මාලිමාව ‘ස්වර්ග රාජ්‍යයේ’ ගොඩනංවන්නට යන ‘දේදුනු ජාතිය’

Last Updated on 2 weeks by admin

‘බලුකි’ කතාවක කියැවෙන පරිදි, කපටිකමින් වනාන්තරයේ රජකම ලබාගත් නරි බල්ලෙක් කැලේ සියලුම සතුන්ට මුත්‍රා කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට සූදානම් වූයේය. උගේ කතාව අසා, ‘උඹ අපිටත් කියන්නෙ උඹ වගේ අණ්ඩක් උස්සල පඳුරකට මුත්‍රා කරන්ඩ කියලද’ කියමින් අලියෙක් සිනාසෙන්ට ගත්තේය.

බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවේදී කීවේ බරපතල කතාවකි..‘ නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ගොඩනැගූ ආකාරයේ ‘රේන්බෝ නේෂන් එකක්’ (දේදුනු ජාතියක්) දැන්වත් අපට ඇත්තටම අවශ්‍ය බවත් මෙතක් කල් ඒ සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වූයේ ඒවායේ තවරා තිබුණු ව්‍යාජ දේශපාලන අලංකරණ නිසා බවත් ඔහු කීවේය. එම නිසා රුපියල් මිලියන 300ක් වැය කර ’ශ්‍රී ලාංකන් ඩේ’ නමින් අලුත් උත්සවයක් පවත්වන්නට යන බවක්ද ඔහුගෙන් ප්‍රකාශ විණි.

ඊට පිළිතුරු දෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, අලියාගේ පිළිතුරට වඩා සැර පිළිතුරක් දුන්නේය. ‘අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති සිංහල බෞද්ධ සංස්කෘතික මිනිසාට දේදුනු ජාතියක් අමුතුවෙන් අවශ්‍ය නැතැ’යි ඔහු කීවේය.

ගත වූ මාස කිහිපය තුළ ව්‍යාජ අලංකාර යොදමින් බුදු සසුන දේශපාලන වාසි පිණිස යොදාගන්නට මාලිමාව කටයුතු කරන හැටි හොඳින් පැහැදිලි විය. පිරිත් නූල් කඩා විසිකරමින්, පිළිම වඳින්නේ ගෝත්‍රිකයන් යැයි කියමින්, ජයමංගල ගාථා ප්‍රතික්ෂේප කරමින් අමුතු ගමනක් යන්නට දැරූ උත්සාහය වහගන්නට මේ වන විට ඔවුන් මොතරම් අපූරු හැවක් හදාගෙන තිබේද යත්, ‘දළදා හාමුදුරුවන්ගේ ප්‍රදර්ශනයක් පළාත් පාලන මැතිවරණයට පෙර පැවැත්වීමට’ ජනාධිපතිවරයාට දොළක් හට ගෙන තිබේ.

අල්ලන්නට වැලක් නැතිව ගිය විට ශාසනයට කොක්ක ගහන්නට ඉදිරිපත් වීම බොහෝ දේශපාලකයන්ගේ සිරිතකි. අල් ජසීරා සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ තමා හොඳ සිංහල බෞද්ධයෙකැයි කීවේය. නරේන්ද්‍ර මෝදි, යුරෝපා සංචාරයකදී බුදු දහම පළිහට ඇල්ලුවේය.

පිටරටවල විප්ලවකාරයින් වශයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ප්‍රකාශ උඩ දැමීමේ අසනීපයක් මාලිමා නායකයින්ට ඇත. හොඳම උදාහරණය ජනාධිපතිවරයා රාජාසන කතාවේදී මාර්ටින් ලූතර් කිංගේ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමයි. එය කිං, දේශපාලනය කරන අවදියේ නොව, පූජකයකු වශයෙන් සිටියදී කළ ප්‍රකාශයකි. තමාට කතා ලියාදෙන ලියනප්පුලාගෙන් ජනාධිපතිවරයා පරිස්සම් විය යුතු බව එදා බෝධි සභාවේ අප පළ කළ ලිපියෙන් පොඩි උපදේශයක් කෙරිණි.

සුනිල් සෙනවි ඇමති නෙල්සන් මැන්ඩෙලා ගොඩනැගූ ‘දේදුනු ජාතිය’ ගැන කර ඇති ප්‍රකාශය නිසා, ජනාධිපතිවරයාට කතා ලියා දෙන ලියනප්පු, බුද්ධ ශාසන ඇමතිවරයා දැයි සැක පහල වේ. ඊට හේතුව, දේදුනු ජාතිය යනු මැන්ඩෙලාගේ සංකල්පයක් නොව, පරණ බයිබලයේ කතාවක් ඇසුරින්, දකුණු අප්‍රිකාවේ ආච් බිෂොප් ඩෙස්මන්ඩ් ම්පිලෝ ටුටු ඉදිරිපත් කළ සංකල්පයක් බැවිනි. සුනිල් සෙනවිගේ පරම්පරාව හැදෙන්නේ බුදු දුහම අතහැර කතෝලික ආගම වැළඳගත් අයගෙනි.

රූපවාහිනී වැඩසටහන් මාලාවකට සහභාගි වූ ආච්බිෂොප් ටුටු, ‘මැවුම්කාරයාගේ දේදුනු ජනතාව’ (රේන්බෝ පීපල් ඔෆ් ගොඩ්) පිළිබඳව දිගින් දිගටම කීවේය. ආච්බිෂොප් ටුටූ පැවැත්වූ දේශන සහ එතුමාගේ ලිපි එකතු කර, ‘ද රේන්බෝ පීපල් ඔෆ් ගොඩ්’ නමින් පොතක්ද පළ කර තිබේ. ඒ පොතේ පෙරවදන නම් ලියා ඇත්තේ නෙල්සන් මැන්ඩෙලා විසිනි. ‘රේන්බෝ පීපල් ඔෆ් ගොඩ්’ යුදෙව් බයිබලයේ උත්පත්ති කතාවේ එන සිද්ධියක් ඇසුරින් සකසා ගත්තකි. ඉතා කෙටියෙන් දක්වතොත් ඒ කතාව මෙසේය.

නෝවාත් ඔහුගේ පවුලේ අය සහ පොළොවේ සිටි සියලු සතුන්ගෙන් එකා බැගින් නැවකට නංවා බේරෙන්නට අවස්ථාව දෙන මැවුම්කාරයා මහා ගංවතුරක් මවා ලෝකයේ අන් සියලු ජීවීන් විනාශ කරයි. පසුව නෝවාට සහ පවුලේ අයට පොළොවේ උරුමය පවරා, නැවත කිසි දිනෙක ජල ගැල්මකින් පොළොව විනාශ නොකරන බවට පොරොන්දුවක් දෙයි. ඒ අවස්ථාවේ මැවුම්කාරයා මෙසේ කියයි.

“තවද, දෙවියන් වහන්සේ කතා කොට, ‘මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි. මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය. පොළොවට ඉහළින් වලාකුළු පැමිණ වලාකුළු අතර දේදුන්න දිස්වන කල, මා හා නුඹලා ද, සියලු ජීවමාන සතුන් ද අතර මින් මතු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. වලාකුළු අතර දේදුන්න පෙනෙන විට, මම එය දෙස බලන්නෙමි. එය දැක, මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටෙවු සදාතන ගිවිසුම සිහි කරන්නෙමි යි වදාළ සේක. දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, ‘මා හා මිහි පිට සියලූ ජීවමාන සතුන් අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ මේ ය’යි වදාළ සේක.” (උත්පත්ති 9:12-17 – beblia.com)

මේ නිසා, දේදුන්න, මැවුම්කාරයාගේ විශ්වාසවන්තභාවය, දයාව සහ විනාශකාරී කාල පරිච්ඡේදයකට පසු නව ආරම්භයක් පිළිබඳ බලාපොරොත්තුවේ සංකේතය බවට පත් වී යැයි බයිබල් විචාරකයෝ පවසති.

ඩෙස්මන්ඩ් ටුටූ ආච් බිෂොප්වරයා, දේදුනු ජනතාව යන යෙදුම දකුණු අප්‍රිකානු සමාජයට ගලපන්නේ, සිය කිතුණු විශ්වාසයත්, දකුණු අප්‍රිකාවේ එකල සිටි න්ගුනි ජන කණ්ඩායම් 5ට අයත් ජනතාවත් සැලකිල්ලට ගනිමිනි. දකුණු අප්‍රිකානු කොඩියට වර්ණ 6ක් එකතු වන්නේද මේ මූලධර්මය අනුවය. එනම්, ඇංග්ලිකන් ආගම, දේශීය ජන කණ්ඩායම් පහ සහ සුදු ජන වර්ගයයි.

බලයට පත් නෙල්සල් මැන්ඩෙලා පළමු මාසය තුළ කළ කතාවකදී මෙසේ කියමින් ආච්බිෂොප්වරයාගේ ‘දේදුනු ජනතාව’ සිය දේශපාලන ගමන සමඟ මුසු කළේය:

“අප හැම මේ සුන්දර රටේ පසට සමීපව බැඳී සිටින්නේ ප්‍රිටෝරියාහි ප්‍රසිද්ධ ජකරන්ඩා ගස් සහ බුෂ්වෙල්ඩ්හි මිමෝසා ගස් පරිද්දෙනි. එය තමාත් ලෝකයත් සමඟ සාමයෙන් වෙසෙන දේදුනු ජාතියකි.”

අපේ බුද්ධ ශාසන ඇමතිවරයාගේ පුජාවට පාත්‍ර වී ඇති ‘දේදුනුවාදය’ යනු දකුණු අප්‍රිකානු සමාජයට සාමය සහ සහජීවනය උදාකළ දර්ශනයක් නොවේ යැයි දකුණු අප්‍රිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. දේදුනුවාදය යනු, රටේ වර්ගවාදය, අපරාධ වැනි සැබෑ ගැටලු වසා දමන්නට පාවිච්චි කළ අයිසින් තට්ටුවක් බව ඔවුහු පෙන්වා දෙති.

“අපට දේදුනුවාදය තුළ ගිලෙන්නට ඉඩදීම, අපේ සමකාලීන දකුණු අප්‍රිකානු යථාර්ථය තුළ තවමත් ක්‍රියාත්මක සැබෑ පරිවර්තනය, සැබෑ සංහිඳියාව, සැබෑ ජාතික සමගිය සඳහා ඇති අවස්ථාව දරුණු ලෙස පාවාදීමකි.” දකුණු අප්‍රිකාවේ ප්‍රකට කවියකු, විද්වතකු මෙන්ම දේශපාලඥයකුද වූ ජෙරමි ක්‍රොනින් පවසා ඇතැයි නහ්ලා වල්ජි Nahla Valji පෙන්වා දෙයි.

‘ක්‍රයිසිස් ගෲප්’ සංවිධානයේ තොරතුරුවලට අනුව, පසුගිය සමයේ දකුණු අප්‍රිකාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලටද ගෝත්‍රවාදය ගෑවී තිබේ.

මෙයින් පෙනෙන්නේ මැන්ඩෙලාගේ දේදුනු ජාතියද ව්‍යාජ දේශපාලන අලංකරණයක් බවයි.

බුද්ධ ශාසන ඇමතිවරයා මැන්ඩෙලාගෙන් උදාහරණ දෙන්නට ගොස් වැටී ඇති අමාරුව, කුඤ්ඤය ගැලවීමට ගොස් වල්ගය හිර කරගත් වඳුරාගේ කතාව සිහිගන්වයි.

සිංහල බෞද්ධයන්ට, අන් ජාතීන්, ආගමිකයින් සමග සාමයෙන් වාසය කරන්නට මැවුම්කාරයාගේ දේදුන්න අවශ්‍ය නැත. වියදම් අඩුකර රටට පුනරුදය උදාකරන්නට ආ ආණ්ඩුව, රුපියල් මිලියන තුන්සීයක් වියදම් කර ‘ශ්‍රී ලාංකන් ඩේ‘ නමින් අලුත් උත්සවයක් පවත්වන්නට හිතීමත් විකාරයකි. මෙය, බෙදුම්වාදීන් පිනවීමට ජවිපෙ/මාලිමාව සන්නාමය යටතේ පෙන්වන්නට සූදානම් වන සෙප්පඩවිජ්ජාවකි. දැනට ඇති සියලු රාජ්‍ය උත්සවවලට කිසියම් පැරණි දේශපාලන පක්ෂයක් සම්බන්ධය. නිදහස් උත්සවයට එජාප සම්බන්ධයක් තිබේ. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ බලයෙන් නිල වශයෙන් නිදහස් වුන ජනරජ දිනය, ශ්‍රීලනිප නිෂ්පාදනයක් නිසා, දැන් පැවැත්වෙන්නේ නැත. සිංහල බෞද්ධ සම්ප්‍රදාය වූයේ රටේ සියලු ජනකණ්ඩායම් සමග නිදහසේ ජීවත් වීමයි. සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා පුද්ගලයින්, රජකමට පත්වීමත් ඔවුන්ට ගැටලුවක් නොවීය.

බුද්ධ ශාසන ඇමතිවරයා දේදුනු ජාතියක් ගැන කියයි. මාලිමා මන්ත්‍රී දේවානන්ද සුරවීර, රට ස්වර්ග රාජ්‍යයක් කරා ගෙන යන බව පවසයි. අගමැත් හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතු බවට ලාල් විජේනායක කමිටුවට යෝජනා කළාය. බිමල් රත්නායක, පිළිම වඳින්නේ ගෝත්‍රිකයන් යැයි කියයි. බුදුන් කොස් ගහට පිට දී බුදු වුනා නම් කොස් කාලා හමාරය යන්න මාලිමා මන්ත්‍රී නලීන් හේවගේගේ අදහසකි. ලාල්කාන්තට මෙන්ම ජනාධිපතිවරයාටත් පිරිත් නූල් කඩා විසි කිරීමේ චෝදනා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි බුද්ධාගමට ප්‍රමුඛස්ථානයදී සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බවට ඇති වගන්ති ඉවත් කිරීමේ සූදානමක් ගැන කාලයක සිට කතාබහක් තිබේ. අලුතින් ජාතික කොඩියක් අවශ්‍ය බවටත් කසුකුසුවක් ඇත. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ හදිස්සියක් බෙදුම්වාදීන්ට මෙන්ම කාදිනල්තුමාටත් තිබේ.

ගොනා හැරෙන්නේ පොල් පැළය දෙසට බව නුවණැත්තන්ට පෙනේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top