Last Updated on 9 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
අපේ මෑත දේශපාලන ඉතිහාසය ලියැවී ඇත්තේ වේදනා අඳෝනා සෝ සුසුම් හා කඳුළු මැද්දෙන්.
හැම මහ මැතිවරණයකටම පසු චන්දය දුන් අය ඇඬුවා මිස ඉන් එහා දෙයක් සිදු වුණේ නැත. ඡන්දය ලබා ගත් අය සිනාසුන බව පමණක් තවමත් මතකයේ රැඳී තිබෙනවා.
කඳුළු අතරින් සිනාසිය හැකි දිනයක් ගැන මා දකින සිහිනය ජීවන යථාර්ථයක් වන්නේ කවදාදැයි මා ඇඟිලි ගනිමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි ඒ සඳහා යමක් කරමින්ද සිටිනවා.
මා මේ දිනවල උත්සාහ කරන්නේ ජඩ දේශපාලනය නිසා සිත් දූෂ්‍ය කරගත් මිනිසුන් වෙනුවට බොහෝ දුරට පිරිසිදු අතීතයක් තිබෙන දැනුමැති අවංක පිරිස් දේශපාලනයට යොමු කිරීමයි.
ඒ සඳහා මා විසින් පාවිච්චි කරන හොඳම අවිය න්‍යායාත්මක බව හා ප්‍රායෝගික බව එකට මුසු වුණු අත්දැකීම් සහිත දැනුම් සම්භාරයයි.
කා සමග හෝ සන්ධාන ගත වීම දුර්වලයාගේ හපන්කමක්. කෙසේ හෝ බලය ලබා ගැනීම අපගේ අරමුණ නොවෙයි.
බලය යනු කුමක්ද? බලය කාටද? කුමක් සඳහාද? යන්න පැහැදිලිවම නිර්වචනය විය යුතුයි.
බලය නිසා විනාශ වුණු බලවන්තයින් ගැන ඉතිහාසයේ ඕනෑ තරම් සාක්කි තිබෙනවා.
1948 දී ඊනියා නිදහස ලැබූ දා සිට අද දක්වා බලය අවභාවිතා කිරීම හැර පාලකයන් විසින් ජනතාව වෙනුවෙන් කර ඇති දෙයක් ඇත්ද?
ජනතා පරමාධිපත්‍යය දිරා ගිය කඩමාල්ලක් බවට පත් කරනු ලැබුවේ කවුරුන් විසින්ද?
වැරදි දේශපාලනය තුළින් හෙම්බත් වී ඇති ජනතාව අත්හරින්නේ දේශපාලනය පමණක් නොවෙයි. තමන් උපන් භූමියත් හැරදා යන්නට ඔවුන් පෙළඹී තිබෙනවා.
සියල්ලටම කලින් අපි “විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු. විමුක්තිය යනු කුමක්ද කියා එදාටවත් ජනතාව තේරුම් ගනු ඇත.