සුඛාවතී රාජ්‍යයක් හදන්න යන සිංහල බෞද්ධයා

Last Updated on 5 days by admin

ඉන්දියාව ජාතක කළ දෙමළ කොටි හමුදාව පරදවා රට එක්සේසත් කිරීම මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම හපන්කමයි. ඉන්දියාව එය වරදක් සේ නොසැලකුවාය. ඊට එක් හේතුවක් ලංකාවේ උතුරේ බිහි වන ස්වාධීන දෙමළ රට ඉන්දියාවට තර්ජණයක් වීමට ඇති ඉඩකඩයි. අතීතයේ පැවති චෝල රාජ්‍යයේ සිතියම යළි සැකසීමට වෙහෙසෙන තමිල්නාඩුව ලංකාවේ කොටි සමග එක් වී ඉන්දියාව බෙදීමට කටයුතු කරන බව ඉන්දියාවට වැටහී තිබුණි.

මහින්ද රාජපක්ෂ ඉන්දියානු සාගරයේ බලය ගොඩනැංවීමට චීනයට හම්බන්තොට වරාය ලබාදීම සමාව දිය නොහැකි වරදක් ලෙස ඉන්දියාව සලකා තිබේ. මේ නිසා රාජපක්ෂවරුන්ගේ බලය බිඳීම ඉන්දියාවේ වුවමනාවක් වශයෙන් සැලකිය හැක. ගෝඨාභය රාජපක්ෂ පලායාම රාජපක්ෂවරුන්ගේ වැටීමේ තීරණාත්මක අවස්ථාවයි. සිද්ධිය පසුපස ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සිටියා යැයි බොහෝ දෙනා සිතන්නේ මැටාහි සංසරණය වූ පුවත් විශ්වාස කිරීමෙනි. ඊට හේතුව ඇය බෝන් එගේන්කාරියක වීම යයි සිතන පිරිසක් ද සිටිති.

ගෝඨාභය පලාගියේ රට පුරා ඇවිලුන කලකෝලහාල සමගිනි. පොහොට්ටුවේ මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ ගෙවල් කෝලහාලකරුවන්ගේ ප්‍රහාරවලට ලක් විය. ඒ අවස්ථාවේ ජනාධිපති පුටුවට පැමිණි රනිල්ට මුවා වී ආරක්ෂා වීමට පොහොට්ටුවේ මැති ඇමතිවරු සිතූහ. ඔවුන්ගේ ක්‍රියාව නිසා පොහොට්ටුවේ බලය හොඳටම පිරිහිණි. ඊයේ මැතිවරණය ඊට සාක්කියකි. රාජපක්ෂ බලය ගිරුවා පත්තුවෙනුත් අතුගෑවුණි.

සජිත් ප්‍රේමදාස කිසිම ආකාරයක උපායශීලී දේශපාලනඥයෙකු නොවේ. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය හැර දමා කොළඹට ඒම නිදසුනකි. දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයින් බහුලව වෙසෙන කොළඹ තම ජයකනුව යයි ඔහුට සිතුණි. ඔහුගේ පියා ආර්. ප්‍රේමදාස මැද කොළඹ පුත්‍රයා වූයේ අසිංහල ඡන්ද බලයෙන් යැයි ඔහු දැනගන්ට ඇත. මෙවර මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ බලය සමගි බලවේගයට නොලැබුණි. එය දිනුවේත් මාලිමාවයි.

පසුගිය මාසයේ රුසියාවේ පැවති බ්‍රිස්ක් සමුළුවට ලංකාවේ ජනාධිපතිවරයා සහභාගි නොවූයේය. රුසියාව විසින් සංවිධාන කළ එම සමුළුවට චීනය හා ඉන්දියාව සහභාගි වූහ. රටවල දෙක අතර පවතින දේශසීමා අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාදීමට පුටින් මහන්සි ගත්තේය. ලෝකය ජය ගැනීමට ඉදිරිපත්ව සිටින මෙම යෝධ රටවල් දෙකේ නායකයින් රුසියාවේ මිතුරෝ වෙති.

රැඩිකල් ඉස්ලාම් ව්‍යාපාරය ඉන්දියාවට ඇති ලොකුම තර්ජණයකි. චීනයටද ඒ තර්ජණය තිබේ. චීනය සහ ඉන්දියාව මායිම්වලට සටන් කරද්දී, කාශ්මීරය කේන්ද්‍ර කරගෛන රැඩිකල් ඉස්ලාම්වාදය මෙම රටවල් දෙකේ පැතිරේ. බ්‍රිස්ක් සමුළුවට සහභාගි වූ මෝදි සහ ෂි ජින්පින්ග් අතර ඇති වූ සාකච්ඡාවේ ප්‍රධාන වුවමනාවක් වූයේ දේශසීමා ගැටලුව විසඳා ගැනීමයි. මෙවැනි ක්‍රියාවක දී දෙපැත්තටම අලාභ සිදු වේ. ලංකාවේ බලය ව්‍යාප්ත කරගැනීමට ඉන්දියාවට ඉඩදීමෙන්, චීනයට ඔවුන් ලබන වාසිය පියවා ගැනීමට පුළුවන.

ලංකාවෙන් පිට කොහේ ගියත් ලාංකිකයන් පෙනෙන්නේ ඉන්දියානුවන් ලෙසිනි. ඉන්දියානුවන් හා ලාංකිකයන් අතර පුදුමාකාර සමානකමක් තිබේ. ලංකාව ඉන්දියාවේම කොටසක් යන හැඟීම බොහෝ ඉන්දියානුවන්ට තිබේ. මෝදිගේ ‘විකසිත් භාරත්’ දැක්වෙන සිතියම් බැලුවත් ඒ සියල්ලකටම ලංකාව ඇතුළු වී තිබේ. ශ්‍රී ලංකාව රාවණා යක්ෂයාගේ රට යයි බොහෝ හින්දු ආගමිකයෝ සිතති.

ලංකාව පමණක් නොව මාල දිවයිනද ඉන්දියාවට අයත් රටකැයි හැඟීමක් බොහෝ ඉන්දියානුවන්ට තිබේ. මෙය නොසලකා පසුගිය මහමැතිවරණයෙන් ජයගෙන ඉන්දියානු සෙබළුන් රටින් පැන්නූ මාල දිවයින් ජනාධිපතිවරයා දුර්වල කිරීමට ඉන්දියාව සමත් විය. ලංකාවට එන ඉන්දියානු සංචාරකයන් වැඩි වන්නට හේතුව ඉන්දියාව මාලදිවයිනට අකමැති වීමයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගැලවුම්කාරයා වශයෙන් කටයුතු කරයි.

බංගාලි දේශ කෝලහාලය ඇවිලෙද්දී ෂෛක් හසීනා අගමැතිනිය ඉන්දියාවට පලා ආවාය. බංගාලි දේශයක් බිහි කළේ ඉන්දියාවයි. එය මහාභාරතයට අයත් බිමකැයි ඉන්දියානුවෝ සිතති. හස්නා වහා ආපසු එවන්නැයි බංගාලි දේශයේ දේශපාලකයෝ ඉන්දියාවට බලපෑම් කරන්ට ගත්හ. එවිට අදානි සමාගම හිඟ මුදල් ඇති බව කියා ඉන්දියාවෙන් බංගාලි දේශයට සැපයෙන විදුලිය නවතා දැම්මේය. බංගාලි දේශය ඉන්දියාව හමුවේ දණින් වැටී සිටියි.

ලංකාවේ පැවැති මහමැතිවරණ ප්‍රතිඵල ගැන තම තම නැණ පමණින් අර්ථ දක්වන්නෝ පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් අපේක්ෂා කරන අන්දමේ විනිශ්චයක් නැති වූ නිසා මැල්කම් රංජිත් කාදිනල් ප්‍රධාන කතෝලික සභාව මාලිමාවට සහාය ලබා දුන් බව කියති. මාලිමාව දෙමළ ඡන්ද බහුල කොළඹ දිස්ත්‍රික්කයේ සහ වඩුක්කොඩෙයි, මනිපායි වැනි සියයට සියක් දෙමළ ඡන්ද පවතින තැන්වලත් වතුකරයේත් ලැබූ ජයග්‍රහණය ගැන අදහස් දක්වන්නන්ට පෙනෙන්නේ මැතිවරණය යට සැඟවුන හස්තය ඉන්දියාව බවයි.

මේ හැම තර්කයකම ඇත්ත තිබේ. නමුත් මාලිමාවට සිංහල බෞද්ධයන් ඡන්දය දුන්නේ කුමකට දැයි පැහැදිලි කරන්ට කාටවත් නොපුළුවන. වංචාව හා බොරුව නැති සාධාරණ සමාජයක් හැදීමට ඔවුන් මාලිමාවට ඡන්ද දුන් බව සමහරු කියති. එවන් සමාජයක් ඇති රටක් ලෝකයේ කොහේවත් නැත. ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් සියල්ලකම සුපර් මාර්කට්වල සීසීටීවී කැමරා සවිකර ඇත. චීන රජයේ ආර්ථික නියමුවන් මුදල් ගසාකා මරණ දඬුවම ලබාගන්නේ කලාතුරකින් නොවේ. ජර්මනියේ මහාමාර්ග ඉංජිනේරුවෝ සියයට දහය ගනිති. නොයෙක් වැරදිවලට චෝදනා ලැබූ පාප්වරු සිටිති. මේවා නොදැන සුඛාවතී රාජ්‍යයක් හදන්ට සිතන සිංහල බෞද්ධයා ලෝකයේ ඉස්තරම්ම මෝඩයින් විය හැක.

මැතිවරණයෙන් සිදු වූ ප්‍රධාන සිදුවීම සිංහල බෞද්ධ නායකයින් අතුගෑවී යාමයි. සරත් වීරසේකර, අනුරාධා යහම්පත්, උදය ගම්මන්පිල වැන්නන් ජාතියට ද්‍රෝහිකම් කළවුන් නොවේ. දේශපාලන බිමට නවකයෙකු වූ උවිඳු විජේවීරගේ පියා ජවිපෙ ගොඩනගන්ට අප්‍රමාණ දුකක් වෙහෙසක් දරා ඒ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළේය. තමා ජාතිකවාදී කඳවුරට නියෝජනය කරන බව කියන උවිඳු විජේවීර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූයේය.

පරාජය වු ජාතිකවාදී කඳවුර නියෝජනය කරන සියලු දේශපාලකයන් තේරුම් නොගත් වැදගත්ම කාරණය සමගියේ බලයයි. සිංහලයන් දර කෝටු මිටියේ කතාවෙන් කියන්නේ සමගියේ බලයයි. වටු වැද්දාගේ ජාතක කතාවෙන් උගන්වන්නේත් සමගියේ බලයයි. රට ජාතියට හිතැත්තන් බුද්ධිමත් විය යුතුයි. වීර්යවන්ත විය යුතුයි. නිහතමානී විය යුතුයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link