රට කෙලින් කරන්න ගෙනා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උණ පුරුක

Last Updated on 2 days by admin

‘වික්සිත් භාරත්’ ඉන්දියාවේ අගමැතිවරයාගේ රට නැංවීමේ සැලසුමයි. නිදහසින් වසර 100 සපිරෙන 2047 දී ඉන්දියාව ‘සංවර්ධිත’ රටක් කිරීම එහි අරමුණයි. එය තම නිදහසට තර්ජනයක් යැයි සිතන අසල්වැසි රටවල්, ඊට මුහුණ දීමට සැරසෙති. චීනය, බ්‍රහ්මපුත්‍ර නදියේ ඉහළ කොටස හරස් කර වේල්ලක් බඳින්නට සැරසීම නිදසුනකි. එවිට ඉන්දියාවට විකසිත වීමට නොහැකිය. වේල්ල නිසා වෙනස්කම් රැසක් සිදු වේ. දලයි ලාමා හිමියන්ගේ ‘නිදහස් ටිබෙටය’ බොඳ වූ සිහිනයක් බවට පත් වේ. පකිස්ථානය දැනටමත් චීනය සමඟිනි. භූතානය චීනයට දක්වන ළැදියාව වැඩි කරගන්නීය. බංගාලි දේශය, ඉන්දියාවෙන් නිදහස් වන්නට සිතයි. ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාව පමණි. චීනය, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව පිළිගැනීමට සැරසෙන්නේ මේ අතරය.

අනුර ජනාධිපතිවරයා පළමු විදේශ සංචාරය වශයෙන් ඉන්දියාව තෝරාගැනීම ඉන්දියාවේ වුවමනාවට සිදු වූවක් යැය සිතන්නෝ සිටිති. මෝදි කළේ, ඉන්දියාව ගැන සැකයෙන් කටයුතු කරන අසල්වාසී රටවලට ශ්‍රී ලංකාව සිය මිතුරා බව ඒත්තු ගැන්වීමයි. ඔහු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ උරහිසට අත තබාගෙන ගමන් කිරීමත් උපායක් යයි බොහෝ දෙනා සිතති. මෝදි, ලංකාවේ දෙමළ ඩයස්පෝරාවද සැනසුවේය. ඔහු, ටිකක් ඉවසන්නැයි ඔවුන්ට කීවේය.

නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබේ. ඔහු සිය අපේක්ෂාවන් ප්‍රකාශ කර ඇත. ‘එට්කා’ ගිවිසුම සක්‍රීය කිරීම ඉන් ප්‍රධානය. එවිට දෙරට අතර නිදහස් වෙළෙඳාම වර්ධනය වේ. ‘හනුමාන් මාවත’ නිමවා දෙරට සම්බන්ධ කිරීම ඔවුගේ තව බලාපොරොත්තුවකි. එවිට ඉන්දියානුවන්ට රැකියා සැපයීමේ බරපතල ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේ. ලංකාවට ඉන්දියානුවෝ ගලා එති. ලාංකිකයන් අතුරින් විශේෂයෙන්ම ආදිවාසීන් වූ සිංහලයන්ට නම් ඉන්දියානුවන් සමඟ ශරීරයෙන් හෝ මොළයෙන් තරඟ කර මොනම ජයක් වත් අත් කරගැනීමට නොපුළුවන.

පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් හිමි කරගත් ජේ. ආර්. ජයවර්ධන, ‘ධර්මිෂ්ඨ සමාජයක්’ සංකල්පය ප්‍රකාශයට පත් කළේය. අනුර ජනාධිපතිවරයා, ජනවාරි පළමු වැනිදා, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ප්‍රකාශ කළේය. ව්‍යාපෘතියේ ඉංග්‍රීසි නාමයෙන් එහි බටහිර ගැතිබව ප්‍රකාශ වෙයි. ඊට සහාය දක්වන්නේ නැති රටවැසියන්ට නීතියෙන්, දඬුවම් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එය තර්ජනයකි. ලෝකයේ කොමියුනිස්ට් ආණ්ඩු පැවති හැම තැනකම නීතිය හා දඬුවම ඉදිරිපත් කරමින් මහජනයාට හිරිහැර කිරීම රතු නායකයින්ගේ සිරිතක්ව තිබිණි.

කෙතරම් ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගෙන සිටියත් ඉන්දියාවේ හැම පරිපාලන ඒකකයකම දූෂණය පවතී. චිත්‍රපට, නාට්‍ය හා අනෙකුත් මාධ්‍ය මගින් පොලිසියේ, දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ දූෂණ නිතරම හෙළි කෙරෙයි. ඉන්දියාවේ කුල භේදය තදින් පවතී. දේශපාලන ක්‍රමය දූෂිතය. විදේශවල සිටින ඉන්දියානුවෝ මෝදිගේ ආණ්ඩුවේ දූෂණවලට විරුද්ධව කතා කරති. නේපාලය, භූතානය, බංගාලි දේශය, පකිස්ථානය ආදි රටවල ස්වභාවයත් එසේය. ඉන්දියාවට අභියෝගයක් වූ චීනයේ ඇත්තේ වෙනම දූෂණයකි. චීන්නු, විද්‍යා තාක්ෂණික හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි වංචනිකයන් බව ඇමරිකාව ප්‍රධාන බොහෝ රටවල්වල අදහසයි.

ඉන්දියාවේ, යුරෝපයට සමාන සමාජ පරිසරයක් ගොඩනැඟීමට ඇති අපහසුව ඉන්දියානු ජාතිකයින් සමග අප කතාබහ කළ බොහෝ අවස්ථාවල දී දැනගන්නට ලැබේ. ඉන්දියාවේ භූගෝලීය පරිසරය, ඒ හැම විටකම ඔවුන් පෙන්වා දෙන කාරණයකි. ඉතා සරල නිදසුනක් දක්වතොත් යුරෝපීය රටවල වැසියෝ සතුන්ගෙන් බොහෝ දුරස් වී ජීවිත ගෙවති. ඔවුන්ගේ ෆාම්වල සත්තු සිටිති. නිවෙස්වල බල්ලන්, බළලුන් ඇති කරති. ඉන්දියානුවන් එසේ නොවේ. වඳුරා ඔවුන්ගේ ‘දෙවියෙකි’. ඇත් හොඬක් ඇති ගනේෂ, මීයා පිටේ නැග ඇවිදියි. ගවයා, ශිවගේ වාහනය ලෙසින් සැලකේ. එළදෙන සෞභාග්‍යයේ සංකේතයි. ඉන්දියානුවෝ ගස්ගල්වලට වන්දනා කරති.

ඇමරිකාව වැනි රටක පාසල් පොත්වල පවා පරිසර පද්ධති ගැන පැහැදිලි කෙරෙන පාඩම් අඩංගුය. එහෙත් ඔවුන්ගේ පරිසර පද්ධතිය යනු සත්ව වර්ග කිහිපයකි. ලංකාවේ ස්වභාවය එය නොවේ. ගමක කුඩා වැවක් නිදසුනට ගතහොත්, ඊට සම්බන්ධ සත්ව වර්ග කෝටි සංඛ්‍යාවක් සිටිති. ඒ සියලු සතුන් සහ මනුෂ්‍යයා අතර සම්බන්ධතාවක් පවතී. ගැඩවිලා, පනුවා, බත්කූරා, පරිසරයෙන් ඉවත් කරන ඔවුන්ට පරිසර ගැටලු ඇති වේ. ඔවුන් වැව් සංස්කෘතිය සහ ගහ කොළ සාදාගත්තේත් ඊට ගැලපෙන ලෙසටයි. ඇකේසියා, ඉපිල් ඉපිල්, පිහිඹියා, විලෝ, ආදිය වැව් සංස්කෘතිය නැසීමට පිටින් ගෙනා ගස් වර්ග කිහිපයකි.

ඇමරිකාව කැනඩාව වැනි රටවල ජනයා, කැරපොත්තන්, කුහුඹින් වැනි සතුන් බෝවී ඇත්නම් සෞඛ්‍ය අංශවලට දැනුම් දෙති. එවිට කෘමිනාශක සමාගම් පැමිණ ඒ සතුන් විනාශ කරති. පිටරටින් එන කෘමිනාශක හැර කෘමි සතුන් නසන එවැනි සමාගම් ලංකාවේ නැත. හැම ගැමි නිවාසයකම මනුෂ්‍යයින් සමග බොහෝ සත්ව වර්ග ජීවත් වෙති. ඔවුන් වඳ කරන්නට යෑමෙන් සෞඛ්‍ය හා වෙනත් ප්‍රශ්න ඇති වේ.

ලංකාවේ ජන ජීවිතය ඇමරිකාව හෝ යුරෝපයේ රටක ජන ජීවිතයට සමාන නොවේ. ලංකාවේ ඇයි-හොඳයිකම් වැඩිය. නෑදැකම් ඉහළය. මිත්‍ර සබඳතා දැඩිය. රජයේ කාර්යාලයක වෙසෙන නෑයා හෝ මිත්‍රයා මාර්ගයෙන් වුවමනාවන් ඉටු කරගැනීමට නොපැකිළීම බොහෝ දෙනාගේ සිරිතයි. පොලිස් නිලධාරීන්ද සාමාන්‍ය ජනයා සමඟ සබඳකම් පවත්වති. අනාගතයේදී ඉන්දියාව සහ ලංකාව මාර්ගයකින් යාවුනොත් තත්වය වෙනස් වීමට ඉඩ තිබේ. නිදසුනක් දක්වතොත්, තමිල්නාඩු වැසියන්ගේ පිරිසිදුකම සිංහලයන්ගේ පිරිසිදුකම නොවේ.

ලංකාව කුණු ගොඩක් හෝ දූෂණයෙන් පිරුණු රටක් යයි කීම සැබෑ තත්වය විකෘති කිරීමකි. සුන්දර දේශයක්ව පැවති ලංකාව විනාශ වී ඇත්තේ යටත් විජිතයක් වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පැරැන්නන් දියුණු හා සුන්දර රටක් බිහි කර ගත්තේ රටවැසියන්ට ගුණධර්ම පුරුදු කිරීමෙනි. පැරණි අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වූයේ රටවැසියන්ට ගුණධර්ම පුරුදු කිරීමයි. වර්තමානයේ කෙරෙන්නේ කුඩා දරුවන්ගේ පටන් හැම ළමයෙකුටම පර සිරිත් පුරුදු කිරීමයි.

‘නමින් කපුරුහාමි වුවත් කට ගඳයි’ යනුවෙන් පැරණි කියමනක් තිබේ.

අවසරයි…

‘ක්ලින් ශ්‍රී ලංකා’ ගැන කියන්නට තියෙන්නේත් ඒ කියමනමය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link