සිංහලයින් වඳ කරන්න මානවවිද්‍යා වෛරස්

Last Updated on 4 months by admin

ජාන පර්යේෂණය ලෝකයේ ඉතා ජනප‍්‍රියවෙමින් පැතිරෙන ක‍්‍රියාවකි. මනුෂ්‍යයින් පිළිබඳ ජාන පර්යේෂණ ඇරඹෙන්නේ ගහේ වැලේ හා වන සතුන්ගේ ජාන පර්යේෂණවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබූ පසුවය. පෙරදිගට පැමිණි පෘතුගීසින් හා ලන්දේසින්, සිංහල බෙහෙත් පැළෑටි පිළිබඳව පර්යේෂණ පැවැත්වූ අයුරු ’බෞද්ධ සංස්කෘතික කොල්ලය’ පොතේ විස්තර කෙරේ.

ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවේ ප‍්‍රින්ස්න්ටන් රෝහලේ මිය ගිය පසු ඔහුගේ මරණ පරීක්ෂණය පැවැත්වූ තෝමස් හාවි නමැති වෛද්‍යවරයා අයින්ස්ටයින්ගේ මොළය පැහැරගෙන සැඟවුණි. අයින්ස්ටයින්ගේ පවුලේ අය ඥතියාගේ මොළයට සිදු වූයේ කුමක් දැයි සොයන්නට වූහ. හාවි, අයින්ස්ටයින්ගේ මොළය කැබලිවලට වෙන් කරමින් පර්යේෂණ පවත්වා ඇති බව ඔවුන් දැනගත්තේ කලකට පසුවය.

උඩරට කැරැල්ල නමින් ඉතිහාසයට එක් වූ සිංහලේ නිදහස් සටනට නායකත්වය දුන් කැප්පෙටිපොළ නිලමෙතුමන් අත්අඩංගුවට ගෙන හිස ගැසූ බි‍්‍රතාන්‍ය පාලකයෝ, එතුමාගේ හිස එංගලන්තයට ගෙන ගියහ. මෙය සිංහල නායකයෙකුගේ හිසක් යුරෝපයට ගෙන ගිය බව සඳහන් වන ප‍්‍රථම අවස්ථාව වුවත් ඊට පෙරද එවැනි දේ සිදු වූයේ යයි අනුමාන කිරීමට හේතු තිබේ. ලංකාවෙන් බැහැර රටවලට සිංහලයින් ගෙනයමින් මානව සම්පත් කොල්ලකෑ යුරෝපා ජාතිකයින් සිංහලයින්ගේ ජාන කොල්ලකෑවේ නැතැයි කීමට නොපුළුවන.

බි‍්‍රතාන්‍ය රාජ්‍ය නිලධරයන්ගේ ආධාරයෙන් පොරෝ කෙටි එල්ලාගෙන ගුවන් යානයකින් එංගලන්තයට ගිය වන්නිලා ඇත්තන් එඩින්බර්ග් විශ්වවිද්‍යාලයට ගොස් හිස්කබල් කිහිපයක් බාරගෙන වැඩි කලක් ගෙවී නැත. ඒ හිස්කබල් හිමිකරුවන් වැද්දන් යයි අප පිළිගන්නේ කෙසේද? ඊට සාක්ෂ්‍ය තිබේද? ඒවා වැදි හිස්කබල් වශයෙන් සලකන්නේ නම්, ඔවුන් කොහේ ජීවත් වූ අයද? එංගලන්තයට ගෙන ගියේ කොයි කාලයේද? කවුරු විසින්ද? කුමන කාරණාවකටද? නොඑසේ නම්, මොවුන් වැද්දන් කියන්නේ යයි එංගලන්තයේ පදිංචි වී සිටි සිංහලයන් පිරිසකට ද?

මේ සිද්ධියෙන් පසු ස්විස්ටර්ලන්තයේ බැසල් කෞතුගාරය ඔවුන් සතුව තිබූ වැද්දන්ගේ යයි පැවසෙන හිස් සහ අස්ථි කොටස් කිහිපයක් ලංකාවේ සංස්කෘතික අමාත්‍යංශයට බාරදී ඇත. ඇමතිවරයා ප‍්‍රධාන නිලධරයන් පිරිසක් විසින් වන්නිලැ ඇත්තන්ට ඒවා පෙන්වන ඡායාරූප ජනමාධ්‍යන්හි පළ වී තිබිණි.

බටහිරුන් සහ ඔවුන්ගේ ඥානසරණ ලැබූ ස්වදේශික උගතුන් වැද්දන් හඳුන්වන්නේ ආදිවාසින් යනුවෙනි. මෙය මානවවිද්‍යාවේ නමින් සිංහලයා දුර්වල කිරීමට පතුරැවන වෛරසයකි. යුරෝපීය ආක‍්‍රමණවලට ගොදුරු වී බේරුන ඇමරිකාවේ පැරැන්නන් ස්වල්පය හැඳින්වීමට ‘ආදිවාසි’ නම යෙදේ. වැද්දන් එවැනි ජන කණ්ඩායමක් නොවේ. ඔවුන් සිංහල ජන කොටසක් බව වංශකතාවේම සඳහන් වේ. ගාඩි, වැද්දන්ට වඩා පැරණි ඉතිහාසයක් හිමි තවත් සිංහලයින් කොටසකි. විජය රජතුමා වංග දේශයේ සිට හත්සියයක පිරිවර සේනාවක් සමග ලංකාවට පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. ගාඩි පැරැන්නන් කී ලෙසට ඔවුන් පැවතෙන්නේ විජය රජුගේ පිරිවර සේනාපතිවරුන්ගෙනි. ‘සර්වෝදය’ සංවිධානයේ ආරම්භකයින් ඒ පැරණි සිංහලයන්ගේ (ගාඩින්ගේ) හිස්කබල් සහ අස්ථි කොටස් එකතු කළ බවට තොරතුරු තිබේ. ඒ කුමකටද? කවුරුන් උදෙසාද?

වදුරැස්ස වනාහි ‘සර්වෝදය’ සංවිධානය විසින් ආණ්ඩුවේ උපකාර ඇතිව 1958 වසරේ බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ පිහිටුවන ලද ගමකි. එක්තරා පාසල් ගුරුවරයෙකු කනතොළුව කුප්පායමේ පැවැත්වූ ශ‍්‍රමදාන කඳවුරකට සහභාගි වූ ඒ. ටී. ආරියරත්න, සර්වෝදය ඇරඹුවේ වදුරැස්ස ගම හැදීමෙනි. කනතොළුවේ කුප්පායමෙන් ගෙනා පවුල් කිහිපයක් එහි පදිංචි කරවීමට ඔහු සමත් විය. ඉන් පසු පළාතේ මන්ත‍්‍රීගේ හිතවත්කම හා රාජ්‍ය බලය ආධාරයෙන් දිගන්වැව කුප්පායමේ පවුල් සියල්ලම වදුරැස්සට ගෙන ඒමට ආරියරත්නට හැකි විය. දිගන්වෙල කුප්පායම රැකගැනීමට වෙහෙසුන ‘කළූ’ගෙන් අප දැනගත් පරිදි, කෞතුකාගාරයට ගෙන යන මුවාවෙන්, දිගන්වැව කැලෙන් සොයාගත් ගාඩින්ගේ ඇටකටු හා හිස්කබල් කිහිපයක්ම ආරියරත්නගේ හිතවත්තු ගෙන ගියහ.

ගම්වලට කොටු කරන තෙක් ගාඩින් ජීවත් වූයේ කුප්පායමක මිස ගමක නොවේ. හැම කුප්පායමකම නායකයෙක් සිටියේය. චාරිත‍්‍ර සංග‍්‍රහයක් පැවතුණි. එහි ඉතිහාසය සිංහල ඉතිහාසය තරමටම පැරණිය. උඩුකය නොවැසීම කුප්පායම්වල ජීවත් වූ ගාඩි බිළින්දියන්ගේ (කාන්තාවන්ගේ) චාරිත‍්‍රයකි. සිංහල කාන්තාවන්ද උඩුකය නොවැසූ බවට බොහෝ සාක්කි තිබේ. (විස්තර සඳහා අප විසින් පළ කරන ලද ‘පඳුරියෝ’ බලන්න). උඩුකය හැට්ටාවලින් නොවැසූ කාන්තාවෝ මෑතක් වන තුරුම අපේ ගම්වල විසූහ.

ඇතැම් ගාඩි බිළිඳියන් කී ලෙසට අතීතයේ ඔවුන් වන්දනා කළ රත්නවල්ලි දේවතාවිය යනු තාරා බෝසත්වරියයි. උඩුකය නොවැසූ තාරා බෝසත්වරියගේ ප‍්‍රතිමා හමු වී තිබේ. බෝසත්වරිය වන්දනා කළ ගාඩි කාන්තාවෝ උඩුකය නොවැසූහ. වදුරැස්සේ පෙමියාගේ අදහස ‘උඩුකය නොවැසීම, ගාඩි බිළින්දියන් සිය අභිමානය ප‍්‍රකාශ කළ ක‍්‍රමයක් බව’යි. වරිග අභිමානය රැකගැනීමට ගොස් මිනිසුන්ගේ උදහසට ලක්වූ ඔවුන්ට මුහුදුබඩ පිහිටි කුප්පායම් හැර දමා රට ඇතුළට එන්නට සිදුවූ අවස්ථා ගණනාවක්ම ගාඩි ඉතිහාසයේ සඳහන් වේ. හලාවත ‘රිදීවැල්ල’ කුප්පායම හා ආනවිළුන්දාව ‘මුතුපන්තිය’ කුප්පායම අහිමි වීම නිදසුන් දෙකකි.

ගාඩින් දැන සිටි ලෙසට රජ බිසවට දරු ගැබක් ඇති වූ සැණින් ගාඩි කුප්පායම් හතකින් ගැබිණි බිළින්දියන් හත්දෙනෙකු මාලිගාවට කැඳවාගෙන ඒම පැරණි සිංහල රාජකීය සිරිතකි. ඒ, රජ බිසව ප‍්‍රසූත කරන දරුවා ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙනි. මොවුන්ගෙන් බිළින්දාට ඇති තරම් මව්කිරි ලැබුණි. වෙනත් ස්ත‍්‍රීන්ගේ එක් පියයුරක පමණක් කිරි පිරෙන අතර ගාඩි බිළිඳියන්ගේ පියයුරු දෙකේම කිරි පිරෙතැයි පැරැන්නන් අතර විශ්වාසයක් පැවතිණි.

ගාඩින් විජය රජුගේ පරම්පරාවට අයත් නිසා ඔවුන් අමිශ‍්‍ර කුලවංශයක් වශයෙන් සැලකුණි. ලංකාවේ සිංහල ගම් බොහෝමයක කිරිමව්වරුන්ට දානය දීමේ (කිරිදාන) සිරිතක් පවතී. ගාඩි ඉතිහාසයට අනුව අතීතයේ කිරිමව්වරුන් වශයෙන් සැලකුණේ රාජ්‍යයේ උරුමක්කාරයින්ට කිරි දෙන ගාඩි බිළින්දියන් පමණකි. බටහිර ගැළවීමේ කාන්තා විමුක්තිවාදීන්, සමාජවිද්‍යාඥයින්, සින්දු ලියන්නන්, ටෙලිනාට්‍ය රචකයින්, පත්තරකාරයින් වැඩි පිරිසකගෙන් කියවෙන්නේ සිංහල කුලවතුන් ගාඩි කාන්තාවන්ට හැට්ට ඇඳීමට අවසර දී නැති බවයි. හැට්ටය සිංහල ඇඳුම් මෝස්තරයක් නොවන බව ඔවුන් දැනගත යුතුව තිබේ.

ආරියරත්නගේ සර්වෝදය ව්‍යාපාරය ඇරඹෙන්නේ සිංහල සමාජයේ කුල භේදය නැති කිරීමේ පරමාර්ථයෙන් යයි කියන පිරිසක් සිටිති. ඒ කිසිවෙක් ආරියරත්නගේ සගයන් දිගන්වැව කුප්පායම අසලින් මිනීඔළු සහ අස්ථි කොටස් ඩැහැගෙන යන්නට හේතුව ප‍්‍රකාශ නොකරති. ආරියරත්නට මෙම ක‍්‍රියාවෙන් බොහෝ ලාභ ප‍්‍රයෝජණ ලැබෙන්ට ඇත. කුප්පායම් නැති කරන තෙක් ගාඩි යනු මිශ‍්‍ර ජන කොටසක් නොවීය. ඔවුන් සිංහල රාජවංශයට සම්බන්ධ පැරණිම ජන කණ්ඩායමක් බව සිංහලයන් ගැන සෙවූ විදේශිකයින් දැන සිටින්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link