සිංහල දේශයේ පොත්පත් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයටත් යැව්වා

Last Updated on 12 hours by admin

පෙරදිග දැනුම අරාබියට ගියේ කෙසේදැයි පැහැදිලි කෙරෙන බොහෝ තොරතුරු තිබේ. සැඟවී තිබුණු ඒ ඉතිහාසය හෙළිවන්නට වූයේ යටත්විජිත කාලයේදී යුරෝපීය ඉන්දු ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අරාබිය සහ පෙරදිග ඉතිහාසය පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළ පසුවය. මෙම සොයාගැනීම් පිළිබඳ විස්තර අඩංගු ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් ඇත. ඒ අතරින් සමහරක් ප්‍රකාශයට පත්ව තිබේ. සිංහලට පරිවර්තනය වූ ලිපි ඇත්තේ අල්පයකි. ගෞරවනීය තියෝඩොර් ජී. පෙරේරා දේවගැතිතුමන් ගණිතය පිළිබඳව සිංහලෙන් ලියූ ලිපියක්, එතුමා ‘ඉන්ඩියොලොජිස්ට්ලාගේ’ ලිපි කියවා භාරත දැනුම අරාබි සහ යුරෝපා රටවල් වෙත යාම ගැන දැනුවත්ව සිටි බව පැහැදිලි කරයි. මේ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි:

“චෛතසික ශක්තිය සහ සූක්ෂ්ම ඥානයද වර්ධනය කොට ලීමෙන් ජනයාගේ ස්මෘති බලය ප්‍රබෝධ කරනු පිණිස ගණිත විද්‍යා තොමෝ අතිශය පිටුවහල් වන්නීය. තර්ක ව්‍යාකරණාදී බාහිර ශාස්ත්‍රයන් මෙන්ම මේ මාහැඟි ශාස්ත්‍රයද පෞරාණික හින්දු දේශවාසීහු දැන සිටියෝ යයි ද තදාශ්‍රිත බටහිර ආසියාතික ජාතීන්ගේ මාර්ගයෙන් අපරදිග රටවලද එම ශාස්ත්‍රය පැතිර ගියේය යනුද නිශ්චිතය”.

අප්‍රිකාවට ඉස්ලාම් ආගම පැතිර යන්නේ අබුසයිඩ් ඉස්ලාම් අධිරාජයාගේ දැවැන්ත යුද්ධ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඉස්ලාම් සේනාවෝ මොරොක්කෝවෙන් නොනැවතී අයිබීරියානු අර්ධද්වීපයේ කොටසක් ද අල්ලා ගත්හ. ඔවුහු ස්පාඤ්ඤයේ කොර්ඩෝබෝ නගරයේ ආගමික මූලස්ථානයක් ගොඩනැගූහ. එය ඉස්ලාම් ආගමේ උන්නතිය උදෙසා වැඩ රාශියක් සිදුවූ තැනකි. පෙරදිගින් ගෙනගිය පොත් පත් විශාල සංඛ්‍යාවක අරාබි පරිවර්තන එහි එකතු වූයේ, කොර්ඩෝබෝ ඉස්ලාම් ආගමික මූලස්ථානයක් වීම හේතුවෙනි. ටොලේඩෝ ස්පාඤ්ඤයේ ප්‍රධාන ක්‍රිස්තියානි නගරය වූයේය. අරාබි ජාතිකයන් පෙරදිගින් රැස්කරගෙන ඔවුන්ගේ භාෂාවනට පරිවර්තනය කරගෙන තිබූ පොත් ලබාගෙන ලතින් භාෂාවට පරිවර්තනය කිරීම මෙහි ප්‍රධාන දේවස්ථානයෙන් සිදුවූ ක්‍රියාවකි.

පසු කලෙකදී, පෙරදිග දැනුම අරාබියට ගිය හැටි විස්තර කෙරෙන තොරතුරු තමන් පිළියෙල කළ ඉතිහාසයෙන් ඉවත් කළ බටහිර උගත්තු, අරාබිය දැනුමේ උල්පත බවට තීරණය කර නිහඬ වූහ. මොවුන් පිළියෙල කළ ඉතිහාසය, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය විසින් ලංකාව ඉන්දියාව වැනි රටවල අධ්‍යාපන පොත පතට ඇතුළු කරන ලදී. ඒවායෙන් ඉගැන්වෙන්නේ යුරෝපීය විද්‍යා පුනර්ජීවනයට අරාබින්ගේ දැනුම ආධාර වූ බවයි.

අරාබිය දැනුමේ උල්පත යැයි බටහිර පඬුවන් කියන්නට හේතුවක් තිබේ. ඒ යුදෙව් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් තුනටම අනුව, මිනිස් වර්ගයාගේ ආදි පුරුෂයා ආබ්‍රහම් වීමයි. ඔහු අරාබියේ ජීවත් වූවෙකි. බයිබලයේ හැටියට මෝසස්ට දෙවියන් වහන්සේ අරාබියේ දී හමුවූයේය. ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වන යේසුස් වහන්සේ සහ කුරානයේ කියවෙන මොහමඩ්තුමා අරාබියේ විසූවෝ වෙති.

අරාබියට අමතරව බටහිරට දැනුම සැපයූ රටක් වශයෙන් බටහිර පඬියන් සඳහන් කරන්නේ ග්‍රීසියයි. විද්‍යාව තර්ක ශාස්ත්‍රය දර්ශනය පමණක් නොව ඔපෙරාව වැනි නාට්‍යක්‍රම පවා ග්‍රීසියෙන් යුරෝපයට ලැබුණු හැටි පැහැදිලි කරමින් යුරෝපා පඬියන් ලියූ පොත් විශාල සංඛ්‍යාවකි. නූතන දර්ශනවාදයේ ආරම්භය විස්තර කරන සියල්ලෝම, සොක්‍රටීස් ප්ලේටෝ ඇරිස්ටෝටල් ආදී වශයෙන් ග්‍රීකයන් පිරිසකගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරති. නූතන වෛද්‍ය විද්‍යාවේ ආරම්භය ගැන විස්තර කෙරෙන ඕනෑම ලියවිල්ලක නූතන වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් ඩිමොක්‍රීටස්ගේ නම සඳහන්ය. ඩිමොක්‍රටීස් දැනුම සොයා භාරතයට පැමිණියෙකි. ඔහු වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ ඉගෙනුම ලැබුවේ භාරතයේදීය.

ලෝකයේ පැරණිම වෛද්‍ය ග්‍රන්ථය වශයෙන් සැලකෙන ලේඛනයක් ඇත. මෙය වර්තමාන චීන තුර්කිස්තානයට අයත් පෞරාණික විහාරස්ථානයක තිබී සොයාගන්නා ලද්දකි. චීන තුර්කිස්තානය යනු වර්තමානයේ බෞද්ධයන් වඳ වූ මුස්ලිම් ආගමිකයන් පමණක් ජීවත් වන චීනයට අයත් භූමි කලාපයකි. එය අතීතයේ බෞද්ධයන්ගෙන් හා වෙහෙර විහාරවලින් පිරී පැවති බෞද්ධ රටකි. අත්ලියවිල්ල සොයාගත් පුද්ගලයා හැමිල්ටන් බවර් නමැති බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියාට එය භාර දුන්නේය. බවර්ගෙන්, ඉන්දියාවේ පැරණි පොත් එකතු කළ බෙංගාල රාජකීය ආසියාතික සමිතියේ නිලධාරියකුට පොත ලැබුණි. දැනට එංගලන්තයේ ඇති මෙම පොත හැඳින්වෙන්නේ බවර් අත්පිටපත හැටියටය.

ආයුර්වේද සංහිතා පිළිබඳ මූලික තොරතුරු හෙළිකරන මෙම පොත වල්ලපට්ටා පොතු පදම් කර නිමැවූ පත්ඉරුවල ලියා ඇත්තේ කිසියම් භික්ෂුවක් විසිනි. උන්වහන්සේ වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ භික්ෂුවකි. එහි අඩංගු සංස්කෘත භාෂා අක්ෂර අනුව, එය ගුප්ත රාජ සමයට අයත් එකක් යැයි උගත්තු පවසති. ආයුර්වේද දැනුම පන්සල් හා භික්ෂුන් වහන්සේ ආධාරයෙන් රට රටවලට ගමන් කළ හැටි පැහැදිලි කිරීමට, බවර් ලියවිල්ල සාක්ෂ්‍යයක් වශයෙන් ගැනේ. පොත්පත් යනු භාරත දැනුම ග්‍රීසිය රෝමය මිසරය සිරියාව පලස්තීනය ආදී රටවලට ගිය එක ක්‍රමයකි.

පිතගුරුස්තුමා (පෛතගරස්) ඉන්දියාවට පැමිණියේය යන්න මනඃකල්පිතයක් නොවේ. යුරෝපීය ජාතිකයන් ගණනාවක් මේ ගැන තොරතුරු සොයා ඉදිරිපත් කර තිබේ. ඇල්බට් බර්කි, එම්. එන්. මර්ලෝ, ජී. ඒ. ඇස්. රීඩ් ඔවුන් අතරින් කිහිපදෙනෙකි. තවමත් ලංකාව පිළිගන්නේ පිතගුරුස් ගණිතඥයකු වශයෙනි. එතුමා බුද්ධ ශ්‍රාවකයකු බව කිසිම පාඩම් පොතක අඩංගු වී නැත්තේ යුරෝපීය පඬියන් ඒ කොටස අතහැර දැමීමට තීරණය කළ හේතුවෙනි. බටහිරින් ඉතිහාසය ලෙස සම්මත කරගෙන තිබෙන කයිකතාන්දරවලට විරුද්ධව අදහස් පහල කිරීමට හැකි නමුදු ඒවා රටේ ජාතික අධ්‍යාපනයට හෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට නොහැකිය. අපේ දැනුම බවට පත්වන්නේ බටහිර දැනුම වශයෙන් සම්මත දේ පමණි. පරිසරය ආරක්ෂා කිරීමේ වටිනාකම අධ්‍යාපනයට ඇතුළුවූ පිළිවෙළ කදිම නිදසුනකි.

ඉන්දු නිම්නය දක්වා මහා භූමි කලාපයක් යටත් කරගත් ඇලෙක්සැන්දර් සෙනවියා සිය බලය තහවුරු කිරීමට යටත් කරගත් ප්‍රදේශයන්හි ගම් ජනපද නගර පිහිටුවූයේය. ඔහු ප්‍රධාන නගර හතරක් ගොඩනැංවූ බවට සාක්ෂ්‍ය පවතී. මෙම වෙළෙඳ නගර හතරේම අධ්‍යාපන ආයතන සහ පුස්තකාල පිහිටුවනු ලැබීම විශේෂ කාරණාවකි. මිසරයේ ඇලෙක්සැන්ද්‍රියා කීර්තිමත්ම නගරය වූයේය. එහි පිහිටුවා තිබූ මහා පුස්තකාලය පිළිබඳව යම් යම් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය ගොඩනැංවීමට එහි නගරාධිපතිවරයා මහා උත්සාහයක් දැරූ බව කියවේ. ඊට වැඩියෙන්ම පොත් ලබාගත්තේ භාරතයෙනි. මෙවැනි පොත් ග්‍රීක භාෂාවට පරිවර්තනය කළ භාෂා පරිවර්තකයන් පිරිසක් පුස්තකාලයට සම්බන්ධ වී කටයුතු කළහ. ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයට සිංහල දේශයෙන් පොත්පත් ගෙන්වා ගත් බවට සාක්ෂ්‍ය තිබේ. බටහිර දැනුමක් සේ ඉදිරිපත් වුවහොත් විනා ඒ පිළිබඳ සාක්ෂ්‍ය දැක්වීම බොරු වෑයමකි.

රුවන්වැලි සෑයට මුල්ගල තැබීමේ උත්සවයට ඇලෙක්සැන්ද්‍රියා නුවර සිට භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් පැමිණි බව වංශකතාවේ සඳහන් වේ. මේ ඇලෙක්සැන්ද්‍රියා නුවර මිසරයේ පිහිටි නගරය නොව වර්තමාන ඇෆ්ගනිස්ථානයෙහි වූ නගරයක්ය යන්න ඇතැම් උගතුන්ගේ අදහසකි. එයින් මිසර ඇලෙක්සැන්ද්‍රියාවේ භික්ෂුන් වහන්සේ නොසිටි බවක් නොකියවේ. ටොලමි මිසරයේ ඇලෙක්සැන්ද්‍රියා නුවර විසූවකු බවට සැකයක් නැත්තේ එය බටහිර පිළිගැනීමක් බැවිනි. ටොලමිගේ ලෝක සිතියමේ ටැප්‍රබෝන් නමින් ලංකාව සිතුවමට නගා තිබේ. එහි ට්‍රැප්‍රබෝනයේ නගර ග්‍රාම වරාය ආදිය ලකුණු කර ඇත. මේ අතර අනුරාධග්‍රාම් ද දක්නට පුළුවන. සිංහල දේශයට මිසරයේ සිට ගමන් කළ හැකි ගමන් මග ද එහි ඇත.

පසුගිය කාලයේ ටොලමිගේ ශාස්ත්‍රීය කටයුතු පිළිබඳව සොයා බැලීම් ගණනාවක් සිදුවී තිබේ. ඒ සමහර තොරතුරු පොත් වශයෙන් ප්‍රකාශයට පත්ව තිබේ. මහාචාර්ය රොබට්ස් නිව්ටන්ගේ පොත නිදසුනකි. ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයාධිපති වශයෙන් කටයුතු කළ ඇරතෝස්තිනේස් Erathosthenes ගේ පොත්වලින් කොටස් උපුටාගෙන, ටොලමි පොත සකස් කර ඇති බව නිව්ටන්ගේ පොතින් පැහැදිලි කෙරෙයි. ඇරස්තෝස්තිනේස් ගණිතඥයෙකි. භූගෝල ශාස්ත්‍රඥයෙකි. ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය ගොඩනංවමින් ලෝකය සමග සම්බන්ධකම් පැවැත්වූ බහුශ්‍රැතයෙකි. ටොලමිගේ ලෝක සිතියම සහ ටැප්‍රබෝනය ඇරතෝස්තිනේස්ගේ ඉදිරිපත් කිරීමක් නම් ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයාධිපතිව සිටි ඒ වියතා ලංකාව ගැන හොඳින් දැන සිටියෙකි. ඔහුගේ පොත්පත් සහ ගණිත දැනුම ගැන තොරතුරු දැනගැනීමට පෙර මහාචාර්ය නලින් ද සිල්වා ‘කාලය’ වෙබ් සඟරාවට ඉදිරිපත් කළ ‘ශුන්‍යය සංකේතය සිංහලයන්ගේ ද’ යන ලිපිය කියවිය යුතුයි.

මෙම පුස්තකාලයේ තිබුණු බොහෝ පොතපත පර්සියානු හා අරාබි භාෂාවට පරිවර්තනය වූ බවට තොරතුරු තිබේ. අරාබි ගණිතය, ඉලක්කම් හා වෙදකමට පදනම වැටී ඇත්තේ ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයෙනි. ජුලියස් සීසර් රෝම අධිරාජයා ඇලෙක්සැන්ද්‍රයා පුස්තකාලය විනාශ කිරීමට ඉදිරිපත් වූයේය. ක්‍රිස්තියානි යුරෝපයක් බිහි වූ පසු ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලයෙන් සියලු ‘පැගන්’ (මිසදිටු) පොත් ඉවත් කරවීමට පාප්තුමා කටයුතු කළේය.

තුර්කි ඉස්ලාමික හමුදාවෝ අලෙක්සැන්ද්‍රියා පුස්තකාලය ගිනි තබා උදුරා දැමූහ. ඒ පුනර්ජීවන සමයට පෙර පෙරදිග දැනුම අතුරුදහන් කෙරුණු පිළිවෙළයි. පුනර්ජීවන සමයෙන් පසුව මෙම ක්‍රියාව සිදුවන්නේ යටත් විජිත අධ්‍යාපන ක්‍රමය ආධාරයෙනි.

(2019 අගෝස්තු 18 වැනිදා සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top