෙමි නිදසුනකි.
අනුර ජනාධිපතිවරයා තරුණයකු නොවේ. එ.ජා. නිර්වචනයට අනුව තරුණයා යනු වයස 15-24 අතර පසුවන්නෙකි. 50 වැනි විය පසු කළ අයකු මොනම ආකාරයකින් වත් තරුණ කාණ්ඩයට දැමිය නොහැකිය.
අනුරාධපුරයේ ගමක උපන් පමණින් යමෙකුට ගැමියකු කීම උපතින් බ්‍රාහමණයෙකු වන්නේ යයි කීමට සමානය. අනුර ජනාධිපතිවරයාගේ භාවිතාවන්ගෙන් තහවුරු වන්නේ ඔහු ගැමිකම කප්පාදු වූ ගැමියෙකු බවයි. මැතිවරණ සමය දක්වාම ඇන්ඳ බ්‍රෑන්ඩ් කමිස ඊට නිදසුනකි. කොළඹ මීගමුව වැනි නගරවල වාසය කළත් අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි නායකයෝ අනුකාරකයන් නොවුහ. එංගලන්තයේ හිටියත් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ගැමියෙකු සේ දේශපාලනයට පිවිසියේය.
මාලිමාවේ හැදෙන්නේ, උගත් ප්‍රභූ ගැමි පරපුරකින් නොවේ. අනගාරික ධර්මපාලතුමන් පැවසූ කළුසුද්දන්ගේ නියෝජිතයින් පිරිසකගෙනි. එහි න්‍යායාර්යවරයා, තම ජීවිත කාලය තුළ රට කැඩීමේ පරම චේතනාවෙන් පසුවන ලයනල් බෝපගේය. ජනාධිපතිවරණය සමයේ ඔහු ලංකාවට පැමිණි බවක්ද වාර්තා විය. සිංහලයන්ට වෛර කරන තවත් න්‍යායාචාර්යවරු කීප දෙනෙක්ම මාලිමාවේ සිටිති.
ජවිපෙ ආරම්භයේ පටන්ම කළේ ගැමි තරුණයින්ගේ හා තරුණ භික්ෂූන්ගේ මොළ සේදීමයි. විශ්වවිද්‍යාලවල ඉගෙනීමට පැමිණි ගැමි ශිෂ්‍ය පරම්පරා ගණනාවක් මේ විනාශයට හසු විය. ජවිපෙට අසුවූ ගැමි තරුණයන්ගෙන් 99%ක්ම ජාතික හැඟීම් වඳවූවන් බවට පත් විය.
මාලිමාව බලයට පැමිණ කඩිනමින් බලාත්මක කරන බව කියන, 2015-19 යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කළ යුතුය යන නිර්දේශය ඉදිරිපත් කළවුන් අතර හරිනි අමරසූරිය අගමැතිවරියගේ නමද වෙයි. ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතු යැයි ඇය යෝජනා කර තිබේ. යෝජිත ව්‍යවස්ථාවේ රට බෙදන ඔරු මිත්තනාඩුවද ඇතුළත්ය.
එවන් පිරිසක් බලයට පත්වීම අමරසේකරගේ බලාපොරොත්තුව වී නම්, ඔහු ජාතික චින්තනය නමින් කර ඇත්තේ රඟපෑමකි.
සිංහල ජාතික ව්‍යාපාරය රට දැය සමය කෙරෙහි අප්‍රමාණ හැඟීමකින් යුතු විශාල පිරිසකගෙන් හා සංවිධාන රාශියකින් සමන්විත වූවකි. අමරසේකර වැන්නෙකු තවදුරටත් එවැනි ව්‍යාපාරයක නායකත්වයට සුදුසු නැත. නව නායකත්වයක් නොලැබුණහොත් සිදුවන්නේ, සිංහල ජාතික ව්‍යාපාරය මාලිමාව තුළ දියවීමයි.
ජවිපෙ හා මාලිමාව පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක කළ මානසික මැර ප්‍රහාර පිළිබඳ කිසිදු අවබෝධයක් අමරසේකරට නැත. ඔහුගේ ලිපියේ ’ සාමකාමී මැතිවරණයකින් මහජන කැමැත්ත අනුව.. ’ යන වැකියෙන් එය ප්‍රකාශ වේ. තුවක්කුවට මිසයිලයට තිබුණු මුල්තැන, සයිබර් ප්‍රහාරවලට මාරුවුණු හැටි ඔහු නොදනියි. සයිබර් ප්‍රහාරවලින් කරන්නේ ප්‍රතිවාදීන්ගේ අතපය කැඩීමට නොවේ. මොළයට පහරදීමයි. පසුගිය කාලය මුළුල්ලේ ජවිපෙ හා මාලිමාව සමාජ මාධ්‍ය මගින් කළේ ජාතික හැඟීම් ඇත්තන්ට මානසික මැර ප්‍රහාර එල්ල කිරීමයි. ඒ සඳහා, නිරාගමිකයින් නමින් පෙනී සිටින අන්‍යාගමික හමුදාවක් පාවිච්චි කිරීමටද ඔවුහු සූක්ෂ්ම වූහ.
ජනාධිපතිවරණයට පෙර, ජාතිකවාදී මාධ්‍යවේදියකු වන එරික් ගාමිණී ජිනප්‍රිය රචනා කළ ’එන්පීපී කතාව ජේවීපී ක්‍රියාව’ පොත එළිදැක්වීම වැළැක්වීමට මාලිමාව කටයුතු කර තිබුණි. එයින් නොනැවතී, ඔහු සේවය කළ පුවත්පත් ආයතනයට බලපෑම් කර ඔහුගේ රැකියාව පවා අහිමි කර තිබුණි. අදටත් ඔහු රැකියා විරහිතයෙකි.
එරික්ගේ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ අනුශාසනා පිණිස වැඩම කර සිටි, ජාතික ව්‍යාපාරයේ සටන් නියමුවන් වන බෙංගමුවේ නාලක, ඕමාරේ කස්සප හිමිවරුන්ට කතා කරන්නට ඉඩක් නොලැබුණි.
ජනාධිපතිවරණ සමයේ ජාතිකවාදී භික්ෂූන්, උගතුන් සිටියේ භීතියෙන් ඇළලීය. ඊට හේතුව ජවිපෙ ඇතුළු මාලිමාවෙන් එල්ල වූ මානසික මැර ප්‍රහාරයි.
ආචාර්ය අමරසේකර ජනාධිපතිවරයා අමතන්නේ මේ කිසිවක් සිදු නොවුණු පරිද්දෙනි. සැබෑ ජාතික සටන් නායකයකු කළ යුතුව තිබුණේ ඒවාට විරෝධය පා ජනාධිපති ඇමතීමයි.
ආචාර්ය අමරසේකර, අධිරාජ්‍යවාදී උපක්‍රමවලින් බේරිය යුතු යැයි පුනපුනා කියයි. මාලිමාව අධිරාජ්‍යවාදී හා බෙදුම්වාදී බලවේගවල සූක්ෂ්ම මෙහෙයුම්වලට ගොදුරු වූ දේශපාලන සංවිධානයකි. ඒ බලවේගයන් මාලිමාව බළල් අණ්ඩක් හැටියට පාවිච්චි කරයි. රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ සම්මත කරගත් ව්‍යාපෘති සියල්ලක්ම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අනුර ජනාධිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කිරීම නිදසුනකි.
ආචාර්ය අමරසේකරගේ ලිපිය පුරාම ඇත්තේ කෙඳිරිගාමින් ජවිපෙට සුදුහුනු ආලේප කිරීමේ උත්සාහයකි. ඒ සියල්ල විස්තර කරන්නට දීර්ඝ ලිපියක් ලිවිය යුතුය. ආචාර්ය අමරසේකර වැටී සිටින ගැඹුරු අගාධය අවබෝධ කරගන්නට ඔහු ලියා ඇති යට දැක්වෙන වැකියම ප්‍රමාණවත්ය.
‘ඔබතුමාගේ නායකත්වය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ජාතික බලවේගවල අපේක්ෂා අතර ගැටුමක් නැත.’
දේශපාලන දැනුම ඇති කිසිදු ජාතික සංවිධානයකට ආචාර්ය අමරසේකර කියන මේ කතාව පිළිගැනීමට නොහැක. ජාතික ව්‍යාපාරවල නායකත්වය දැරීම යනු මාලිමාවේ ගොම්පස් ඇල්ලීම නොවේ. නිවැරදි ඥානය හා දර්ශනය සපයමින් ජනතාව මෙහෙයවිමයි. වැල යන අතර පැත්තට මැස්ස ගසන පුද්ගලයෝ බුද්ධිමතුන්ගේ සරදමට ලක්වෙති .
ජාතික සංවිධාන එකමුතුව මේ අවස්ථාවේ කළ යුත්තේ තීරක බලය හිමිකරගත හැකි වන සේ ජාතිකවාදීන්ගේ නියෝජිතයන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට වැඩපිළිවෙළක් සැකසීමයි.