Last Updated on 2 days by admin
Pic. credit: mirror.co.uk
මුල්ලා නස්රුද්දින් ඉන්දියානු ඉස්ලාම් සාහිත්‍යයේ අතිශයින් ජනප්‍රිය චරිතයකි. ඔහු කවුරුන් දැයි විස්තර කිරීමට උත්සාහ දරන, ඉස්ලාම් ඉතිහාසකරුවන් අතින් නොයෙක් ප්‍රබන්ධ කතා බිහි වී තිබේ. ඇතැම්හු ඔහුට තුර්කි උප්පැන්නයක් සපයති. තව සමහරුනට නස්රුද්දින් සුෆි ඉස්ලාමිකයෙකි. නස්රුද්දින් කතාවේ මුල බෞද්ධ කතා යැයි සිතන්නෝ සුළු පිරිසක්ද සිටිති.
කන්දහාර්හි (ගාන්ධාර) නගරාධිපතිගේ කොණ්ඩය කැපූ කරනැවෑමියා ’උතුමාණෙනි ඔබතුමාගේ කෙස් පැසෙමින් තිබේ’ යයි කීවේය. කුපිත වූ නගරාධිපති, ‘මේ කරනැවෑමියා සය මසක් සිරගෙට යවන්නැ’ යි නියෝගයක් කළේය. එසේ නමුත්, කරනැවෑමියාගේ කතාවෙන් කුකුසක් ඇති කරගත් නගරාධිපති, ‘මගේ කෙස් පැහිලාද?’ කියා වන්දි නිලධාරියෙකුගෙන් විමසුවේය. ‘වෙනසක් නෑ. කළු පාටයි’ ඔහු කීවේය. ‘මොහුට කසපාර දහයක් දීපල්ලා’ යැයි නගරාධිපති සෙබළුන්ට නියෝග කළේය.
පාරේ හෙමින් ඇවිද යන නස්රුද්දින් දුටු නගරාධිපති ඔහු තමා වෙත කැඳවා, ‘මගේ කෙස් පැහීගෙන එනවාද?’ කියා ඇසුවේය. ‘උතුමාණෙනි ඒක මට කියන්ඩ බැහැ. මා වර්ණ අන්ධයි. තට්ට හිසක් තියෙන මට යමෙකුගේ කෙස් කළු වුනා පැහී සුදු වුනා කියල වෙනසක් නැහැ. ඒ දෙකම සිදු වන්නේ දෙවියන්ගේ කැමැත්ත විදිහටයි’ කියා පිළිතුරු දුන්නේය.
වන සතුන් නිසා සිදු වන වගා හානිය මේ කාලයේ මාලිමා මැති ඇමතිවරුන්ට ලොකු ප්‍රශ්නයකි. පුත්තලම දිස්ත්‍රික්කයට මාණික්‍යයක් ලෙසින් හැසිරෙන රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමති මහාචාර්ය චන්දන අබේරත්න, පුත්තලම දිස්ත්‍රික් වගා කමිටු රැස්වීමක දී අදහස් දක්වමින් ‘බ්‍රොයිලර් මස් විකිණීම වසරකට නතර කරන්ඩ හැකි දැ’යි පැමිණ සිටියවුන්ගෙන් ප්‍රශ්න කර ඇත. (හිරු, දෙරණ ප්‍රවෘත්ති, ජනවාරි 04) ‘වඳුරු මස් ආහාරයට ගැනීමක් පිළිබඳව තමා එයින් අදහස් නොකළ බව’ ඇමතිවරයා පසුව මාධ්‍යවේදීන්ට කියා තිබුණි.
රෝහණ මද්දුමරාල වනාහි මහාචාර්ය අබේරත්නට පෙර පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටි ප්‍රසිද්ධ උගතෙකි. මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ සහජීවනයෙන් ජීවත් වීමට කැමති සාමකාමී ජනතාවක් යැයි ඔහු ලියා තිබුණි. ඒ කතාව විවේචනය කිරීමට අපට සිදු විය. එවැනි කතා ප්‍රබන්ධ කිරීම ජනප්‍රිය වීමට මගක් බව රෝහණ කීවේය. බොරු ලිවීම වරදක් බව පිළිගත් රෝහණ, පොතේ ඊළඟ මුද්‍රණයක දී වැරදි කතාව නිවැරදි කරන බව කීවද, ඊට ඔහු පෙර පිළිකාවක් හැදී මිය ගියේය.
1977 වසරේදි ප්‍රියා සූරියසේන සමග සංගීත ගුරු පත්වීමක් ලැබූ මහත්මියක් පසුගිය දිනක අපට කතා කළාය. සූරියසේන ගැන ඉහළින් වර්ණනා කළ සියල්ලන් මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ මහීපාල සංගීත ගුරුවරයා ගැන මිස, සූරියසේනට සහ ඔහු සමග විවාහ වූ තමරා සංගීත ලෝකයට ගෙන ගිය කටුනේරියේ තර්සි වර්ණකුලසූරිය සංගීත ආචාර්යවරයා ගැන සඳහන් නොකිරිම ඇයගේ කණස්සල්ලට හේතුවක් විය. තර්සි, ගෝලයින් සිය ගණනක් බිහි කළ අති විශිෂ්ඨ සංගීත ආචාර්යවරයෙකි. ඔහු හා සමාන සංගීත ආචාර්යවරයෙකු වයඹ පළාතෙන් මෙතෙක් බිහි වී නැත. නමුත් තර්සි නිදහස් මතධාරියෙකු වූයේය. අදීන චින්තකයෙකු වූ ඔහු ප්‍රදේශයේ කතෝලික පල්ලිය හා එහි පූජකවරුන් ඔහු සමග ගැටුණි.
‘අඳුර අඳුර මගෙ සොඳුර සොඳුර මගෙ’ ගීතය නිසා ප්‍රියා සූරියසේන නම් ගායකයා බිහි විය. එහි පද රචනා කිරීම හා ප්‍රචාරය කිරීම රෝහණ මද්දුමරාළගේ හපන්කමකි. සූරියසේන තර්සි ආචාර්යවරයාගේ සෙවණේ මෙම ගීය ගායනා කරමින් පුහුණු වූයේය. රෝහණ ඒ කාලයේ කුඩාවැව අඩප්පරගම පදිංචිව සිටියේය. ඔහුව මිතුරන් දැන සිටියේ රෝහණ ප්‍රනාන්දු නමිනි.
රෝහණ විශ්වවිද්‍යාලයේ සිටි ප්‍රසිද්ධ පෙම්වතෙකි. ඔහුගේ පෙම්වතිය දුම්මලසූරිය පැත්තේ තරුණියකි. ඔවුහු විශ්වවිද්‍යාලයට පැමිණි මුල් සතියේ සිටම පෙම්වතුන් වූහ. උපාධි විභාගයට පෙනී සිටින තුරුම දෙදෙනා පෙමින් වෙලී සිටියහ. නමුත් ඒ පෙම් සබඳතාව පවත්වා ගෙන යාමට ඔවුනට නොහැකි විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ කුල ප්‍රශ්නයකි. රෝහණ සමුපකාරයේ රැකියාවක් කිරීම තවත් හේතුවකි. වැඩිහිටියන්ගේ බලපෑම නිසා තරුණිය වෙනත් තරුණයකු සමග විවාහ වූ බව රෝහණ කීවේය. ‘අඳුර අඳුර මගෙ’ ගීතය ඒ වේදනාව මකා ගැනීම සඳහා ඔහු ප්‍රබන්ධ කරන ලද්දකි. සූරියසේන ග්‍රීන්කාඩ් ලොතරැයිය ලැබ පවුල පිටින්ම ඇමරිකාවට ගිය බව රෝහණ දැන සිටියේය. ඔහුගේ මරණය ගැන ශෝක වූ කිසිවෙකු රෝහණගේ දුක දැන සිටියේ දැයි මම නොදනිමි.
විහිළුවක ස්වරූපය ඇතත් මහාචාර්ය චන්දන අබේරත්නගේ බ්‍රොයිලර් කතාව බරපතල කතාවකි. එයින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමේ වැඩපිළිවෙළක් ප්‍රකාශ වේ. මෙය මහාචාර්යවරුන් ආචාර්යවරුන් ප්‍රධාන උගතුන් පිරිසක් සම්බන්ධ වී රට තුළ කර ගෙන යනු ලබන අදමිටු ක්‍රියාවකි.
කෝට්ටේ කාලයේත් මෙවැනි තත්වයක් පැවතුණි. තනියවල්ලභ ඊට එරෙහිව නැගී සිටි සිංහල නායකයෙකි. මිය ගිය තනියවල්ලභ දෙවියෙකු වශයෙන් සලකා තනිවැල්ල දෙවියන්ට වඳින පුදන මිනිස්සු ප්‍රදේශයේ සිටිති. තනිවැල්ල චරිතය වෙනස් කිරීමට රෝහණ උත්සාහය දැරුවේය. අපි ඊට විරුද්ධව නැගී සිටියෙමු.
රටක් හරිමගට යන්නේ පන්දමුන් වැඩිවීමෙන් නොවේ. බොරුවට විරුද්ධව නැගී සිටින අදීන රටවැසියන් බිහි වීමෙනි. තර්සි වර්ණකුලසූරිය එවැනි අදීනයෙකි.