ජනාධිපති සහෝදරයාගේ රාජාසන බයිබල් පාඩම

Last Updated on 4 hours by admin

ජනාධිපති අනුර දිසානායක සහෝදරයා, ජවිපෙ සාමාජිකයන්ට දක්ෂ කථිකයෙකි. අලුත් පාර්ලිමේන්තුව විවෘත කරමින් ඔහු පැවැත්වූ රාජාසන කථාව ජවිපෙ, මාලිමා හිතවාදීන් පවා අසරණ කරන ලද්දිකි. ඊට හේතුව කතාවේ උච්ඡතම අවස්ථාව වූ අවසානයයි. සමහරු හැඟීම්බරවද, සමහරු ආවේගශීලීවද දේශපාලන කථා අවසන් කරති. ජනාධිපතිවරයා කථාව අවසන් කළේ ඒ කිසිවක් නැතිව අවමංගල සභාවක කතාවක් නිම කරන ආකාරයෙනි. ඔහු මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයකින් වාක්‍ය කණ්ඩයක් ඉදිරිපත් කරමින් කතාව නිම කළේය. ඒ මෙසේය.

‘අඳුරට අන්ධකාරය පළවා හැරිය නොහැක. එය කළ හැක්කේ ආලෝකයට පමණි.’

ජනධිපති අනුර, කතාව ඉදිරිපත් කළේ ලියා තිබුණු කොළයක් දෙස බලාගෙන කිසිදු සංවේදීබවකින් තොරවය. එහෙයින්, මාර්ටින් ලූතර්ගේ ප්‍රකාශය මගින් දේශපාලකයන්ටත් ජනතාවටත් කාවද්දන්නට තිබුණු වටිනා අදහස දියාරු විය. මෙය පැහැදිලි වන්නේ එදින පාර්ලිමේන්තු සැසියෙන් පසු මාලිමාවේ හිතවතුන් සමාජ මාධ්‍ය ආදිය මගින් කියවන්නට ගත් දේ සැලකිල්ලට ගත් විටය. ඔවුන් ජනාධිපති රාජාසන කතාවේ දී පළ කළ අදහස් ගැන උනන්දු නොවූහ. කතා කරන්නට ගත්තේ ජනාධිපති සහෝදරයා තනිවම කාරෙකේ දොර ඇරගෙන ආ ආකාරය ගැනය. (පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ වුවත්) සුදු ඉර නොකපා වාහනය පදවාගෙන ආ එක ගැනය. ජනාධිපතිවරයාගේ කථාවේ අවසානය එවන් ඉරණමකට බඳුන් වූයේ ඇයි? ඒ ගැන පැහැදිලි කරගන්නට නම් පළමුව මාර්ටින් ලූතර් කිං ගැන කතා කළ යුතුය.

බොහෝ දෙනා මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) හඳුනන්නේ ඇමරිකාවේ වර්ණ භේදවාදයට එරෙහිව කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයකු වශයෙනි. එහෙත් ඔහු පූජකයෙකුද වූයේය. හෙතෙම, බැප්ටිස්ට් සමාගමේ Baptist Church මිනිස්ටර්වරයෙකි. මිනිස්ටර්වරයකු යන්න ඇමතිවරයකු යැයි වරදවා වටහා නොගත යුතුය. කතෝලික සභාවේ ආච් බිෂොප් යනු අගරදගුරු නොවන සේම බැප්ටිස්ට් සමාගමේ මිනිස්ටර් යනු අමාත්‍යවරයකුද නොවේ.

හෙතෙම, තමන්ට දෙමාපියන් දුන් මයිකල් යන නම වෙනුවට මාර්ටින් ලූතර් යනුවෙන් පාවිච්චි කරන්නට වූයේ පාප්තුමාගේ බලයට අභියෝග කරමින් විරෝධතා ව්‍යාපාරයක් අරඹා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ මාර්ටින් ලූතර් කෙරෙහි තිබුණු කැමැත්ත නිසාය. මේ නිසා ලූතර්ගේ පියාටද මාටින් ලූතර් කිං ජ්‍යෙෂ්ඨ යනුවෙන් සිය නාමය වෙනස් කරන්නට සිදු විය.

1955 වසරේ සිට ඔහු ඇමරිකාවේ සුදු මිනිසුන්ගේ වර්ණභේදයට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් තොරව විරෝධතා පවත්වන්නට ජනතාව පෙළගැස්වූයේය. අනුර ජනාධිපතිවරයා කොළය බලාගෙන කියවූ අදහස් පේළි කීපය, කිං එවැනි ජනතා දැනුවත් කිරීම්වලදී ප්‍රකාශ කළ එකක් නොවේ. ඔහු මේ අදහස පළ කළේ, 1957 නොවැම්බර් 17 වැනිදා ඇලබාමා ප්‍රාන්තයේ, මොන්ටිගෝමරිහි ඩෙක්ස්ටර් ඇවනියු බැප්ටිස් චර්ච්හි පැවැත්වූ Loving Your Enemies (ඔබේ සතුරන්ට ආදරය කිරීම) දේශනය අතරතුරය. මේ දේශනයේදී, කිං, බයිබලයේ සඳහන් යේසුස් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම දුෂ්කර වුවත් ඔහු ඒ සඳහා උත්සාහ කළ බවත්, යම් පමණින් එය සාර්ථක වූ බවත් ප්‍රකාශ කළේය. මේ ඒ දේශනාවෙන් කොටසකි.

“Returning hate for hate multiplies hate, adding deeper darkness to a night already devoid of stars. Darkness cannot drive out darkness; only light can do that. Hate cannot drive out hate; only love can do that. Hate multiplies hate, violence multiplies violence, and toughness multiplies toughness in a descending spiral of destruction. So when Jesus says “Love your enemies,” he is setting forth a profound and ultimately inescapable admonition. Have we not come to such an impasse in the modern world that we must love our enemies—or else? The chain reaction of evil – hate begetting hate, wars producing more wars – must be broken, or we shall be plunged into the dark abyss of annihilation.”

කිංගේ මේ ප්‍රකාශය පසුගිය කාලයේ ලෝකයේ බෙහෙවින් සාකච්ඡාවට බඳුන් වූවකි. බයිබල් විචාරකයෝ මේ ප්‍රකාශය බයිබලය සමග ගලපන්නට අසාර්ථක උත්සාහයන්හි නිරත වෙති. මේ ප්‍රකාශය ඊට වඩා ගැලපෙන්නේ, ‘නහි වෙරෙන වෙරානි’ ගාථාවටය. එය කිංගේ දේශනාවට එකතු වන්නට හේතුවක් තිබේ. 1951 සැප්තැම්බර් 16 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහිදී ජපන් සාම ගිවිසුම් සමුළුව හමුවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙවන් අදහසක් ප්‍රකාශ කළේය.

“We don’t intend to do so, for we believe in the words of the Great Teacher whose message has ennobled the lives of countless millions in Asia, that “hatred ceases not by hatred, but by love”. It is the message of the Buddha, the Great Teacher, the Founder of Buddhism, which spread a wave of humanism through South Asia, Burma, Laos, Cambodia, Siam, Indonesia and Ceylon, and also northwards through the Himalayas into Tibet, China, and finally, Japan, which bound us together for hundreds of years with a common culture and heritage.”

ජේආර්ගේ මේ කතාව ලොව පුරා ප්‍රසිද්ධ වූ කතාවකි. ඇමරිකාවේ විසූ කිංගේ කනට මේ වාර්තාව නොඇසුණා විය නොහැකිය. ඒ නිසා ඇත්තෙන්ම මේ කතාව කිංගේ අදහසක් වත් බයිබලයේ සඳහන් වන්නක් වත් නොව බුදුන් වහන්සේගේ අදහසකි. අනුර දිසානායක ජනාධිපතිවරයා තමන්ට කතා ලියා දෙන අය ගැන සැලකිලිමත් විය යුතුය.

මාර්ටින් ලූතර් කිංගේ වඩාත් ජනප්‍රිය දේශනය වූයේ ‘අයි හෑව් අ ඩ්‍රීම්’ I have a dream ය. ඔහු ඒ කතාව පැවැත්වූයේ 1963 අගෝස්තු 28 වැනිදා වොෂින්ටන් (ඩීසී) හි ලින්කන් සමරුව ඉදිරිපිටදීය.

කිංගේ සියලු කථා ලියන ලද්දේ, ක්ලැරන්ස් බෙන්ජමින් ජෝන්ස් විසිනි. නීතිඥයෙකු හා පුවත්පත් කලාවේදියකු වූ ජෝන්ස්, කිංගේ සමීපතම සගයා, උපදේශකයා, කථා පිටපත් රචකයා මෙන්ම නීතිඥයාද වූයේය. ‘අයි හෑව් අ ඩ්‍රීම්’ කතාවද ජෝන්ස්ගේ රචනාවකි.

මේ ලෝක ප්‍රකට දේශනය කරගෙන යන අතරතුර, ජෝන්ස් කතාව ලියාදුන් කොළය පසෙක දැමූ කිං, පිටපතේ නොතිබුණු සිය හදවතේ කැකෑරෙමින් තිබුණු අදහසක් ප්‍රකාශ කළේය. ඔහුගේ කතාව ලොව පුරා මෙතරම් ජනප්‍රිය වන්නට හේතු වූයේ, කිං හිටිවනම ප්‍රකාශ කළ ඒ වචන අහුරයි. (ඉතා මෑතකදී අනාවරණය වූයේ මේ කතාව ඔහු 1962 නොවැ. 27 වැනිදා රොකී මවුන්ටව් විදුහලේ ක්‍රීඩාගාරයේදීද සුළු වෙනසක් සහිතව පවත්වා තිබුණු බවයි.) ඔහුගේ කතාවේ වඩාත්ම ප්‍රචලිත වූ කොටස මෙයයි:

“I have a dream tonight. One day my little daughter and my two sons will grow up in world not conscious of the color of their skin but only conscious of the fact that they are members of the human race. I have a dream tonight,”

ජෝන්ස්ගේ පිටපත ඉවත දමා, පිටපතේ නැති කොටසක් කියන්නට කිංට හැකි වූයේ ඒ අදහස ඔහුගේ හදවතේ තැන්පත්ව තිබුණු බැවිනි. වෙනත් වචනයකින් කියන්නේ නම්, එය කිං හදවතින් කළ කතාවකි. අනුර ජනාධිපතිවරයාට කොළය බලාගෙන වත් ඒ කතාව හැඟීම්බරව කියන්නට නොහැකි වීමට හේතුවක් තිබේ.

ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ වෛරය ක්‍රෝධය ජන හදවත් තුළ වඩාත් නරක අයුරින් පැතිරවූ දේශපාලකයා අනුර දිසානායකය. ඔහු මාටින් ලූතර් කිං වැන්නකුගේ අහලකින් තබන්නට බැරි දේශපාලකයෙකි. හිංසනයෙන් තොර විරෝධතා පැවැත්වූ කිං, කිසි විටෙක සිය ප්‍රතිවාදීන්ට වචනයෙන් හෝ පහර නොදුන්නේය. සිය ප්‍රතිවාදීන්ට කිසි විටක නින්දා අපහාස නොකළේය. ශ්‍රී ලංකාවේ දේශපාලනය වඩාත්ම නරක අයුරින් පාදඩකරණයට ලක් කළ දේශපාලකයා අනුර දිසානායකය. ඔහු තරම් විරුද්ධවාදීන්ට මඩ ගැසූ, අභූත චෝදනා එල්ල කළ, බොර පිට බොරු කියූ වෙනත් දේශපාලකයකු නැත.

දේශපාලනයක්, ආර්ථික විද්‍යාවක් නොදත් සාමාන්‍ය ජනතාව හා මාලිමාවේ හිතවතුන් රවටන්නට අනුර දිසානායකට හැකි වුවද, තමන් කළ වරද ඔහුගේ හදවත දනී. රාජාසන කතාව අවසානයේ මාටින් ලූතර් කිංගේ කතාව ඉදිරියට දමා, රට ගොඩ ගැනීම සඳහා උදව් කරන්නැයි තමන්ගෙන් පහර කෑ දේශපාලකයන්ගේ සහාය ඉල්ලන විට ඔහුට ගොත ගැසෙන්නේ එහෙයිනි. ඒ කතාව හැඟීම් බරව හිතට දැනෙන පරිදි කරන්නට ඔහුට නොහැකි වූයේ හෘදසාක්ෂියේ චෝදනාවෙන් ගැලවෙන්නට ඔහුට නොහැකි වූ බැවිනි. කොළය නොබලා ඒ අදහස් ටික කියන්නට ඔහුට නොහැකි වූයේ, ඒ අදහස් ඔහුගේ හදවතෙන් මතු වූ ඒවා නොවුන හෙයිනි.

අනුර දිසානායක සහ පිරිවර රටේ ජනතා සිත් කොතරම් දුෂ්ට තත්වයකට පත් කර ඇත්දැයි පැහැදිලි කෙරෙන අපූරු කතාවක්, මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අර්ජුන රාමනාදන් පවසා තිබුණි.

‘අපි ප්‍රභාකරන්ට දෙයියා කියනව. ඔයාලා යුද්දෙ දිනාපු එක්කෙනාට මයිනා කියනව.’

මාලිමාවට ඡන්දය දුන් බොහෝ දෙනකු තුළ මෙතෙක් රට පාලනය කළ සියලු දේශපාලකයන් කෙරෙහි වෛරයක් ඇති කරවන්නට අනුර දිසානායක සමත් විය. ඔහුට ලැබුණේ ඒ වෛරය මතින් පාවී ආ ඡන්දයි. අන්ධකාරයට අන්ධකාරය පළවාහැරිය නොහැකි සේ, වෛරයෙන් ක්‍රෝධයෙන් මත් වූවන්ට සමාජය යහමගට ගැනීමට නොහැකිය. මාර්ටින් ලූතර් කිංගේ වචනයෙන් කියන්නේ නම්, ඔවුන් කරමින් සිටින්නේ, ‘තරුවලින් හිස් රාත්‍රියකට ගණ අඳුර එක් කිරීම’යි.

එහෙත් ජනතාව බලාපොරොත්තු අත්හැරගත යුතු නැත. හික්මීමක් ඇති, ශිලාචාර මිනිසුන් දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් සිටිනු දක්නා ලැබේ. අනුර දිසානායකලා රටේ පැතිර වූ අන්ධකාරය අනාගතයේදී ඔවුන් විසින් පළවා හරිනු ඇත.
.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link