සංගණන නවත්තා රිළවුන්ට පාලන බලය දෙනු

Last Updated on 2 weeks by admin

“අයියෝ නැගිටින්ඩ නැගිටින්ඩ… මෙච්චර නස්පැත්තියක් වෙලත් මේ මිනිහා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදිනෙ…”

මායියාගේ සද්දයට නැගිටුන නැගිටිල්ලට මට දකිමින් සිටි හීනයද අමතක විය.

“මගුල් ගෙදර යන්ඩ ගත්ත අලුත් සාරියයි සාරි බ්ලවුස් එකයි නෑ.”

“කොහෙ හරි දාපු මුල්ලක ඇති.”

“මොකාක්????”

“ඕක ගෙදර ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිනෙ. ඔය හැටි කලබල වෙලා යටි ගිරියෙන් කෑගහන්ඩ ඕන නෑ.” මට තවම ඇස් දෙක ඇරගන්නට බැරිය.

“වෙඩින් එකට යන්ඩ කියලා පොඩි උන්ට මහපු රෙදිත් නෑ.”

“පොඩ්ඩක් ඉන්න පෝය දෙකක්…” මම නිදිමරගාතේ ඇස්දෙක පියාගෙනම කාරණය ෂේප් කරගත හැකි, මගේ බෞද්ධකමත් ජාතිකත්ව ලකුණත් පේන උත්තරයක් එළියට දැම්මෙමි.

“එතකොට, ලොන්ඩරිකාරයාට අර කෝට් බෑය ආපහු දෙන්නෙත් පෝය දෙකකින් පස්සෙද?”

“ඇහ්??”

මට ඇඳේම ඉන්දවිණි.

“ටයි කෝට් කලිසං සේරම ගෙනිහින්.”

“හත්ඉලව්වයි….”

“අත්තෙ…. මගෙ බ්‍රිස්ටල් බෝඩ් ටිකයි, මාකර් පෙන් ටිකයි නෑ.” පොඩි මුණුබුරා කීවේ ඇඬුම්බරවය.

“මොකක්?”

“මම කැට හොල්ලලා ගත්තු රතු ටීෂර්ට් එකයි, තොප්පියයි, කලිසමයි නෑ. මං මේක ලේසියෙන් අරින්නෙ නෑ හරිද? ” මාර පුත්‍රයා ලවුස්පීකරේ දැම්මේය.

“බාප්පා කිව්වෙ ඒවා යාළුවෙක් දුන්නා කියලනෙ?” පොඩි මුණුබුරා ඇහුවේය.

‘උඹලා ඒ කාලේ කිව්ව දේවල්වල හැටියට දැන් ඉතිං රෙදි නැතිව තමයි යන්ඩ වෙන්නෙ’යි කියන්නට හිතුණද කටපියාගෙන සිටීම නුවණට හුරුය. ඌ අම්මා අප්පා අඳුනන එකෙක් නොවේ.

“මගෙ හැඳුනුම්පතත් නෑ. පර්ස් එකත් ඇදල දාලා…” පොඩි එකා කෑගැහුවේය.

“බලන්ඩ ඉලන්ඩ අපේ එව්වත්….” මායියා කෑගසාගෙන කාමරයට දිව්වේය.

“අපේ එව්වත් නෑ. හත්දෙයියනේ, මුං අපේ ඇඳුම් ඇඳගෙන ගිහින් මිණියක් මරලා අපේ හැඳුනුම්පත් දාලා ගියොත් අපි තමයි කොටු වෙන්නෙ. දැම්මම යංඩ පොලිසියට… ඉක්මණට පැමිණිල්ලක් දාමු.”

මම මූණ හෝදන්නේ නැතිවම ඇඳුමක් එල්ලාගෙන පොලිසියට යන්නට මිදුලට බැස්සෙමි. මිදුල කෙළවර කොස් ගහේ අතු හෙල්ලෙන සද්දයක් ආවේය.

“අම්මට සිරි යකෝ මෙන්න මේ රිළවා මගෙ ටයිකෝට් ගහගෙන… මේකා අපේ බූල් තුවායත් ඔළුවෙ දාගෙන. මොකද තොට පීනසේද?”

රිළා රංචුවක්, අපේ නැතිවුණ ඇඳුම් සියල්ල ඇඟ දවටාගෙන ගහ උඩ සිටිති. ටයි කෝට් ගැහුවත් සාරි ඇන්දත් ගැහුවත් රිළවුන්ගේ වලිගය නම් පෙනේ.

“මේ… ඇහුනද… ඉක්මණට මෙහෙ එන්ඩ මේ බලන්ඩ වැඩේ. ඒයි රිළා මොටා, තෝ මගෙන් මැරුම් කන්නෙ නැතිව දීපිය මගෙ සූට් එක.”

රිළවා මා දෙස බලා විරිත්තන්නට විය. රතු තොප්පිකාරයා තොප්පිය ගලවා උස්සා සැලියුට් එකක් ගැහුවේය.

“මං සැරයක් කිව්වා….. දීපියව් හොඳ හිතින් අපේ රෙදි ටික.”

තොප්පි වෙළෙන්දා තොප්පිය විසි කළා සේ ඇඳුම් ගලවා විසි කරන්නට සිතුවිල්ලක් ආවද, එය නුවණට හුරු වැඩක් නොවන බව ඒ සැණින් ඔළුවට ආවේය.

“සහෝදරයා, ගන්ඩ පොටෝ එකක්. නැත්තං වීඩියෝ කෑල්ලක්..”

මං මේ දකින්නේ හීනයක් දැයි මට සැක හිතුණි. රිළවා අපූරුවට සිංහල කතා කරයි. කඩහඬ මටත් වඩා ගොරෝසු එක ගැන පොඩි ඊරිසියාවක්ද හිතුණි. ඌ රංචුවේ කතානායකයා වගේය.

කතානායක රිළවා ඔළුවෙන් වැටෙන්නට යන බූල් තුවාය ඔළුවට තදකර ගත්තේය. ආඩම්බර ඉරියව්වක් පෑවේය.

“පොඩ්ඩක් ඉන්ඩ….”

මොහොතකින් ඌ ළමයින්ගේ නැතිවුණ බ්‍රිස්ටල් බෝඩ් ටික ඇද රිළවුන් අතර බෙදුවේය. උන් බෝඩ් ටික මට පෙනෙන සේ උස්සාගත්හ.

“හරි දැන් ගන්ඩ” රිළවා කීවේය.

‘සංගණන නවත්තා පාලනය අපිට දියවු.’

‘77 වසරක සාපය ඉවර කරන්ඩ පාලන බලය අපට දියවු.’

‘අපි සතුන්ට මෙන්ම මිනිස්සුන්ටත් හොඳට සලකමු.’

‘ජාතික ආරස්සාව පෝය දෙකෙං.’

‘කාර්, මෝටර් සයිකල්, ත්‍රීවීල් තුට්ටු දෙකට.’

‘වීවලට රුපියල් 200ක සහතික මිලක්.’

මම පෝස්ටර් එකින් එක කියෙව්වෙමි.

“කවුද තොපිට ඕවවා ලියලා දුන්නෙ?”

“හිතුවද අපිට අකුරු බෑ කියල. මට සිංහලවලට විතරක් නෙවෙයි ඉංග්‍රීසිවලටත් ජපානෙ වසීදා විශ්වවිද්‍යාලෙන් පීඑච්ඩී එකක් තියෙනවා.”

“තොපි ඇත්තටම රිළවුද නැත්තං දිස්ටියක්ද?”

“අපි… ඇත්තටම රිළවු… රිළවු…” කතානායක රිළවා කැත හිනාවක් දැම්මේය.

“මොකද අනේ තනියම කතා කරන්නෙ?” මායියා දුවගෙන එන ගමන් ඈත සිටම ඇහුවේය.

“තනියම කතාකරනව නෙවෙයි යෝදියේ.. මං මේ රිළවා එක්ක කතාකරන්නෙ.”

“ඔයාට පිස්සුද රිළවු එක්ක කතා කරන්න…”

“පිස්සුද නැද්ද කියලා බලන්ඩ ටිකක් ළඟට එන්ඩකො.”

“හෑ….. දෙයියනේ අපේ ඇඳුම් අරන් තියෙන්නෙ මුං නේද? ගිහිං තුවක්කුව ගේන්ඩ බලං ඉන්නෙ නැතිව…. මුංව ඉවරයක් කරලා අපේ රෙදි ටික ගම්මු. ඉක්මන් කරන්ඩ නැත්තං මුං කැලේට යයි…. අයියෝ දෙයියනේ. අර රිළවි මගෙ සාරිය කාලාද දන්නෙත් නෑ….”

මායියාගේ සත්ව කරුණාව, මානව හිතවාදය, අවිහිංසාවාදය වැනි සියල්ල අන්තර්ස්දාන වී ගොස්ය.

“නෑ සහෝදරී… අපි හොරු නෙවෙයි. අපි ආවේ හොරු, බොරුකාරයො පන්නලා මේ රට සුඛිත මුදිත කිරීමේ බරපතල කර්තව්‍යය අපි කරට ගන්න බව දැනුම් දෙන්ඩ.” රිළවා කීවේය.

“ඒයි…. මේ රිළවා කතා කරනවනෙ අනේ….”

“ඒක තමයි මාත් මේ බැලුවෙ රිළවුද දිස්ටියක් වත්ද කියල…”

“හොරු අල්ලනවා කිව්වට උඹලත් හොරුනෙ. නැත්තං අපේ රෙදි හොරකම් කරයියැ”. පොඩි මුණුබුරා කොහොමත් කටකාරයාය.

“ඇත්තටම හොරකම් කරන අදහසක් අපිට තිබුණෙම නෑ. අපි ගියේ සංගණනය වෙලාවට ප්‍රදර්ශනය කරන්ඩ පෝස්ටර් ලියන්ඩ බ්‍රිස්ටල් බෝඩුයි පෑනුයි ගන්ඩ. ඇඳුම් දැක්කාම ආසා හිතුණා. කවුද ලස්සනට අඳින්න පලඳින්න අකමැති.”

“එතකොට උඹල අපේ හැඳුනුම්පත් ටික හොරකම් කළේ?”

“ඒක නං ඉතිං පරණ පුරුද්දකට වෙච්චි දෙයක්.”

“මෙසපොටේමියාවේ හංගලා තියෙන වී, පොල් ගෙනල්ලා හොඳට කාලා බීලා ඉන්ඩ කැමති නැද්ද?????” මායියාගේ සාරිය පටලවාගෙන ඉන්න රිළවි එක වරම කෑගැහුවාය.

“නිකං පච කෙලින්නෙ නැතුව හිටපං රිළවි.”

“පච කෙලින එක මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි සත්තුන්ගෙන් මූලික අයිතිවාසිකමක් සහෝදරී.” රිළවි කීවාය. වයසක රිළවෙක් රිළවිය පැත්තකට තල්ලු කළේය.

“මේ රටට වැදිලා තියෙන්නෙ 77ත් අවුරුදු සාපෙ. මේ රට පාලනය කරපු අය මිනිසුන්ට තියා සත්තුන්ටවත් ජීවත් වෙන්ඩ බැරි තැනක් බවට මේ රට පත් කරලා ඉවරයි. දැන් අපිව විකුණන්න යනවලු පිටරටට. දේශීය සම්පත් විකුණලා විකුණලා දැන් ආණ්ඩුව රිළවුත් විකුණන තත්වෙට පත්වෙලා. රිළවෙකුට එළියට පහළියට බහින්ඩ බෑ කොහෙන් වායු රයිපල් පාරක්, ගල් පාරක්, කැටපොල් පාරක් එයිද දන්නෙ නෑ.

අර බලන්ඩ මේ ගෙදර බලු පැටියාව ඔළුව විකලා මරලා දාලා.. ගෙයි උළු ගලවලා විසි කරලා… ගෙදර බත් මුට්ටියෙ දංකුඩ සූරගෙන තමයි රෑට කාලා තියෙන්නෙ. හාල් මුට්ටිය හිස්. ප්‍රිජ් එකේ මොකවත් නෑ. කරවල කෑල්ලක්, හාල්මැස්සෙක් බේතකට නෑ. අවුරුදු ගාණකින් දුවල නැති කාර් එක දූවිලි වකාරයක්. මේක මිනිස්සුන්ට නෙමෙයි සතෙකුටවත් ජීවත් වෙන්ඩ පුළුහං රටක් නෙවෙයි දැන්.

හිතට සෝගිනි, බඩට සාගිනි, ඉණට වැරහැලි, කනට මීපැණි. ඒක නෙමෙයිද ඇත්ත තත්වය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය…. ඒ නිසා දැන් මිනිස්සු මේ රට පාලනය කළ ඇති. මිනිස්සු ඔප්පු කරලා ඉවරයි තමන් අසමත් කියලා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ පාර රිළවුන්ට බලය දීලා බලන්ඩ. එකම එක පාරකට බලය දීලා බලන්ඩ.”

පොඩි එකාගේ රතු තොප්පිය දාගෙන හිටි රිළවා මාර කතාවක් පැවැත්තුවේය. ඒ ඇසූ මගෙත් ඇස් දෙක නිලංකාර වී කන් දෙක ගිනියං වී ඇඟේ මයිල් කෙලින් වී ගියේය. මේ පාර ඡන්දයේදි රිළවුන්ටවත් දී බලන්නට තරම් හිත ගියේය.

“අපි බලයට ආව ගමන් සහෝදර සහෝදරියන්ගෙ පඩි වැඩි කරනව අවුරුද්දට හතර පාරක්. ලයිට් බිල්, වතුර බිල්, පැට්‍රෝල්, බස් ගාස්තු, දුම්රිය ගාස්තු සේරම දැනෙන්ඩ අඩු කරනව. නමදාහෙ විදුලි බිල හයදාහ කරන්න පුළුහං. හයදාහෙ ලයිට් බිල තුන්දාහ කරන්ඩ පුළුහං. තුන්දාහෙ ලයිට් බිල එකදාස් පන්සීය කරන්ඩ පුළුහං…”

තවත් රිළවෙක් කීවේය.

“අපිට කවුන්සලේ කෑම ඕන නෑ. පන්සලක් ළඟට හරි හෝටලයක් පිටිපස්සට හරි මාර්කට් එකේ කුණු බක්කිය පැත්තට හරි ගියාම ඕන තරම් කෑම. අපිට වාහන ඕනැත් නෑ. මොකද අපි ගහෙන් ගහට පැන පැනනෙ යන්නෙ. ඒ විදියට අපිට පුළුවන් බිලියන ගණන් සල්ලි ඉතුරු කරන්න. ඒ සල්ලිවලින් මේ අගාධයට ගිහින් තියෙන රට සංවර්ධනය කරන්න.

අපිට බලය ලැබුණ ගමන් පිටරටවල ඉන්න අපේ රිළවු, වඳුරො, චිම්පන්සි, ගොරිල්ලො, බැබුන්ලා සේරම ඩොලර් එවනව සට සට ගාලා. රටේ ඩොලර් අර්බුදය එතනින්ම ඉවරයි. අපිඑම්එෆ් ගිවිසුම ඉරලා විසි කරල අපි ණය ගෙවනව ඒ ඩොලර්වලින්.”

උගේ කතාව මායියා අසාගෙන හිටියේ කට ඇරගෙනය.

“මේක වටේටම මූද තියෙන රටක්. අපි දෙනවා සියලු රටවැසියන්ට නොමිලේම ලුණුයි මාළුයි. කැලේ තියෙන කොළවලින් පෝර හදල ගොවියන්ට නොමිලේම දෙනව.”

“රිළවු වුනාම මොකද අපිට මේ විදිහට සලකනවා නම්. මට නම් හිතෙනවා අනේ මේ පාර රිළවුන්ට ඡන්දෙ දෙන්න.” මායියාගේ ඡන්දය ඉරිතේරුවෙන්ම රිළවුන්ට බව සහතිකය. ඒ නිසා මගේ ඡන්දෙත් උන්ටම දෙන්ඩ සිදු වේ.

“අපි බලයට ආවාම මේ ලයිට් කැපිල්ල නවත්තනව. මේ කැලේ නිකං දිරලා යන කොල, ලී දඬු ටොන් ගණනක් තියෙනව. හුලං බලය නිකං අපතෙ යනව. සූරිය බලය අපතෙ යනව. අපි වේලිචචි කොල හා දර පාවිච්යෙන්, සූර්ය හා හුලං බලයෙන් මෙට්‍රික් ටොන් පන්දාහක විදුලි බලය උත්පාදනය කරන්න සැලසුමක් මේ දැන් අතේ තියෙනව.”

“මෙට්‍රික් ටොන්වලින් කොහෙද රිළවො විදුලිය මණින්නෙ? ලොකු මුණුබරා ප්‍රශ්නයක් ඇසුවේය.

“ඒක තමයි අපේ වෙනස සහෝදරයා… ඔය සහෝදරයින්ට ඉස්කෝලවල උගන්නන්නෙ ඇත්ත නෙවෙයි. නියම විද්‍යාව නෙවෙයි. මම ඉන්ජිනේරු උපාධියක් තියෙන කෙනෙක්. අපි ආවාම මේ රට කණපිට ගහලා දිව්‍ය ලෝකයක් වගේ කරලා පෙන්නනවා..”

“අපි බලයට ආව ගමන් පෝය දෙකෙන් පොළොස්පතිවයි හෙව්වන්දිවයි හොයල පෙන්නනවා. බටවත්තෙ කොමිසම් වාර්තාව ඇදලා ඇරං ඒකට සම්බන්ධ අළුගෝසුවන්ට නිසි දඬුවම් දෙනවා.”

කතානායක රිළවා අඬන්නට පටන් ගත්තේය. ඒ දුටු මටත් ඇඬුණි.

“මාමෙ අපේ බලු පැටියව මරල දාපු එවුන් හොයල දඬුවම් දෙන්ඩ කොමිසමක් දාන්ඩ බැරිද?”

මිදුලේ මැරී වැටී සිටි බලු පැටියාව උස්සාගෙන දුවගෙන ආ පොඩි මුණුබුරා අඬමින් ඇසුවේය.

රිළා රංචුව එකවරම කැලේ පැත්තේ ගස්වලට පනින්නට වූහ. මම උන් පස්සෙන් පැන්නුවෙමි.

“ඔහෙ හිටපියව් හොර හැත්ත…”

“නැගිටින්ඩ.. නැගිටින්ඩ.. අනේ…. ඔයාගෙ සේරම චණ්ඩිකම් ඉතිං හීනෙන් තමයි… නැගිටින්ඩ. අද නේද අර රිළවු ගණින්ඩ තියෙන්නෙ?”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top