නිරාගමික ගොහොරුවෙන් මිදී බුදු සසුනට පුබුදුවන චීනයෙන් අපේ ජනාධිපති සහෝදරයාට පාඩමක්

Last Updated on 7 hours by admin

මහත්මා ගාන්ධි ඉන්දියානුවන් අත්යන්ත්‍රයෙන් මැසූ රෙද්දකින් සැරසී, රෙද්දක් පොරවාගෙන එංගලන්තයට යෑම ඉන්දියානුවන්ගේ අදීනත්වය බ්‍රිතාන්‍ය ජනයාට ප්‍රකාශ කළ අවස්ථාවකි. එය ඉන්දියානුවන්ගේ අභිමානයට මිස ලැජ්ජාවට කාරණයක් නොවීය. ලංකාවේත් එවැනි නායකයින් බිහි විය. අනගාරික ධර්මපාලතුමා නිදසුනකි. එතුමා අදීන රටවැසියන් බිහි කිරීමට වෙහෙසුනේය. සුද්දාගේ පඹයෙකු හදා නිතර දෙවෙලේ පහර දෙන්නැයි එතුමා සිංහලයන්ට කීවේ ඔවුන් හිසට රිංගා ඇති ‘සුදු භීතිය’ තුරන් කිරීමටයි. බ්‍රිතාන්‍යයෝ නිවට ස්වදේශිකයන් පිරිසකගේ සහාය ලබාගෙන ධර්මපාලතුමන් ඉන්දියාවේ සිර කළහ.

මෑත කාලයේ ලංකාවේ බිහි වූ දේශපාලන නායකයින් වැඩි දෙනෙකුගේ ගතිය අනුකරණයයි. මෛත්‍රීපාල සිරිසේන එහි අග්‍රඵලයකි. ඔහු ඉන්දියානු ඇඳුමින් සැරසී ඉන්දියානුවෙකු පරිද්දෙන් ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය. එයින් පසු ඒ ඇඳුම ඉවත දැමුවේය. පාසල්වල විකට ඇඳුම් තරගවලදීත් එය සිදු වන බව බොහෝ වැඩිහිටියන්ට නොවැටහුණි. ළමයි විවිධාකාර ඇඳුමින් සැරසී තරගවලට සහභාගි වෙති.

රටක නායකයින්ට අදීනත්වය වුවමනාය. එසේ නොමැති විට රටට සිදු වන්නේ පාඩුවකි. අප දන්නා ලෙසට අනුර කුමාර දිසානායක උපතින් බෞද්ධයෙකි. ඉන්දියානු නායකයින් ඒ බව පිළිනොගෙන හින්දු සම්ප්‍රදායානුකුලව ඔහු බුද්ධගයාවට කැඳවාගෙන ගොස් තිබේ. ‘ජනාධිපතිවරයා බුද්ධගයාව වැඳ පුදාගැනීමද මේ සංචාරයේ විශේෂිත කාර්යයක් වූ අතර හින්දු සම්ප්‍රදායානුකුලව ජනාධිපතිවරයා පිළිගැනීම එහිදී සිදු කෙරිණි’ යැයි අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය ගැන සිළුමිණ පත්‍රයේ පළ වූ ලිපියේ සඳහන්ව තිබුණි. එයත් නිවට ප්‍රකාශයකි.

ශ්‍රී ලංකාවේ හින්දු ආගම ඉහළට එසවීම භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ වුවමනාවකි. ඒ සඳහා නොයෙක් කටයුතු සිදු වේ. ලංකාවේ දේශපාලන නායකයෝ වැල නොකැඩී දකුණු ඉන්දියාවේ කෝවිල් වෙත යති. ආර්. ප්‍රේමදාස ඔප්පුවකින් හින්දූන්ට පැවරූ මුන්නේශ්වරම, පෘතුගීසින් වනසා දමන තුරුම බෞද්ධ විහාරයකි. ‘තමාට බුදුදහම පිළිබඳ දැනුමක් නැති බව’ පෙන්වන ප්‍රකාශයක් කළ ගාන්ධිව විවේචනය කිරීමට ධර්මපාලතුමාට ශක්තිය තිබුණි. මාලිමා ආණ්ඩුව බිහි වූ පසු බුදුදහම හා බෞද්ධයා ක්‍රමයෙන් දුර්වල වීගෙන යයි. එය ඇරඹෙන්නේ මාලිමා නායකයින් ජයමංගල ගායනා විසක් ලෙස සැලකූ තැන් සිටයි.

චීනයට බුදුදහම ඉන්දියාවෙන් ලැබුණි. කලක් එය චීනයේ ප්‍රධාන ආගම වීය. අතීතයේ මැද ආසියාවේ ඛාන්වරුන් බෞද්ධයින් බවට බොහෝ තොරතුරු තිබේ. දැන් සියලු ඛාන්වරු ප්‍රසිද්ධ ඉස්ලාමිකයෝ වෙති. ඉතාලි ජාතික මාර්කෝ පොලෝ පැමිණි කාලයේ චීනයේ විසූ කුබ්ලායි ඛාන් ඉස්ලාමිකයෙකු නොවේ. අධිරාජයා සමග කතාකරමින් සිටි මාර්කෝ පෝලෝ, ‘අපි අදහන දෙවියන්’ යැයි කී විට, ‘උඹලාට ඉන්නෙ එක දෙවිකෙනෙක්ද? අපිට තිස් තුන් කෝටියක් ඉන්නවා’ කියමින් සිනාසුන බව කියැවේ.

චීන බුදුදහම, ථෙරවාදී බුදුදහම නොවීය. බෝධිසත්වවරුන් පිදීම චීන බුදුදහමේ ප්‍රධාන ලක්ෂණයක් වූයේය. චීනුන්ගේ ග්වාන්යින් (ක්වාන්යින්) වන්දනාව බෝධිසත්ව වන්දනාවේ කොටසකි. ‘සත්වයාගෙන් නැගෙන වේදනාවේ හඬට සවන්දෙන්නී’ යන අර්ථය ග්වාන්යින් යන්නේ අන්තරගතව ඇතැයි චීන භාෂා විශේෂඥයෝ කියති.

යුදෙව් ආගම ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කරයි. එයින් බිහි වූ මුල් කතෝලික ආගමද ප්‍රතිමා වන්දනාව නොකළේය. පසු කලෙක කතෝලික ආගමට ප්‍රතිමා වන්දනාව ඇතුළු විය. දේවමාතාව වන්දනාව කතෝලික ප්‍රතිමා වන්දනාවේ ප්‍රධාන අංගයකි. කතෝලික ආගමේ දේවමාතා වන්දනාවේ ආරම්භය, චීන ග්වාන්යින් වන්දනාවයි. මුල් කාලයේ දේවමාතා ප්‍රතිමාවේ හිසේ ඔටුන්නක් තිබී නැත. එතුමියට ඔටුන්න පැලඳවීම සිදුවන්නේ ග්වාන්යින් වන්දනාවෙන් කොල්ලකා ගත් අංගයක් ලෙසිනි. කේරළයේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක, දේවමාතාව ඉන්දියානු කාන්තාවක කර ඇතැයි ප්‍රවෘත්තියක් ජාත්‍යන්තර පුවත්පතක පළ වී තිබුණි. ඇය දේවමාතාවට සාරියක් අන්දවා තිබේ. කලාවේ නමින් කරන මෙවැනි කෛරාටික ක්‍රියාවලින් කෙරෙන්නේ ක්‍රිස්තියානි ආගම ඉන්දියානුවාගේ මනස ආක්‍රමණය කිරීමයි. කාදිනල්වරයා කාදිනල් හිමිපාණන් කිරීම සිංහල බෞද්ධයාගේ මනස ආක්‍රමණය කිරීමකි.

චීනයේ කතෝලික ආගම පිහිටු වූ බිෂොප්වරු, චීන බුදුදහම ගොදුරු කරගෙන කතෝලික ආගම සශ්‍රීක කළහ. බිෂොප්වරුන් චීන බෞද්ධ සිරිත් භාවිත කරන්නට පටන්ගත් විට චීන ජනතාවට කතෝලික ආගම පිටස්තර ආගමක් යැයි නොවැටහුණි. ඒ කාලයේ ග්වාන්යින් වන්දනාව ආගමක් තරමට චීන ජනයා අතර ජනප්‍රියව පැවතුණි. බිෂොප්වරු ග්වාන්යින් රූ ආකාරයට දේවමාතා රූ සකස් කළහ.

මාඕ සේතුං මෙහෙයවූ කොමියුනිස්ට් විප්ලවයෙන් පසු චීනය නිරාගමිකයන්ගේ රටක් වූයේය. එහි බුදුදහම සැඟවුණි. වතිකානුවේ සිට ක්‍රියාත්මක වන කතෝලික ආගම එසේ නොවීය. කලක් යන විට තමන් කළ අපරාධයේ විපාක කොමියුනිස්ට් පාලකයින්ට අවබෝධ විය. ඇමරිකාවේ මුල් ඇති ක්‍රිස්තියානි කල්ලිවලින් ඊටත් වැඩි පීඩනයක් චීනයට එල්ල විය. ඒ සියල්ලන්ම චීන ජාතිකයින් ක්‍රිස්තියානි කිරීමට වෙහෙසීම, කොමියුනිස්ට් පාලන තන්ත්‍රයට තර්ජනයක් වූයේය. කොන්ෆියුසියස් දර්ශනය සහ බුදුදහම පැතිරයාමට මග පෑදීම හැර ඊට වෙන විකල්පයක් නැති බව චීන පාලකයින්ට වැටහුණි.

චීනය බුදුදහම දෙසට ඇදෙමින් පවතින රටකි. උදාහරණයක් දක්වතොත්, දශක කිහිපයක සිට චීනයේ දැවැන්ත බුදුපිළිම ඉදිකිරීම තරගයට මෙන් සිදු වෙමින් පවතී. පසුගිය වසරේ චීන ධනවතකු පූජා කළ ඇ.ඩොලර් මිලියන 57ක වියදමින් ලොව විශාලතම තඹ බුදු පිළිමය සාදා නිම කෙරුණු බව වර්තා විය.

චීනය, අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා බෞද්ධ රටකින් පැමිණි බෞද්ධ නායකයෙකු වශයෙන් පිළිගතහොත් එය ශ්‍රී ලංකාවට වාසියකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link