Last Updated on 3 days by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

Pic. credit: deshaya.lk
සෑම වසරකම අප්‍රියෙල් 13 සහ 15 අතර කාලයේ දිනයක් හෝ ඒ දින සියල්ලම හෝ අලුත් අවුරුද්ද වශයෙන් සලකා උත්සව පවත්වන ආසියාවේ රටවල් කිහිපයක් තිබේ. නේපාලය, බුරුමය, තායිලන්තය, ශ්‍රී ලංකාව, භූතානය ආදී වශයෙනි. සමස්ත ඉන්දියාවේම නැතත් මේ කාලයේ එහි ප්‍රාන්ත කිහිපයක අප්‍රියෙල් අලුත් අවුරුදු උත්සවය පැවැත්වේ. තමිල්නාඩුව, කේරළය, ඔඩිෂාව, බිහාරය, හිමචල්, පංජාබය, එවන් ප්‍රාන්ත කිහිපයකි. මේ හැම තැනකම අවුරුද්ද හැඳින්වෙන දේශීය නමක් ඇත. පංජාබයේ වෛසාකි (බෛසාකි), තමිල්නාඩුවේ පුතන්ඩු (පුතුවරුෂම්), කේරළයේ විෂු, ගුජරාටයේ අක්ෂය ත්‍රිති, ඔඩිෂා පනසංක්‍රාන්ති (මහා විෂුබා සංක්‍රාන්ති) ලෙසිනි.
වර්තමාන ශ්‍රී ලංකාව පැරණි ලේඛනයන්හි සිංහල දේශ නමින් සඳහන් වේ. ඒ කාලයේ අලුත් අවුරුද්ද හැඳින්වී ඇත්තේ සිංහල අවුරුද්ද යනුවෙනි. සිංහල දේශය, සිංහල භාෂාව, සිංහල හාල් ආදී ව්‍යවහාරයන් සමග සමාන කරන කල්හි සිංහල අවුරුද්ද යනු රටේ විසූ සිංහල නමැති මනුෂ්‍යයින්ගේ අලුත් අවුරුද්ද බව හොඳාකාරව පැහැදිලි වේ. සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව භික්ෂුන් වහන්සේ ප්‍රධාන විවිධාකාර උගතුන් විසින් පත්තර සඟරාදියට ගතවූ කාලයේ සපයා ඇති ලිපි දහස් ගණනකි. පැරණි සඟරා පුවත්පත් පරීක්ෂා කිරීමෙන් මේ ගැන වැටහීමක් ලබාගැනීමට පුළුවන. ඒ ලිපි බොහෝමයකින් පැහැදිලි වන්නේ බටහිර අධ්‍යාපනයට අනුව සිතමින් සිංහල අලුත් අවුරුද්ද යනු කුමක්දැයි පැහැදිලි කිරීමට දරන උත්සාහයයි.
මෑත කාලයක සිට, සිංහල අවුරුද්ද, සිංහල දෙමළ හෝ සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වීමේ ප්‍රවණතාවක් තිබේ. දේශපාලනඥයින්ගේ පටන් මාධ්‍යකරුවන් දක්වා විවිධ තරාතිරමේ උගතුන් මෙන්ම නූගතුන් ද මේ ගැන අදහස් ඉදිරිපත් කර තිබේ. සිංහල හින්දු/දෙමළ අවුරුද්ද, අස්වනු නෙළීමෙන් පසු සිදු කෙරෙන ජ්‍යොතිර් ශාස්ත්‍රය මුල්කරගත් සංස්කෘතික උළෙලක් බව ඔවුන් වැඩිදෙනාගේ අදහසයි. මෙය දැනුම ප්‍රකාශ කිරීමක් නොව, ඇමරිකාව ප්‍රධාන බටහිරින් ඉදිරිපත් කරන ජාතීන් අතර සමානතා වැඩපිළිවෙළට අවශ්‍ය ආකාරයට හැසිරීමකි. තමිල්නාඩුවේ තෙලිඟු බස කතා කරන විශාල ජන පිරිසක් වෙසෙති. නමුත් ‘තමිල් පුතන්ඩු’ උළෙලේ වෙනසක් සිදුකරමින් ඊට තෙලිඟු කතාකරන ජන කණ්ඩායම සම්බන්ධකර ගැනීමට තමිල්නාඩු පාලකයින් සිතා නැත.
සිංහල අවුරුද්ද මේ ආකාරයට වෙනස් වී ඇති නමුත් සිංහල රට, සිංහල හාල් වැනි නාමයන්, සිංහල දෙමළ රට, සිංහල දෙමළ හාල් යනාදී වශයෙන් තවම වෙනස් වී නැත. ඒවාද ඉදිරි කාලයේ වෙනස්වීමට ඉඩ තිබේ.
පෘතුගීසින් ලංකාවේ කොටස් අල්ලාගෙන සිටි කාලයේ ගෝවේ විසූ ගාර්සියා දෙ ඔර්ටා නමැති පෘතුගීසි දේවගැතිවරයා සිංහල බෙහෙත් පැළෑටි පිළිබඳ නාම ලේඛනයක් පිළියෙල කරමින්, ‘සිංහලයින්ගේ අලුත් අවුරුද්ද, රණකාමීන්ට නව ජීවනය ලබාදීම සඳහා පුණ්‍ය කාලයකින් පසුව ඇරඹෙන මජා උත්සවයකැ’යි සඳහන් කරයි. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ අනුදැනුමින් යටත් විජිත ලේකම් කාර්යාලයට යැවූ ලිපිවල, සිංහල අවුරුද්ද සඳහන් වෙන්නේ, කඩු සේදීමේ උත්සවයක් හැටියටය. සිංහල අවුරුද්ද ගැන අදහස් දක්වන කිසිවකු, මෙවැනි විදේශිකයන් ඒ ගැන පළ කර ඇති අදහස් පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් දක්වා නැත. ඓතිහාසික මූලාශ්‍ර වශයෙන් විදේශීය වාර්තාවන්හි ඇති වැදගත්කම ඉතිහාසය ඉගෙනීමේදී පුන පුනා ප්‍රකාශ වේ. එමනිසා අලුත් අවුරුද්ද ගැන අදහස් දැක්වීමේ දී අඩුම තරමින් රොබට් නොක්ස් වැන්නන් සිංහලයින් ගැන සඳහන් කරන්නේ කුමක්ද යන කාරණාව ගැනවත් අවධානය යොමු කළ යුතුය. රොබට් නොක්ස්ගේ පොතේ සිංහල පරිවර්තනය ප්‍රකාශයට පත්වී ඇත්තේ ‘එදා හෙළදිව’ නමිනි. එයින් කියවෙන්නේ එදා සිංහල දිවයින කුමක්ද යන්නයි. හෙළ යෙදෙන්නේ සිංහල යන අරුතිනි. එළබටු, එළහරක්, එළවරා ආදී ‘එළ‘ නම්වලිනුත් සිංහල කතාවක් ප්‍රකාශ වේ.
අප්‍රියෙල් අලුත් අවුරුද්ද පවත්වන ඉන්දියාවේ ප්‍රාන්ත සහ ආසියාවේ රටවල් කිහිපය අතුරින් එය ජාතික උත්සවයක් වශයෙන් සලකමින් ඉතාම උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන්නේ ලංකාවේ සහ පංජාබයේ පමණකි. සිංහල අවුරුද්ද ආරම්භ වූ වර්ෂයක් නැත. සික් ජාතිකයෝ, පංජාබයේ වෛසාකි උත්සවයේ ආරම්භය ඉදිරිපත් කරති. ඔවුන් පැහැදිලි කරන ලෙසට එය පැවැත්වෙන්නේ ගුරු ටෙග් බහදුර් මරා දැමීමේ සිද්ධිය (1699) සැමරීමක් වශයෙනි.
ඉස්ලාම් ආගම නොදන්නා රට වැසියන් ඉස්ලාම් ආගමිකයන් කිරීම, දිල්ලියේ සුල්තාන්වරුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියක් වූයේය. ඔවුන් තුර්කියේ සිට දිල්ලිය දක්වා පැමිණියේ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමිනි. මේ සඳහා ක්‍රම ගණනාවක් අනුගමනය කර තිබේ. ජිස්යා නමැති අයබද්ද පැනවීම එක් ක්‍රමයකි. බදු ගෙවීමට අපොහොසත් වූ ජනයාට සිරදඬුවමින් ගැලවිය හැකි එකම මග වූයේ ඉස්ලාම් ආගම පිළිගැනීමයි. අවුරාංශිබ් නමැති සුල්තාන්වරයා, ඉස්ලාම් ආගමිකයන් බවට පත් නොවෙන මිසදිටුවන් මරණයට පත්කිරීමට නීතියක් පැනවූවේය. සික්වරුන්ගේ නායක ගුරු ටෙග් බහදුර්තුමා මුස්ලිම් බලයට යට වී ආගම වෙනස් නොකරන්නැයි ජනතාවට කීවේය. මේ නිසා සුල්තාන්ගේ හමුදාව ගුරු ටෙග් බහදුර්තුමන් අත්අඩංගුවට ගත්තේය. නමුත් එතුමා සිය මතය වෙනස් නොකළේය. අවුරාංශිබ්ගේ අණ පරිදි ප්‍රසිද්ධියේ එතුමාගේ හිස ගසා දමන ලදී.
මරණ දණ්ඩනය ලැබූ ගුරු ටෙග් බහදුර්තුමාගේ පුත් ගුරු ගෝවින්ත් සිං, සිය ජාතියට නායකත්වය දීමට ඉදිරිපත් වූයේය. සික් පුරාවෘත්තයන්ගෙන් පැවසෙන ආකාරයට සික් ජාතිකයින් රැස්කරවූ ඔහු කුඩාරම ඇතුළේ සිට කඩුවක් ඔසවාගෙන වේදිකාවට පැමිණ, ‘මට ආගම හා ජාතිය වෙනුවෙන් හිසක් අවශ්‍යයි’ කීවේය. එවිට රෙදි සෝදන වෘත්තිය කළ තරුණයෙක් ඉදිරියට පැමිණියේය. ගුරු ගෝවින්ත් සිං, තරුණයා කුඩාරම ඇතුළට කැඳවාගෙන ගොස් ටික වේලාවකින් කඩුව ඔසවාගෙන පැමීණියේය. එය ලෙයින් නෑවී තිබුණි. “මට තව හිසක් අවශ්‍යයි” ඔහු කීවේය. එවර කරනවෑමියෙක් ඔහු ඉදිරියට ගියේය. මේ ආකාරයට ආගම හා ජාතිය වෙනුවෙන් එතුමාට හිස දීමට වෘත්තීන් පහක් (ජාති) නියෝජනය කරමින් සික් ජාතිකයින් පස් දෙනෙක් ඔහු වෙත පැමිණියහ.
ගුරු ගෝවින්ත් සිංතුමා කර ඇත්තේ ජාත්‍යනුරාගය වඩවන ක්‍රියාවකි. හිස් ගැසුම් කැවුන් යයි ජනතාව සිතූ පුද්ගලයින් පස්දෙනා සභාව ඉදිරියට කැඳවූ එතුමා සික් ජාතිකයින් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති සංග්‍රහයක් ප්‍රකාශයට පත් කළේය. එතැන් පටන් සික්වරු එකම ජාතියක් වී ‘සිං’ නම භාවිත කරති. සිං යනු සිංහයා යන අර්ථයේ යෙදේ. සිංහයාගෙන් ප්‍රකාශ වන්නේ සික් ජාතිකයින්ගේ අභීත භාවයයි. අප්‍රියෙල් 13 වැනිදා සික්වරුන්ගේ ජාතික දිනය බවට පත්වේ. එය බෛසාකි දිනයයි.
පංජාබයේ බෛසාකි උත්සවය පැවැත්වෙන අප්‍රියෙල් 13, බ්‍රිතාන්‍ය සොල්දාදුවන් අම්රිත්සාර් දෙවොලට රැස්වූ සික් බැතිමතුන් සංහාරය කළ දිනය වශයෙන් ද වැදගත් වේ. සික්වරු වාර්ෂික බෛසාකි උත්සවය පැවැත්වීමට අම්රිත්සාර්හි දේවාලයට රැස්ව සිටියහ. බ්‍රිතාන්‍ය හමුදාවේ අණදෙන නිලධාරියෙක් දේවාලය වටකර අවුරුද්ද සමරන සික් ජාතිකයින් සංහාරය කළේය.
රණකාමි පංජාබි බෛසාකි උත්සවය නැටුම් ගැයුම් වැයුම් ඇතුළු සිරිත් රාශියකින් වර්ණවත් වූ ජාතික උළෙලකි. සියලු බෛසාකි සංස්කෘතික අංග අතීතයේ සිට පැවතෙන පංජාබින්ගේ ජාතික උරුමයට අයත් මෙවලම්ය. බෛසාකි නම පවා ඔවුන්ගේ ජාතික උරුමයකි. ඇමරිකාවෙහි පවා ඉතා ජනප්‍රිය, සික්වරුන්ගේ ‘බන්ග්රා’ සංගීතය සකස් වී ඇත්තේ පංජාබි පාරම්පරික ජන නැටුම් හා සංගීතය ඇසුරෙනි. ලංකාවේ තරුණ පරපුර ඇමරිකාවේ පොප් රැප් ආදි සංගීත ක්‍රම අනුකරණය කරමින් දඟලන නමුදු, පංජාබින්ට සමාන ජන නැටුම් සහ ගායනා ඉංග්‍රීසින්ට යටත් වනතුරුම සිංහලයින් අතර පැවතුන බවට තොරතුරු පවතී. සිංහලයෝද, පංජාබින් මෙන් කොණ්ඩය නොකැපූහ. තොප්පාරමක් පැලැන්දහ. උල් පිහියක් භාවිත කළහ. ගුරු ගෝවින්ත් සිංතුමා හමුවට පැමිණි පංච පුද්ගයන්ගෙන් හෙළිවන්නේ සික් සමාජයේ පැවති ‘ජාතිය’, කුල ක්‍රමයක් නොවන බවයි. සුල්තාන්වරු ඉස්ලාම් ආගම පැතිරවීමේදී ඉන්දියානුවන්ගේ ‘ජාතිය’ ප්‍රයෝජනයට ගත්තෙ කොහොමද කියල පැහැදිලි කිරීම වටිනවා. එහි පාඩුව වටහාගත් සික් නායකයා සියලුම සික්වරුන් එකම ජාතියක් බවට පත්කර තිබේ.
පංජාබි බෛසාකි උත්සවය සහ ඉන්දියාවේ බිහාර වැනි ප්‍රාන්තයන්හි පැවැත්වෙන වෛසාකි අවුරුදු උත්සවය, අතීත ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ අවුරුද්දෙන් පසුව එළඹෙන වෙසක් මාසයේ වෙසක් (වෛශාක්‍ය) උත්සවය පැවැත්වේ. පංජාබයේ බෛසාකි උත්සවය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ගවේෂණය කරන්නෙකුට සිංහල අවුරුද්ද පිළිබඳව මෙන්ම සිංහල ජාතියේ මුල පිළිබඳවද වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකිය.
(2019 අප්‍රේල් 14 සතිඅග අරුණ පුවත්පත)