රණවිරුවන්ට සම්බාධක පැනවීමට මාලිමා ආණ්ඩුවත් හවුල්?

Last Updated on 4 days by admin

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බව මැතිවරණවලට පෙර අනුර සහෝදරයා තදින් ප්‍රකාශ කරද්දී රටවැසියෝ හුරේ දැම්මහ. පසුව, අනුර, ‘ඒ සඳහා නීති ප්‍රශ්න ඇතැයි’ කෙඳිරිගාන්නට විය. අවසානයේ, තම පුරවැසියාව ලංකාවට එවන්නට නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කළේය.

2025 මාර්තු 24 වැනිදා බ්‍රිතාන්‍ය රජය, කොටි යුද්ධය පරාජය කිරීමට දායක වූ හිටපු හමුදා නිලධාරීන් වූ වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය, ශවේන්ද්‍ර සිල්වා හා යුද ජයග්‍රහණයට සහයෝගය දුන් හිටපු කොටි නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ කරුණා අම්මාන්ට එරෙහිව සම්බාධක පැනෙව්වේය. එහිදීත් රජයේ පිළිවෙත කෙඳිරිගෑමයි.

සිංගප්පූරුව මූල්‍ය වංචා චෝදනාවකට ලක්ව සිටින සිය පුරවැසියකුට සලකන ආකාරය හා මාලිමා රජය, රට බේරා ගැනීමට දිවි පරිත්‍යාගයෙන් කටයුතු කළ හමුදාවේ ඉහළ නිල දැරූ පුරවැසියන්ට සලකන ආකාරය අතර වෙනස එයින්ම පෙනේ.

බ්‍රිතාන්‍ය සම්බාධක සම්බන්ධයෙන්, රට රවටන්නට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙහි, ඇමති විජිත හේරත්, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්ට, සිය අමාත්‍යංශයේදී, මේ පිළිබඳ රජයේ ස්ථාවරය දැනුම් දුන් බව සඳහන්ය. එහෙත් දෙදෙනා අතර සිදුවූ ඒ කතාබහ පිළිබඳ කිසිදු තොරතුරක් – විජිත සහෝදරයා මහකොමසාරිස්වරයාට පැවසූ එකම වාක්‍යයක් වත් – කිසිම තැනක සෙයාගන්නට නැත. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල වෙබ් අඩවියේ එබඳු හමුවක් පිළිබඳ සඳහනක් හෝ නැත. ඇන්ඩෲ පැට්‍රික්ගේ ‘එක්ස්’ ගිණුමේ වත් දෙදෙනාගේ හමුවක් ගැන හෝඩුවාවක් නැත. වෙනදා විජිත ඇමතිවරයා, විදේශ රටවල දේශපාලකයින් හා නිලධාරීන් හමුවූ අවස්ථාවල ඡායාරූප ප්‍රසිද්ධ කරන විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධ නොකිරීම, සිද්ධියේ වැදගත්කම සමඟ සසඳා බලන කල, විජිත – ඇන්ඩෲ හමුව බොරැවක් දැයි බරපතල සැකයක් ඇති කරයි.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රවෘත්ති නිවේදනයෙහි, “ “වගකිවයුත්තක් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්” සම්බන්ධයෙන්ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි” යනුවෙන් අඩංගු වගන්තිය පාඨකයන්ට තේරුම් ගැනීමට අපහසුය. එවැනි පොරොන්දුවක් දී ඇත්තේ කවුරුන් විසින්ද? මාලිමාවද? යන ප්‍රශ්නය කෙනෙකුට ඇති වේ. යටත් පිරිසෙයින් ජනතාවට වටහා ගැනීමට හැකි පරිදි නිවේදනයක් නිකුත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයට නොහැකිය. මේ මැතිවරණ පොරොන්දු කතාව කුමක් දැයි තේරුම් ගැනීමට නම්, බ්‍රිතාන්‍ය රාජ්‍ය බෙව් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති සම්බාධක පැනවීමට අදාළ මුල් ප්‍රවෘත්ති නිවේදනය කියවා බැලිය යුතුය.

“I made a commitment during the election campaign to ensure those responsible are not allowed impunity. This decision ensures that those responsible for past human rights violations and abuses are held accountable.”

“වගකිවයුතු අයට දඬුවම් නොලැබීමට ඉඩ නොතබන බවට මම මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දුවක් දුන්නා. මේ තීරණය මගින් (සම්බාධක පැනවීම මගින්) අතීත මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා අපයෝජනවලට සම්බන්ධ අයට ඒවාට වගකීමට සිදු වන බව සහතික කෙරෙනවා.”

මෙය, ලැමී සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ඡන්දදායකයන්ගේ ඡන්ද අපේක්ෂාවෙන්, (සහ ඩයස්පෝරාවේ මැතිවරණ අරමුදල් අපේක්ෂාවෙන්) හමුදා නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට පොරොන්දුවක් දී ඇති බවට ඔහු විසින්ම දෙන සහතිකයකි.

ලැමීගේ සහාය බ්‍රිතාන්‍ය දෙමළ ජනයාට ලැබෙන්නේ, 2009 කොටි සංවිධානයේ පරාජයටත් පෙර සිටය. 2009 පෙබරවාරියේ ඔහු ‘බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම්’ සහ ‘ඕල් පාටි ගෲප් ෆෝ ටැමිල්ස්’ සංවිධාන නියෝජිතයින් සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පවත්වයි. එහි යටි අරමුණ වන්නට ඇත්තේ, ප්‍රභාකරන් බේරාගැනීම විය යුතුය. නිල වශයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, යුද්ධය නිසා උතුරේ අතරමංව සිටින ජනතාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

ලැමී, ඒ වන විට අවසන් අවධියේ තිබුණු යුද්ධය පිළිබඳ අසත්‍ය තොරතුරු ලෝකයට පවසමින්, ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ අයෙකි. එකල ඔහු ලේබර් පක්ෂය නියෝජනය කරන කනිෂ්ඨ මන්ත්‍රීවරයෙකි. අවසන් මොහොතේ යුද්ධය නවත්වන්නැයි මහින්ද රාජපක්ෂට බලපෑම් කරන්නට ගොස් සල්ලං වූ කුප්‍රකට ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ චරිතයේ නූතන නියෝජනය මේ ඩේවිඩ් ලැමීය. ලැමී, 2009 වසරේ අප්‍රේල් 9 වැනිදා ‘ඕපන් ඩිමොක්‍රසි’ වෙබ් අඩවියකට ලියූ ලිපියක, මිලිබෑන්ඩ් මුහුණ පෑ අකරතැබ්බය ගැනත් සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික දෙමළ ජනයා 100,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් වෙසෙතැයි පැවසේ. ඉතා හොඳින් සංවිධානගත වී සිටින ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක්, ලන්ඩන්, ලෙසිසෙස්ටර් සහ සරේ යන ඉතා තීරණාත්මක ප්‍රදේශවල පදිංචිව සිටිති. බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණ බලප්‍රදේශ භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා වන හෙයින්, මේ දෙමළ ජනයාගේ ඡන්ද කුමන පක්ෂයක වුව ජයග්‍රහණයට තදින් බලපායි. එසේම වසරකට පවුම් බිලියනක් තරම් ආදායම් උපයන ව්‍යාපාර මේ දෙමළ ජනයාට අයත්ය.

2021 සංගණනයට අනුව, බ්‍රිතාන්‍යයේ වෙසෙන සිංහල ජනතාව දාහතර දහසකට මඳක් වැඩිය. කලකට පෙර බ්‍රිතාන්‍යයේ සිංහල සංවිධානය සංඛ්‍යාවෙන් කෙසේ වුවද මතවාදී වශයෙන් දෙමළ ඩයස්පෝරාව පතුරුවන බොරුවලට එරෙහිව හඬ නගන්නට තරම් ශක්තිමත්ව සිටියේය. එහෙත් මේ වන විට ඔවුන් අතර එවන් සංවිධානගත වීමක් හෝ එකල එහි නායකත්වය දැරූ ඩග්ලස් වික්‍රමරත්න වැනි දේශප්‍රේමී, දක්ෂ පුද්ගලයින් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ නිසා, සිංහලයින්ට බ්‍රිතාන්‍යයේ හඬක් හෝ ශක්තියක් නැත.

2024 මැතිවරණයේදී, 14 වසරක කොන්සර්වේටිව් පාලනය පරාජය කරමින් ජයග්‍රහණය අත්කරගැනීම සඳහා, ලේබර් පක්ෂයට දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ලැබුණි. මේ සහයෝගය ලබාගැනීම සඳහා දෙමළ ඩයස්පෝරාවට යම් යම් පොරොන්දු දෙන්නට, ලැමී, ඇතුළු ලේබර් පක්ෂ නායකයින්ට සිදු විය. ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක පැනවීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීම සඳහා බලපෑම් කිරීම ඒ පොරොන්දු අතර විය. 2024 මැයි මාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පවත්වන ලද ඊනියා ‘දෙමළ ජනසංහාර සමරු දිනයේදී’ පවා මේ පොරොන්දු පිළිබඳව සාකච්ඡා කර ඇත.

උක්ත බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් අනෙක් තැනැත්තිය වන කැත්රින් වෙස්ට්, 2025 ජනවාරියේ ලංකාවට පැමිණියාය. අනුර ජනපති පදවියට පත් වූ අවස්ථාවේ ඔහුට මුලින්ම සුබ පැතූ පිරිස අතරද වෙස්ට් කැපී පෙනුනාය. ඇගේ ශ්‍රී ලංකා ගමන ගැනත්, එම ප්‍රවෘත්ති නිවේදනයේ සඳහනක් තිබේ.

“ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, ඉන්දු-පැසිෆික් කලාපය භාර අමාත්‍ය කැතරින් වෙස්ට්, අගමැති, විදේශ ඇමති, සිවිල් සමාජ සංවිධාන සමග මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරේ දේශපාලන නායකයින් සමග මානව හිමිකම් පිළිබඳ ඵලදායී සාකච්ඡා පැවැත්වුවාය.”

මේ කියන සාකච්ඡාවල හුවමාරු වූ අදහස් කවරේද යන්න ගැන තොරතුරක් නැත. ඒ පිළිබඳ එකල පළ වූ මාධ්‍ය වාර්තා ආදියෙන්, සම්බන්ධතා තර කරගැනීම, අපනයනය හා ආර්ථික වර්ධනය වේගවත් කිරීම, දූෂණය නැති කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වැනි කරුණු සංචාරයේ අරමුණු වූ බවට වාර්තා වූවා පමණි.

මානව හිමිකම් සම්බන්ධයෙන් හරිනි, විජිත ආදීන් සමග සහ උතුරේ දේශපාලකයින් සමග කළ කතාබහ මොනවාද? යන්න දැනගැනීමට ජනතාවට අයිතියක් තිබේ.

මෙවැනි සංචාර සහ ඒවා පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව ජනතාවට කරුණු නොකීම නිසා හිටපු හමුදා නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීම බ්‍රිතාන්‍ය රජය හා ශ්‍රී ලංකා රජය යන දෙපාර්ශ්වයේම දැනුවත්භාවය මත සිදු වූවක් යැයි සැක කිරීමට හේතුවකි. කැතරින් වෙස්ට්ගේ ජනවාරි සංචාරය අතරතුර කතාබහේදී, මේ සම්බාධක පැනවීම ගැන සාකච්ඡා කළා විය නොහැකිද? සම්බාධක පැනවීමට මාලිමාවත් හවුල් බවට සැක කිරීමට තවත් හේතු තිබේ. එකක්, සේනාධිනායක හා ආරක්ෂක ඇමති වශයෙන් අනුර දිසානායකද, විදේශ ඇමති විජිත හේරත්ද සිද්ධිය ගැන කට අරින්නේ නැතිකමයි. උතුරු ප්‍රදේශයේ බෞද්ධ උරුමය යටපත් කරමින්, දෙමළ දේශපාලකයන් පිනවීමට ආණ්ඩුව ගන්නා උත්සාහය තවත් හේතුවකි. දේශපාලන වාසි වෙනුවෙන් හමුදා නිලධාරීන් නොව රට වුව පාවාදීමට පසුබට නොවන ඉතිහාසයක් ජවිපෙට තිබීම තවත් හේතුවකි. ඊට හොඳම උදාහරණය, එදා යුද්ධයේ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී, දෙමළ මන්ත්‍රීවරුන්ගේද සහාය ගෙන වැය ශීර්ෂය පරාජය කොට යුද ජයග්‍රහණය අහිමි කිරීමට එදා ජවිපෙ ගත් නින්දිත උත්සාහයයි. එම නිසා අනාගතයේදී ‘සංහිදියාව, වගවීම ආදිය’ මුවාවෙන් රණවිරු දඩයමක් කලඑළි බැසීමේ අවදානමක්ද තිබේ.

පසුගියදා කන්කසන්තුරේ තිස්ස විහාරයේ පැවති පිංකම අවස්ථාවේ මහා සංඝරත්නය වැඩමවා දානය පිළිගැන්වීමට සූදානමින් සිටි හමුදා සාමාජිකයින් කඳවුරුවලට යැවීමේ වගකීම සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා අනිවාර්යයෙන් භාරගත යුතුය. මෙය ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ තරම් මහා ශාසනික පාවාදීමකි. දකුණේ ජනතාව දැපනේ දැමීමට දළදා ප්‍රදර්ශන පවත්වන ආණ්ඩුව උතුරේ ජනතාව දැපනේ දැමීමට උතුරේ බෞද්ධ උරුමය පාවා දෙයි. දෙමළ බෙදුම්වාදීන් සැනසවීමේ ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම, උතුරේ පුරාවස්තු හැඳින්වීමේදී බෞද්ධ, හින්දු යනුවෙන් වර්ග නොකිරීමට නියෝග කිරීමයි. දැන් මාලිමාවේ භික්ෂූහු, තිස්ස විහාරය පිහිටි ඉඩම් දෙමළ හා මුස්ලිම් ජනයාට අයිති ඒවා යැයි මැතිවරණ වේදිකාවල දේශනා කරති. මේ බොරුවලට හුරේ දමන මාලිමාභක්තිකයෝද සිටිති.

ආණ්ඩුවේ මේ බෞද්ධ උරුමය විනාශ කිරීම යට ඇත්තේද, ලැමීලා දුන් ආකාරයේ මැතිවරණ පොරොන්දුවකි. පසුගිය මැතිවරණයේදී උතුරේ ජනතාවගේ ඡන්ද විශාල ප්‍රමාණයක් මාලිමාවට ලැබුණි. ඊට පසුබිම සැකසුණේ, බිමල් රත්නායක ඇතුළු පිරිස මාස 3 ක් පුරා උතුරේ කළ මෙහෙයුම මගිනි. ඉතා විශ්වාසදායක මාලිමාවේ ක්‍රියාකාරිකයකුගෙන් දැනගන්නට ලැබුණු පරිදි, බිමල් රත්නායක මහමැතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ, ඔහුට සිය බල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්න්ධ වීමට අවස්ථාවක් නොතිබුණු නිසාය. ඊට හේතුව ඔහු ඒ කාලය පුරාම උතුරේ මැතිවරණ කටයුතුවල නිරත වීමයි.

පසුගිය කාලයේ, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා සමග මාලිමාවේ සාමාජිකාවක කළ දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයකින් අනාවරණය වූයේ, මාලිමාව මැතිවරණය සඳහා දෙමළ ඩයස්පොරාවේ සහයෝගය ලබාගන්නට ගත් උත්සාහයයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ පැවැත්වේ. දකුණේ මාලිමා ඡන්ද පදනම දෙදරා තිබේ. උතුර රැකගන්නට නම් පිදේනි පූජාවක් පැවැත්විය යුතුය. අනෙක් අතින් බ්‍රිතාන්‍යයේද පළාත් පාලන මැතිවරණ ඇරඹී තිබේ. සියල්ලටම වඩා 2025 පෙබරවාරි 24 සිට අප්‍රේල් 4 වැනිදා දක්වා එජා මානව හිමිකම් කවුන්සලයේ 58 වැනි සැසි වාරය පැවැත්වේ. ඉතිං කොටි යුද්ධය පැරදවූ රණ විරුවන් ශ්‍රී ලංකාව දඩයම් කිරීමට මීටත් වඩා සුදුසු අවස්ථාවක් තිබේද?

මේ සියලු සංදර්ශනවලට පසුව, මේ මස 27 වැනිදා, බ්‍රිතාන්‍ය ආණ්ඩුවටත් මාලිමා ආණ්ඩුවටත් කනේ පහරක් එල්ල කෙරෙන අධිකරණ තීන්දුවක් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේය. එයින් තීන්දු කෙරුණේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනසංහාරයක් සිදු වී නැති බවයි. ශ්‍රී ලංකාවේ පැවතියේ දෙමළ කොටි සංවිධානය හා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතර යුද්ධයක් බව කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයයි. එසේම එල්ටීටීඊ යනු ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, තව දුරටත් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාර චෝදනා පිළිබඳව විමර්ශන සිදු නොකරන බවත් තීන්දුවෙන් ප්‍රකාශ කෙරණි. මේ සඳහා අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ ආචාර්ය නෙවිල් හේවගේට සහ ඊට දායක වූ සියලු දේශප්‍රේමීනට ජාතියේ ප්‍රණාමය හිමි වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top