රිළා මොළ සහ බූරු මොළ

Last Updated on 8 hours by admin

දැලෙහි පැටලුන සිංහරාජයා ගලවා ගත් මීයා පිළිබඳ කතාව සංස්කෘත සාහිත්‍යයේ අඩංගු වූවකි. ‘විපුල ගුණැති මහතුන් හට පත් විපත – නිසල නැණින් යුතු උතුමෝම දුරලත’ යයි සුභාෂිතයේ සඳහන් වේ. පොහොට්ටු ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර, මාලිමා ආණ්ඩුවේ ලාල් කාන්ත කෘෂිකර්ම ඇමති බේරා ගැනීමට ඉදිරිපත් වීම ඉහත ඕනෑම උපමාවකට සම්බන්ධ කර අර්ථ දැක්වීමට පුළුවන.

මැතිවරණයට පෙර අලි මිනිස් ගැටුම ප්‍රධාන, වගාවට හානි කරන සතුන් පිළිබඳ ගැටලු විද්‍යාත්මකව විසඳන්නට හැකි බවට මාලිමාවෙන් ප්‍රතිඥාවක් ලැබුණි. බලයට පත් වී කෘෂිකර්ම ඇමති තනතුර ලැබීමෙන් පසු ලාල්කාන්ත සහෝදරයා දණහිසටම එරී සිටියි. ඊට හොඳම නිදසුන ගොවිපලට එන සතුන්ට කැමති දෙයක් කරන්නැයි පාර්ලිමේන්තුවේදී කීමයි. ඊට අවියත් පිරිස් හුරේ දැම්මත් වියතුන්ගෙන් අප්‍රසාදයක් පළ විණි. එවිට ’මං එහෙම කීවේ රට තුළ සංවාදයක් ඇති කිරීමට’ යයි ලාල්කාන්ත සහෝදරයා කීවේය.

මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතිවරයාට ශරීරයට සරි මොළයක් නැතැයි සමහරු සිතූහ. රිළවුන් අල්ලා චීනයට යැවීමට සැරසීම එක් හේතුවකි. මෙය කොන්ත්‍රාත්තුවකි. ලාල්කාන්ත ඇමති එරී සිටින බව දුටු අමරවීර, රිළා ප්‍රශ්නය විසඳීමට නම් තමාගේ වැඩපිළිවෙළ වහා ක්‍රියාත්මක කළ යුතු යයි රජයට කියයි. (දෙසැම්බර් 09 සහ 10 හිරු ප්‍රවෘත්ති.) අමරවීර ඇමති කාලයේ, රිළවුන් ලක්ෂයක ඇනවුමක් චීන පුද්ගලික සමාගමකින් ලැබුණි. අමරවීර පැවසූ පරිදි ඒ සත්ව උද්‍යානවල ප්‍රදර්ශනයටය.

චීන වෙළෙන්දන් හොර කොන්ත්‍රාත්වලට ‘කප්’ ගසා සිටින පිරිසකි. මාලිමා ආණ්ඩුවෙන් රිළවුන් යැව්වත් චීන පාර්ශ්වයෙන් අමරවීරගේ කොමිස් එක ලැබේ. එම නිසා අමරවීර ආණ්ඩුවට දෙන්නට හදන්නේ දිරච්ච ලණුවකි. එබඳු ක්‍රියාවකින් ආණ්ඩුවට අප්‍රසාදයට ලක් වන බව ඔහු දනියි. ‘රිළවුන් චීනයට යැවීම ගැන තමන්ගේ අවධානය යොමුවී ඇතැයි’ ලාල්කාන්තද දැන් කියයි.

ඉන්දියාව, කලාපයේ පමණක් නොව ලෝකයේම බලවතා වෙමින් සිටින රටකි. මෝදිගේ ආණ්ඩුව හින්දු ආගම බබළවයි. අරාබියේත් හින්දු කෝවිල් හදන්නට හැකි බව ඔවුන් ඔප්පු කර ඇත. රාමායණ කතාවේ සඳහන් වන රාමා යටත් කරගත් ලංකාව ඉන්දියාවට සම්බන්ධ කරගැනීමේ අදහස ඉන්දියාවට තිබේ. ඒ සඳහා නොයෙක් සැලසුම් ක්‍රියාත්මකය. ඉන්දියාව හා ලංකාව යා කරන පාළමක් සැදීමද ඔවුන්ගේ වුවමනාවකි.

රාමාණයේ සඳහන් වන පරණ පාලම හැදූ ‘හනුමා’ ඉංජිනේරුවා හින්දු ආගමේ ප්‍රධාන ඇදහිල්ලකි. එතුමා වෙනුවෙන් කැප වූ කෝවිල් විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ ඇත. රාමායණයට අනුව හනුමා රාමගේ ප්‍රධාන ආධාරකරුවාය. රාම වනාහි ක්‍රිෂ්ණගේ අවතාරයයි. හනුමා පාථිවියට ආවේ රාම සමගිනි. යුද්ධය අවස්ථාවේ ලංකාපුරය ගිනි තැබුවේ හනුමාය.

චීනුන් නොකන මසක් නැතැයි කතාවක් තිබේ. එය නියම ඇත්තකි. චීන සුපවේදීන් පණුවන්, කූඹින් කැරපොත්තන් වැනි සතුන්ගෙන් පවා ආහාර සැදීමට සමත්ය. පසුගිය කාලයේ මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා ලංකාවේ ගම්වලට පැමිණි චීන ජාතිකයන් නයි, ගැරඬි, බල්ලන්, වඳුරන් වැනි සතුන් කෑ බව ලාංකිකයෝ දනිති. චීන්නු බලු මසට, බළල් මසට වඩා වඳුරු මසට ප්‍රිය කරති. ඔවුන් වඳුරු මොළය කෑමට දැඩි රුචියක් දක්වන බවත් ප්‍රසිද්ධය.

මෙබඳු කරුණු සැලකිල්ලට ගනිද්දී චීනයට යවන රිළවුන්ට සත්ව උද්‍යානයන්හි ජීවත් වන්නට සිදුවෙතැයි අමරවීර කියන කතාව සැකයට බඳුන් වේ. චීනයට යන රිළවුන්ට සිදු වන දේ ගැන වගකීමක් අමරවීරට නැත. මෙවැනි දෙයක් සිදු වීම ඉන්දියාවේ හින්දු බැතිමතුන් ලංකාවේ ආණ්ඩුව කෙරෙහි කුපිත විය හැකි සිද්ධියකි. ඉන්දියාව ලවා ආණ්ඩුවට කෙළවීමට අමරවීර උත්සාහ දරනවා නම් ඔහු හොඳ මොළකාරයෙකි.

රිළවා, ලංකාවට ආවේණික, වඳ වී යෑමේ තර්ජනයට මුහුණපා රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇති සතෙකි. රටේ වෙසෙන සියලුම ජන වර්ගවලට වඩා දීර්ඝ ඉතිහාසයක් උන්ට තිබේ. බූරුවා පෘතුගීසින් සමග ලංකාවට සංක්‍රමණය වූ සතෙකි. පෘතුගීසින් බූරුවන්ගෙන් වැඩගන්නට උගත්තේ අප්‍රිකානුවන්ගෙනි. අප්‍රිකානුවෝ අවුරුදු පන්දාහකටත් පෙරදී බූරුවන්ගෙන් වැඩගත් බවට තොරතුරු තිබේ.

පෘතුගීසි කතාවලට අනුව බූරුවා පල් මෝඩයෙකි. ඒ මෝඩකම පෙන්වන කතා බොහෝය. අමරවීර කියන කතාව බූරු කතාවකට ගැලපිය හැකිය. එක් වෙළෙන්දෙක් බූරුවකු පිට ලුණු පටාවගෙන වෙළඳාමේ ගියේය. අතරමගදී බූරුවාගේ පය ලිස්සා දිය පාරකට වැටුණි. ලුණු ගෝනි වතුරට දිය වූයෙන් බූරුවාගේ බර සැහැල්ලු විය. බූරුවා දෙවැනි දවසේ හිතාමතාම දිය පාරට ලිස්සා ගොස් ලුණු දිය කර බර හෑල්ලු කරගත්තේය. බූරුවාගේ උපාය අවබෝධ කරගත් වෙළෙන්දා පසුදා බූරුවාගේ පිටේ පුළුන් ගෝනි බැඳගන වෙළදාමේ ගියේය. එදාත් පුළුන් බර සැහැල්ලු කර ගැනීිමට සිතූ බූරුවා දිය පාරට ලිස්සා ගියේය. පුළුන් ගෝනි පෙඟී බර වැඩි විය. වෙළෙන්දා කෝප වී බූරුවාට පහර දුන්නේය. තමාගේ කොන්ද කැඩුනේ පුළුන්වල බරටද නැතිනම් පොලු පහරටද යන්න බූරුවාට ප්‍රශ්නයක් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link