ලාල් කාන්තට ටැපලුණාද

Last Updated on 4 months by admin

නීතිය සහ දඬුවම් බලාත්මක කිරීමේ අධිකරණ බලය ගමට දීම ගැන ජවිපෙ ලාල්කාන්ත ප්‍රකාශ කළ ආන්දෝලාත්මක කතාව ගැන ඔබ සිතන්නේ කෙසේද? පසුව අනුර කුමාර විසින් ‘දෙරණ 360’ දී “ඔහු අදහස් කළේ වෙන දෙයක්. එය පුංචි වැරදීමක්! (sorry)” යන ප්‍රකාශය විශ්වාස කරනවාද?

පොත පතින් මාක්ස්වාදය සහ දේශපාලනය ඉගෙන ගත්තද ප්‍රායෝගිකව මම දන්නේ ජවිපෙ දේශපාලනය ගැන පමණකි. මම ඒ ගැනම කතා කරන්නේ එබැවිනි. මුහුණු පොතේ සිටින ඇතැමුන් මම ජවිපෙ ගැන හෙළිදරව් කරන විට “ඔබ මහින්ද සහ රනිල් ගැන නොලියන්නේ ඇයි? ජවිපෙට ගහනවාට ඔබට මුදල් ලැබෙනවා නේද? රාජපක්ෂලාගේ වලන් හෝදනවා නේද? පාවා දෙන්නෙක්! ද්‍රෝහියෙක්! ආදී ගොන් කතා කියති.

මම ජවිපෙ හැර වෙනත් උන්ගේ දේශපාලනය ගැන නොදන්නා බැවින් හිතළු පැවසීමට නොහැක. වෙනත් දේශපාලනයක් වශයෙන් මම කළ එකම දෙය ගෝඨාභයගේ ආගමනයට පැරිසියේ තිබූ රැස්වීම ඇමතීම පමණි. 69 ලක්ෂයක එක් අයෙකු වෙමින් (ජන්දය නොදී)  මම එසේ කළේ අනුර කුමාර, රනිල් සහ දෙමළ ජාතික සන්ධානය සමග එකතු වී ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ප්‍රයත්නය වැළකීමටය. 69 ලක්ෂයේ බොහෝ දෙනෙකුද එසේ කරන ලද්දේ රට බෙදා වෙන් කිරීමට අනුර කුමාරලා ඇති කළ එම  බිය නිසාය.

ලාල් කාන්ත විසින් කරන ලද ඉහත ප්‍රකාශය ඔහුට සිදු වූ වචන පැටලීමක්ද? අහම්බයක්ද? වැරදීමක්ද? කොහෙත්ම නැත. ජවිපෙ කථිකයන් අතර පෙර සූදානමක් සහ සැලසුමක් තිබේ. ඔවුන් හැම කෙනෙකුම එකම දේවල් කතා කරන්නේ නැත.  ඔබ මේ දෙය කිව යුතුය. ඔබ මේ දෙය කිව යුතුය යන පෙර සූදානමක් තිබේ. ලාල් කාන්ත කියුවේ ආනාගතයේ රාජ්‍ය බලය ලබා ගතහොත් ජවිපෙ කරන දෙයය. එබැවින් එම කතාව ගැන පක්ෂය ඔහුගෙන් නිදහසට කරුණු විමසා ඔහුට අවවාද කරනු ඇතැයි ඔබ සිතිය යුතු නැත. කීමට අවශ්‍ය දෙය වෙනත් කෙනෙකු ලවා කියවා තවත් කෙනෙකු එය “ෂේප්” කිරීම ජවිපෙ ප්‍රතිපත්තියයි. 360 දී අනුර කුමාර කළේ එයයි.

මම වගකීම් දැරූ සාමාජිකයෙකු ලෙස ජවිපෙ වැඩ කළ කාලයේ නායකයෙකු සමග කතා බහේ සිටියදී මෙසේ විමසුවෙමි.

“සහෝදරයා, අපි රාජ්‍ය බලය ගත්තොත් ජේ.ආර්.- සිරිමා වගේ නායකයන්ට මොකද කරන්නේ?”

“සහෝදරයා, අපි වගේ පක්ෂයක් රාජ්‍ය බලය ගත්තම රටේ ධනපති පන්තිය ඒක ඉවසන්නේ නැහැ.  ඔවුන් ඉන්දුනීසියාවේ වගේ දැවැන්ත මර්ධනයක් ප්‍රති විප්ලවයක් ඇති කරනවාමයි. ඒ නිසා රාජ්‍ය බලය අරගෙන පළවෙනි පැයේදීම ඔය සේරම අතුගාලා අයින් කරලා දාන්න ඕන. ඔයා මේක ඔයාට පහලින් ඉන්න අයට කියන්න එපා. වෙන්නේ එහෙම තමයි.”

“එතකොට පොලිසිය? ත්‍රිවිධ හමුදා?”

“සහෝදරයා, අපි මේ තරම් අමාරුවෙන්, මේ තරම් පරිත්‍යාග කරලා ආණ්ඩු බලය ගත්තේ තව දුරටත් ධනපති පන්තිය ආරක්ෂා කරපු හමුදා යටතේ ඉන්නද? නෑ ! නෑ ! ඊට පස්සේ රටේ හමුදාව විප්ලවවාදී රතු හමුදාව. මේ අපි. සහෝදරයලා . ඒක මතක තියා ගන්න.”

ඇත්තටම අපි, එම නායකයා මට එදා කියූ රතු හමුදා කතාව අපිට පහළ කමිටු සාමාජිකයන්ට කීවෙමු. ඔවුන් ජවිපෙ වැඩ කළේ අනාගතයේ රතු හමුදා භටයෙකු හෝ නිලධාරියෙකු වීමේ ‘මොරාල්’ එකද හිතේ තබා ගෙනය. එසේම පොලිසිය සහ හමුදාව ගැන ඇති වෛරයද හිතේ සඟවා ගෙනය.

ලෝකයේ සෑම මාක්ස්වාදී පක්ෂයක්ම කියන්නේ ධනේශ්වර පාලනයේ ඇති අමානුෂික බව ගැනය. එහෙත් බලය ගත් වහාම ධනපති නායකයන් මරා දැමිය යුතුයැයි විප්ලවවාදීන් කියද්දී 1989 සිට අද දක්වා රෝහණ විජේවීරගේ බිරිඳ හා දරුවන් අවුරුදු 34 ක් පුරා රැක බලා ගන්නේ කවුද?

අතීතයක් නැති කිසිවෙකුට අනාගතයක් නැත. එබැවින් අපිට 87-89 ගැන කතා කිරීමටම සිදු වේ. විජය, ප්‍රේමකීර්ති මැරුවේ අප නොවේයැයි ජවිපෙ කියතත් එදා එවැනි තීරණ ගත්තේ ඉහළිනි. හෙවත් විජේවීරද දැනුවත්ව ගමනායක සහ හේරත්ය. පසුව හමුදාවේ දැඩි සෝදිසි සහ නායකයන්ට රට පුරා යාමේ අවදානම මත  නඩු ඇසීම, මරණ දඬුවම් දීම ආදී දේ දිස්ත්‍රික් හා පළාත් නායකයන්ට භාරකොට එම බලය ගමේ කමිටු දක්වා විමධ්‍යගත කරන ලදී. ඉන්පසුව සිදුවූ දේ මම නොකීවාට රටේ වැඩිහිටි ජනතාව දනිති. ‘අපි මැරුවේ ගම්වල හොරුන්, මිනිමරුවන්, ස්ත්රී දුෂකයන් වැනි අයව’ යැයි පසුගියදා රූපවාහිනි වැඩසටහනකදී නලින් හේවගේ කළ පැහැදිලි කිරීම අතීතය නොදන්නා තරුණ පරපුරට එකල පැවති තත්වය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකි සාක්කියකි.

එහෙත් ඔබ නොදන්නා දෙය නම් එම තීරණයෙන් පසුව පහළ කමිටු සාමාජිකයන් පාලනය කිරීම ජවිපෙ ඉහළ කමිටුවලටද නොහැකිව ගිය බවය. විරුද්ධවාදීන් මරා දැමීම් පමණක් නොව පෞද්ගලික පළිගැනීම්, ධනපතියන්ගෙන් මුදල් පැහැර ගැනීම්, මංකොල්ලකෑම් හිතු හිතු හැටියට සිදු විය. මේවා පාලනය කිරීමට පක්ෂයේ මංකොල්ලකරුවන් මරා දැමීමට පක්ෂයටම සිදු විය. විජේවීර – ගමනායක අතින් පක්ෂයේ පාලනය ගිලිහී යන්නට විය. අවසාන කාලයේ විජේවීර මේ ගැන දැඩි පසුතැවිල්ලෙන් පසු විය.

අවසානයේ ජවිපෙ නායකයන් පාවා දුන්නේ වෙන කිසිවෙකු නොව ජවිපෙ නායකයන් විසින්ම බව ඔබ දත යුතුය.

ඉදින් ලාල් කාන්ත මේ කියන්නේ ඇත්තය. ඔවුන් කිරීමට සිතා සිටින දේය. ප්‍රසිද්ධියේ එසේ කියූ විට ඔවුන්ගේ ගම්වල සාමාජිකයන්ට ගැම්මක් ඇති වේ. එවැනි ප්‍රකාශවල බරපතල බව ප්‍රශ්න කරන්නේ සාමකාමී නිදහස් මතධාරීන් පමණි. ‘අරගලය’ අවසානයේදී නිවාස දේපල ගිනිතබා මහා විනාශයක් කරන විටද ලාල් කාන්ත ප්‍රසිද්ධියේ මෙසේම කිව්වේය.” අපේ ක්‍රමේට අපි දඩ බඩ ගාලා රට පුරාටම මැසේජ් දුන්න. උද්ගෝෂණ (වැඩේ) පටන් ගන්න කියල.”

එහෙත් එදා රටේ ආරක්ෂක අංශ ඔහුගේ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂා කළේ නැත. එම නිසා ඔහු මෙවැනි බරපතල ප්‍රකාශ කරයි. ඔවුන්ට බලය නොලැබීම වෙන දෙයකි. එහෙත් රටේ අධිකරණ බලය ගම්වල මිනිසුන්ට දෙන්නේයැයි පැවසීම?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link