පුදනකොටම කාපි යකා

Last Updated on 3 weeks by admin

සෑම් සෙනෙවිරත්න

විදෙස් මාධ්‍ය සටන අරඹා ඇත. Pic. credit: Reuter

රටේ ජනයාගෙන් වැඩි පිරිස රට මෙහෙයවීමේ වගකීම අනුර දිසානායකට පවරා ඇත. සියයට 50ක් ඉක්මවූ බලයක් ලබාගැනීමට නොහැකි වුවද, ඔහු පැහැදිලි ජයග්‍රහණයක් ලබා තිබේ.

රට කඩාවැටීමට බලපෑ සත්‍ය හේතු සඟවා, දේශපාලකයන් හොරකම් කිරීම රට විනාශයට හේතුව යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මාලිමාවේ දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයට හැකි විය. මේ නිසා අතීතයේ පොදු දේපොළ විනාශ කිරීම, වැඩ වර්ජන, ආදිය මගින් රටේ ආර්ථිකය අබලන් කිරීමට හවුල් වූ නමුදු, ජනතා විමුක්ති පෙරමුණට රට ගොඩගැනීමේ තීරණාත්මක අවස්ථාවක් හිමි විය.

අනුර දිසානායකට ලැබුණු ඡන්ද අතරින් ඔවුන්ට කවදත් තිබුණු 3%ට අමතරව ලැබුණු අතිමහත් බහුතර ඡන්ද ප්‍රමාණය 2019 ගෝඨාභයට ලැබුණු 69 ලක්ෂයෙන් ගසාගෙන ආ ඒවාය. ගෝඨාභය ජනාධිපතිවරයාට ජවිපෙ දැක්වූ සතුරු ආකල්පය අමතක කර, ඔවුන් අනුරට ඡන්දය දුන්නේ, රටේ දූෂණ වංචා නැතිකර, ආර්ථිකය ගොඩනැගීමට මිස, ආන්දෝලනයට ලක්වූ බුද්ධගාමට ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීමේ හා රට බෙදීමේ යෝජනා ඇතුළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොවන බව මාලිමාව අවබෝධ කරගත යුතුය.

එහෙත් මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු උත්සවයේදීම අනුර ජනාධිපතිවරයාට ලංකාව බෞද්ධ රටක් බව අමතක විය. ඔහු කතාව ඇරඹුවේ සංඝ රත්නයෙන් අවසර ගෙන නොවේ. බෞද්ධ පාලකයෙකු වශයෙන් කතාව අවසානයේද ජනතාවට තෙරුවන් සරණ පැතුවේ නැත. මෙය යහපත් ආරම්භයක් නොවේ.

සමහර පුද්ගලයෝ වික්ෂිප්තභාවයට පත් වූ අවස්ථාවලදී නොගැලපෙන හැසිරීම් පළ කරති. හීනමානයෙන් පෙළෙන, උද්දච්ඡ, මුග්දයෝද සභාවල උන්මන්තයන් සේ හැසිරෙති. ඔහු අයත් වන්නේ එයින් කොයි ගණයටද යන්න අනුර ජනාධිපතිවරයාගේ ඉදිරි හැසිරීම්වලින් පැහැදිලි වනු ඇති.

ජවිපෙ නායකයින් පිරිත් නූල් කඩා විසිකිරීම, බෞද්ධ වත්පිළිවෙත්වලට ගැරහීම, ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට යෝජනා ගෙන ඒම වැනි කරුණු නිසා, බෞද්ධයින් තුළ ඔවුන් කෙරෙහි සැකයක් පවතී. ඒ අවිශ්වාසය දුර කෙරෙන පරිදි කටයුතු කිරීම නව ජනාධිපතිවරයාට පැවරී ඇති වගකීමකි.

අනුරගේ ජයග්‍රහණයත් සමග, ශ්‍රී ලංකාවේ මාක්ස් ලෙනින්වාදී ආණ්ඩුවක් බිහිවු බවට විදේශ මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් ලැබේ. බටහිර ප්‍රචාරක කටයුතු ගැන අවබෝධයක් ඇත්තෝ මෙය හුදු ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳ ප්‍රවෘත්ති පළ කිරීමක් නොවන බව වටහා ගනිති. එයින් කියවෙන්නේ ශ්‍රී ලංකාව ලෝක දේශපාලන කඳවුරු අතර ඇවිලෙමින් යන ශීතල යුද්ධයේ එළිමහන් සටන් පිටියක් බවට පත්වීමේ අවදානමයි.

මාලිමාව දෙමුහුන් පක්ෂයකි. ‘අපිත් ජවිපෙත් අතර ලොකු වෙනසක් තියෙනවා. අපි කොමියුනිස්ට්වාදීන් නෙවෙයි‘ යනුවෙන් කලකට පෙර හරිනි අමරසූරිය කළ ප්‍රකාශයේ ගැබ්ව ඇත්තේද ඒ පිළිබඳ ඉඟියකි. මේ කණ්ඩායම් දෙක අතර ඇති ක්ලේමෝ බෝම්බය පුපුරා යෑම කාලය පිළිබඳ ගැටලුවකි.

මාලිමාවේ බලයේ පැවැත්ම රඳා පවතින්නේ ඔවුන්ගේ දේශීය ප්‍රතිපත්තිය මතම පමණක් නොවේ. ලෝක දේශපාලන කඳවුරු සමග තුලනාත්මක සබඳතා පවත්වාගෙන යාමට ඔවුන්ට සිදු වේ. ඔවුන් බලයට පත් කළ ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන ඔවුන්ට වේදනාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමටද ඔවුන්ට සිදු වේ. ඒ සඳහා ඔවුන්ට ඇති හැකියාව මත ඔවුන්ගේ බල කාලය රැඳී පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link