Last Updated on 3 months by admin
මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD
සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට.
සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතියා වනාන්තරවලට ආරාම වලට සීමා කරලා තිබෙනවා.
තමන්ට බාර් පර්මිට් පවා තිබෙන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නෙත් නාළිකාවේ නිවේදිකාව ඉදිරියේ පිළිගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයම හෑල්ලුවට ලක් කර තිබීම අවාසනාවන්ත තත්ත්වයක්.
සිංහල බෞද්ධයින් යැයි කියාගන්නා පිරිසෙන් කොටසක් පල්ලියේ පඩි ලැයිස්තුවේ ඉන්නවා. තව පිරිසක් ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. මේක සිංහල බෞද්ධ රටක් නොවන බව කියමින් මුළු රටම නොමග යවනවා.
උදැල්ලට මිටක් නැත්නම් උදලු තලයෙන් වැඩක් ගන්න බෑ. උදලු තලයකට සවි නොකළ මිට, පොල්ලක් විතරයි. සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ. අපේ මුතුන් මිත්තන් වැවයි දාගැබයි සංස්කෘතිය හරහා රට ස්වයංපෝෂිත කළේ සහලින් පමණක් නොවෙයි. වැව් අමුණු සොරොව් තනද්දී, කුඹුරේ ලියැද්දේ වී ඉසිද්දී, ඒ අසලින්ම ආධ්‍යාත්මික ගුණංගද වගා කළා.
අස්වැන්න නෙළුවේ කුඹුරේ පමණක් නොවෙයි. මනසේ පීදුණු “ගොයමින්ද” සිංහලයින් ස්වයංපෝෂිත වී සිටියා. කයින් කුඩා වුවත් මනසින් යෝධයින් වී සිටියා. පිරිහුණු දේශපාලනය කොතරම් දුර ගියාද කිවහොත්, ලෝකයේ වැඩිම ණය බරිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කළා.
අහිමි වුනේ රටේ ධනය පමණක් නොවේ. මිනිසුන් තුළ තිබුණු විනය, දැහැමි බව, සත්‍යගරුක බව, ආත්ම අභිමානය මේ හැම දෙයක්ම කැතිවෙමින් පවතිනවා.
අද මිනිසුන් අසන ප්‍රශ්නය, අපට රැක ගන්නට කියා තවත් දෙයක් ඉතුරු වී ඇද්ද යන්නයි. බංකොලොත් බව ආර්ථිකයට පමණක් සීමා වුණි නම්, එය නිවැරදි කර කර කරගත් විට අපට හිටපු තැනට යන්නට හැකියාව තිබුණා.
ආගමික සමාජ ආර්ථික වංකගිරියක අතරමංව සිටින ජනතාවට නිවැරදි නායකත්වයක් තුළින් අහිමි වූ අභිමානයත් සෞභාග්‍යයත් ලබාගන්න පුළුවන්.