Last Updated on 3 months by admin
සෑම් සෙනෙවිරත්න
බලය ගන්න රට බෙදන්න කැමති තුන්දෙනා
මේ ලිපි පෙළ ඇරඹුණේ මිනිසුන්ට වෙනස් විය හැකි බව, දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බව අවධාරණය කරමිනි. බෙදුම්වාදීන් කඳවුරු තුනකට බෙදී බලය ලැබීමට පොරකමින් සිටින මේ අවස්ථාවේ සියලු ජාතිකවාදී බලවේග විරසකයන් හා පුද්ගලික අපේක්ෂාවන් පසෙක දමා, රට වෙනුවෙන් එක් සේසත් විය යුතු බව අපි කීවෙමු. ඒ ප්‍රකාශය කෑගසා කීමට අපට සිදුවී තිබේ.
නාමල් රාජපක්ෂ වෙනස් වී ඇත. ඔහු අනුරාධපුරයේදී කළ කතාව උදාහරණයකි. එහිදී ඔහු කිසිවකුට මඩ ගැසුවේ නැත. සංයමයෙන් කතා කළේය. එය යුගයට අවශ්‍ය සදාචාර සම්පන්න දේශපාලනයක්, වෙනසක් පිළිබඳ ඉඟියකි. අධික ලෙස මඩ ප්‍රහාරයන්ට ගොදුරු වූවකු වශයෙන් ඔහු එවන් ස්ථාවරයක පිහිටා කටයුතු කිරීම මාලිමාවේ කුණු ගොබ්බ කතාවලට ගිනිකණවැටී සිටින්නන්ගේ අවධානයට යොමු විය යුත්තකි. මේ කතාවේදී මුස්ලිම් සමාජයද ඇමතිය යුතුව තිබුණි.
රටේ ඒකීයභාවය, ආරක්ෂාව හා සංහිඳියාව පිළිබඳ ඉතා වැදගත් කරුණු කීපයක් නාමල්ගේ කතාවේදී ඉදිරිපත් කෙරිණි. ඒවා නම්,
- කුමන ආකාරයකින් වත් රට බෙදීමට ඉඩ නොතැබීම.
- උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකිරීම.
- පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල නොදීම.
- දෙමළ සංස්කෘතිය හා දෙමළ බස ආරක්ෂා කිරීම.
අනුරාධපුරයේදීම දිලිත් ජයවීර කළ කතාවද අගය කළ යුත්තකි. ඔහුගේ කතාවේ මඩ ප්‍රහාර නොවිණි. එය ශීලාචාර, අධ්‍යාපනික කතාවකි. ඔවුන්ගේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙරට දේශපාලන ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමකි. නිසි ආර්ථික සැලසුමක්, මූල්‍ය විනයක් නැති රට ගොඩගැනීමට හොඳ වැඩපිළිවෙළකි. දිලිත්ගේ බොහෝ කතාවලදී මිනිස් සිත් තුළ වෛරී හැඟීම් මෝදු කරවන දේශපාලනයේ වරද පෙන්වාදීමද කාලෝචිතය. දිලිත් කවදත් රට බෙදීමට එරෙහිය. එහෙත් තමා පවසන ඇතැම් කරුණු ජනතාවට අවබෝධ වන්නේද යන්න පිළිබඳව දිලිත් නැවත සිතා බැලීම වටී. දිලිත් පවසන ඇතැම් කරුණු ආයතනික උගතුන්ට හැර සාමාන්‍ය ජනතාවට නොවැටහීම ඔහුගේ දේශපාලන කතාවල ඇති මූලික දුර්වලතාවයි.
විජේදාස නිහඬය. ඔහුගේ ප්‍රචාරක වැඩපිළිවෙළක් නැති ගාණය.
දිලිත් සංවිධාන ගණනාවක් සමග එක්ව සිටියත් ඒ කිසිදු පක්ෂයකට හෝ සංවිධානයකට ජන පදනමක් නැත. දිලිත් වටා සිටින කිසිම පක්ෂ නායකයකුට ප්‍රාදේශීය සභා මැතිවරණයකින්වත් ජයගන්නට තරම් ජන පදනමක් නැත. ඔවුන් හැමදාම ජය ලැබුවේ කාගේ හෝ ඇඟේ එල්ලීමෙනි.
තවමත් තීන්දුවක් ගෙන නැති 40%ක් වන ඡන්ද දායකයන්ගේ මනාපය තම අපේක්ෂකයාට ලැබේ යැයි විමල් අනුරාධපුරයේදී කීවේය. කලක් ජවිපෙ නායකයෙකුව සිටි ඔහුට මහජනයා ගෝඨාභයට බලය දුන්නේ ඇයි කියා නොවැටහෙයි. පක්ෂය මාරු කළ නමුදු ජවිපෙ වැරදි සිතුවිලි තවමත් ඔහුව මෙහෙයවයි.
රට හැදිය යුතු බවට, වෙනසක් කළ යුතු බවට කොයි තරම් කයිවාරු ගැහුවත් බොහෝ ඡන්දදායකයින් බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණයයි. එනිසා පාවෙන ඡන්ද බොහෝ විටම වැටෙන්නේ සද්දකාරයින්ටය. වැඩිපුර බොරු ප්‍රබන්ධ පතුරුවන, කයිවාරු ගහන, රතිඤ්ඤා පත්තු කරන, වැඩිපුර මැතිවරණ කාර්යාල හදන, දැන්වීම් පළ කරන, සල්ලි, බඩුභාණ්ඩ බෙදන මළගෙවල්වල කැරකෙන පාර්ශ්වයටයි. ප්‍රතිපත්ති සලකා ඡන්දය දෙන පිරිස අඩුය. නැතිනම්, උගතුන් වැඩිම පිරිසක් ජීවත් වන බව පැවසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ටෙලිනාට්‍ය නිළියක් කරු ජයසූරියටත් වඩා වැඩි මනාප ලබා පාර්ලිමේන්තු යන්නේ නැත.
ලංකාවේ මෑත මැතිවරණ ඉතිහාසයේ ඉහළම ඡන්ද වැඩිවීම වාර්තා වූයේ 1994 මැතිවරණයේදීය. 1988 සිරිමා බණ්ඩාරනායක ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද ලක්ෂ 25ක් පමණ ලබාගැනීමට චන්ද්‍රිකා සමත් වූවාය. 2019 ගෝඨාභය ලබාගත්තේ පෙර මැතිවරණයේදී මහින්ද ලබාගත් ඡන්දවලට වඩා ඡන්ද ලක්ෂ 12කි. ජනප්‍රිය භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඉදිරියට දමාගෙන 2004 හෙළ උරුමය ලබාගත්තේ ඡන්ද ලක්ෂ 5.5කි.
ඒ කිසිදු පක්ෂයකට තිබූ ආකාරයේ ප්‍රතිරූපයක් සර්ව ජන බලයට නැත. කොළොන්නාවේ සුමංගල, උඩුවේ ධම්මාලෝක, වැනි හිමිවරුන්, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය බඳු ජනතා ආකර්ශණයට ලක්වූ කිසිවකු සර්ව ජන බලයේ නැත. එය සර්ව ජන බලයට ඇති අවාසියකි. එහෙත් දිලිත් ජයවීරගේ ආර්ථික වැඩපිළිවෙළ හා වෛරය පතුරුවන දේශපාලනයට ඇති විරෝධය නිසා සැලකිය යුතු ජනප්‍රසාදයක් හිමි වෙමින් පවතී.
මෙවර පැරදුනහොත් අනාගතය අසීරුය. පරාජිතයන්ට ඡන්දය දෙන්නට ඡන්දදායකයන් අකමැතිය. ඔවුන්ට බලාපොරොත්තු තිබේ. ඡන්දය අහක යවන්නට, මැතිවරණයෙන් පසුව පීචං වී ඉන්නට බොහෝ ඡන්දදායකයන් කැමති නැත. ඒ නිසා අනාගතයක් ගැන සිතන්නේ නම් සර්ව ජන බලය මීට වඩා දුරදක්නා නුවණින් මේ දෙස බැලිය යුතුය.
අනෙක් අතින් ජවිපෙ බඳු විදේශවලින් මෙහෙයැවෙන හා යැපෙන ඇට්ටරවු පක්ෂයක් සමග තරග කිරීමට ශක්තියක් සර්ව ජන බලයට නැත. එයට අලුත් ඡන්දදායකයන්, ජනගහණ වර්ධන වේගය, ජන සංයුතිය, වයස් කාණ්ඩ අනුව ඡන්දදායකයන්, මේ යන ගමන දෙස ඇස ගසාගෙන සිටින වෙනත් බලවේග ආදි කරුණු ගණනාවක් එක් කර සූත්‍රයකට දමා බැලුවහොත් සර්ව ජන බලයේ නායකයින්ට ඇත්ත වැටහේ.
ජයවර්ධන පුර රාජධානි සමයේ සිදු වූ විජයබා කොල්ලය යනු, පෘතුගීසින් විජයබාහු රජු මරවා රජුගේ පුතුන් තිදෙනා භේද කරවීමේ කුමන්ත්‍රණයයි. සිංහල රාජධානිය වැටුනේ ඒ බෙදීමෙනි. සිංහලයෝ තුනට බෙදී පෘතුගිසින් සමග සටන්කරන්ඩ ගත්හ.
ඒ ආකාරයටම නූතන ධර්මපාල පරපුරේ බෙදීමක් සිදුව තිබේ. මේ බෙදීම මෑතක ඇරඹුණේ මෛත්‍රීපාලගේ ආප්පවාටි ප්‍රහාරයෙනි. එය මෑත සිදු වූ ජාතියේ මහා පාවාදීමකි. විමසිල්ලෙන් බැලුවහොත් මේ සිදුවන්නේ ධර්මපාලතුමාගේ සටන ඉදිරියට ගෙන යෑමට බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණය බව පැහැදිලි වනු ඇත. බණ්ඩාරනායක ඝාතනයෙන් ඇරඹී සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, මහජන පක්ෂය බිහි කිරීම ආදි කුමන්ත්‍රණ වලට මුහුණ දෙමින් ආ ශ්‍රීලනිපය දැන් නැත්තටම නැති ගාණය.
ජාතික ප්‍රතිපත්තියක් නැති නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර වැනි දේශපාලන බොහොඬුන් එහි නායකයෝ වී සිටිති. පක්ෂයේ අයිතිය ලබාගැනීම සඳහා හයිය ලබාගැනීමට සිරිපාලගේ කණ්ඩායම රනිල්ටත් දයාසිරිගේ කණ්ඩායම සජිත්ටත් හේත්තු වී ඇනකොටා ගනිමින් රට හිනස්සති. තමන් මේ කරන්නේ රට විනාශ කිරීම සඳහා ධර්මපාල පරපුරේ මනස විනාශ කිරීමේ කටයුත්ත බව ඔවුන්ට නොවැටහේ. ඔවුන් වහාම කළ යුතු කාර්යය වන්නේ දිලිත්, නාමල්, විජේදාස සමග එක්වී ශ්‍රීලනිප මහගෙදර යළි ගොඩනැගීමයි. ඒ අතර පාදඩයින්, මැටිමෝලුන් පක්ෂයෙන් පන්නා යහපත් පිරිසක් එක්කර ගැනීමයි.
ශ්‍රීලනිප ‘ගමනක අවසානය’ නමින් එදා විජේවීර ඇරඹූ ගමන උච්ඡ අවස්ථාවකට ගෙන ඒමට මේ වන විට ජවිපෙ සමත්ව ඇත. ඉතිහාසය නිරීක්ෂණය කරන විට ජවිපෙ සැමදාම කළේ ශ්‍රීලනිප විනාශ කරමින් එහි ඡන්ද ගොදුරට ගැනීම බව පෙනේ. එය වෙනම ලිපියකට මාතෘකාවකි.
නමුත් මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව විජේදාස, නාමල්, දිලිත් තිදෙනාගේ අවධානය යොමු වී ඇති බවක් නොපෙනේ. ඊට හේතු ඔවුන් වටා සිටින උපදේශකයින්ගේ දුර්වලකමක් විය හැක. බොහෝ උපදේශකයින්ගේ සිරිත එහෙයි එහෙයි කියමින් නායකයාට ළං වී ඇත්ත අසන්නට නායකයාට ඉඩ නොදීමයි.
ඒබ්‍රහම් ලින්කන් මහත් සේ ජනප්‍රසාදයට පත් වූයේ රැවුල වැවීමෙන් පසුවය. ඒ අවවාදය ඔහු ලබාගත්තේ කුඩා දරුවකුගෙනි. උපදේශකයින්ගේ කීම පිළිගෙන නොපෙනෙන ඇඳුමකින් සැරසුනා යයි සිතා නිරුවතින් මහාපාරේ ඇවිද ගිය රජතුමා සිහි එළවාගත්තේ කුඩා දරුවකු, ‘අන්න රජ්ජුරුවෝ හෙලිවැල්ලෙන් යනෝ’යි කී පසුවයි. ධර්මාශෝක රජතුමාට සිහිය සැපත් වූයේ කුඩා සාමණේර නමකගෙන් බණ ඇසීමෙනි.
කුඩා දරුවාත් මහල්ලාත් එක හා සමාන යැයි කියමනක් තිබේ. ඒ නිසා අපගේ බස් කුඩා දරුවකු කියන කතා යැයි සිතාගැන්ම වටී.
නාමල් උපදේශකයින් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔහු කරන කියන සමහර දෙයින් නුවණැති උපදේශකයින්ගේ හිඟයක් පෙනේ. ඔහුට මහෞෂධයකු සිටියේ නම් රටේම ගර්හාවට ලක්ව ඇති සාටකය ඇඳගෙන අනුරාධපුර වේදිකාවට නගින්නට දෙන්නේ නැත. තාත්තා නවත්තපු තැනින් සංවර්ධන කටයුතු පටන්ගන්නවා යැයි කියන්නේත් නැත. දිලිත් හා විජේදාස දෙදෙනාද ප්‍රඥාවන්ත උපදේශකයින්ගේ හිඟයෙන් පෙළෙන බවක් පෙනේ.
විසිරී සිටින නූතන ධර්මපාල පරපුර සමගි කිරීම මේ අවස්ථාවේ කළ යුතුව තිබෙන වැදගත්ම කාර්යයයි. ඒ සඳහා පෙරට එන කිසිවකු පෙනෙන්නට නැත. එදා භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වී ගැමුණු – තිස්ස දෙදෙනා සමගි නොකරන්නට, එළාරගෙන් රට බේරා ගන්නට අවස්ථාවක් නොලැබෙන්නට ඉඩ තිබුණි.
ඒ සඟ පරපුර අද දකින්නට නැත. භික්ෂුන් වහන්සේ පවා විජාතික බලවේගවල ප්‍රහාරයට ලක්ව අතරමංව සිටිති. මේ ප්‍රශ්නයට මැදිහත් වන්නට භික්ෂුන් වහන්සේ පසුබසින්නේ, මඩ ප්‍රහාරවලට ඇති බිය නිසාය. මහින්ද රාජපක්ෂ චරිතයේ හොඳ නරක දෙකෙන් හොඳ සඟවා අතිශය දරුණු සොරදෙටුවකු මවා පෙන්වන්නට බෙදුම්වාදී, අන්තවාදී බලවේග කටයුතු කිරීමේ ප්‍රතිඵලය එයයි. මේ භීෂණයට බියෙන් රටේ අනාගතය පාවා දී හෘද සාක්ෂියෙන් බේරී සිටීමට කිසිවෙකුට හැකියාව තිබේද?
අම්මාත් මල්ලීත් සමග ගැටී පක්ෂ ගණනාවක් පිහිටුවා අසාර්ථකව රටින්ද පැන්න චන්ද්‍රිකා නැවත අම්මා සමඟ එක්වී රටේ නායිකාව වූවාය. නායකත්වය සඳහා ජේආර් සමග සීතල යුද්ධයක් කළ ප්‍රේමදාස පක්ෂය කඩාගෙන ගියේ නැත. ප්‍රේමදාස සමග ගැටී පක්ෂය කඩාගෙන ඇතුලත්මුදලිත් සමග අලුත් පක්ෂයක් පිහිටුවූ ගාමිණී දිසානායක නැවත එජාපයට එක්වූයේය. ජවිපෙ හ`ඳුන්නෙත්ති සෙසු ජ්‍යෙෂ්ඨ නායකයන් සමග හැප්පුණු අවස්ථාවක් අපට මතකය. අපට ලැබෙන අභ්‍යන්තර වාර්තාවලට අනුව දැනටත් ජවිපෙ නායකයින් අතර හා මාලිමාවේ ලොක්කන් හා ජවිපෙ ලොක්කන් අතරද ගැටුම් තිබේ. එය පුපුරා යෑම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. 2015 මහින්දට විරුද්ධව ජනාධිපතිවරණයට ආ මෛත්‍රීපාල පසුව අගමැතිකම මහින්දට දුන්නේය. ඒ ජනාධිපතිවරණය කාලයේ මෛත්‍රීව පතුරු ගැසූ විමල් වීරවංශ පසුව ඔහුට හීලෑවී සිටියේය.
ඉතින් දිලිත්ට, නාමල්ට, විජේදාසට එකට එක්වී ශ්‍රීලනිප ගොඩනගන්නට ඇති බාධාව කුමක්ද? මේ වන විට රනිල් හා සජිත් පාර්ශ්ව දෙක එකට එකතු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව මේ පිරිසගේ දැඩි අවධානයට යොමු විය යුතු කරුණකි. සර්ව ජන බලයේ අරමුණ සියලු ජාතිකවාදී බලවේග එකතු කිරීම නම්, එහි ලොකුම පලුව වන පොහොට්ටුවේ ජන බලවේගය ඊට එකතු කර ගත යුතුය.
මෙය විසිරී සිටින ධර්මපාල පරපුරට එකතුවන්නට සොබා දහම ලබාදුන් කදිම අවස්ථාවකි. මේ බිඳී විසිරී සිටින්නේ ධර්මපාලතුමාගේ සටනෙන් උපන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එකතුවී සිටි ජන බලවේගයට නායකත්වය දුන් පිරිසයි. ඒ පිරිසට නැවත එකකු විය හැකි නම් නැවත 56 බලවේගය නැතිනම් 2019 උපන් 69 ලක්ෂයේ බලවේගය ගොඩනැගිය හැකිය.
ඒ සඳහා අවශ්‍ය වන්නේ තමාට වඩා රට දැය සමය වටින්නේය යන හැඟීමයි. මැතිවරණයකට ඉදිරිපත් වන හැම දෙනාම සොයන්නේ බලයයි. බලය යනු තෘෂ්ණාවයි. තෘෂ්ණාවෙන් බරිත වූ විට සත්‍යය නොපෙනේ. දුර නොපෙනේ.
මේ තිදෙනාම ධර්ම රාජ්‍යයේ නායකත්වයට ඉදිරිපත් වූවන්ය. ධර්ම රාජ්‍යයේ නායකයන් බුදු බණට මුල් තැනදී කටයුතු කළ යුතුය. කෝසම්බි ජාතකයේ දීඝතිස්ස රජතුමා සිය පුතු වූ දීඝායු කුමාරයාට අවවාද කරන්නේ, පුත ළඟ නොබලව, දුර බලව, වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන්ම වෛරය සන්සිඳේ යනුවෙනි. සම්මෝදමාන ජාතකයේ වටු රංචුව වැද්දාගෙන් දැලෙන් මිදෙන්නේ සමගියෙන් එකාවන්ව එකවර දැල ඔසවාගෙන පියෑඹීමෙනි.
මෙය ධර්ම රාජ්‍යයේ නායකත්වයට ඉදිරිපත් වී සිටින ධර්මපාල පරපුරේ අපේක්ෂකයන්ට බණ සිහිපත් විය යුතු බණ අනුගමනය කළ යුතු වේලාවයි.
කඩුව දිලිත්ට දී කොපුව තියාගන්නැයි මම පෙර ලිපියකින් නාමල්ගෙන් ඉල්ලා සිටියෙමි. දැන්, මගුල් කඩුවට පොර නොඅල්ලා පළිහ අතට ගන්නැයි විජේදාසගෙන් හා දිලිත්ගෙන් ඉල්ලා සිටිමි. තිදෙනාට එක්ව මේ සූත්‍රය විසඳා ගන්නට හැකි නම් රට බේරාගත හැකි වනු ඇත.
ඔබ තිදෙනාට හා ඔබේ කඳවුරුවල සෙසු පිරිස්වලට එක්ව මේ සූත්‍රය විසඳාගන්නට නොහැකි වුවහොත්, විජේදාසගේ අත කැපෙනු ඇත. නාමල්ගේ පොහොට්ටුව පරවෙනු ඇත. තරු පෙනෙන්නේ දිලිත්ට හෝ සිංහල බෞද්ධයින්ට පමණක් නොව මුළු මහත් රට වාසීන්ටමය. සිංහල බෞද්ධ බලය බිඳුණු දාට මේ රට අන්තවාදීන්ගේ රකුසු විමානයක් වනු ඇති බැවිනි. රටේ ඒකීයත්වය ජාතිකත්වය නොපිළිගන්නා ආගම්වාදී බෙදුම්වාදී පක්ෂ ඉතාම උපක්‍රමශීලීව රනිල්, සජිත් හා අනුර ග්‍රහණය කරගෙන සිටිති.