මාලිමා පුහුලමේ එල්ලෙන වවුල්ලු

Last Updated on 1 week by admin

මාර්ටින් වික්‍රමසිංහගේ ‘අපේ ගම’ කලකට පෙර පාසල් ළමුන් පාවිච්චි කළ පොතකි. එහි ‘බේගල්’ නමින් චරිතයක් විය. පුරාණයේ හැම ගමකම බේගල්කාරයෙක් සිටියේය. ඔහු කිසිවෙකු රැවැට්ටූ පුද්ගලයෙක් නොවේ. පන්සල් ගිය, පන්සිල් ගත්ත ඔහු බොරු කීවෙකු නොවූයේය. බේගල් කීමේ අරමුණ කිසිවෙකු රැවැට්ටීම නොව හාස්‍යය සැපයීමය. එහෙත් බොහෝ විට කෙනෙකු බොරු කියන්නේ, පුද්ගලයෙකු හෝ සමාජය රැවැට්ටීමටයි.

මාලිමාවට එකතු වූ ඇතැමුන් සමාජ මාධ්‍යවල බෙදාහරින අදහස් දුටු විට බක බක ගා හිනා යන්ට ගනී. අප දන්නා එක් කාන්තාවක් ඇමරිකාවේ වෙසෙන්නියකි. තව පුද්ගලයෙක් එංගලන්තයේ ජීවත් වෙන්නෙකි. දෙදෙනාගේම දේශපාලන දැනුම දුර්වලය. ඔවුන්ට ජාත්‍යන්තර දේශපාලන දැනුම ඇත්තේම නැත. ඔහු අවංක හැඟීමෙන් මාලිමාව වෙනුවෙන් මැටාහි පෝස්ටු පළ කරති. ඔවුන් ගැන පෞද්ගලික දන්නා අපට ඒවා කියවද්දී සිනා පහල වේ.

මැටාහි පළ වන බොරු අඩංගු පෝස්ටු දකින විට ඇඟ හිරි වැටේ. කනගාටුවක් ඇති වේ. වංචනික පුද්ගලයින් මහජනයා රැවටීමට දරන උත්සාහය දකින විට ප්‍රීතියක් ඇති නොවේ. මැටාහි සංසරණය වෙන ‘නායකයා යුක්තිගරුක වෙද්දී පාලකයෝ ප්‍රතිපත්ති ගරුක වෙද්දි සේවකයෝ නීතිගරුක වෙද්දි සාධාරණ මිනිස් සමාජයක් නිර්මාණය වෙයි’ පෝස්ටුව නිදසුනකි. එය මහජනයා රැවටීමේ පරමාර්ථය ඇති අපතයෙකු හැදූ බොරු ආප්තෝපදේශයකි.

නගරයේ පොකැට්කරයෝ සිටිති. ඊට පුහුණුව ලබන්නෝ කිසිවෙකුට අනුකම්පා නොකිරීමට උගනිති. පසුගිය කාලයේ පළ වූ පත්තර වාර්තාවකට අනුව ඉතා ජනප්‍රියව සිටි විකට නළුවෙකුගේ භාර්යාව මිය ගියාය. ඔහු පෙට්ටිය ගැනීමට ණයට මුදල් ටිකක් සොයාගෙන මහරෝහල වෙත ගියේය. පොකැට්කායෙක් බොරැල්ලේදී ඔහුගේ මුදල් පසුම්බියට විද්දේය. අනුකම්පා විරහිතව හැසිරෙන පොකැට්කාරයා අමු පාදඩයෙකි. පාදඩයින් බිහිකරන සංස්කෘතිය පාදඩ සංස්කෘතියයි. මාලිමාව බිහිකරන දේශපාලන සංස්කෘතියත් පාදඩ සංස්කෘතියකි. මේ ගැන මින් පෙරද බෝධි සභාවේ ලිපි පළ කර තිබේ.

අනුර දිසානායක අයුක්තියට වැඩ කරන බව පෙන්නුවේ ජනාධිපතිවරණයටත් පෙර සිටය. ඔහු තරම් බොරු කියා බලයට පත් වෙනත් පුද්ගලයකු මේ රටේ ඉතිහාසයේ වත් නැත. නිදහසින් පසු රට පාලනය කළ සියලු දේශපාලකයන් ද්‍රෝහීන් යැයි අදහසක් ඔහු රටට දුන්නේය. ඒ හරහා ජනතාව තුළ රටේ සිටි සියලු දේශපාලකයන් කෙරෙහි වෛරයක් ක්‍රෝධයක් අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහ කළේය. රටවැසියන්ගේ සිත් දූෂණය කර යහපත් රටක් සැදිය නොහැකිය.

‘එන්පීපී කතාව ජේවීපී ක්‍රියාව’ පොත එළිදැක්වීමේ උළෙල වළක්වා, ‘දිවයින’ පත්තර කන්තෝරුවට බලපෑම් කර ඒ පොත ලියූ එරික් ගාමිණී ජිනප්‍රියට රැකියාවට යෑමට තහංචි දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී පාදඩ වැඩකි.

රවි සෙනෙවිරත්න, ෂානි අබේසේකර, හනීෆ් යුසුෆ් ඇතුළු ඔහුගේ පළමු පත්වීම් කීපය ජනාධිපතිවරයා යුක්තිය නොසලකා කටයුතු කරන බවට උදාහරණයකි. චෝදනාවලට ලක් වූවන්ට එම චෝදනාවලට සම්බන්ධ ආයතනවලම ඉහළ තනතුරු දී සාධාරණ මිනිස් සමාජයක් බිහි කිරීමට නොහැකිය.

ජනාධිපතිවරයා, වේදිකාවක ලාල්කාන්තත් තමා අසල තියාගෙන ‘කොළඹ ගෙවල් තියෙන ඇමතිලා රජයේ බංගලාවලට වී සිටීමේ වරදක්’ යයි කීවේය. ලාල්කාන්ත මන්ත්‍රීකමක් නැතිව මාදිවෙල මන්ත්‍රී නිවාසයක අවුරුදු 10ක් ඉක්මවා (මතක පමණින් 14ක්) සිටි අයෙකි. මෙයින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ යුක්තිගරුක භාවය ව්‍යාජයක් බවයි.

ජනාධිපතිවරයා රටේ සිටින හොරුන් වංචාකාරයන් ගැන කතා කරයි. නමුත් හොර ඔප්පුවක් සාදා මිලියන 36ක් වංචා කළ තම සගයින් ගැන කතා නොකරයි. එයින් කියවෙන්නේ ඔහු යුක්තිගරුක අයකු නොවන බවයි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමැති මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියවෙන්නේ මාලිමාවට ප්‍රතිපත්තියක් නැති බවයි. තුන්දෙනාගේ ආණ්ඩුව පටන්ගත් දවසේ සිටම ප්‍රතිපත්තියක් නැති වැඩ කිරීමෙන් එය තහවුරු වේ.

‘මේකත් ණයක්ද? ණය ගන්ඩ නම් ආණ්ඩු ඕනැද? අයිඑම්එෆ් එක පන්නා අඩු පොලියට ණය ගන්නා හැටි මම පෙන්වමි, අයිඑම්එෆ් එකේ කොන්දේසි සුනුවිසුනු කර අපට ඕනෑ හැටියට ගිවිසුම වෙනස් කරමි’ වැනි කෝටියක් කයිවාරු ගැසූ අනුර සහෝදරයා ආණ්ඩු බලය ගත් වහාම බලු කුක්කෙකු සේ හැසිරෙමින් අයිඑම්එෆ් ගිවිසුමට අනුව දිගටම කටයුතු කරගෙන යන්නට වූයේය. එයින් ඔහු ප්‍රතිපත්තිගරුක භාවයක් නැත්තෙකු බව පෙන්වයි.

මාලිමාවේ සිටි පිරිස්, බලය ගත් පසු ඉන්ධන මිල දැනෙන විදිහට වෙනස් කරන්නෙමුයි කීහ. බලය ලැබුණු පසු ඒ කතාව වෙනස් වූයේය. බිත්තර මිල රු. 10කින් අඩු වූ වහාම හිටපු ඇමතිගේ සාක්කුවට රු. 10ක් ගොස් ඇති බවට කී කතාව හොම්බ බිම ඇනගැනීමක් විය.

විජිත හේරත් ඇමතිවරයා බලය ලැබීමත් සමග පාලකයන්ගේ වෙනස්වීම පැහැදිලි කරන හොඳම උදාහරණයයි. ඔහු දැන් මාධ්‍යවලට fදාස් කියයි. වැඩ වර්ජන කරන්නට ආවොත් බලාගෙනයි කියා තගේ දමයි. මේවා අසන ගමේ මිනිස්සු දැලිපිහිය අහුවුන වඳුරාගේ උපමාව සිහි කරති.

ටිල්වින් කියන්නේ, ආණ්ඩුවක් නැති නිසා මොකවත්ම කරන්ඩ විදිහක් නැති බවයි. නමුත් අනුර කියන්නේ නම්, ලෝකයේ කුඩාම කැබිනට්ටුව සහිත ආණ්ඩුව පිහිටවූ බවයි.

උගන්ඩා කෝළමෙන් මාලිමාවේ රෙදි දිගින් දිගටම ගැලවේ. නිලන්ති කොට්ටහච්චි ජනාධිපතිවරණයට පෙර තමා කීවේ බොරුවක් බව මාධ්‍ය හමුවේ පිළිගත්තාය. ඇය එසේ කියද්දී, සහෝදර නලින් හේවගේ කියන්නේ, බලය ලැබී මාස 6න් උගන්ඩාවේ සඟවා ඇති මුදල් ආපසු ගෙනෙන බවයි. මේවා මාලිමාවේ නායකයින්ගේ යුක්තිගරුක, ප්‍රතිපත්තිගරුක භාවය පිළිබඳ හොඳ උදාහරණයි.

දෙවියනේ, ලංකාවේ සිටින නීතිගරුක සේවකයන් ගැන කියන්නට අපේ ශබ්දකෝෂවල වචන නැති තරම්ය. සමහර සේවකයෝ මාසයට පැය 600ක් පමණ අතිකාල සේවා කරති. සමහර දුම්රිය සේවකයන් වැටුප් ලේඛනය සාදා ගන්නේ ඔවුන්මය. ඇතැම් ග්‍රාමනිලධාරීන්, ටීඕලා සහ පීඑච්අයිලා කක්කුස්සි වළෙනුත් පගාව ගනිති. සමහර දොස්තරවරු පැය 24ම ඕටීය. පොදුවේ ගත්තාම, පමා වී වැඩට ගොස් කයිවාරු කෙලමින් සිට කල් ඇතිව ගෙදර යන රාජ්‍ය සේවකයින් අප්‍රමාණ පිරිසකි.

මේ හැම දෙනාම එකතුවී දේශපාලකයන් හොරකම් කර රට විනාශ කළ බවට අඳෝනා දෙති. නමුත් රටේ ඕනෑම අමාත්‍යංශයක මුදල් පිළිබඳ ඉහළම වගකීම හා බලය ඇත්තා අමාත්‍යංශ ලේකම්ය. ඇමතිලාට ඕනෑ හැටියට මුදල් කාබාසිනියා කරන්නට ඉඩ දෙන්නැයි ආයතන සංග්‍රහයේ හෝ රාජ්‍ය සේවකයන්ගේ වගකීම් විස්තර කෙරෙන වෙනත් ලේඛනයක හෝ නැත. ඒ නිසා රටේ මුදල් නාස්ති වී ඇත්නම් ඊට මූලිකව වගකිය යුත්තා අමාත්‍යංශ ලේකම්වරයාය. හොරුන් ගැන කතාකරන්නන්ට මේ ගැන අවබෝධයක් ඇත්තේම නැති ගානය.

පසුගිය කාලයේ එක් හිටපු විගණකාධිපතිවරයෙක් රට ට්‍රිලියන 8ක් ණය ගෙන ඇති නමුත් වත්කම් ඇත්තේ ට්‍රිලියන 2ක් පමණක් යැයි කීවේය. මේ කතාව හොරකම් ගැන කතා කරන හැම තැනකම පාවිච්චි වූ එකකි. දැනට මාස කීපයකට පෙර මහබැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරින් දෙදෙනෙකු සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඇත්ත සිද්ධිය අනාවරණය විය. මුදල් අමාත්‍යංශ නිලධාරියා පැහැදිලි කළ පරිදි සිදුවී ඇත්තේ වෙනකකි. ‘අපි ගත්ත ණය සේරම පිළිවෙළට ගොනු කරලා තියෙනවා. නමුත් අපේ වත්කම් ලේඛනගත වෙලා නෑ. ඒකයි මේ ප්‍රශ්නය. අපි ඉදිරියේදි ඒක නිවැරදි කරලා පෙන්නනවා.’

දේශපාලකයන් හොරකම් කර නැති බවක් එයින් නොකියවේ. නමුත් රටේ ප්‍රසිද්ධව ඇති ට්‍රිලියන 8 කතාවේ ඇත්තක් නැත. හිටපු විගණකාධිපතිවරයාගේ විගණනයත් වැරදිය. ඔහු නිවැරදි විගණනයක් කළේ නම් ඒ අඩුපාඩුව දැකිය යුතුය. අමාත්‍යංශ නිලධාරීන් නිසියාකාරව රාජකාරි කරලාද නැත. දේශපාලකයන්, නිලධාරීන්, බලධාරීන් සියලු දෙනාම එක වල්ලේ පොල්ය.

අනුර ජනාධිපති සහෝදරයා යටතේත් ඒ පැරණි නිලධාරීන් රොත්තම සිටිති. ඔවුන් ඉවත් කර යොදන්නට අය මාලිමාවේ නැත. ජනාධිපති කාර්යාලයේ පවා හිටපු නිලධාරීන් ඉතිරි වී සිටින්නේ ඒ නිසාය. බැරිවෙලා හෝ ඔවුන් අස් වී ගියහොත් ජනාධිපති සහෝදරයා හාන්සිය.

එහෙම බැලුවාම අර මැටාහි කැරකෙන පෝස්ටු දේශපාලන දැනුම නොමේරු වැඩිහිටියන්ගේ තරම පෙන්වයි. මේවා පාදඩ සංස්කෘතියක් බිහි කිරීමට ගොතන බොරුය.

ආණ්ඩුවේ රැකියා කරන දූපුතුන් සිටින ගමේ සුළු ව්‍යාපාරිකයා සමෘද්ධිය ගනී. ඔහුගේ දරුවෝ යහපත් අනාගතයක් හදන්නට මාලිමාවට පක්ෂව සිටිති. අල්ලපු වැටේ දිළිඳු කාන්තාවට සමෘද්ධිය නොලැබේ. ඇයට, මාලිමාවට ඡන්දෙ දෙන්නැයි මුදලාලිගේ පවුලෙන් බලපෑම් කෙරේ.

දේශපාලකයාට පන්දම අල්ලා සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩට ගිය තැනැත්තාගේ ගෙදර අහුමුළු හැමතැනකම සීල් අරක්කුය. නෝනාගේ බැංකු පොත්වල ලක්ෂ ගණන් සල්ලිය. ගබඩාව පිරී ඇත්තේ කසිප්පු තිප්පොලවලින් ඇල්ලූ තඹ බට, ඇළුමිනියම් මුට්ටි ආදි නඩු භාණ්ඩවලිනි. ඒ වුනාට ඔහු පළාතට ඉන්නා හොඳම මාලිමාකාරයාය.

‘මම නම් මේ පාර මාලිමාවේ අහවලාටයි දෙන්න ඉන්නෙ. දැනඇඳුනුම්කමකුත් තියෙනවා. දෙයක් කරගන්න වුනත් බැරිවෙන්නෙ නෑ.’ මේ එක්තරා ගුරුවරයකු තවත් ගුරුවරයෙකුට කී කතාවකි.

ඉතිං ඉස්සරහට සිද්ද වෙන්න නියමිත දේ හිතාගන්නට එච්චර අමාරු නැත. මේ බොහෝ පිරිස් වවුලන් පුහුලමේ එල්ලෙනවා සේ මාලිමාවේ එල්ලෙන්නේ පරමාර්ථයක් ඇතිවයි. ඒ යට සැඟවුන මනෝවිද්‍යාවක් තිබේ.

බයිබලයේ සඳහන් පරිදි මැවුම්කරු මැවූ පළමුවෙනි මිනිසා, මැවුම්කාරයා කී දේ නොඇසුවේය. එය මනුෂ්‍ය ස්වභාවයයි. මනුෂ්‍යයාගේ ස්වභාවය වැරදි කිරීමයි. අඩුවෙන් වැරදි කරමින්, වැරදි නිවැරදි කරගනිමින් ක්‍රමයෙන් ඉදිරියට යනවා විනා මනුෂ්‍යයින්ගේ සියලු වැරදි එකවර නැවත්විය නොහැකිය. බුදුදහමේ හැටියට පෘතග්ජන ස්වභාවය දුරලා නිවැරදි මාවතට යන්නෝ මාර්ගඵල ලාභියෝය. එවන් උතුමෝ දේශපාලනයට නොඑති. කවුරුන් හෝ කිසිදු වරදක් නැති මාර්ගඵලලාභියකු මෙන් කතාකරන්නේ නම්, ඒ ගැන හොඳ සිහිකල්පනාවෙන් බැලිය යුතුය.

මේ රට නිවැරදි මාවතට ගැනීමේ අරමුණින් මාලිමාවට අවස්ථාවක්දී බැලීමේ උත්සාහයක යෙදුනු විශාල පිරිසක් රටේ සිටින බව ඇත්තකි. රටක් පාලනය පිළිබඳ අත්හදා බැලීම් කළ යුතු නැත. හේතුව රට යනු අද ජීවත් වන අප පමණක් නොවන හේතුවෙනි.

සමාජමාධ්‍ය ඔස්සේ අදහස් බෙදාහරින්නට පෙර ඒ ගැන කල්පනා කළ යුතුය. අවංක මෝඩයෝ එසේ නොකරති. පාදඩයෝද එසේමය. මේ දෙපාර්ශ්වයම රට වෙනුවෙන් කඩේ යන බව කියමින් වෙන කාටfදා් කඩේ යති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link