ලිබරේෂන් කාන්තාවන් මෝහිනීගේ පෙරහරේ යන්නේ ඇයි

Last Updated on 19 hours by admin

Made by VZG (Marc-J. Tegethoff)

රෝම අධිරාජයාට යටත්වීමට පෙර තම රටවල පැවතියේ අශීලාචාර සංස්කෘතීන් සහිත ශිෂ්ටාචාරයන් යැයි යුරෝපා රටවල වැසියන්ට පිළිගැන්වීම උදෙසා, කොන්ස්ටන්ටයින් අධිරාජයා පිහිටුවූ රෝම ක්‍රිස්තියානි දේවස්ථානයේ දේවගැතිවරුන් පබැඳූ ඉතිහාස කතාන්දර ගණනාවකි. ඒ අතරින් ඇතැම් කතාන්දර යටත් විජිත කාලයේ ලංකාණ්ඩුවේ පාසල්හි භාවිත වූ පාඩම් පොත්වල පවා අන්තර්ගතය. අයි. ජී. අයිකින්ගේ ඉතිහාස සංදර්ශනයේ අඩංගු, යුරෝපය බිහිවීමේ කතාව නිදසුනකි. එහි ඡේදයක් මෙසේය.

“නොබෝ කලකින් ම්ලේච්ඡයෝ පුරාණ රෝම අධිරාජ්‍යයේ සාරවත් ප්‍රදේශවල අලුත් වාසස්ථාන පිහිටුවා ගැනීමට පටන් ගත්තෝය. ඔවුන්ගෙන් ගෝත්වරු ඉතාලි ස්පාඤ්ඤ යන රටවලද ලොම්බාඩ්වරු උතුරු ඉතාලියේ ද වැන්ඩාල්වරු උතුරු අප්‍රිකාවේ ද බර්ගන්ඩියන්වරු සහ ෆ්‍රැන්ක්වරු පසු කාලයේ ප්‍රංශය නමින් ප්‍රසිද්ධ වූ ප්‍රදේශයේ ද ඇංග්ලෝ සැක්සන් ජාතියේ මුහුදු කොල්ලකාරයෝ බ්‍රිතාන්‍යයේ ද පදිංචි වූහ”.

යුරෝපය ගොඩනැගුවේ ම්ලේච්ඡයන් යයි මෙයින් පැවසේ. අශීලාචාර හෙවත් ම්ලේච්ඡ සංස්කෘතිය හැඳින්වීමට පුරාණයේ භාවිත කෙරුණේ, ‘පැගන්’ යන නමයි. පැගන් – මිථ්‍යාදෘෂ්ටිකයා, පැගනිසම් – මිථ්‍යාදෘෂ්ටික දේවතාවුන් ඇදහීම යනුවෙන් මලලසේකර ශබ්දකෝෂයේ අර්ථ දක්වා තිබේ. රෝම ක්‍රිස්තියානි අධිරාජ්‍යයේ දේවගැතිවරුන් යුරෝපා රටවල පැවති සංස්කෘතිය අශිෂ්ට එකක් වශයෙන් සැලකීමට හේතුව එහි විසූවන්ගේ ඇදහීම් බව මෙයින් පැහැදිලි වේ.

පෘතුගාල සහ ස්පාඤ්ඤ ජාතිකයින් මුහුදු ගමන්වල යෙදුණේ පාප්තුමාගේ ආශිර්වාදයෙනි. කතාන්දරයේ හැටියට මේ වනවිට ගෝත්වරු ක්‍රිස්තියානි ආගම පිළිගෙන ශිලාචාර වී සිටියහ. කොලොම්බස් ප්‍රධාන ස්පාඤ්ඤ නාවික කණ්ඩායම ඇමරිකා මහාද්වීපයට ගිය පළමු වෙනි යුරෝපා කණ්ඩායමයි. පසු කලෙක ඉංග්‍රීසි, ප්‍රංශ, පෘතුගීසි ආදී යුරෝපා ජාතිකයෝ එහි ගියහ. ඇමරිකානු මහාද්වීපයේදී අශිෂ්ට සංස්කෘතීන් පැවති බව ඒ හැම කියති. ඉතිහාසකරුවන්, මේ සියලු සමුද්‍ර ගවේෂකයින්ට ප්‍රශංසා කරන්නේ ඇමරිකා මහාද්වීපයේ පැවති අශිෂ්ට ශිෂ්ඨාචාර නැතිකර ශිීලාචාර සංස්කෘතීන් ගොඩනැංවූන් වශයෙන් සලකමිනි.

‘අශිෂ්ට ශිෂ්ටාචාර ශීලාචාර කිරීමේ’ මෙම කටයුත්ත රෝම අධිරාජ්‍යයා යටතේ බිහිවූ ක්‍රිස්තියානි දේවස්ථානයට පමණක් සීමාවූවක් නොවේ. යුදෙව් සහ ඉස්ලාම් ආගම්ද ලෝකය ශීලාචාර කිරීමට මහත් වෙහෙසක් දැරූ බව ඔවුන්ගේ ආගමික පොත්වල සඳහන් වේ. ඉන්දියාවට පැමිණි ඉස්ලාම් ආක්‍රමණිකයින් සියලුම බෞද්ධ විශ්වවිද්‍යාල ගිනි තබා විනාශකර ඇත්තේ, ‘නොමග ගොස් සිටින මනුෂ්‍යයින්ට හරි මග පැහැදිලි කරදීමේ’ පරමාර්ථයෙනි. මොහොමඩ් බින් භක්තියර් ඛල්ජි, නාලන්දාව නමැති ලෝකයේ ශ්‍රේෂ්ඨතම විශ්වවිද්‍යාලයට ඇතුළු වී එහි සිටි දහස් ගණනක් විද්‍යාර්ථින් පඬිවරුන් හා සේවකයින් කඩු ගා පුස්තකාලය ගිනි තැබීමේ තොරතුරු බිඳක් පසුගිය කාලයේ ඉන්දියාවේ උගතුන් අතර සාකච්ඡාවට ලක්වුණි.

වස්කෝ ද ගාමාගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි නාවික කණ්ඩායම ඉන්දියාවට පැමිණි පළමු වෙනි යුරෝපීන් පිරිසයි. පෘතුගීසි ලේඛනයන්හි ඉන්දියාවේ හින්දු ආගම සහ ලංකාවේ බුද්ධාගම හැඳින්වෙන්නේ මිථ්‍යා දෘෂ්ටීන් ලෙසිනි. මෙම යුරෝපීන් ද ‘මිථ්‍යාදෘෂ්ටිකයන් යහමගට හැරවීම උදෙසා’ නොයෙක් දරුණු ක්‍රියා සිදුකර තිබේ. ඉතිහාසයේ සිදුවූ ඒ සැබෑ සිදුවීම් සංවාදයට ලක්වනවාට ඇතැමුන් කැමති නැත. සමහරු බියවෙති. අකමැත්ත හෝ බිය නිසා ඇත්ත වැසීමට නොයෙක් බොරු ප්‍රබන්ධ ගොතන්නෝ සිටිති. මන්නාරම සමූහ මිනීවළේ ඇටකටු පෘතුගීසින් අතින් ඝාතනය වූ බෞද්ධයින්ගේ බව අරුණ පුවත්පතට ලියූ ලිපියකින් අපි පැහැදිලි කළෙමු. එය වැරදි බව පෙන්වීමට ප්‍රැන්සිස් සේවියර් පියතුමා මහා මාර්ගයන්හි බෙර ගස ගසා ඇවිදිමින් ආගම පැතිරවූ කතාන්දරයක් ඉදිරිපත් කිරීම උදාහරණයකි. පුරාණ කාලයේ සිටම ඉස්ලාම් හා ක්‍රිස්තියානි සොහොන් බිම්වල මිනී වළලන ක්‍රම තිබේ. මන්නාරමේ සමූහ මිනීවළේ සිටින්නේ දෙමළ හින්දූන් ඝාතනය කළ ක්‍රිස්තු භක්තිකයින් නම් කුරුසියක් හමුනොවූ ලෝකයේ එකම ක්‍රිස්තියානි සොහොන් බිම මන්නාරම සොහොන් බිම විය යුතුයි.

ආගම ඉවත්කර දැමූ විට මිසදිටු සංස්කෘතීන්ගෙන් විපුල ප්‍රයෝජන ගත හැකිය යන්න ක්‍රිස්තියානි යුරෝපයට වැටහුණි. ඔවුහු ඒ අවබෝධයෙන් අදටත් කටයුතු කරති. සෑම වසරකම අප්‍රියෙල් මස 30 වෙනි දා නොර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්කය, චෙකෝස්ලෝවේකියාව ආදි වශයෙන් යුරෝපයේ රටවල් ගණනාවක පැවැත්වෙන ‘වල්පුර්ගිස් සන්ධ්‍යාව’ (වල්පුර්ගිස් ඊව්) නිදසුනකි. මෙම උත්සවය වඩාත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන රට ජර්මනියයි. එය ජර්මනියේ හැඳින්වෙන්නේ ‘වල්පුර්ගිස් රාත්‍රිය’ නමිනි.

යුරෝපයේ පුරාණ කැලැන්ඩරයට අනුව වසර අවසන් වන අප්‍රියෙල් 30 දින හැන්දෑවේ සියලුම මෝහිනියන් රැස්වෙන ස්ථාන ගැන ඒ ඒ රටවල විශ්වාස පැවතුණි. උතුරු ජර්මනියේ හක්ස් කඳුකරයේ බලොක්බර්ග් නමැති උස් ගිර මුදුනේ ඔවුන් රැස්වෙතැයි ජර්මන් ජාතිකයෝ විශ්වාස කළහ. ක්‍රිස්තියානි ආගම පැතිර යාමෙන් පසුව ක්‍රිස්තියානි දේවස්ථානය මූලික වී මිසදිටු ඇදහීමක් වශයෙන් සලකා යුරෝපයෙන් මෝහිනියන් වඳ කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කෙරිණි. මෙය හැඳින්වෙන්නේ යක්දෙස්සියන් දඩයම (විච් හන්ටින්) නමිනි. යක්දෙස්සියන් දඩයම යටතේ ක්‍රිස්තියානි ආගමට පටහැනි ඇදහීම්වල යෙදුණු යුරෝපා කාන්තාවන් ලක්ෂ සංඛ්‍යාවක් දරුණු වධ බන්ධන පමුණුවා මරා දැමුණු බව මුළු යුරෝපයම දන්නා කාරණයකි.

සංහාරයෙන් යක්දෙස්සියන් වශයෙන් පිළිගත් සියලුම කාන්තාවන් වඳ කරන ලද නමුදු මෝහිනියන්ගේ බැල්ම මනුෂ්‍යයින් ප්‍රධාන ගහකොළ සතුන් වෙත යොමු කිරීම වැළැක්වීමට දේවගැතිවරුන්ට නොහැකි විය. වල්පුර්ගිස් නමැති ක්‍රිස්තියානි වෛද්‍යවරිය ඒ කාර්යය කිරීමට සමත් වූ බව පැවසේ. මෝහිනියන් එක්වෙන සැන්දෑව ශාන්ත වල්පුර්ගිස් සන්ධ්‍යාව හැටියට නම් වී ඇත්තේ මෙයින් පසුවයි. මේ කතාන්දරවලින් පැහැදිලි වන්නේ වර්තමානයේ පවත්වන වල්පුර්ගිස් සැණකෙළිය නවීකරණය කරන ලද ‘පැගන්’ ආගමික චාරිත්‍රයක් බවයි.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ජර්මනියේ එය සිදුවූයේ මෙසේය. බර්ලින්හි කිසියම් ස්ථානයකට අප්‍රියෙල් 30 වෙනිදා සවස් කාලයේ මෝහිනියන් ලෙසින් වෙස් ගත් කාන්තාවන් විශාල පිරිසක් රැස්වෙති. අනතුරුව ඔවුහු නොයෙකුත් විකාර කරමින් ගී සින්දු හා සටන් පාඨ කියමින් වීථි සංචාරය කරති. ගතවූ කාලයේ මොවුන’තර ‘ලිබරේෂන් කාන්තාවන්’ ඉතා ඉහළින් කැපී පෙනුණි.

ඔක්තෝබර් 31 වෙනි දින ඇමරිකාවේ පැවැත්වෙන ‘හැලොයින්’ උත්සවය ද වල්පුර්ගිස් හා සමාන සංදර්ශන උළෙලකි. ඊට මුල් වී ඇත්තේ ඇමරිකාවේ රටවල පැවති ම්ලේච්ඡ (විකා) ආගමික උත්සවයකි. හැලොයින් දිනය භූතයින්ගේ දිනයකි. මේ දිනයේ පැරණි සිරිත සිහිකරමින් ගෙවල් කඩ සාප්පු ආදිය භූත ආයිත්තම්වලින් සරසනු ලැබේ. බොහෝමයක් රට වැසියෝ නොයෙකුත් භූත මුහුණු සහ ඇඳුම් වලින් සැරසෙති.

මහජනයා විකාර ක්‍රියාවන්හි යෙදෙමින් ප්‍රීති වන වල්පුර්ගිස්, හැලොයින් ආදී උත්සව යුරෝපයේ සහ ඇමරිකාවේ ජනප්‍රිය සංස්කෘතික උත්සවය. මේවා මෑත කාලයක ආරම්භ වූ බවක් පෙනෙතත් ඒ සියල්ලටම දිගු ඉතිහාස කතාන්දර තිබේ. ඒවායින් කියවෙන්නේ ක්‍රිස්තියානි ආගම පැතිරීමට පෙර මේ උත්සව ඒ ඒ රටවල ආගමික උත්සවයන් බවයි. ‘අශිෂ්ටයන්’ තම ආගමික උත්සව පවත්වා ඇත්තේ මහත් විශ්වාසයකින් හා භක්තියකිනි. ඔවුන්ගේ ආගමේ කොටසක් වශයෙනි. ක්‍රිස්තියානි සංස්කෘතිය යටතේ උත්සවයේ ආගමික කොටස ඉවත්කර තිබේ. ඉස්ලාම් ආගම යටතේ ආගමික ක්‍රියාවම වනසා තිබේ.

යුදෙව්වන් ‘බාල්’ සංස්කෘතිය නැති කළේ ආගමික පරමාර්ථයකිනි. ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමිකයන් බමියාන් බුදු පිළිමය පුපුරුවා හැරියේත් ආගමික පරමාර්ථයකිනි. ක්‍රිස්තියානි දේවගැතිවරුන් අතීතයේදී ඊට සමානව කටයුතු කළ නමුත් පසුකලෙක ඔවුන්ගේ ක්‍රමය වෙනස් සිදුවුණි. ඔවුහු අශීලාචාර මනුස්සයින්ගේ ආගමික ක්‍රියාවේ ආගමික කොටස දෙවැනි කොටස (කලාව) පිළිගත්හ. යුරෝපා නාට්‍ය කලාවේ ඉහළින්ම වැජඹෙන ඔපෙරාව නිදසුනට ගතහොත්, ඔපෙරා යනු ග්‍රීසියේ පැවති ‘පැගන්’ (ම්ලේච්ඡ) ආගමික උත්සවයකි. දැන් එහි ආගමික කොටස නැත.

ඔපෙරාවේ ඉතිහාසය ගැන ලියවුණු පැරණි පොත පතේ මේ ගැන තොරතුරු අඩංගු වේ. ඉහත සඳහන් කළ අයිකින්ගේ ඉතිහාස සංදර්ශනයෙන්ම මීට උදාහරණයක් ඉදිරිපත් කිරීමට පුඵවන. එහි මෙසේ සඳහන් වේ.

“ග්‍රීක් නාගරිකයන්ගේ පොදු කටයුතු අතින් නෘත්‍ය ශාලාව මන්ත්‍රීන් තේරීම සහ සභා පැවැත්වීම පමණටම වැදගත් විය. නෘත්‍ය ශාලාව ග්‍රීක්වරුන් විසින්ම නිපදවන ලදි. ඒ හා සම්බන්ධ වූ සියලුම වචන ග්‍රීක් වචන වේ. මුලදී ග්‍රීක්වරුන්ගේ නෘත්‍ය ශාලාව වූයේ එළිමහන් තැනක පිහිටි තණකොළ සහිත වෘත්තාකාර බිමකි. ගායක කණ්ඩායම මේ භූමියෙහි සිටගෙන සුරා දේවතාවාගේ නාමයෙන් නැටුම් දැක්වීමත් ගී කීමත් කෙළේය.”

ඔපෙරාව ග්‍රීකයන්ගේ ආගම මුල්කරගත් සංස්කෘතික ක්‍රියාවකි. එයින් ආගමික කොටස ඉවත්කර තිබේ. ආගමික ක්‍රියාව ඉවත දා ම්ලේච්ඡ කලාව පිළිගැනීමේ වෙනස යුරෝපයේ, සිදුවූයේ ‘විද්‍යා පුනර්ජීවනය’ නමින් හඳුන්වනු ලබන, ‘නූතනත්වය වැලඳ ගැනීමෙන්’ පසුවයි. පශ්චාත් නූතනවාදය මගින් කෙරෙන්නේ මෙම ක්‍රියාව වඩාත් සූක්ෂ්ම කිරීමයි. ඒ ගැන වෙනත් ලිපියකින් පැහැදිලි කිරීමට අදහස් කරමු.

(2019 අප්‍රේල් 28 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link