Last Updated on 2 months by admin
සෑම් සෙනෙවිරත්න
ජාතිකවාදී අදහස් ඇත්තන්, ජාතිය ජයග්‍රහණය කරවීමට නොසිතා තනි තනිව ජයග්‍රහණය කිරීමට සිතීම ජාතියේ අවාසනාවකි. වෙනදා රට ජාතිය බේරාගන්නට භික්ෂුන් වහන්සේලා නායකත්වය ගත්හ. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩිතබා එහි වරද භික්ෂූන් පිට පටවා, භික්ෂුව සමාජයේ අපකීර්තියට ලක්කරවූ අවස්ථාවේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ඉදිරිපත් වී සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට කැඳවාගෙන ඒම වර්තමාන කාලයේ නිදසුනකි.
එවැනි ධෛර්වන්ත මගපෙන්වන්නෙකු බිහිනොවන පරිදි භික්ෂු ශාසනය දුර්වල කර තිබේ. ජාතික ව්‍යාපාරය ගැන කතාකරන නායකයින් වැඩිදෙනා කරන්නේ ගොම්පස් අල්ලමින් මාලිමාව පස්සේ යාමයි. තවත් පිරිසක් එඬේරාට සේවය කරන දඩෝරියන් සේ හැසිරෙති. රැලෙන් පිට පනින බැටළුවන් රැලට දැක්කීම එඬේරාගේ දඩෝරියන්ගේ ක්‍රියාවයි.
මැතිවරණයේදී තම පක්ෂයේ අරමුණ ප්‍රධාන විපක්ෂය වීම යයි දිලිත් ජයවීර කියයි. එය ප්‍රායෝගිකව සිදුවන්නක් නම් යහපතකි. නමුත් පහසු ක්‍රියාවක් නොවේ.
දිලිත් දේශපාලනයට පිවිසියේ ‘වෙනස් මිනිහෙක්’ තේමාව යටතේය. ඔහු සෙසු දේශපාලකයන්ට වඩා වෙනස් අයකු බව ඇත්තකි. ජනතාව අතර අප්‍රසාදයට පත් දේශපාලකයන්ගෙන් ඈත්වී පක්ෂය ගොඩනැගුවේ නම් වඩාත් සුදුසු බව සමහරුන්ගේ මතයයි. දිලිත්ට එක්වූ විමල්, ගම්මන්පිල වැන්නවුන් දේශපාලන මඩ ගොහොරුවේ එරුන පුද්ගලයෝ වෙති. ඔවුන් කෙරෙහි ජනතාව දක්වන්නේ ඇල්මක් නොවේ. පිළිකුලකි.
සිරිමාවෝ බණ්ඩාරනායක පරදා ජේ ආර් බලයට පත්කිරීමට හවුල් වූ ඡන්දදායකයින් රටේ විනාශයට හවුල් වු ප්‍රධාන පිරිසයි. බලයට පත්වු ජේආර් බිහි කළ අච්චාරු දේශපාලන සංස්කෘතිය විසින් දේශපාලකයා නීචයකු කරන ලදි. 87-89 ජවිපෙ භීෂණය නිසා තත්වය තවත් දරුණු විය. සෙසු පක්ෂවලින් වැඩිවැඩියෙන් පාදඩයින් දේශපාලනයට ආවේ ජවිපෙ භීෂණයට පිළිතුරු ලෙසිනි. මෙහි ප්‍රතිඵලය දේශපාලකයින් වැඩි පිරිස ගෙම්බන් සේ හැසිරීමයි. ජවිපෙ එයින් ප්‍රයෝජණ ගත් දේශපාලන සංවිධානයකි.
පිරිහුන දේශපාලකයන් බිහි කළ දේශපාලන සංස්කෘතිය ජනතාවට විශාල විනාශයක් කළේය. හොඳම නිදසුන බොහෝ ආසනවල අන්ත දූෂිත තක්කඩියන් විනයගරුක, වැදගත් පුද්ගලයන් අභිභවා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යාමයි. ජනතාව හා දේශපාලන පක්ෂ තකට තකේ තක්කඩියන් පාර්ලිමේන්තුවට යවන විට රටක් යහමගට නොයයි. ලංකාව නහය ළඟට දියේ ගිලී සිටින විට පවා විලිලැජ්ජාවක් නැතිව හොරකම් කරන දේශපාලකයන් හා නිලධාරීන් ඉන්නා රටක් බවට පත්විය.
අවසානයේ සිදුවුයේ ජනතාව පැරණි දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමට පෙළඹිමයි. එය වැරදි නැත. නමුත් ඔවුන් ඊට මග හදාගත්තේ පියවි සිහියෙන් නොවේ. මාලිමාව බලයට පත්වීම එහි ප්‍රතිඵලයයි. රටවැසියා, රට හා අනාගත පරපුර ගැන නොසිතා ආතල් එකට පාලකයින් තෝරාගැනිම භයානක වරදකි. දැන් ඊට ජනතාව මෙහෙයවුවෝ ‘උනුත් එකයි මුනුත් එකයි’, ‘උන් ඔක්කොම හොරු මල්ලි’, වැනි මතවාද පතුරුවති.
දිලිත් ජයවීර මුහුණ දෙන ලොකුම අභියෝගය මව්බිම ජනතා පක්ෂය ගොඩ නැගීමයි. අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීම විශාල අභියෝගයකි. නමුත් අභියෝගය ජයගැනීමේ හැකියාව දිලිත් ජයවීරට තිබුණි. ඔහු සතු මාධ්‍ය ආයතන හා දැන්වීම් ආයතන තිබේ. ඒ කිසිවකින් ජාතිය ගොඩනැඟීමේ වැඩ පිළිවෙළට ආධාර ගැනීමේ වුවමනාවක් දිලිත්ට නොවිය. දෙරණ නාළිකාව සිංහල බෞද්ධ සංස්කෘතියට කර ඇති අපරාධය හොඳම නිදසුනයි.
පොහොට්ටුවේ සිටි දේශපාලකයන් එකතුකර ගැනීම දිලිත්ගේ උපක්‍රමයකි. ඒ, පක්ෂයේ බිම් මට්ටම ගොඩනගා ගැනීමේ පහසුව තකා විය යුතුයි. එම ක්‍රියාවේදි දරුණු විෂබීජ පක්ෂයට ඇතුළු විය හැක. තවම නම් එවැන්නක් නොපෙනේ. ජනතා අප්‍රසාදයට පත් දේශපාලකයින් පක්ෂයට එකතු කරගැනීම ඔහු කරගන්නා හානියකි. එවැනි ක්‍රියාවක් නිසා දිලිත් පෙන්නූ, ‘වෙනස් මිනිහා’ සංකල්පය දෙදරා යාමට පුළුවන.
මැතිවරණ සටන් පිටිය දෙස බලන ජනතාව ඇතැම් දේශපාලක මුහුණු දකිද්දි මූණ ඇඹුල් කරගනිති. එවිට කතිරය වෙන පැත්තකට වදින්නට ඇති ඉඩකඩ වැඩිය. එමෙන්ම, සංවිධායකයන්ගේ හැකියාව මත වැඩි ඡන්ද ප්‍රමාණයක් පක්ෂයට ලබාගැනීමේ හැකියාවද නැතිවා නොවේ.
දිලිත් මිනිසුන්ගේ මනස ගොඩනැගිය හැකි ප්‍රබල වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. පරණ පුරුදු සාම්ප්‍රදායක ක්‍රම මගින් නම් එවැනි වාතාවරණයක් ඇති කළ නොහැක.
නාමල් රාජපක්ෂට සුද්ද වීමේ අවස්ථාව තිබේ. පක්ෂයේ සිටි විෂබීජ රාශියක් ඉවත්වී ගොසිනි. ඔහු හමුවේ ඇති ලොකුම අභියෝගය බැසිල්ගෙන් ගැලවීමයි. ඉන්දියාවේ කතාවක් පරිදි එක්තරා රජෙකුට මාරයාගෙන් ගැලවිමට වුවමනා විය. ඔහු කිසිවකුට නොකියා අශ්වයා පිට නැගී මාළිගාවෙන් පලා ගියේය. ටිකක් විවේක ගැනිමට වන්නාතරයට රිංගා ගසක් මුල හිඳ ගත්තේය. ගහට එහා පත්තේ යමෙකු සිටින බව ඔහුට තේරුණි. බලන විට ඒ මාරයාය.
බැසිල් ජනාධිපතිවරණය දවසේ උදේම රටින් පිටව යෑමෙන් නාමල් රාජපක්ෂට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණක් අහිමි විය. එය මරිමෝඩකමකි. මෙය ඔහු ලැබු උපදේශයක් නම් ඡන්ද අඩුකරන්නෙකුගේ උපදේශයකි. ඇමරිකාවේ වෛද්‍ය පරීක්ෂණ සඳහා පිටත්වූයේ යැයි කීම අපූරු විහිළුවකි. මීට පෙර 2015 ජනාධිපතිවරණය අවස්ථාවේදීද ඔහු මේ විහිළුව කළ බව ජනතාව දනිති.
උවිඳු විජේවීර තනිව පිරිසිදු ගමනක් යන්නට වෙහෙසෙන බව වාර්තා වේ. එය යහපත් ක්‍රියාවකි. නමුත් සියයට සියයක් පිරිසිදු මිනිසුන් සමග පමණක් දේශපාලනය කිරීම ප්‍රායෝගික වැඩක් නොවේ. වැරදි කිරීම මිනිස් ස්වභාවයකි.
රෝහණ විජේවීර පක්ෂ සාමාජිකයන් තුළ දැඩි විනයක් පවත්වාගෙන යාමට වෙහෙසුණි. කාඩර්වරුන් පෙම් සබඳතා නොපැවැත්විය යුතු යැයි විනය නීතියක් පක්ෂයට ඉදිරිපත් කළේය. අන්තිමේදීම විජේවීර අතින්ම ඒ නීතිය කැඩුණි.. මේවා දේශපාලන රහස් නොවේ.
දැනට දේශපාලනයේ සිටින දූෂිතයන් මගහැර ගියද තමන් වටේ සිටින අය අතර එවැන්නන් නැද්ද? අනාගතයේ එවැන්නන් බිහිවිය නොහැකිද? යන කරුණු උවිඳු තේරුම්ගත යුතුයි.
මේ සියලු පාර්ශ්වයන්ට එක් තැනකට ගොනු වී එක් කණ්ඩායමක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වුවහොත්, ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි බව අංක ගණිතය දන්නා කෙනෙකුට වැටහේ. එහෙත් ඒ සඳහා විශාල ධෛර්යයක් සහ කැපකිරිමක් අවශ්‍යය. අඩුම තරමින්, එක් සන්ධානයක් සේ ඉදිරිපත් වී මැතිවරණයෙන් පසු ඉදිරියේදී වෙන් වෙන්ම තරග කිරීමේ පදනම යටතේ වත් මේ තීරණාත්මක අවස්ථාවේ සිතා බලන්නැයි අපි මේ සියලු පාර්ශ්වයන්ගෙන් ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් නාමයෙන් ඉල්ලා සිටිමු.
පොන්තනෝනා මිරිස්ගල හේදූ වතුර මැටිකෝප්පය රැගෙන පිළිකන්නට යන බව දුටු ඇයගේ මව මේරිනෝනා ‘පොන්තනෝනෝ ඔය මිරිස්ගල හෝදපු වතුර’ කියා කෑ ගැසුවාය. ‘පොන්තනෝනගෙ පස්ස පොන්තනෝනට ඔනැ විදිහටයි’ කී ඇය මිරිස් වතුරෙන් පස්ස හොදා බෙරිහන් දෙන්නට ගත්තාලු!
තමන්ට ඕනෑ හැටියට දේශපාලනය කිරීමේ අයිතිය හැමටම තිබේ.
අපට ඇති වේදනාව රට ජාතිය ආගම ගැනයි. බෙදී වෙන්වී මේ අභියෝගයෙන් රට ගොඩ ගන්නට නොහැක.