Last Updated on 3 days by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
කාටුනය අරුණ පුවත්පතේ අනුග්රහයෙනි
‘රට හදා මිස බලය අත්නොහරින බව’ ඇතැම් මාලිමා නායකයෝ දිවුරා කියති. යටත් විජිතව පැවත නිදහස ලැබූ රටවල එවැනි කතා කියන දේශපාලන නායකයින් විදේශ හයිය ගැන විශ්වාසය තබන්නෝ වෙති. සිංහල බෞද්ධයාට කිසිම දෙයක නිත්‍යබවක් ඇතැයි පිළිගැනීමට නොහැකිය. එනිසා මාලිමාවේ බලය පවතින කාලය ගැනත් ඔවුන්ට විශ්වාසයක් තැබිය නොහැකිය.
අතීතයේත් මීට සමාන දේ සිදු වී තිබේ. ඇතැම් විදේශීය රජවරු සිංහල දේශය යටත් කරගෙන ඔවුන්ගේ සේනාපතියන් යොදවා රට පාලනය කරවූහ. ඉතිහාසයෙන් පැහැදිලි වන්නේ ඒ හැම විටම රටේ ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් ඇති වූ බවයි. අනාගතයේ සිදු වීමට නියමිත එවැන්නක හැඩය ප්‍රකාශ කළ හැකි එකක් නොවේ. මේ බව වැටහෙන මාලිමාව මෙහෙයවන විදේශීය බලවේග කරන්නේ, අනාගතයේ කවුරුන් බලයට ආවත් තම ආධාර නැතිව හිස එසවීමට බැරි අයුරින් රට දුප්පත් කිරීමයි. රටේ ජනතාව රටේ වන සතුන්ට විරුද්ධව පෙළඹවීම ඊට සාක්කියකි.
ලෝකයේ බොහෝමයක් රටවල්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය රට දියුණු කිරීමට මගක් යයි සිතති. සංචාරක ව්‍යාපාරය ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ ද ප්‍රධාන සාධකයකි. වන සතුන්ට විරුද්ධව කරන යුද්ධයෙන් සිදු වන්නේ ඒ ඉලක්කය බිඳ වැටීමයි. මෙවැනි ක්‍රියා මගින්, යහමින් මුදල් වියදම් කරන සංචාරකයන් ලංකාවට ඒම අඩු වෙයි. සතුන්ට නරක අයුරින් සලකන රටවල් පිළිබඳව ඔවුන් තුළ අපුලක් ඇති වන බැවිනි. සංචාරක ව්‍යාපාරය යනු ලෝකයේ පවතින අතිශයින්ම තරගකාරී ව්‍යාපාරයකි. තරගය ජය ගැනීමට නම් තමන්ට අභියෝගයක් වන තරගකරුවන් පරාජය කිරීමට සිදු වේ. නිදසුනක් දක්වතොත් ලංකාව ලෝකයේ වටිනාම මුතු නිපදවූ රට වූයේ ය. ඇතැම් රටවල් කෘතිම මුතු නිපදවීමත් සමග ඔවුන් හා ලංකාව අතර වෙළෙඳ තරගයක් ඇති විය. ඒ සමග අදෘශ්‍යමාන සිදුවීමකින් රසායනික විස වැදී ලංකාවේ මුතුපර සියල්ල විනාශ විය. ලංකාවේ මුතු කර්මාන්තය සදහටම නැති විය.
සත්ව සම්පත ලංකාවට සංචාරකයින් ආකර්ශණය වීමට ප්‍රධාන හේතුවකි. මේ තරම් වටිනා සත්ව සම්පතක් රටට හිමි වීමට ප්‍රධාන හේතුව පැරැන්නන්ගේ පරිසර ප්‍රතිපත්තියයි. ඔවුන් රටේ වටිනා පරිසරයක් ඇති කළේ යහපත් ආර්ථික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමෙනි. එහි ප්‍රධාන ලක්ෂණය වැව් හා වාර්මාර්ග තැනීමයි. පැරැන්නන් වැව් තැනුවේ මනුෂ්‍යයාගේ මෙන්ම සත්වයාගේද ප්‍රයෝජණයටයි. එයින් වියළි කලාපයේ පාරිසරික වෙනස්වීමක් සිදු විය. සමහර සතුන්ගේ බෝවීමට හා වඳවීමට පරිසරය හේතු වේ.
ලංකාවේ බොහෝ වන සත්ව වර්ගවල බෝවීම හා පාලනය වූයේ වැව් ජාලයෙනි. සරල උදාහරණයක් දක්වතොත් වගාවට හානි කරන මොනරුන්, ඉත්තෑවන්, හාවුන්, මීමින්නන්, මීයන් තලගොයින් ඉබ්බන් වැනි සතුන් ගමක් ගානේ පාලනය වූයේ වැව ආශ්‍රිතව ජීවත් වූ නරි රංවුව මගිනි. වැව් වාසියකු වූ කබරගොයාගෙන්ද සේවයක් සිදු විය. එකිනෙකට බැඳී පැවති පරිසර පද්ධතිය විනාශ කිරීම බි්‍රතාන්‍ය පාලනය විසින් සිදු කරන ලදි. එය ඉදිරියට පවත්වාගෙන යෑමට ඔවුන්ගේ කෘෂිකර්මය නමැති අධ්‍යාපන විෂයට හැකි විය.
ලාල්කාන්ත ඇමතිවරයා රිළවුන් දූපත්වලට දැමීමට අදහස් කරන බවට වාර්තා පළ වූයේය. මෙවැනි ක්‍රියා පිටරටවල සිදු වේ. ජර්මනියේ බර්ලින් නගරයට ආසන්න මොනරුන් වාසය කරන දූපත නිදසුනකි. එය සංචාරකයින් පිනවන්නකි. ඉතිහාසයේ යම් කාලයක පිටරටකින් ගෙනා මොනරුන්ගෙන් පැවතෙන මොනරු මෙහි සිටිති. උන්ගේ බෝවීමක් නැත. උන්ගෙන් වගාවනට හානියක් සිදු නොවේ.
රිළවුන් සහ වඳුරන් මනුෂ්‍ය ජනාවාස ඇති වීමට පෙර සිටම ලංකාවේ විසූ සත්ව වර්ග දෙකකි. උන්ට මනුෂ්‍යයාගේ ඇතැම් ගතිගුණවලට සමාන ගතිගුණ ඇත. රාමායන කතාවේ සඳහන් වන ලෙසට හනුමා සිය පිරිවර කැටුව ඉන්දියාවේ සිට ලංකාවට පාරක් හැදුවේය. ජනාධිපති සහෝදරයා, ඉන්දියාව සහ ලංකාව යාකරන පාරවල් කිහිපයක්ම සැදීමට ඉන්දියාවට කැමැත්ත දී තිබේ. ජනාධිපතිවරයාගේ දුර්වල පෞරුෂය හඳුනාගෙන සිටින ඉන්දියාව ‘අස්සයා ගෝං ටික් ටික් ටික්’ සෙල්ලමේ යෙදී සිටී. ඉන්දියාව අනාගතයේදී දෙරට යා කෙරෙන පාළම සැදීමට ඉදිරිපත් වෙතැයි බොහෝ දෙනා සිතති. එසේ වුවහොත් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් වේ. පකිස්ථානය, බංගාලි දේශය වැනි රටවලට නොව ලංකාවට ඒම ඔවුන්ට පහසුය. වාසිදායකය. තමිල්නාඩු පාලකයෝ ජනගහණය වැඩි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලති.
මෝදි, හින්දු ඉන්දියාවක් ගොඩනගයි. කල්කටාවේ නගරාධිපති, ට්‍රිනමුල් කොංග්‍රසයේ නායක ෆිර්හාඩ් හකීම්, ‘ඉස්ලාමිකයින් සුළු ආගමිකයන් පිරිසක් හැටියට සිතන්න එපා. අනාගතයේ අපට මහා ජාතිය වෙන්ඩ පුළුවනි. අපි ඊට සැරසිය යුතුයි’ කියමින් උපත් වැඩි කරන්නැයි මුස්ලිම් ආගමිකයන් පොළඹවයි. (Trinamool Congress leader says “Muslim can be bigger than Majority” – India Today) ලංකාවේ උතුර හා නැගෙනහිර ඈත කාලයක සිට ඉන්දියාවෙන් එන මිනිස් ආක්‍රමණයට ගොදුරු වූ පළාත් දෙකකි.
සිංහල සමාජ ක්‍රමයේ පංති භේදයක් නොතිබුණි. බ්‍රිතාන්‍ය පාලනයෙන් ‘සෙයිලොන්’ නිදහස් වූයේ පොහොසතුන් ස්වල්පයක් හා දුප්පතුන් විශාල සංඛ්‍යාවක් ඇති රටක් වශයෙනි. බලයට පත් වූ ආණ්ඩුවලට ඒ ස්වභාවය වෙනස් කරන්නට හැකි විය. ලංකාවේ ආණ්ඩු බලය ලබාගැනීමේ ආසන්නයට පැමිණ සිටි වමේ ව්‍යාපාරය දිය වී ගියේ වෙනත් රටක් කළ හතුරුකමක් නිසා නොවේ. ඔවුන් දක්කමින් සිටි පීඩිත ‘පන්තිය’ අතුරුදහන් වීමෙනි. වමේ වෘත්තිය සමිති සටන් ව්‍යාපාර හා ආණ්ඩුවේ අධ්‍යාපනය ක්‍රියාවලිය නිසා වම්මුන් කී පීඩිත මැද පන්තියක් විය.
මැද පන්තියේ ජනයාගේ ස්වභාවය මොනම දෙයකින් වත් සතුටට පත් නොවීමයි. සෑම මොහොතකම සතුට උදෙසා වෙහෙසීම මැද පන්තියේ ලකුණයි. ඔවුන් ආණ්ඩු වෙනස් කරන්නේද සතුට ළඟා කරගැනීමටය. සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ වගා සංවර්ධන ප්‍රතිපත්තිය නොඉවසීම නිදසුනකි. අරගලය ආරම්භ වූයේත්, මැද පන්තියට අවශ්‍ය නිවාස වායුසමීකරණ ආදියට විදුලිය, ඉන්ධන වැනි දේ හිඟ වීම මුල් කරගෙනයි. භික්ෂු ශාසනයේ පිරිහීමට හේතුවත් රටේ මැද පන්තියයි. පුරාණයේ ගම් ප්‍රධානීන්ගේ දරුවන් පැවිදිවීමේ සම්ප්‍රදාය තිබුණි. එය භික්ෂුව හා ගිහියා අතර හොඳ සම්බන්ධයක් ඇති වීමට හේතුවක් විය. පසුව මැද පන්තියේ දරුවන් ශාසනයට ඇතුළු වීමෙන් ඒ සබඳතා බිඳ වැටුණි.
රජවරුන් පන්සල්වලට ලොකු ඉඩම් පරිත්‍යාග කළේ පන්සලට කැලෑවක් වුවමනා වූ බැවිණි. භික්ෂුන් වහන්සේ භාවනා කළේ ඒ කැලෑව තුළයි. මැද පන්තියෙන් භික්ෂුන් බිහි වීමත් සමග බොහෝමයක් විහාරාධිපතිවරු බෝධිය ඉතිරි කර වත්තේ සෙසු ගස් කපා මුදල් උපයන වැවිලි ඇරඹූහ. මේ අතර පන්සල් වත්තේ කැලෑ රොදක් නිර්මාණය කරගෙන සංචාරක ව්‍යාපාරය කරන හාමුදුරුවරුත් සිටිති. මේ පන්සල් හා කතෝලික දේවස්ථාන සමානය. රට පුරා අලුතින් ඉදි වන යාච්ඥා මධ්‍යස්ථානවල කතෝලික පල්ලියේ පවතින නිහඬබව හෝ නැත. මේවාට එක් වන මිනිස්සු මහහඬින් ‘හලේලුයියා’ කියා කෑ මොර දෙති. කාක්කෙකුට වත් ඒ සමීපයට පැමිණිය නොහැකිය. සමහර පැතිවල ජනයා මෙවැනි පල්ලි හඳුන්වන්නේ ‘කෑ ගහන පල්ලි‘ ලෙසටයි.
මස්ජිඩ් තුළ ලවුඩ්ස්පීකර යොදා ඝෝෂාකාරී ලෙසින් දෙවියන් යැදීම කෙරේ. ඒය මෑතක මුස්ලිම් රටවලින් ලබාගත් ආදර්ශයකි. මස්ජිඩයේ වෙනස දැක කුලප්පු වූ ඇතැම් භික්ෂූන් වහන්සේ, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් හිමිදිරියේ සහ හැන්දැවේ පිරිත් ප්‍රචාරය කරන්නට ගත්හ. ඒ බොහෝ තැන්වලින් නිකුත් වන්නේ ගොරහැඩි හඬකි. පුරාණයේ පන්සල්වල හාමුදුරුවරුන් බණ කීවේ ලවුඩ්ස්පීකර්වලින් නොවේ. දැන් පීකර් නැතිව බණ නොකියැවේ. නත්තල, අවුරුද්ද, මැතිවරණය මේ හැම කාලයකම ‘සවුන්ඩ් සිස්ටම්’ ගම්වලට පැමිණේ. මගුල් පිරිත් පිංකම් සියල්ල ලවුඩ්ස්පීකර් ඇතිව සිදු කෙරේ. මියගිය පුද්ගලයින් කනත්තට ගෙනයනු ලබන්නේ රතිඤ්ඤා පුපුරවමිනි. සංගීත සන්දර්ශන දිනවලට අහල ගං හතකට නින්දක් නැත. මේ නිසා සත්තුන්ට නින්දක් නැත. උන් බයට පත් වේ. රෝගීන්, මහල්ලන් හා කුඩා දරුවන්ද මේ ශබ්ද නිසා පුදුමාකාර හිරිහැරයක් විඳිති.
ඉස්සර බින්තැන්නේ විසූ වැද්දන් දැන් නැත. වැදි නායකයා හිතවතුන් සමග එංගලන්තයට ගොස් එන ඡායාරූප දක්නා ලැබේ. මුදල් සෙවීමට සිතන සමහර වැදි පරම්පරාවේ පවුල් වැද්දන් ලෙසින් රඟපාති. සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ඇතැම් ව්‍යාපාරිකයන් සංචාරකයින්ට දැක ගැනීම සඳහා කෘත්‍රිම පැරණි සිංහල ගම් ඉදි කරති. අපේ මිතුරෙකු වූ මුදියන්සේ තෙන්නකෝන් (අගමැති) කොළඹ හෝටලයක හැදූ කෘත්‍රිම ගමක අමුඩයකින් සැරසී ගැමියෙකු මෙන් කාලයක්ම රඟපෑවේය. රූපවාහිනී මාධ්‍යවලට අරක් ගත් සමහරු අත්දිග බැනියම් ඇඳ කොණ්ඩය බැඳ අමුඩ ලේන්සුවක් කරේ දමාගෙන විට හපන බව පෙන්වමින් රඟපාති.
මිනිසුන්ගේ සහ පරිසරයේ වෙනස් වීම වන සිව්පාවුන්ට, පක්ෂීන්ට මෙන්ම ගස්වැල්වලට බලපායි. කොළඹ කාක්කා සහ ගමේ කාක්කා නිදසුනකි. එහෙත් වන සතුන්ට මිනිසුන්ට මෙන් ප්‍රකෘතිය වෙනස් කරගැනීම පහසු නැත. මිනිසුන්ගේ වෙනස්වීම නිසා උන් බියට කලබලයට හා පීඩාවට පත් වෙති. ඊට ප්‍රධාන කාරණා වන්නේ වනාන්තර අහිමි වීම බඩගින්න හා පැටියන්ට දක්වන ආදරයයි. ඔවුන්ට ඒ අභියෝග මැද වෙනස් වීමට සිදු වී තිබේ. රිළවුන්, වඳුරන් වතුපිටිවලට පැන ‘කොල්ලකති’. මොනරු වගා ‘හානි කරති’. අලි කුඹුරු ‘පාළු කරති’. ඉත්තෑවෝ, වල්ඌරෝ පොල් පැළ කති.
වන සතුන් සහ මිනිසා අතර විරසකයක් ඇති කිරීම මිනිසා විසින් සිදු කරන ලද්දකි. එය යටත් විජිතවාදීන්ගේ මෙහෙයවීමකි. ජවිපෙ ආරම්භ වූයේ මෙම ක්‍රියාවට විරුද්ධ දේශීය ව්‍යාපාරයක් වශයෙනි. ඔවුන් ඉදිරිපත් කළ පන්ති පහ එසේ කීමට එක හේතුවකි.
ජනතාව වන සතුන්ට එරෙහි වී ඇත්තේ මන්දැයි පැහැදිලි කෙරෙන සංවාදයක් ඇති කිරීම වෙනුවට, ඇතැම් රූපවාහිනී නාළිකා කරන්නේ පාලකයින් හා මහජනයා ඇවිස්සීමයි. ඔවුන්ගේ අරමුණ වෙනස් එකකි. මේ ක්‍රියාවේ අවසන් ප්‍රතිඵලය වන්නේ ලංකාවෙන් බොහෝ සතුන් අතුරුදහන් වීමයි. මිනිසුන්ගේ උදහසට ලක් වන රිළවුන් වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී රතු ලැයිස්තුවට ඇතුළත්ව ඇති සතෙකි.
මාලිමා රජයේ මැති ඇමතිවරුන්ට වන සතුන්ට විරුද්ධව කරන සටනින් ජයග්‍රහණය කිරීමට පුළුවන. එහි ප්‍රතිඵලය මුළු රටම පරාජයට පත්වීමයි. මාඕ සේතුං වී කුරුල්ලන්ට විරුද්ධව කළ යුද්ධය මහා සාගතයකින් අවසන් වූ බව බෝධි සභාවේ පසුගිය ලිපියකින් පෙන්වා දී ඇත. සතුන්ට විරුද්ධව කරන ලද, ඊට යම්තමින් සමාන යුද්ධ ලංකාවේ සිදු වී ඇත. නිදසුනක් දක්වතොත් ගේ කුරුල්ලා ලංකාවේ නගරවල, උපනගරවල හා ගම්වල විසූ පක්ෂියෙකි. ඒ කාලයේ රටවැසියෝ ගේ කුරුල්ලන්ට කූඩු හැදූහ. බොහෝ ගෙවල්වල බිත්තියක සිදුරක් සහිත මුට්ටියක් එල්ලා තිබුණේ ගේ කුරුල්ලන්ටය.
‘ගෙවල්වල ගේ කුරුලු ගෙවල් තියෙන එක අසුබයි’ යනුවෙන් මතවාදයක් ජනතාව අතර ප්‍රචලිත කෙරිණි. එයින් පසුව ගේ කුරුල්ලන් වඳවීම ඇරඹුණි. ගේ කුරුල්ලා ගෙවතු වගාවට හානි කළ කෘමීන් ආහාරයට ගත් සතෙකි. ගේ කුරුල්ලා වඳවීමත් ගෙවතු වගාව අතුරුදහන් වීමට බලපෑවේය. මිනිස්සු ගේ කුරුල්ලා හතුරෙකු යයි සිතූහ. උන් වඳවීමේ ප්‍රතිඵලය නගර ගම් පුරා මදුරුවන් හා කෘමීන් බෝවීමයි. හැම ආණ්ඩුවක්ම මදුරුවන් මර්දනයට හා මදුරුවන්ගෙන් බෝ වන රෝගවලින් මහජනයා ආරක්ෂා කිරීමට වසරක් පාසා අති විශාල මුදලක් වැය කරයි. මැස්සන් මදුරුවන් සහ හානිදායක කෘමින් නිසා මුදල් උපයන්නෝ සිටිති.
රජයේ ඇමතිවරු හාල් ප්‍රශ්නයට කෙටි කාලීන විසඳුමක් නැතැයි කියති. ගංවතුර ප්‍රශ්නයට හදිසි විසඳුමක් නැතැයි කියති. ඒ අතර ඔවුහු පරිසරවේදීන්ගෙන් හා පරිසර සංවිධානවලින් සතුන් හා මිනිසුන් අතර ඇති වී තිබෙන අර්බුදයට කෙටිකාලීන විසඳුමක් ඉල්ලති. සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රී ගොවීන්ට තුවක්කු දිය යුතු යයි යෝජනා කරමින් සිය ඥානය ප්‍රදර්ශනය කරයි.
හාල්, ඉන්ධන වැනි කෙටිකාලීන අර්බුද විසඳන ආකාරයට සතුන්ගේ ප්‍රශ්නය විසඳිය නොහැක. එහෙත් සතුන් බියගන්වන හැසිරීම්වලින් ජනතාව ඈත් කිරීමට ආණ්ඩුවකට පුළුවන. ඔවුන්ට ජාතියේ පරිසර දැක්ම වටහා දීමටත් ආණ්ඩුවට පුළුවන. රට දිළිඳු කිරීමේ අරමුණ ඇති විදේශීය මෙහෙයුම, එවැනි ක්‍රියාවන් සඳහා මාලිමා ආණ්ඩුව ඉදිරිපත් වීම අනුමත නොකරනු ඇත.