Last Updated on 14 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සල් ගස සහ සාලබන්ජිකා (සාංචි කැටයම)
තිරිඟු පිටිවලට ඇබ්බැහි වන තෙක්ම සිංහලයා බත් කෑ මනුෂ්‍යයෙකි. ඔවුන් පසුගිය අවුරුදු කිහිපය තුළ ජාතියක් වශයෙන් කොතරම් දුරට පිරිහී ඇත්දැයි වැටහෙන්නේ සිංහල හාල් වර්ග සිය ගණනක් තිබුණු රටේ උසස් පංතිවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් බහුතරයක් ‘සිංහල හාල්’ යනු මොනවා දැයි නොදන්නා බව හෙළි වන විටයි.
මීට අවුරුදු නවදහසකට පෙර චීනයේ වැසියන් වී වගාව දැන සිටි බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ඉංග්‍රීසින්, තේ ගස පිළිබඳ චීනුන්ගේ දැනුම කොල්ලකෑ බව ද සොයාගන තිබේ. තේ ගස ලංකාවේ සිට චීනයට ගියේද යන්න සොයා බැලිය යුතු කරුණකි (විස්තර සඳහා ‘බෞද්ධ සංස්කෘතික කොල්ලය’ බලන්න. බෝධිධර්ම හිමියන්ගේ ඇස් පිහාටුවලින් තේ ගස උපන් බව චීනයේ ජනශ්‍රැතියකි. ලංකාවේ තේ වතු වගාව ඉංග්‍රීසින් ඇරඹූවකි. ඒ ආකාරයට චීනුන්ගේ වී ගොවිතැන ලංකාවේ පැතිර ගිය පිළිවෙළ පැහැදිලි කෙරෙන සාක්කි නැත.
රටේ විසූ ජනවර්ග සියල්ලම රැස්කර සිංහල නම් වූ ජාතිය ගොඩනැංවීමේ ගෞරවය යක්ෂයින්ට හිමි වේ. බත් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේය. යක්ෂයින් වැව් තනා වී ගොවිතැන් කර සහල් නිපදවූ අයුරු කියැවෙන කතා විශාල සංඛ්‍යාවක් සිංහලයන් අතර පවතී. මෙවැනි තොරතුරු ඇති නමුදු, යක්ෂයින් යනු ලංකාවට පමණක් සීමා වී සිටි මනුෂ්‍ය වර්ගයක් නොවේ. ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, ටිබෙටය, බංගාලි දේශය, ඉරානය, මියන්මාරය ආදි හැම රටකම යක්ෂ ජනපද හා රාජධානි තිබුණ බවට සාක්කි පවතී. ඒ ඒ තොරතුරු විභාග කරන විට යක්ෂ ජන කණ්ඩායම් සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව දළ සටහනක් පිළියෙල කර ගැනීමට පුළුවන. එහි දී වැටහෙන්නේ, යුරෝපීන් පැතිරවූ ‘ආර්ය මිථ්‍යාව’, යක්ෂ ඉතිහාසය මැකී යන්නට එක් හේතුවක් බවයි. ඉස්ලාම් ආගම පැතිරයාම තවත් හේතුවකි.
බුදුදහම කෙරෙහි දැක්වු අසීමිත උනන්දුව හේතුවෙන් යක්ෂයින් පිළිබඳ තොරතුරු සිංහලයින් අතර ඉතිරි වී පවතී. පකිස්ථානය ඇෆ්ගනිස්ථානය වැනි රටවල තත්වය ඊට වෙනස් එකකි. එම කලාපයේ සියලු වැසියන්ට සිය ශ්‍රේෂ්ඨ ඉතිහාසය අමතක කර දමන්නට සිදු වී තිබේ. යක්ෂයා, ‘සාතන්’ යැයි සිතන්නට පුරුදු වූ ඔවුන් තම අතීතය අමතක කරන්නේ, යක්ෂයාට හසු වී සිටි කාලය ලෙස සලකමිනි. මාල දිවයිනේ තත්වයත් මෙයමය.
ජර්මනිය, පෙරදිග ඉතිහාසය සෙවූ ගවේෂකයින් සිටි රටකි. එහි ‘ගොටින්ගන්’ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආර්. ජී. බණ්ඩක්කාර් (1837 – 1924)ට රාවණා ඉන්දියාවේ විසූ රජෙකු බවට තොරතුරු අසන්නට ලැබුණි. පෙරළා ඉන්දියාවට පැමිණි ඔහු, ඉන්දියාවේ දකුණේ පැවති ලංකාපුරය සෙවීමට මහන්සි ගත්තේය. ඒ අතරතුර ඔහු, හින්දු කුල ක්‍රමය බිඳීම, වැන්දඹු කාන්තාවන්ට නැවත විවාහ වීමට ඉඩ ලබාදීම, කාන්තාවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීම, ළමා විවාහ නැවැත්වීම ආදී විප්ලවකාරී අදහස් ඉදිරිපත් කිරීම නිසා, හින්දු ක්‍රිස්තියානි හා මුස්ලිම් දේශපාලන නායකයින් එක් වී ඔහුගේ ලංකාපුරය සෙවීමේ වැඩපිළිවෙළ පවා කඩාකප්පල් කළහ.
ඉන්දියාවේ හින්දූන් ‘දුෂාරා’ නමින් පවත්වන උත්සවය අවසන් කෙරෙන්නේ රාවණාගේ පිළිරුවක් පිළිස්සීමෙනි. ‘යක්ෂ රජ රාවණා දුෂ්ටයෙකි’ යන හැඟීම මහජනයා අතර රඳවාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම මෙමගින් සිදු කෙරේ. මෙම ක්‍රියාව ඇරඹූ හින්දු ආචාර්යවරුන්ට ‘රාමායන’ කතාව සනාථ කරමින්, ‘රාවණා ඉන්දියාවෙන් පිට දේශයක සිටි පුද්ගලයෙකු බව’ පැහැදිලි කිරීමට සිදු විය. ඒ අවශ්‍යතාව සඳහා බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති සිංහලේ (‘සෙයිලොන්’) රට තෝරාගෙන එහි දේශපාලන නායකයින් ලවා රටේ නම ‘ලංකාව’ යනුවෙන් වෙනස් කරගැනීම කුමන්ත්‍රණයකි. ඉන්දියාවේ හෑම වසරකම නත්තල, රාමසාන්, දීපවාලි, ආදි වශයෙන් ආගමික උත්සව පැවැත්වේ. වසරක් පාසා දුෂාරා පවත්වමින් යක්ෂ රජු රාවණා පිළිස්සීමත් සිදු කෙරෙයි.
මහාවංශය භික්ෂුන් වහන්සේ නමකගේ කෘතියකි. එහි කිසිම ස්ථානයක වෛරය ප්‍රකාශ වන එකදු වැකියක් නැත. පොතේ මුල් පරිච්ඡේද කිහිපයම සකස් කර ඇත්තේ යක්ෂයින් පිළිබඳ තොරතුරු ඇසුරිනි. ඒවා සපයා ගෙන ඇත්තේ යක්ෂ ආගමික සාහිත්‍යයෙනි. එබැවින් යක්ෂ ඉතිහාසය, ආගම සහ සාහිත්‍යය ගැන දැනුමැති මගපෙන්වන්නෙකුගේ සහාය නැතිව, මහාවංශයේ මුල් පරිච්ඡේදයන්හි අඩංගු ඉතිහාස තොරතුරු තේරුම් ගැනීම අපහසුය.
ඉන්දියාව පාලන කරන ඉංග්‍රීසිහු, බෙංගාල රාජකීය ආසියාතික සමිතිය (1784) පිහිටුවාගෙන ඉන්දියාවේ පෞරාණික වස්තුව සොයන්නට ගත්හ. ජෝර්ජ් ටර්නර් (1799 – 1843) භික්ෂුන් වහන්සේගේ උපකාර ලබාගෙන පාලි මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. ජර්මන් ජාතික විල්හෙල්ම් ගයිගර් (1856 – 1943) ඒ මහාවංශයේ සංස්කරණයක් කළේය. පොල්වත්තේ බුද්ධදත්ත හිමි, ‘ගයිගර්ගේ මහාවංශය නිවැරැදි කිරීම’ මැයෙන් ප්‍රකාශයට පත් කළ කෘතියේ, මහාවංශය සංස්කරණයේ දී ගයිගර්ට වැරදුන තැන් සඳහන් පෙන්වා දෙයි. එංගලන්තය, ජර්මනිය, ඩෙන්මාර්කය ආදි රටවල කෞතුකාගාරවල ඇති මහාවංශයේ පිටපත් පරීක්ෂා කරන්නෙකුට, ලංකාවේ භාවිත කරන මහාවංශ පරිවර්තනයේ තවත් අඩුපාඩු දකින්නට පුළුවන.
යක්ෂ ඉතිහාසය යනු අතිශයින් පුළුල් හා සංකීර්ණ විෂයකි. අප, සාලබන්ජිකා (ෂාලභන්ජිකා) යක්ෂණියගේ තොරතුරු ඉදිරිපත් කරන්නේ ඒ බව පැහැදිලි කිරීමටයි. ඉතිහාසකරුවන් මේ නමින් හඳුන්වන්නේ දඹදිව හා ඒ අවට රටවල් සියල්ලකම නොයෙකුත් නම්වලින් පුද පූජාවට සහ වන්දනා මානයට ලක්වූ යක්ෂණියකි. ඇය සල් ගසකින් මතුවන යක්ෂණියක ලෙස සැලකේ. ඉන්දියාවේ තැනින් තැන හමු වූ කැටයම් පුවරු කිහිපයකම, මෙම යක්ෂණිය සල් වෘක්ෂයක නැගී ගස වටා පාදයක් පටලවාගෙන සල්මල් රිකිල්ලක් අල්ලාගෙන සිටින්නියක ලෙස ඉදිරිපත් කර තිබේ.
ලංකාවේ බෞද්ධයෝ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කිරීම සල් වනයක හෝ සල් ගසක් මුල සිදු වූ බව හෝ විශ්වාස කරති. පැරණි විහාර චිත්‍ර අතර, මහාමායා දේවිය සල් රුකක් අල්ලා ගෙන සිදුහත් කුමරුන් බිහි කරන දර්ශනය සහිත චිත්‍රය දක්නා ලැබෙන්නේ ඒ නිසාය. ජෛනයන් අතරද මෙවැනි විශ්වාසයන් පවතී. ඔවුන්ගේ ශාස්තෲන් වහන්සේ වන මහාවීරයන් සත්‍ය අවබෝධ කරගත්තේ සල් ගසකට පිට දී යැයි විශ්වාස කිරීම නිදසුනකි. ජෛන විහාරයන්හි එම සිදුවීම් පෙන්වන සිතුවම් දකින්නට පුළුවන. මෙහි දී සල් ගස මේ ආගම් දෙකටම පූජනීය වෘක්ෂයක් වූයේ කෙසේද යන ප්‍රශ්නය මතු වේ. පූජනීය වෘක්ෂය සහ යක්ෂණිය ඉන්දු නිම්න මුද්‍රාවන්හි පවා දක්නා ලැබෙන්නකි. ඒ පූජනීය වෘක්ෂයද සල් ගසක් විය යුතුයි.
පසුගිය කාලයේ මාධ්‍ය ආධාර කරගෙන සල් ගස පිළිබඳව ලොකු සංවාදයක් සිදු විය. ඊට සහභාගි වූ කිහිප දෙනෙක්ම ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලැබූවෙකු ඉදිරිපත් කළ අදහසක් ඉදිරිපත් කරමින් පැහැදිලි කළේ සිංහල බෞද්ධයින්ගේ චිත්‍රවල සල් ගස වශයෙන් පෙන්වන ගස දකුණු ඇමරිකාව ජන්මය කරගත් ගසක් බවයි. Couroupita Guianesis යන විද්‍යාත්මක නාමයෙන් හැඳුනුම් ලබන කාලතුවක්කු උණ්ඩ තරම් විශාල ගෙඩි හැදෙන එය ප්‍රසිද්ධව ඇත්තේ ‘කැනන්බෝල් ට්‍රී’ Cannonball Tree නමිනි. මෙම වෘක්ෂ විශේෂය බ්‍රිතාන්‍ය පාලන සමයේ දකුණු ඇමරිකාවෙන් ලංකාවට ගෙනෙන ලද්දකි. උතුරු ඉන්දියාව, නේපාලය වැනි රටවල වැවෙන ‘සල්’ වර්ගයක්ද ඇත. එය කුඩා වෘක්ෂ විශේෂයකි. මේවා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දකින්නට පුළුවන.’ ආදි වශයෙන් තොරතුරු ඔවුන්ගේ ලිපිවල දක්නා ලැබුණි.
ඔවුන් මෙයින් තර්ක කළේ, ‘බෞද්ධ චිත්‍රවල දක්නට ලැබෙන සල් ගස සැබෑ සල් ගස නොවේ’ යන්න පමණක්ම නොවේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සල් වෘක්ෂයක් පාමුල සිදු වූයේය යන පිළිගැනීමද සාවද්‍ය බව එයින් අඟවා තිබුණි.
බෞද්ධයාගේ සල් ගස දකුණු ඇමරිකාවේ වැවෙන ‘කැනන්බෝල්’ ගසට සමාන බව සැබෑවකි. නේපාලය සහ හිමාල ප්‍රදේශයේ සල් නමින් හඳුන්වන කුඩාවට වැවෙන ශාක වර්ගයක් තියෙන බවද ඇත්තකි. එහෙත් ඒ නිසා බෞද්ධයන් කියන, ‘සිදුහත් උපත සිදු වූයේ සල් ගසක් පාමුලය’ යන විශ්වාසය බොරුවක් බවට පත් නොවේ. ලංකාවට වඩාත් වැදගත් වන්නේ ඒ ඇත්තයි
බෞද්ධ චිත්‍රවල දක්නා ලැබෙන සල් ගස Shorea Robusta යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. එය අවුරුදු ලක්ෂ ගණනක සිට ඉන්දියාවේ හිමාල ප්‍රදේශය, නේපාලය, බෙංගාල දේශය, බුරුමය, ටිබෙට් ආදි රටවල වැවෙන්නකි. එය ‘සල්’ මිස ‘කැනන්බෝල්’ නොවේ. ශාක දෙකේ විද්‍යාත්මක නාමයන් සංසන්දනය කිරීමෙන් මේ සත්‍යය වටහා ගත හැකිය. ආරාම තැනීමේදී බෞද්ධයන් මෙන්ම ජෛනයින්ද සල් ලී භාවිත කර ඇත. ඔවුන් රූප නෙළන්නේද සල් ලීවලිනි. ලක් වැස්සන් බෝධි වන්දනාවට පෙර සල් ගස වන්දනා කළ බව (ගාඩි) රොඩී ජනශ්‍රැතියේ කියැවේ. ‘රත්නවල්ලි දෙව්දුව විසූවේ තෙළඹු ගසක නොව සල් ගසකය’ යන්නත් ඔවුන්ගේ පුරාවෘත්තයකි. දන්ත ධාතුන් වහන්සේ වැඩ විසූ ඉන්දියාවේ ඔඩීෂා (ආන්ද්‍ර) ප්‍රදේශයේත් අවුරුදු ලක්ෂ ගණනකට පෙර සිට මෙම ගස වැවේ.
යමෙකු ව්‍යාජ ඇත්ත හෙවත් අර්ධ සත්‍යය භාවිත කරන්නේ අනුන් රැවටීම පිණිසය. පෙරකී උගතා මෙහිදී කරන්නේද එයයි. ඔහු ඇත්තක් සඟවමින් තම ප්‍රකාශය ඉදිරිපත් කරයි. යටත් විජිත වශයෙන් පැවති රටවල වැසියන්ගේ ජාතික හැඟීම් නැති කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් ව්‍යාජ ඇත්ත භාවිත කර තිබේ. කැලේ ගසක් නසන්නට කැලේ ගසක් යොදාගන්නා සේ මෙම කටයුත්ත සඳහා ස්වදේශිකයන්වම යොදා ගැනීමත් ඔවුන්ගේ ක්‍රමයකි. ඉංග්‍රීිසින් එය පටන් ගත්තේ යටත්ව පැවති රටවල තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනමා තම රටට කැඳවා ඔවුන්ගේ ජාතික හැඟීම් නැති කර උගතුන් වශයෙන් ආපසු පිටත් කර යැවීමෙනි. උගතෙකු වශයෙන් සහතිකය ලැබූ පුද්ගලයාට රටේ උසස් තනතුරු ලැබේ. ඔවුන් කියන දේ පිළිගැනීමට රටවැසියාට සිදු වේ.
සාලබන්ජිකා යක්ෂණිය ගැන බ්‍රාහ්මණ සාහිත්‍යයේ සඳහන් වන බවක් දැනගන්නට නැත. ගාන්ධාරයේ විසූ කීර්තිමත් බෞද්ධ පඬිරුවනක වූ අශ්වඝෝෂයන්ගේ ‘බුද්ධ චරිත’ කාව්‍යයේ ඇය පිළිබඳ තොරතුරු අඩංගු වේ. භරතගේ නාට්‍ය ශාස්ත්‍රයේද සාලබන්ජිකා ගැන සඳහනක් ඇත. භාර්හුත්, සාංචි ආදි ඉන්දියාවේ විහාරයන්හි දක්නා ලැබෙන කැටයම්වල සාලබන්ජිකා යක්ෂණිය දකින්නට පුළුවන. ගසේ වසමින් ගස වටා කකුලක් පටලවාගෙන සිටීමෙන් ප්‍රකාශ වන්නේ එතුමිය ගසේම කොටසක් බවයි. සාලබන්ජිකා යනු පුරාවිද්‍යාඥයින් යෙදූ නමකි. සල් ගසක් බිඳගෙන හෝ නමාගෙන සිටින යක්ෂණිය යන්න එහි අරුතයි. සිංහල ක්‍රමයට නම් ඇය සල් ගස විමානය කරගෙන සිටින්නීය. පිපුන සල් මලක් වැනි ඉතා ප්‍රසන්න මුහුණක් ඇති එතුමියගේ අත් පා සහ ගෙල රන් මුතු මැණික් ආභරණවලින් සැරසී තිබේ. ඇතැම් කැටයම්වල, ඉනේ මණිමේඛලාවක් සහිත ඇය සිටින්නේ නිරුවතිනි.
මහාවංශයේ සඳහන් පරිදි, පණ්ඩුකාභය චරිතයට යකුන් හා බොහෝ සම්බන්ධකම් ඇත. ඔහු රජ වන්නේ ද රට ඒකඡත්‍ර කරන්නේද යක්ෂයින්ගේ ආධාරයෙනි. යක්ෂ නායකයෙකු යටතේ පැවති අනුරාධපුරය ලංකාවේ අගනුවර බවට පත් කළ එතුමා නගරය සැලසුම් කළ හැටි මහාවංශයේ විස්තර වේ. ඒ තොරතුරු ඉදිරිපත් කරන වංශකතාකරුවා භාවිත කරන සමහර නම්වලට තේරුම් සැපයීම මහාවංශ පරිවර්තකයන්ට දුෂ්කර කටයුත්තක් විය. යවනසභාගවස්තු සහ පශ්චිම රාජිනී නිදසුන් දෙකකි.
මාලිමා ආණ්ඩුවේ පළමු වැනි කතානායක ලෙස පත් කරගත් අශෝක රන්වල හොර උපාධියක් භාවිත කෙරූවෙකු බව ඔප්පු වී හමාරය. හරිනි අමරසූරියගේ උපාධිය ගැනත් ප්‍රශ්න ඇත. දැනට ප්‍රසිද්ධ වී ඇති ලෙසට ළමා සෞඛ්‍යය විෂයය යටතේ ආචාර්ය උපාධිය හැදෑරූ ඇගේ නිබන්ධනය, ළමා නිවාස සේවකයන්ගේ ජාතිකත්වය පිළිබඳවයි. අගමැති තනතුරට පත් වන තෙක්ම හරිනි අමරසූරිය කටයුතු කළේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිවය. රටේ අනාගත අධ්‍යාපනය පිළිබඳ සැලසුම් සැකසීම මෙවැනි කාන්තාවකගේ අවධානයට යොමු වූයේ කෙසේද? අනාගත පරපුර ජාතිකත්වයෙන් ඈත් කිරීමට ඇයගේ ප්‍රතිසංස්කරණවලට හැකියාව පවතී.
අධ්‍යාපන ඇමති තනතුර සිංහල උරුමය නොසලකන්නන්ට ලබාදීම දිගු කලක සිට සිදු වන සංවිධානාත්මක ක්‍රියාවකි. මහජන ආරක්ෂක ලේකම්වරයා පත් කිරීම කාදිනල් මැල්කම් රංජිත්ගේ වුවමනාවට සිදු වූවක් බව ඇමතිවරයෙකු ප්‍රකාශ කළ නමුදු අධ්‍යාපන ඇමතිවරියගේ පත්වීම කාදිනල්ගේ වුවමනාවක් දැයි තවම කිසිවෙකුගෙන් කියැවී නැත. එහෙත් හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව ජනමතයක් ගොඩනැගෙන විට කාදිනල් මැල්කම් රංජිත් සමලිංගික විවාහවලට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීම අවධානය යොමු විය යුතු කරුණකි. එයින් සිදුවන්නේ මහජන විරෝධය වෙනත් දිසාවකට යොමු කිරීමයි.