Last Updated on 5 days by admin
සෑම් සෙනෙවිරත්න
Pic. credit: newswire.lk
අගමැති හරිනි අමරසූරිය, ඇමති විජිත හේරත් හා ටිල්වින් සිල්වා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක්, ගල්කිස්ස හෝටලයේ පැවති ‘අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ Arrival From Sweden සංගීත කණ්ඩායමේ ‘ඇබා ප්රණාම ප්‍රසංගය’ට ABBA Tribute show සහභාගි වීම මහජනයා තිගැස්සූ සිද්ධියකි. ධනපති පංතියට ගැලපෙන ලෙසින් සැරසී ඉතා මිල අධික ප්රවේශපත්රවලින් එහි පැමිණ, අලංකාර කෑම මේසවල අසුන් ගෙන, ‘ජොනී වෝකර් බ්ලැක් ලේබල්’වලින් සප්පායම් වෙමින්, ජනප්‍රිය ඉංග්‍රීසි සින්දු අසමින් ප්‍රීති වීම කොයි ක්‍රමයකට තර්ක කළත් ඔවුන් පෙර කී ප්‍රතිපත්තිවලට නොගැලපෙන්නේ යැයි බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. සංගීතය රස විඳීම එකකි. මේ වෙනත් ක්‍රියාවකි. දේශපාලන විරුද්ධකාරයින් ‘කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා’ කියමින් අනුම්පද කියන විට, වැරදි කළවුන්ගේ තත්වයට පත් වීමට, ඔවුන් බලයට පත් කළ ජනතාවට සිදු විය.
මේ ප්‍රසංගය පැවැත්වූ ‘අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ සංගීත කණ්ඩායම 1995 අරඹන ලද්දකි. ඒ ඇබා කණ්ඩායම 1982 දී පළමු වරට අක්‍රිය වූ පසුවය. ඉන් පසුව 2016 නැවත සංගීත කටයුතු ආරම්භ කළ ඇබා, 2022 දී නිල වශයෙන් සිය සංගීත ගමන නැවතුවාය. මේ ප්‍රසංගය ඇබා ඔරිජිනල් කණ්ඩායමේ ක්‍රියාවක් නොවේ. (ඒ බව සඳහන් කිරිමට හේතුව, ලංකාවේ සමහර ප්‍රධාන පුවත්පත් පවා මේ සංගීත කණ්ඩායම පිළිබඳව වැරදි තොරතුරු මහජනයාට ඉදිරිපත් කිරීමයි. ගල්කිස්ස හෝටලයෙන් පළ කළ දැන්වීම් පවා නොදන්නාවුන් නොමග යවන්නට සමත්ය.)
සිද්ධිය කෙතරම් දුර දිග ගියේද යත්, ප්‍රසංගය සංවිධාන කළ ගල්කිස්ස හෝටලයට නිවේදනයක් නිකුත් කරන්නට සිදු විය. එයින් කියැවුණේ, අගමැතිවරිය ඇතුළු මාලිමාවේ පිරිස සහභාභි වූයේ ආරාධිතයින් වශයෙන් බවයි. අගමැතිවරිය සහ විජිත ඇමතිවරයාගෙන් සංචාරක ක්ෂේත්රයට සිදු වන මෙහෙය සලකා, සංචාරක ප්‍රවර්ධන අංගයක් වශයෙන් සංවිධාන කෙරුණු එම ප්‍රසංගයට සහභාගි වන්නට ඔවුන්ට ආරාධනා කළ බවද නිවේදනයෙන් පැවසිණි. ආරාධනාව පිළිගැනීමට තරම් නිහතමානී වීම පිළිබඳව අගමැතිවරියට ස්තුතියද පළ කර තිබුණි.
අගමැති යනු ඕනෑම රටක ඉතා වැදගත් චරිතයකි. කිසියම් උත්සවයකට එවැන්නෙකු සහභාගි වන්නේ නම්, ඒ පිළිබඳව උත්සවය පිළබඳව කෙරෙන පූර්ව නිවේදනවලදී ප්‍රචාරය කිරීම සාමාන්‍ය සිරිතයි. සංචාරක ප්‍රවර්ධනය සඳහා වූ ප්‍රසංගයකට විදේශ කටයුතු හා සංචාරක ඇමතිවරයා සහභාගි වීමද ඉතා වැදගත් කරණයකි. නමුත් මේ ප්‍රසංගයට අගමැතිවරිය හෝ විජිත ඇමතිවරයා සහභාගි වන බව ඒ සම්බන්ධයෙන් පළව තිබුණු කිසිදු පූර්ව නිවේදනයක සඳහන්ව ඇති බවක් අපට නම් දකින්නට නොලැබුණි. (අප වැරදි නම් නිවැරදි කිරීමේ අයිතිය ගල්කිස්ස හෝටලයට තිබේ). ඒ නිසා හෝටල කළමනාකාරිත්වයේ නිවේදනය පිළිබඳව සැක පහල වේ.
හෝටල නිවේදනයේ තවත් පොඩි පරහක් තිබේ. ඔවුන් කියන්නේ, අගමැතිවරියගෙන් හා ඇමති විජිතගෙන් සංචාරක ක්ෂේත්රයට සිදුවන සේවාව සලකා මේ ආරාධනය කළ බවයි. අගමැතිවරිය හෝ විජිත ඇමතිවරයා හෝ සංචාරක ක්ෂේත්රයට කරන විශේෂ සේවාවක් ගැන මේ දක්වාම නම් අසන්නට හෝ දැනගන්නට නැත. එහි අනෙක් පැත්ත සිදුවූ බවට නම් සාක්කි තිබේ.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් සඳහා ලබා නොදීමේ තීන්දුවට අගමැතිවරිය හා ඇමති විජිත සම්බන්ධය. බිලියන ගණනින් පාඩු ලබමින් තිබෙන තැපැල් දෙපාර්තමේන්තුවෙන් පිටට එම ගොඩනැගිල්ල නොදෙන බවට පුංචි කැබිනෙට්ටුව තීරණය කළාය. එය රජයේ හිමිකම් පාවා නොදී සංචාරක ව්‍යාපෘතියක් සඳහා ලබාදුන්නේ නම්, සංචාරක ක්ෂේත්රයටත් ආණ්ඩුවටත් සුබදායක වන්නට ඉඩ තිබුණි. උදාහරණයක් ලෙස, ගල්කිස්ස හෝටලයට තැපැල් ගොඩනැගිල්ල බදු දුන්නේ නම් තත්වය කෙබඳු වනු ඇතිද?
ජනාධිපතිවරයා පත් වූයේ සැප්. 21 වැනි දාය. ඔක්තෝබර් 2 වැනිදා, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී පරිස්සමින් කටයුතු කළ යුතු බවට ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළාය. එයින් දින කීපයකට පසු ඔක්. 23 වැනිදා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයද, ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය ඇතුළු ශ්‍රී ලංකාවට ‘ඇති හැකි සංචාරකයින්’ එන රටවල් කීපයක්ද උන්හිටි ගමන් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කළහ. මේ සිදුවීම් යට සැඟව ඇති දේශපාලන හේතු පිළිබඳව බොහෝ දෙනාට අවබෝධයක් නැති බව ඇත්තකි.
කරුණු එසේ තිබියදී, අගමැතිවරිය හා විජිත හේරත් ඇමති සංචාරක ක්ෂේත්රයේ උන්නතියට සේවාවක් කරන බවට ගල්කිස්ස හෝටලය නිවේදනය කිරීම හිස් ඝෝෂාවකි. සමහර විට ඒ ආරාධනය යට යම් අනාගත බලාපොරොත්තුවක් තිබේ යැයි කෙනෙකුට යෝජනා කළ හැකිය. මෙවැනි වැඩ පසුගිය ආණ්ඩුවලිනුත් සිදු වී තිබේ. ‘තමන් කලින් ආණ්ඩු කරපු වැඩ ඒ විදිහටම කරන බව’ මාලිමාව මැතිවරණයට පෙර කිව්වා ජනතාව ඔවුන්ව බලයට පත් කරනු ඇතැයි සිතිය නොහැක. මේ නිසා මාලිමාවේ ප්‍රබලයින්ගේ දිවදෙකේ කතා වහන්නට ගල්කිස්ස හෝටලය මාට්ටු කරගෙන ඇති බවක් සමහරුන්ට පෙනෙන්ටත් පුළුවන.
අවට කිසිවකු නොසිටියෙන් එක්තරා පුද්ගලයෙක් දිය නාන්නට නිරුවතින් වැවකට බැස්සේය. ඔහු ගොඩට එන්නට හදන විට තව පිරිසක් එතනට ආවෝය. වැව් පතුල අතගෑ ඔහුට බේසමක් අහු විය. ඔහු හෙලුව වැහෙන්නට බේසම අල්ලාගෙන ගොඩට ආවේය. එතනට ආ පිරිසට ඒ දැක සිනා පහල විය. හිනාව නිසා තිගැස්සී බේසමට එබී බැලූ ඔහුට බේසමේ අඩිය නැති බව පෙනුණි.
මේ ප්‍රසංගයෙන් ලංකාවේ සංචාරක ක්ෂේත්රයට දැනෙන සේවාවක් වන්නට නම් මේ පිළිබඳව ජාත්‍යන්තර සංවාදයක් ඇති විය යුතුය. විශේෂයෙන්ම සංචාරක කටයුතු ප්‍රවර්ධනයට සම්බන්ධ අන්තර්ජාල අඩවිවල මේ ගැන තොරතුරු පළ වී ශ්‍රී ලංකාවට යෑමට සංචාරකයන් පොළඹවන අයුරැ දැකිය හැකි විය යුතුය.
නමුත් තවමත් නම් එවැනි තොරතුරු දකින්නට නැත. ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍යවල මේ පිළිබඳව පළ වූ ලිපි, ගල්කිස්ස හෝටලයේ ප්රචාරක දැන්වීම් සහ ‘අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ සංගීත කණ්ඩායම සිය ඉන්ටග්රෑම්, මුහුණුපොත ආදි තැන්හි පළ කළ තොරතුරක් විනා, කිසිදු අන්තර්ජාතික සංචාරක සංවාද මණ්ඩපයක මේ ගැන කතා කරනු දකින්නට නැත. ගල්කිස්ස හෝටලයේ හා ‘අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ කණ්ඩායමේ මුහුණුපොත් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට ලැබී ඇත්තේ දියාරු ප්‍රතිචාරය. අරයිවල් ෆ්‍රොම් ස්වීඩන්’ කණ්ඩායමේ මුහණු පොත් පෝස්ටුවලට ‘ලයික්’ 25ක් වත් වැටී නොතිබුණි. ‘හිට්’ වුණේත්, ‘වයිරල්’ ගියේත් මාලිමා ප්‍රබලයින්ගේ සහභාගි වීම පිළිබඳ පෝස්ටු, වීඩියෝ ආදියයි.
එහෙයින් මේ පූසංගය නිසා ලංකාවේ සංචාරක ක්ෂේත්රයට මහත් සේවයක් වනු ඇතැයි කීම ඇත්තක් නොවේ. ගජබින්නයකි. මෙවැනි ප්‍රසංග නරඹන්නට ලංකාවට එන විදේශිකයන් නැත. මෙයින් ලැබෙන එකම වාසිය, ප්‍රසිද්ධ විදේශීය සංගීත කණ්ඩායමක් සංචාරක අනතුරු ඇඟවීම් තිබියදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ වාසිය පමණි.
ප්‍රසංගය අවස්ථාවේ ඇමති විජිත හේරත් නිවේදිකාවක ඇසූ ප්‍රශ්නයට දුන් පිළිතුර, එය සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට නොව මාලිමාවේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවැත්වූවක් බව හඟවන්නකි.
විජිත හේරත් ඇමතිවරයා හිතවතුන්ගේ ප්‍රීති ඝෝෂා මැද කීවේ කුමක්ද යන්න වීඩියෝව බලා ටක්කෙට කීමට නොහැක. ඝෝෂා මැද අපට ඇසෙන්නේ මෙසේය.
‘ (හුරේ…) ටුඩේ ඕල් ඔෆ් අස් කැන් සේ වී හෑව් අ ඩ්‍රීම්. …. (හෝ…හුරේ ජයවේවා… ඝෝෂා නිසා කොටසක් නෑසෙයි). වී විල් ක්‍රොස් ද ස්ට්‍රීම්. ෂුවර්. ශ්‍රී ලාංකන් පීපල්, වී විල් ක්‍රොස් ද ස්ට්‍රීම්. ඉන් නියර් ෆියුචර්.. ඕල් ඔෆ් අස් ආ වෙරි හැපි. අ… නව් ශ්‍රී ලාංකන් පීපල් ආ වෙරි හැපී. වී හැව් අ…අ.. (පසුබිමින් කිසිවකු වී හෑව් අ ඩ්‍රීම් කියා කෑගසයි) ඩ්‍රීම් එබවුට් අවර් ෆියුචර්. දෙයාර්ෆෝ දිස් ඉවෙන්ට් ඉස් මෝ වැලියුබල් ෆෝ ඕල් ඔෆ් අස්. (ජයවේවා).. වී කැන් ඉම්පෲ අවර් ඉන්ඩස්ට්‍රි, ටුවරිස්ම් ඉන්ඩස්ට්‍රි. නොට් ඔන්ලි දැට්, වී කැන් ඩිවෙලොප් ඕල් ඔෆ් අවර් කන්ට්‍රි. ඇන්ඩ් වී කැන් එන්ජෝයි අවර් ලයිෆ් ෆෝ එවර්. තැන්ක්යූ වෙරි මච්.’ (හෝ… හේ…. පුනරුදයට ජයවේවා…)
ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක නම් පළව ඇත්තේ ඇමති විජිත මෙසේ කී බවකි.
“The lyrics say, ‘I have a dream and I’ll cross the stream’. Today, people are happy and I am confident that all Sri Lankans share this desire to cross the stream he remarked to enthusiastic cheers and applause from the audience. “In few years, we will cross that stream together and achieve that dream of a better future,” Herath added. ….
… “Tourism is a vital industry to boost economic growth. It will contribute significantly in realising our shared dream of a thriving and prosperous country,” he said.
ඇමතිවරයා තරමක් ව්‍යක්ත ඉංග්‍රීසියෙන් සභාව ඇමතූ බව පෙන්වන්නට පුවත්පත උත්සාහ කළද, ඇමතිවරයා එවැනි වාක්‍ය කී බවක් අපට නම් වීඩියෝවෙන් නෑසෙයි.
ප්‍රභු පංතියට අයත් අගමැතිවරියට නම් ප්‍රසංග හුරුපුරුදු දේවල් විය හැකිය. ඇයට මෙවැනි බාල ප්‍රසංග හුරු නැති බව සමහරු කියති. විජිත ඇමතිවරයා හොඳට කනබොන මිනිහකු වශයෙන් ප්‍රසිද්ධය. ඒත් ටිල්වින් සිල්වාට සහ එහි සිටි මාලිමාවේ අනික් පිරිසට නම් මෙවැනි දේ හුරුපුරුදුද යන්න සැක සහිතය.
මුදල් ගෙවා හෝ නැතිව හෝ මේ ප්‍රසංගයට ඔවුන් සහභාගි වීමේ වරදක් නැත. එයින් සිදුවන්නේ මැතිවරණයට පෙර මාලිමා කථිකයින් රටට කී මජර දේශපාලනය පිළිබඳ තවත් හැඳින්වීමක් ප්‍රකාශ වීමයි. ආර්. ප්‍රේමදාස උපන්නේ පිටකොටුව ශාන්ත බස්තියම කෙසෙල්වත්තේය. එම්. එස්. තේමිස් මැද කොළඹ මන්ත්‍රී වන්නට පෙර ප්‍රේමදාස විසූ වත්තේ ජීවත් වූ තැපැල් පියුන් කෙනෙකි. මේ කවුරුත් නැවතුනේ බලයට පත් වන්නට පෙර ඔවුන්ගේ විවේචනයට හසු වූ ධනපති පංතියේ මන්දිරවලය.
ප්‍රසංගය නැරඹිමට මාලිමාවේ ලොකු පොරවල් සෑහෙන පිරිසක් පැමිණ සිටි බවට ආරංචි ලැබේ. මහජනතාවට කළ හැක්කේ ප්‍රසංග පිළිබඳ ප්රවෘත්ති අසමින් මොවුන් මැතිවරණයට පෙර මොන තරම් චාටු කතා, දාර කෙබර කියා අප රැවටුවා දැයි හිතමින් බඩවල් බුරුල් කර ගැනීමයි.