අනුරගේ ජය මාවත සහ මෝදිගේ ජය මාවත

Last Updated on 19 hours by admin

ඉන්දියාව පාලනය කරන බිජේපීයට විරුද්ධ ප්‍රධාන දේශපාලන සංවිධානය රාහුල් ගාන්ධි නායකත්වය දරන ජාතික කොංග්‍රස් පක්ෂයයි. බීජේපීය ඊට වෙනස් දේශපාලන සංවිධානයකි. එය යටතේ ගොඩනැගෙන්නේ ඉන්දියාව මුල් කරගත් හින්දු අධිරාජ්‍යයකි. මෙවැනි ක්‍රියාවකට නායකත්වය දෙන අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධ ජාතික කොංග්‍රසයේ සහායට ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් සිටිති. මේ ආගමික සංවිධාන දෙකටම යුද්ධ හා රටවල් ඇල්ලීම පිළිබඳව හොඳ අත්දැකීම් ඇත. ඉතා පුළුල් ශක්තිමත් මාධ්‍ය ජාලාවක් ඒ දෙපාර්ශ්වයටම තිබේ. ශ්‍රී ලංකාව වැනි රටක් නිදසුනට ගනිතොත් බොහෝ ජනමාධ්‍යකරුවන් හදා වඩා පෝෂණය කර ඇත්තේ මෙම ආගමික සංවිධාන දෙක විසිනි.

අනුර ජනාධිපතිවරයාගේ යම් යම් ප්‍රකාශයන් අසන ඔවුන්ට, මෝදි, ලංකාවේ ජනාධිපති අනුර කුමාරගේ ආරක්ෂයා වශයෙන් පෙනේ. එවිට ඇති වන්නේ කලබලයකි. මෝදි දක්ෂයෙකි. හින්දු ආගමට බුදුසසුන සම්බන්ධ කරගෙන කටයුතු කිරීම නිදසුනකි. කොංග්‍රසය කරන්නේ හින්දු මූලධර්මයක් වූ කුල ක්‍රමය අවුස්සමින් බීජේපීයට පහර ගැසීමයි. එවිට කොංග්‍රසයට හරිජන ඡන්ද ලැබේ. ජවිපෙ වෙස්මුහුණ වූ මාලිමාව නිරාගමිකයන්ගේ සංවිධානයක් ලෙස ප්‍රසිද්ධියක් දරයි. ඇතැම් ජවිපෙ සහෝදරවරුන් තමන් මාක්ස්වාදීන් බව සමාජයට පෙන්වා ඇත්තේ බුදුදහමට ගැරහීමෙනි. බුද්ධිමත් පුද්ගලයෙක් විහිළුවකට වත් කොස්ගස සහ බෝධිය සමාන නොකරයි. සිරි මහාබෝධියේ සෙවණ, වාඩියක් දාගෙන අරක්කු බොන්ට සුදුසු තැනක් යයි කී ඔලමොට්ටල කලාකරුවෝ මාලිමාවේ ආධාරකරුවන් වූහ. මොවුන් දක්ෂ කලාකරුවන් වශයෙන් ජනප්‍රිය කරවීම බෞද්ධ විරෝධීන්ගේ උපක්‍රමය විය.

මෝදි හමුවීමෙන් පසු අනුර ජනපති සිය කණ්ඩායම සමග ගොස් බුද්ධගයාව වන්දනා කළේය. ව්‍යාජයක් වුවත් ඊට ලංකාවේ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් පාර්ශවයන් කැමති යයි සිතීමට නොපුළුවන. ඔවුන් කැමති නටාෂා වැන්නවුන්ටයි.

මෝදි කරට අත තියා අනුර ජනාධිපතිවරයාව කැඳවාගෙන යාම පිළිබඳව ලංකාවේ ජනමාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් ලැබුණි. එය ඉන්දියාවේ වුවමනාවකි. මෙම සිද්ධියෙන් පෙන්වන්නේ ඉන්දියාවටත් ලංකාවටත් පොදු සංස්කෘතික උරුමයක් ගැනයි. වැඩිහිටියෙකු වූ මෝදි, බාලයෙකු වූ අනුරගේ උරහිසට අත තියාගෙන ගමන් කිරීම හිතවත්කම පෙන්වීමකි. එය බටහිර ඇසට වල්කමකි. අපට ළෙන්ගතුකම ප්‍රකාශ කරන සංස්කෘතික උරුමයකි.

අනුර ජනාධිපතිවරයා හා පැවැති සාකච්ඡාවලින් පසු නායකයින් දෙදෙනා ඒකාබද්ධ ප්‍රකාශයක් කළහ. මෙහිදී ඉන්දියානු ආණ්ඩුවේ ස්ථාවරය පැසූ මෝදි, ඉන්දියාව සමග ලංකාවේ විදුලි බල පද්ධතිය සම්බන්ධ කිරීම, ඉන්දියාවේ තෙල් නළ ලංකාවේ ඇතිරීම, ඉන්දියානු ආධාරයෙන් ත්‍රිකුණාමල ප්‍රදේශය සංවර්ධනය කිරීම, දෙමළ ජනයාගේ ඉල්ලීම්වලට කන්දීම (බෙදුම්වාදය) හා එට්කා ගිවිසුම කඩිනම් කිරීම ගැන කීවේය. ඒ කිසිවකින් ලංකාවට හොඳක් සිදු නොවන බව දේශප්‍රේමී සිංහලයන්ට වැටහේ. මෝදි එට්කා ගැන කී නිසා දැන් ඒ ගැන ද රට තුළ සංවාදයක් සිදු වේ. ඊට එක් වන කාගේත් මතය බලයට ඒම උදෙසා එට්කා ගිවිසුමට දැඩි විරෝධයක් ප්‍රකාශ කළ අනුර කුමාර, ඊට පක්ෂව කටයුතු කළොත් ජනතාවට බොරු කී දුෂ්ඨ පාලකයෙකු බවට පත් වන බවයි.

රැකියා විරහිත ඉන්දියානුවන් කෝටි සංඛ්‍යාවක් ඉන්දියාවේ වෙසෙති. ඔවුන්ට රැකියා සැපයීම මෝදි ආණ්ඩුව මුහුණ දෙන ලොකුම දේශපාලන ප්‍රශ්නයයි. ඉන්දියාවේ සිදු වන තාක්ෂණික විප්ලවය නිසා ඒ ප්‍රශ්නය තවත් උග්‍ර වේ. පසුගිය ඉන්දිය මහා මැතිවරණයෙන් බීජේපීය පසුබෑමට ලක්වෙන්ට ප්‍රධාන හේතුවත් මේ රැකියා ප්‍රශ්නයයි. ලංකාව, ඉන්දියාවේ කොටසක් කරගන්ට මෝදි සමත් වුවහොත්, එය ප්‍රශ්නයට විසඳුමකි. මෝදි කියන ඉන්දියාවේ ස්ථාවරයෙන් සිදු වන්නේ එයයි. හනුමා මාවත හදා දෙරට යාකර ඉන්දියානු නිෂ්පාදන නිදහසේ ලංකාවට ගලා එන්ට සැලැස්වූ විට මෝදි ජයග්‍රාහකයෙකු බවට පත් වේ.

මෝදිට දකුණු ඉන්දියාව සතුටු කිරීමටත් සිදු වී තිබේ. තමිල්නාඩුව දෙමළ කොටි ව්‍යාපාරය නමින් ස්වාධීන රටක් වෙන්ට වෙහෙසෙන ප්‍රාන්තයකි. ඔවුන්ගේ සිතියම අතීත චෝල රාජ්‍යයේ සිතියමයි. කොටියා චෝලයන්ගේ ජාතික චිහ්නය වූයේය.

මාලිමා නායකයින් කළ යුත්තේ, සිංහලයන් සමඟ නෑදෑ සබඳකම් පැවැත්වූ කාලිංග, වංග, මරාති, රාජ්පුත් ආදි ජන කණ්ඩායම් සමග නැවත සම්බන්ධ වෙන්ට අවස්ථාව සලසා දෙන්නැයි මෝදිගෙන් ඉල්ලීමයි. ඊට පෙර ඔවුන්, සිංහල ඉතිහාසය ගැන හොඳ වැටහීමක් ඇති උගතුන්ගේ සහාය ලබාගෙන දේශප්‍රේමී පක්ෂයක් ලෙස වෙනස් විය යුතුය. අතීතයේ ජවිපෙ දේශප්‍රේමී පක්ෂයකි. සිංහල භාරත සබඳකම් නැති වූයේ ඉන්දියාව මුස්ලිම් රටක් වූ පසුවය. යුරෝපීය අධිරාජ්‍යවාදියෝ සිංහලයන්ට ඔවුන්ගේ භාරතීය නෑයන් හා එක්වන්ට ඉඩ නොදුන්හ. බීජේපී නායකයින්ගේ සහය ඇතිව යළි තමිල්නාඩුවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළොත් එය ජාතිවාදයට එරෙහි ශක්තිමත් වැඩපිළිවෙළකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link