අනුර නාගනී ද

Last Updated on 3 weeks by admin

බදු සහන, වසරකට දෙවරක් රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධක, බලයට පැමිණ කෙටි කලකින් විදුලි බිල අඩු කිරීම වැනි පොරොන්දු දෙමින් සිටි අනුර දිසානායක, ජනාධිපති පදවිය භාරගත් පසු ‘මම මැජික්කාරයෙකු නොවෙමි’යි පැවසීය.

මාලිමාවේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනතාව බලාපොරොත්තු රැසක් දල්වාගෙන සිටින ජනතාවට නම් එය අහන්නට සතුටු හිතෙන කතාවක් නොවේ. බොහෝ දෙනා සිතාගෙන සිටියේ මැජික් බලන්නටය. ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව, ඉදිරියට දේශපාලකයන් හොරකම් නොකරන, අමාත්‍යංශ අඩු ගණනකින් යුතු පාලනයක් බිහිවීමෙන් බඩු මිල අඩු වී, විදුලිය, ජලය, දුරකථන ආදි බිල්වලට සහන ලැබී, දුකින් තොර ජීවිතයක් ගෙවන්නට හැකි වනු ඇති බවයි.

රට ඇත්තේ යහපත් තැනක නොවේ. යාන්තමින් කිසියම් ආර්ථික ස්ථාවරබවක් ලැබුවා පමණි. ලබන වසරේ රාජ්‍ය ආදායමෙන් 51.8%ක් ණය පොලී වශයෙන් ගෙවිය යුතුව තිබේ. මාලිමාව පොරොන්දු වූ පරිදි, බදු සහන දෙමින්, වැටුප් වැඩි කරමින්, ණයත් ගෙවාගෙන, ඍණ 2.5 දක්වා පහළ වැටී ඇති ආර්ථික වර්ධනය ඉහළ දමා 2030 වන විට තථ්‍ය ද.දේ. නිෂ්පාදිතය ඇ.ඩො. බිලියන 120 දක්වා ඉහළ දැමීම පහසු වැඩක් නොවේ. අමාත්‍යංශ අඩු කිරීම වැනි ප්‍රසිද්ධ කතාවලින් රටක ආර්ථිකයකට දැනෙන වෙනසක් කළ නොහැකිය.

දැන් මතු වී තිබෙන ප්‍රධානම ගැටලුව ජා.මූ. අරමුදල සමග ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ කඩාවැටේද යන්නයි. නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග ණය ප්‍රතිව්‍යවූහගතකරණ වැඩපිළිවෙළ අවුල් ජාලාවක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Disanayaka’s push for Sri Lanka economic change leaves IMF deal, debt rework in limbo මැයෙන් රොයිටර් පුවත් සේවය මේ පිළිබඳ ලිපියක් පළ කර ඇත.

නව ජනාධිපතිවරයා, සහන සලසන අතර ආර්ථිකය වේගයෙන් දියුණු කිරීමේ පොරොන්දුව මත බලය හිමිකරගත්තද, ඩොලර් බිලියන 2.9 ජා.මූ.අ. ගිවිසුම නැවත සමාලෝචනය, ණය හිමියන් සමග වඩාත් වාසිදායක තත්වයන් පිළිබඳ නැවත සාකච්ඡා කිරීම යන කරුණු නිසා රට සහ රටේ ආයෝජකයින් අසීරු ප්‍රහේලිකාවකට මුහුණ දී සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි.

ජා.මු. අරමුදල සමග ඇති ගිවිසුමේ කොන්දේසි වෙනස් කරන බවට නව ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය නිසා, ජා.මු.අ. මුදාහරින ණය ප්‍රමාණය කොතරම්දැයි නැවත සමාලෝචනය කරනු ඇති බවත්, ණය මුදල් පමා විය හැකි බවත් ණය හිමියන් සිය ගනුදෙනු පිළිබඳව නැවත සලකා බැලිය හැකි බවත් ලියුම්කරුවෝ අවධාරණය කරති.

මාස ගණනක ප්‍රමාදයකින් පසු පසුගියදා අත්සන් කෙරුණු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම බලාත්මක කෙරේදැයි දැන් සැකයක් මතුව ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයා, ජා.මු.අ. සමග ලොකු අවුලක් ඇති කර නොගනු ඇතැයි කොළඹ කේන්ද්‍ර කරගත් CAL ආයතනයේ උපායමාර්ගක ප්‍රධානී උදීෂන් ජොනාස් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් සන්නිවේදනය කරන අරමුණින් විය යුතුය.

ජා.මු. අරමුදල සහ කොමියුනිස්ට් රටවල් අතර සීතල යුද්දයක් ඇති බව මෙහිදී සැලකිල්ලට ගතයුතු තවත් කරුණකි. 1950 දශකයේ දී චීනයේ සහ රුසියාවේ පෙළඹවීම මත කොමියුනිස්ට් රටවල් ලෝක ආර්ථික පද්ධතියෙන් ඉවත්වීම නිසා හටගත් අර්බුදයේ අළු යට ගිනි තවමත් ඇති බව තතු දන්නෝ දතිනි.

ඒ නිසා අනුර දිසානායක ජනාධිපතිවරයා සහ මාලිමාවේ ආර්ථික විශේෂඥයින් හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කළ යුතුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link