Last Updated on 1 month by admin
තැපැල් දෙපාර්තුමේන්තුවට අවුරුදු 150 ක් පිරිම නිමිත්තෙන් එම දෙපාර්තුමේන්තුව නිකුත් කරපු මුද්දර දෙක නිසා මහ කලබලයක් ඇතිවෙලා. අනුර ජනාධිපතිවරයාගේ කුඩා කැබිනට් මණ්ඩලයේ අගමැති හරිනි අමරසුරිය සහ බහුකාර්ය ඇමති විජිත හේරත්ගේ මුහුණු ඒවායේ තියෙනව. තැපැල්පති රුවන් සත්කුමාර මහත්තය විසින් පිළිගන්වන මුද්දර දෙක ඔවුන් පස්වනක් ප්‍රීතියෙන් බාරගන්න ආකාරයකුත් ඡායාරූපවලින් පෙන්නුම් කරනව. හරිනි නෝනා ඇස් කොනින් කැමරාව දිහා බලාගෙන ඉන්නව.
ජවිපෙ, පුද්ගලයා ඉස්මතුවිමට විරුද්ධව පංතිය වෙනුවෙන් ඇරඹුන මාක්ස්වාදී දේශපාලන පක්ෂයක්නෙ. එහි නායක නායිකාවන් පුද්ගලාභිවාදනයට එරෙහිව තදට කතා කළා. ඒ කියන්නෙ ඔවුන් පුද්ගලිකත්වය නංවා ගැනිමට විරුද්ධ බවයි. මාලිමාව සිය ප්‍රතිවාදින්ව හොරු විදිහට හඳුන්වත්දිත් එතන කියවෙන්නෙ මාලිමාවෙ අය අයථා ක්‍රමයට ධනය රැස්කරන්නෙ නෑ කියලයි.
මෙතන ගැටලුව ඇමතිවරුන් දෙදෙනාගේ රූ සහිත මුද්දර ජවිපෙ දර්ශනයට ඉඳුරාම පටහැනි වීමයි. ඒවායින් ඔවුන්ගේ අනාගතය ගැනත් යම් වැදගත් පණිවිඩයක් ප්‍රකාශ වෙනව. පෘතග්ජන භාවය මනුෂ්‍ය ස්වභාවයයි. මාක්ස්වාදය ගැන කතාකළාට ඒ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. මේ යථාර්ථය දන්නා දෙපාර්තුමේන්තු හා සංස්ථා ප්‍රධානින් මාලිමා දේශපාලනඥයින්ගෙත් හිතගන්ඩ පුළුවනි කියල හිතනව. මුද්දර ක්‍රියාව එහෙම දෙයක් වෙන්ඩ පුළුවනි.
නමුත් වැඩේ ගැස්සුනා. තැපැල්පති විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තියෙනව. ඒකෙ සඳහන් වෙන ලෙසට පුද්ගලකාරක මුද්දර ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති රුවක් යොදා මුද්‍රණය කර ගැනිමට පුඵවනි. ඒවා සංසරණය වෙන්නෙ නැහැ.
කාඩ් සෙල්ලම් කරද්දි කොලේ වහල ගැහිල්ල කියල එකක් තියෙනව. මේ ප්‍රකාශයත් හරියට ඒ වගේමයි. ඒකෙන් තැපැල් දෙපාර්තුමේන්තුව නිකුත් කරපු ඇමතිවරුන්ගේ මුද්දරවල ඵෙතිහාසික වටිනාකමක් නැති බව කියවෙන්නෙ නැහැ. දෙපාර්තුමේන්තුව ඒවා නිකුත් කිරීම නිසා ඇමති දෙපොල ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනිමට කෑදරකමක් නොදැක්වු බවක් කියවෙන්නෙත් නැහැ. ඔවුන් තමන්ගේ රුව අඩංගු සමරු මුද්දර සතුටින් බාරගැනීමෙන් පෙනෙන්නෙ පෞද්ගලිකත්වයට දක්වන කැමැත්තයි.
බෝධි සභාව කලකට පෙර ‘ගුරුපරපුරේ වීරයෝ’ පොතෙන් කතා උපුටා ඉදිරිපත් කළා. ඒකෙ ‘කපුටු සන්දේශය’ නමින් කතාවක් තියෙනව. ඒ කතාව මෙහෙමයි.
මේ සන්දේශය ලියා තියෙන්නෙ 1932 අවුරුද්දෙ තරමෙ. ලිවුවෙ උඩවෙල රේවත ඉස්කෝලෙ දැන් කුලි/රේවත මහා විද්‍යාලයේ මුල් ගුරුව හිටි දියෝනිස් ජයසිංහ මහත්තය.
ලියන්ඩ හේතුව මෙයයි. ඒ අවුරුද්දෙ කුලියපිටිය මණ්ඩලේ ඉස්කෝලවල අත්කම් නැටුම් ප්‍රදර්ශනයක් තිබ්බ. ප්‍රධාන අමුත්ත අධ්‍යාපන අධ්‍යක්ෂ මහත්තය. හොඳ හොඳ නැටුම්වලට තෑගි හේමත් දෙනව කියල දන්නල තිබුණෙ. ඒ හින්ද ඉස්කෝල මහත්තුරු බොහොම මහන්සි වෙලා මාස ගණන් උගන්නල නැටුම් හේමත් පුරුදු කළා.
ජයසිංහ මහත්තය දැනගෙන උන්න තෑගි දෙන්නෙ නැති විත්තිය. මීට ඉස්සරත් එහෙම කර තිබුණ හින්ද. උන්නැහැ මොක්කද කෙරවෙ ලිව්ව මේ සන්දේසෙ. ලියල ගිහින් ප්‍රදර්ශන බිමේ කළු ලෑල්ලක් තියල ඒක ඇලෙව්ව. දැන් කවුරුත් ඒක කියවනව. සමහරු පිටපත් කරගන්නව.
අධ්‍යාපන අධ්‍යක්ෂ මහත්තය ආවට පස්සෙ නැටුම් පටන්ගත්ත. එක එක ඉස්කොලෙ නම කියනකොට ඒ ඉස්කොලෙ නැටුම් කණ්ඩායම එනව. ඇවිත් නටනව.
උඩවෙල නම කියන කොට ආවෙ ලොකු මහත්තය. නිකන් නොවෙයි ඔළුවෙ අං තට්ටුවකුත් බැඳගෙන. බෙරකාරය හැටියට ආවෙ ඒ ඉස්කෝලෙ උපතුරු මහත්තයෙක්. උන්නැහෙගෙ නම පී. ඇල්. ඒ. විජේමාන්න නැත්නම් කෑගල්ලෙ මහත්තය. හරියට බෙරකාරය වගේ ඔළුවෙ තොප්පාරමක් බැඳල පච්ඩවඩමක් ඉනේ ඔතල බෙරේ බැඳගෙන ආවෙ.
දැන් කෑගල්ලෙ මහත්තය බෙර ගහනව. ලොකුමහත්තය නටනව. හරියට තිතට පය තියල නටනව. ‘ඇති ගුරුන්නාන්සෙ ඇති’ පාඩම් මහත්තය කියනව. ඒත්……. ‘ඇතිද මදිද දන්නෙ නටන මිනිහ මිසක් බලන මිනිහ නොවෙයි’ කියල ලොකුමහත්තය ඇති තරම් නැටුව. ගුරුන්නාන්සෙට තෑග්ගක් දෙනව කලින් දන්නව නම් කියල පාඩම් මහත්තය කියල තියෙනව අන්තිමේදී.
තැපැල් දෙපාර්තුමේන්තුව කරපු ක්‍රියාවක නිවැරදි බව පෙන්වන්න තැපැල්පති කරපු ප්‍රකාශය ප්‍රවෘත්ති නාළිකාවලින් විස්තර වෙනවිට අං තට්ටුවක් බැදගෙන නටපු ජයසිංහ මහත්තය සහ බෙර ගහපු කෑගල්ලෙ මහත්තයව මතක් වුනා. ඔවුන් පඩි වැඩිකරගන්න ළමයින්ගෙ ඉගැන්විම් නවත්වල පාරට බැහැපු අය නොවෙයි. එදා ඉදිරිපත් වුනේ ගුරුවරුන් ප්‍රධාන මහජනයාගේ දැනුම දියුණු කිරිමටයි. අප මේ සටහන ලියන්නෙත් ඒකටමයි.