දෙමළ නිජබිම දෙන බවට අනුරගෙන් ප්‍රකාශයක්

Last Updated on 1 week by admin

වියට්නාමය, ඉන්දියාව, පිලිපීනය ආදී අසල්වැසි රටවල් සමග චීනයට දේශසීමා ප්‍රශ්න ඇත. ඉන්දියාවටත් අසල්වැසි රටවල් සමග දේශසීමා ප්‍රශ්න පවතී. ඊට හේතුව ඔවුන් ඉතිහාසයට ආදරය කිරීමයි. මහාවංශය, දීපවංශය වැනි පොත්වලින් පෙනෙන්නේ සිංහලයන් ඉතිහාසයට දැක්වූ ඇල්මයි. ඉතිහාසයට ඇලුම් කිරීමේ ආසියානු සිරිත නොපිළිගත් ජේ.ආර්. ජනාධිපතිවරයා ඉතිහාසය කන්නදැයි ප්‍රශ්න කළේය. ඔහු ශාස්ත්‍රීය කාර්යයන්හි යෙදුන භික්ෂුන් වහන්සේලාට පඩික්කම් පුරවන්නන් යැයි නින්දා කළේය.

ජේ.ආර්.ගේ ප්‍රතිපත්තියේ විපාකය අධ්‍යාපනයෙන් ඉතිහාසය ඉවත් වී රටේ උගතුන් යයි සම්මත පුද්ගලයින්ගෙන් සියයට අනූවකටම ලංකාවේ ඉතිහාසය ගැන මෙළෝ හසරක් නැතිව යාමයි. ජවිපෙ මහමොළය හැටියට සැලකෙන ටිල්වින් සිල්වා, ‘අව්ව කන්නේ අවුකන’ යයි කීවේය. මෙවැනි කතා අප්‍රමාණ සංඛ්‍යාවක් පසුගිය කාලයේ අසන්ට ලැබුණි. තරුණ භික්ෂූන් වැඩි පිරිස මාක්ස්වාදය පස්සේ යන මදාවිකාරයන්ගේ තත්වයට වැටීම, උගත් භික්ෂුව විනාශ කිරීමේ විපාකයයි. විශ්වවිද්‍යාලවලින් පිට වූ එවැන්නන් පිරිසක් මාලිමාවේ ක්‍රියාකාරීන්ව හැසිරෙමින් නායක හාමුදුරුවරුන් ප්‍රමුඛ සංඝ සමාජයට ලොකු විනාශයක් කරති.

චීන ඉතිහාසයේ සඳහන් වන පරිදි මහා චීනයක් පැවතුණි. චින දේශසීමා ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මහා චීනය නිර්මාණය කිරීමට වර්තමාන චීනය වෙහෙසීමයි. ඉන්දියාවේ ප්‍රශ්නයත් මෙයමය. මහාභාරතය නමින් ඉන්දියාවේ ඉතිහාසය ගැන රචිත පොතක් තිබේ. ඒ කතාව අකුරට පිළිගන්නා බීජේපී ආණ්ඩුව මහාභාරතය ගොඩනැගීමට සැරසේ. එම රජය ඉන්දියාවේ නම වෙනස් කර භාරත නම් වූ ඓතිහාසික නම භාවිත කරන්නට තීරණය කර හමාරය. ඒ සමඟ නරේන්ද්‍ර මෝදි, භාරතය ගැන අනාගත දැක්මක් ඉදිරිපත් කරයි. එය ‘විකසිත් භාරත් 2047’ නම් වේ.

විකසිත භාරතය යෝධ වැඩ පිළිවෙළේ අවසානය, ලස්සන භාරතයකි. පොහොසත් භාරතයකි. එය භූමි ප්‍රමාණයෙනුත් ලෝකයේ විශාලම රට වන්නේය. භාරතය නමැති පද්මය විකසිත වී පෙති විදහාගත් විට ලංකාව ඊට අයත් භූමියකි.

ලංකාවේ අගමැතිව සිටි සිරිමා බණ්ඩාරනායක රටට කාලයකින් පහළ වූ ඓතිහාසික නායිකාවකි. ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය වශයෙන් ප්‍රසිද්ධ වූ ඇය කෙරෙහි ලෝකය දැක්වූ ගෞරවය ලංකාවේ පැවත්වු නොබැඳි ජාතීන්ගේ සමුළුවෙන් ඔප්පු විය. ඇය ඉන්දියාව සහ චීනය අතර ඇති වූ දේශ සීමා ප්‍රශ්නය යුද්ධයකින් තොරව විසඳීමටත් ඉදිරිපත් වූවාය. නේරු පවුල සමග සමීප සබඳකමක් පැවැත්වූ සිරිමා බණ්ඩාරනායක, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශසීමා ආරාවුලක්ව පැවති කච්චතිවු දිවයින ලංකාවට අයිති බවට ඉන්දිරා ගාන්ධි අගමැතිවරියට ඒත්තු ගැන්වීමට සමත් වූවාය. එනිසා ඉන්දිරා ගාන්ධි, තමිල්නාඩු දේශපාලනඥයින්ගේ විරෝධය මැද කච්චතිවු ලංකාවේ උරුමයක් බව සහතික කළාය.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරමින් රට ආරාජික කළ විදේශීය බලය, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට විරුද්ධව ජේ.ආර්. ජයවර්ධන ඉදිරියට දමාගෙන රට වැට්ටීමේ වැඩ පිළිවෙළක් ගෙන ගියේය. 1971 අප්‍රියෙල් කැරැල්ල ඊට අයත් සංවාදයට ලක් නොවූ ක්‍රියාවකි. වර්තමානයේ මාලිමාවට හසු වී සිටින ආකාරයටම රට වැසියන් විශාල පිරිසක් ජේ.ආර්.ගේ වැඩපිළිවෙලට හසු වූහ. ප්‍රතිඵලය මහ මැතිවරණයෙන් සිරිමා පරාජය වී ජේ.ආර්. බලයට පත් වීමයි. ජේ.ආර්. සතියකට පොලිසියට විවේක දුන්නේ ඔවුන්ට විරුද්ධ පාක්ෂියන් දුර්වල කිරීමට අවස්ථාව දීමටයි. ඔහු සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළේය.

මාලිමාව ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ හදන බවට මහජනතාවට පොරොන්දු දෙයි. ඊට ඔල්වරසන් දෙන වැඩිදෙනා මෙම සටන් පාඨය මෝදිගේ වික්සිත් භාරත් හඬේ දෝංකාරයක් බව නොදනිති. අනුර ජනාධිපති, උතුරේ අධි ආරක්ෂක කලාපය ආරක්ෂා කිරීම පිණිස වසා තිබුණ කුච්චවේලි මාර්ගය යළි විවෘත කිරීම විකසිත් භාරත් වැඩපිළිවෙලේ කොටසකි. උතුරට ගොස් සිරභාරයේ පසු වන බෙදුම්වාදී ත්‍රස්තවාදීන් නිදහස් කරන බවට පොරොන්දුවක් දීම හා පළාත් සභා ක්‍රියාත්මක කරමින් බලය බෙදන බව කීමද විකසිත් භාරත් වැඩසටහනේ කොටසකි. මාලිමාව උතුරේ පැවත්වූ මැතිවරණ රැළිය පිළිබඳව වාර්තා කරන 2024 නොවැම්බර් 10 ‘ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පත, ආණ්ඩුව අල්ලාගෙන ඇති උතුරේ දෙමළ භූමිය (Tamil Land) ආපසු ලබාදෙන බව අනුර දිසානායක ජනාධිපති පැවසුවේ යයි වාර්තා කරයි. එහි සඳහන් පරිදි ජනාධිපති උතුරේ දෙමළ ජනයා සිරකරුවන් බව පිළිගෙන ඔවුන්ට පූර්ණ නිදහස (Full freedom) ලබාදෙන බව පවසා ඇත. මෙයින් පැහැදිලි වන්නේ උතුරේ දෙමළ නිජබිම ලබාදීමට තමන් කටයුතු කරන බවට අනුර ජනාධිපතිවරයා බලාපොරොත්තුවක් දී ඇති බවයි.

නරේන්ද්‍ර මෝදිට විකසිත භාරතයක් ගොඩනැංවීමේ දී අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදු වේ. එකක් දකුණේ දේශපාලන බලය ස්ථාවර කර ගැනීමයි. භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ ධාන්‍යාගාරය වෙමින් පවතින තමිල්නාඩුවේ දේශපාලන බලය ඇත්තේ අඩුවෙනි. ඔවුන්ට නැති බලය ඇති කරගැනීමට එක් මගක් නම්, ලංකාවේ උරුමය තමිල්නාඩුවට ලබාදීමයි. ඒ සඳහා රජීව් ගාන්ධි අගමැතිවරයාගේ සමයේ ඉන්දියානු හමුදාව ලංකාවට කඩාවැද ජේ.ආර්. ජනාධිපතිවරයා බිය ගන්වා පිළිගැන්වූ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම අවශ්‍ය කෙරේ. ඉන්දියාව, මෙම ව්‍යවස්ථාවට අයත් හැම කොන්දේසියක්ම අනුර කුමාර දිසානායක ජනාධිපති මගින් ඉටුකරවා ගන්නවා ඇත. මෝදි, සිය අභිලාෂයන් ඉටුකර ගැනීමේ හැකියාව ඇති ප්‍රබල නායකයෙකු බව ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා පසුගිය දා කීවේය.

ඉන්දියාව විකසිත භාරතයක් සැදීමේ දී ඉන්දියාවෙන් ඈත රටවල් කෙරෙහිත් අවධානය යොමු කරයි. ‘බි්‍රක්ස්’ සමුළුව නිදසුනකි. එයින් පැහැදිලි කරන ලද්දේ, මෝදි රුසියාවේ හිතවතෙකු බවයි. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේත් හිතවතෙකි. මෝදිගේ ආණ්ඩුව කැනඩාව සමග ලොකු අර්බුදයක පැටලී සිටියි. ඒ කැනඩාවේ පුරවැසියෙකුව සිටි සික් නායකයෙකු ඝාතනය වීමේ සිද්ධිය නිසාය. ඔහු ඉන්දියාවට විරුද්ධව සිටි බෙදුම්වාදියෙකු බව ඉන්දියාව කියයි. එය, ඉන්දියාව කැනඩාව අභ්‍යන්තරයේ කළ දේශපාලන මිනීමැරුමක් යයි කැනඩානු අගමැති ටෘාඩෝ කියයි. කැනඩා ඔත්තු සේවා සතුව සාක්කි තිබෙන නිසා, ඒ කතාව වෙනස් කිරීමට ටෲඩෝ සූදානම් නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකීය ලංකාවක් ඇති කරමින් බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීම ලෝකයේ රටවල් බොහෝමයක කණස්සල්ලට හේතු වූ කාරණයකි. ඔවුන් එය සමනය කරගත්තේ කෙසේ දැයි යමෙකුට ඇඟිල්ල දික්කර පෙන්වීමට නුපුළුවන. හේතුව එය සංකීර්ණ ක්‍රියාවලියක් වීමයි. මහින්ද රාජපක්ෂ වටා සිටි මැති ඇමතීන් ප්‍රධාන දේශපාලන හිතවතුන් විශාල පිරිසක් නොයෙක් දුසිරිත්වලට පෙළඹුන බවට බොහෝ සාක්කි තිබේ. එය එම සංකීර්ණ ක්‍රියාවේම කොටසකි. මහින්ද රටවැසියාට අප්‍රිය කරවීමට මූලික වූ වැඩිදෙනෙක් ඔහුට සමීපව සිටි හිතවතුන් වෙති.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඉන්දියාව, ඇමරිකාව වැනි රටවලට පත් කළ තානාපතිවරුන් දේශප්‍රේමීන් නොවේ යන මතයටද සාක්කි දැක්විය හැක. විදේශ සේවා පිරිසිදු කරන බව කියමින් පසුගිය ආණ්ඩුවල ආධාරයෙන් පිටගිය පුද්ගලයින් රටට කැඳවන අනුර ජනාධිපතිවරයා ගෝඨාභය සමයේ දුන් ඒ පත්වීම් නොදැක්කා සේ හැසිරෙයි. එයින් ප්‍රකාශ කරන්නේ ඔහු බටහිර බලය හමුවේ දුර්වල නායකයෙකු බවයි.

ට්‍රෝජන් අශ්වයාගේ කතාවෙන් කියවෙන්නේ ග්‍රීකයන් ට්‍රෝජන්වරුන්ගේ නගරයට ඇතුළු වීමට දැරූ කපටි උපක්‍රමය ගැනයි. යුද්ධයෙන් ජයගෙන ප්‍රීතියෙන් පසුවූ ට්‍රෝජන්වරු, අශ්වයා සතුරන්ගේ උපක්‍රමයක් බව නොදැන එය නගරයට ඇදගෙන ගොස් සැණකෙළි පැවැත්වූහ. කොටි යුද්ධය ජයගැනීමෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව කළේත් ඊට සමාන ක්‍රියාවකි. වංචනිකයෝ රජ වූහ. එහි අවසාන අවස්ථාව මාලිමාව රජයක් බිහි කිරීමයි.

මාලිමාව දොන් ජුවන් ධර්මපාලලාගේ ආණ්ඩුවකි. දුර්වල දේශපාලන ක්‍රියාවක යෙදෙන මාලිමාව නිසා විකසිත භාරතය ගොඩනැංවෙන විට ලංකාව බෙදුන රටක් වීමට ඇති ඉඩකඩ වැඩිය. මාලිමා නායකයින්ට භාරතයේ ප්‍රාන්ත පාලකයින් හැටියට කටයුතු කරන්නට පුළුවන. බෙදුන දේශයක් යනු කාලකණ්ණි රටකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link