මොකාටද එන්නෙ – මොකාටද දෙන්නෙ

Last Updated on 3 weeks by admin

ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂට ඡන්ද 342781 ක් (2.57%) ද දිලිත් ජයවීරට ඡන්ද 122396ක් (0.92%) ද ලැබුණි. දෙදෙනා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙය නොවේ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී පාවිච්චි වන 80%ක ඡන්ද ප්‍රතිශතය 75% දක්වා පහළ වැටී ඇති බවත් 35 ලක්ෂයක් දෙනා ඡන්දය පාවිච්චි කර නැති බවත් මැතිවරණ කොමිසම වාර්තා කළාය.

නරක් වූ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 2කට අධිකය. එයින් අති මහත් බහුතරය කටුගෑ ඡන්ද බවට සැක නැත. ජනතාවට පසුගිය මැතිවරණය ගැන තිබුණේ හොඳ සිතුවිල්ලක් නොවේ.

දිලිත්, නාමල් දෙදෙනාගේම බිම් මට්ටම දුර්වල වූ නිසා, ඔවුන්ට ඒ ඡන්දවලින් බොහෝමයක් අහිමි විය. දිලිත්ගේ කරට විමල් හා ගම්මන්පිල නැගීම නිසා ලැබෙන්නට තිබුණු ඡන්දවලින් යම් ප්‍රමාණයක්ද නොලැබුණි.

රටේ ඡන්දදායකයන්ගෙන් බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයකු ජනාධිපති ධුරයට පත්ව තිබේ. දැන් ඒ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ අපේක්ෂාව 2/3ක බහුතරයක් ඇති ආණඩුවක් පිහිටුවීමයි.

ජාතිකවාදීන් එකට එකතුව තරගවැදීමේ වටිනාකම අපි දිගින් දිගටම අවධාරණය කළෙමු. එසේ වූයේ නම්, ඡන්දය දීමෙන් වැළකී සිටි 5%න් යම් පිරිසකගේ ඡන්දද ජාතිකවාදී කණ්ඩායමට ලැබෙන බවට සැක නැත. බොහෝ විට ඡන්ද ලක්ෂ 10ක පමණ සීමාවට යාහැකිව තිබුණි.

අනුරට හිමි වූයේ ඒ වාසියයි. ඔහුට ලැබුණු ඡන්දවලින් අතිමහත් බහුතරය ජාතිකවාදී කඳවුරේ ඡන්ද බවට සැක නැත එයින් කොටසක්, අවංකවම රටේ වෙනසක් ඇති කළ යුතුය යන හැඟීමෙන් අනුරට ඡන්දය දුන් අයයි. තවත් කොටසක් තම දීර්ඝකාලීන සතුරා වූ එජාපය නියෝජනය කළ සජිත් පරාජය කිරීමට දුන් ඡන්දයි. ඉතිරිය, අවසන් අදියරයේදී රැල්ලට ගසාගෙන ගිය ඒවාය.

ඡන්දදායකයාටද අවශ්‍ය දිනුමයි. දිනූ පක්ෂයට එකතු වී හෝයියා කියන්නට බොහෝ දෙනා කැමතිය. ඡන්දය නොදුන් ඇතැම් අයත් ඡන්දයෙන් පසු දිනූ පක්ෂයට එකතු වී හුරේ දැමීම සාමාන්‍ය දෙයකි. අද අප අත්විඳිමින් සිටින්නේ එවන් මොහොතකි. මෙය එක්තරා ආකාරයකින් 87-89 සමයේ, ශ්‍රීලනි පාක්ෂිකයන් ජවිපෙට දැක්වූ ඇල්මට සමාන තත්වයකි.

1977 මැතිවරණයෙන් ශ්‍රීලනිපය ආසන 7ට බැස ඉතා දුර්වල තත්වයකට පත් විය. ජේආර්ගේ දරදඬු පාලනයට මූණදෙන්නට ශක්තියක් ශ්‍රීලනිපයට නොවිණි. ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ‘මව්බිම නැත්නම් මරණය’ වෙළඳ දැන්වීම සමග කරළියට ආවේ මේ අවස්ථාවේය. ශ්‍රීලංකාකාරයෝ ජවිපෙට ආදරය කරන්නට වූහ. එජාපයෙන් පලිගන්නට නොහැකිව හිතේ තදකරගෙන සිටි වෛරය, ජවිපෙට දක්වන ආදරයක් බවට පෙරළිණි.

දැන් මහමැතිවරණය අත ළඟය. රනිල් දේශපාලනයෙන් සමුගන්නා බවට ආරංචි තිබේ. එසේම රනිල්-සජිත් පාර්ශ්ව දෙක එකතු කිරීමේ වෑයමක් ක්‍රියාත්මක බවටද තොරතුරු ඇත. දෙදෙනා ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද එකතු කළ විට අනුර ලැබු ඡන්ද සංඛ්‍යාව ඉක්මවා යන බැවින්, දෙපාර්ශ්වය එකතු වීමෙන් ආණ්ඩුවක් පිහිටුවීමට බලය ලබාගත හැකිය යන්න ඔවුන්ගේ තර්කයයි.

පෝර සහනාධාරය, ධීවරයින්ට ඉන්ධන සහනාධාරය ආදිය දීමෙන් හා පසුගිය රජයේ නිලධාරීන් පාවිච්චි කළ වාහන සන්දර්ශන පවත්මින් ජවිපෙ/මාලිමාව උත්සාහ කරන්නේ, ආසන 113 ඉක්මවු බලයක් ලබාගැනීමටයි. ඔවුන් ජනතාව රවටන සීනි බෝල ලොරි ගණනක් ඉදිරි කාලයේදී බානු ඇත.

මේ දෙපාර්ශ්වයෙන් කොයි කණ්ඩායම ආණ්ඩුවක් පිහිටුවූවද අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත්, ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම හා රට දෙකඩ කිරීමේ අවදානම පවතී. ඒ අවදානම නැති කළ හැක්කේ, ජාතිකවාදීන්ගේ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ තීරක බලය ලැබෙන මැතිවරණ ප්‍රතිඵලයකින් පමණි.

මහමැතිවරණයට නාමල්, දිලිත් මෙන්ම රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරද ඉදිරිපත් වන බවට වාර්තා වේ. බැරිබැරිගාතේ වුවද ශ්‍රීලනිපයද ඉදිරිපත් විය හැකිය. ආතක්පාතක් නැතිව ඉන්න දිනේෂ් ඇතුළු පොහොට්ටු කණ්ඩායම දිලිත්ගේ කරට නැගීමේ සංඥාවක් නිකුත් වී ඇත. ඒ, ඔවුන් සමග සිටි දිලුම් අමුණුගම දිලිත්ට එකතු වී පක්ෂයේ ජාතික සංවිධායක තනතුරටද පත්වීමයි. එහි අරුත තව පෝළිමක් පස්සෙන් එන බවය. ඒ පෝළිමේ සිටින උග්‍ර විෂබීජ හලා දමා සෙසු පිරිස පමණක් පක්ෂයට වැද්ද ගැනීමට කටයුතු නොකළහොත්, දිලිත් ජයවීර වෙනස්ම වෙනස් මිනිසකු බව ජනතාව තේරුම් ගන්නවා ඇත.

මේ සියල්ල සලකා බැලූ විට ජාතිකවාදීන්ගේ ඡන්ද කණ්ඩායම් කීපයක් අතර විසිරී යන බව පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරණයේදී නිහඬව සිටි උවිඳු මහමැතිවරණයට ඉදිරිපත් වීම ජවිපෙ සැලසුමක් අනුව සිදුවන දෙයක් බව විජේවීර සමඟ දේශපාලනයේ නිරත වූ පැරණි ජවිපෙ සාමාජිකයන්ගේ අදහසයි. ජවිපෙ විසින් උවිඳුගේ සංවිධානයට රිංගවා ඇති උපාය දූතයින්ගේ පෙළඹවීම මත මෙවැන්නක් සිදුවේ යැයි ඔවුන් කියති.

ජනාධිපතිවරණයට උවිඳු ඉදිරිපත් වූයේ නම්, විජේවීර හිතවාදීන්ගේ ඡන්ද සහ පාවෙන ඡන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාගත හැකිව තිබුණි. ඔහු ඉදිරිපත් නොවීම සහ නිහඬව සිටීම නිසා ඒ වාසිය ජවිපෙට ගියේය. විජේවීරගේ බිරිඳද ජනාධිපතිවරණ සමයේ මුනිවත රැක්කාය. විජේවීර වෙනුවෙන් කතා කළේ ඔහුගේ මරණය සියැසින් දුටු, පෙරටුගාමී පක්ෂයේ ඉන්ද්‍රානන්ද ද සිල්වා පමණි.

උවිඳු මහමැතිවරණයට ඉදිරිපත් වීමෙන්, ජාතිකවාදී කඳවුරේ ඡන්ද තව දුරටත් විසිරී යෑමක් සිදුවේ. ජාතිකවාදී මතය නියෝජනය කරන කණ්ඩායම් කීපයක් මැතිවරණයට ඉදිරිපත් වූ විට, මුන් මොකාටද මේ එන්නේ? මොකාටද අපි ඡන්දෙ දෙන්නේ? වැනි සිතුවිල්ලක් ඡන්දදායකයින්ගේ සිතේ ඇති වීම ස්වාභාවිකය. ජාතිකවාදීන්ගේ ඡන්ද කණ්ඩායම් කීපයක් අතර බෙදුන විට, කිසිදු කණ්ඩායමකට මන්ත්‍රී ධූරයක් ලබාගත හැකිනොවනු ඇතැයි සැකයක් ඡන්දදායකයින්ගේ සිතේ ජනිත වෙයි. මේ නිසා, එක් අතකින් සජිත්ට ජය හිමි වනු ඇතැයි බියෙන්, ජාතිකවාදීන් පිරිසකගේ ඡන්ද ජවිපෙට ලැබෙයි. අනික් අතින්, සමගියක් නැති මෙවන් පිරිසකට කුමට ඡන්දය දෙන්නේ දැයි ඇති වන කළකිරීම මත තවත් පිරිසකගේ ඡන්දය ජවිපෙට යයි.

බොහෝ විට ප්‍රතිඵලය විය හැක්කේ, දිලිත්, උවිඳු, ශ්‍රීලනිප ආදි පාර්ශ්වයන්ට බෝනස් මන්ත්‍රී ධුරයක් හෝ ලබාගැනීමට නොහැකි වීමයි. රනිල්ට ලැබුණු ඡන්ද ලක්ෂ 17 ඔහු සමග හිටගත් පොහොට්ටුවන්ට ලැබුණු ඡන්ද යැයි වරදවා නොගත යුතුය. නාමල්ට පවා අවාසිදායක තත්වයක් උදාවන්නට පුළුවන.

ජාතිකවාදීන් එකමුතු නොවුනහොත් එවන් එකමුතුවක් වෙනුවෙන් ඡන්දය දෙන්නට සිටින විශාල පිරිසක් ජවිපෙ/මාලිමාවට ඡන්දය දෙනු ඇත. ඒ, තම ජන්මාන්තර සතුරා වන එජාප කඳවුර පැරදවීමටය. එවිට මාලිමාවට 2/3ක ඉක්මවන බලයක් ලැබීමේ අවදානමක් තිබේ. එවැනි විශාල බලයක් ලැබීම ඉතා රටට අනතුරුදායකය.

රනිල් ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේද, එජාප විරෝධය සිත් සට සැඟව ඇති පරණ ශ්‍රීලංකාකාරයින් වන වත්මන් පොහොට්ටු සාමාජිකයන්ගේ ඡන්ද ලැබීමේ අරමුණද ඇතිව බව හොඳ සිහියෙන් කල්පනා කරන්නෙකුට අවබෝධ කරගත හැකිය.

මීට ඇති එකම විකල්පය, නාමල්, දිලිත්, උවිඳු ඇතුළු පාර්ශ්වයන්, විෂබීජ හලා එකතු වීමයි.

පොහොට්ටුවේ දූෂිතයන් වැඩි පිරිසක් එළියට බැස ඇති හෙයින්, නාමල් පාර්ශ්වය බොහෝ දුරට පිරිසිදු වී ඇත. ඉතිරි වී ඇති රොඩුබොඩු ටික හලා දමන්නට නාමල්ට ශක්තිය තිබේ නම් ඔහුට දුර ගමනක් යා හැකිය.

විමල් ඇතුළු ජනතා අප්‍රසාදයට පත් පිරිස දිලිත්ගෙන් ඈත් වූ සෙයක් පෙනේ. එය දිලිත් පාර්ශ්වයට වාසියකි. දිලුම් සමග පිරිසිදු පිරිසක් එක් කරගත හොත් එයත් වාසියකි.

උවිඳුට විජේවීරගේ පුතා වීමේ වාසිය සහ අලුත් පිරිසිදු ගමනක් යන යහපත් තරුණයකු වශයෙන් යම් පිළිගැනීමක් තිබේ.

මේ පිරිස එකතු වී, රටත් බුදු සසුනත් මුහුණ පා සිටින අනතුරුදායක තත්වය පැහැදිලි කර, පාර්ලිමේන්තුවේ තීරක බලය තමන්ට දෙන ලෙස ඉල්ලා සිටියොත්, පැත්ත වැටී සිටින ජාතිකවාදීන්ට පණ ලැබේ. ජනාධිපතිවරණයේදී පාවිච්චි නොවුණ 5%න් වැඩි කොටසක් ඔවුන් වෙනුවෙන් පාවිච්චි වීමට ඇති ඉඩකඩ වැඩිය. එසේම රනිල්ට ලැබුණු පොහොට්ටු ඡන්දවලින් වැඩි කොටසක් ලබාගැනීමේ අවස්ථාවද තිබේ. එවිට පාර්ලිමේන්තුවේ ආසන කීපයක් දිනාගත හැකිය. එයින්, රටටත් බුද්ධාගමටත් අහිතරක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හීනයක්ම වනු ඇත.

මේ ලෝකයේ කිසිම තැනක දූෂණ වංචා නැති රටක් නැත. පෘතග්ජන මිනිසුන් අතින් වැරදි සිදු වේ. දූෂණ වංචා හිරු දුටු පිනි සේ දුරලන බවට වහසි බස් දුන් අනුර ජනපති වූ සැණින්, පාස්කු නඩුවට සම්බන්ධ විත්තිකරුවකු මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ධුරයට පත් කිරීමම ඊට හොඳ උදාහරණයකි. ජනාධිපතිවරණය ආසන්නයේ, ජවිපෙ ප්‍රබල වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකු හොර ඔප්පුවක් සාදා රු. මිලියන ගණනක් වංචා කිරීමේ වරදට අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කළාය. 87-89 කාලයේ මිනී මරා රට අල්ලන්නට සිතූ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බලයට පත්ව සිටී.

එම නිසා, ස්වයං විවේචනයක් ඇතිව ඉදිරියට වැරදි නොකිරීමට ගිවිසගෙන, සුළු වැරදි කළවුන් හා එකට එක්ව දේශපාලනයේ යෙදීමේ වරදක් නැත. වැදගත් වන්නේ නැවත වැරදි නොකළ හැකි වන සේ යාන්ත්‍රණයක් සකසා ගැනීමයි. එසේ නැතිව 100%ක් පිරිසිදු මිනිසුන් සමග පමණක් දේශපාලනය කරන්නේ යැයි යමකු සිතයි නම්, ඒ කළ හැක්කේ හීනෙන් පමණි.

රට මුහුණ දී සිටින්නේ දේශපාලන අත්හදාබැලීම් කළ යුතු අවස්ථාවකට නොවේ. මෙය හුදෙක්, නාමල්, දිලිත්, උවිඳු ආදින්ගේ පුද්ගලික දේශපාලනය හෝ පක්ෂවල තරම උරගා බැලීමේ අවස්ථාවක්ද නොවේ. මෙය රටේත් බුද්ධාගමේත් ඉරණම තීන්දු කෙරෙන මැතිවරණයකි. අනුර ජනාධිපතිවරයාගේ හොර බෞද්ධකම මහමැතිවරණයෙන් පසු අතුරුදහන් වනු ඇත. දැනටත් ඔහු හීන් නූලෙන් සිංහල ජාතියට සහ බුද්ධාගමට විරුද්ධ කතා කියයි.

මේ අනතුරින් රට බේරාගැනීම, රට දැය සමයට ආදරය කරන සියලු දෙනාගේ වගකීමයි. එම වගකීම පැහැර නොහැරීම නාමල්, දිලිත්, උවිඳු ඇතුළු හැමගේ යුතුකමයි.

1 thought on “මොකාටද එන්නෙ – මොකාටද දෙන්නෙ”

  1. “Aragalaya” srarted with the slogan “mina go home” so Mahinda Rajapaksa resigned. Ranil Wickramasinghe became the Prime Minister. Then “Gota go home” slogan sent-away the President, elected by sixty nine laks of people. He went without killing a single person. This time, once again, the Catholic Church and the USA Ambassador is preparing another ampaign to depose Anura and appoint the Prime Minister Harini Wickramasooriya as the president who is a proxy of Ranil. History is going to be repeated, but not as a farce but as a tragedy. They will start cutting power and carry the slogan “andura yawanna anura yanna”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link