ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තියෙනවද?

Last Updated on 6 hours by admin

කිලී මහාරාජා හෙවත් ආර්. රාජමහේන්ද්‍රන්, රට බෙදීමට හා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට විශාල දායකත්වයක් දැක්වූවෙකි. ඔහු ඇරඹූ සිරස මාධ්‍ය ජාලය ඒ අරමුණු වෙනුවෙන් අදටත් ක්‍රියාත්මක වන්නකි. මහාරාජා සිය මාධ්‍ය ආයතන ඔස්සේ පුද්ගලයින් ඔසවා දේශපාලනයට මුදාහරින්නේ ගැමි වහරින් කියන්නේ නම්, ‘පිල්ලි’ හැටියටයි. ඔවුන් බහුතරය නෙක නෙක වේශයෙන් සිංහලයන්ට හා බුදු සසුනට අපල කරති. ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධයන් විශාල බලාපොරොත්තු ඇතිව පත් කරගත් ජනාධිපතිවරයෙකි. ඔහුගේ මාධ්‍ය ලේකම් තනතුරුවලට ‘මේඩ් බයි මහාරාජා’ මාධ්‍යකරුවෝ පත් වූහ. එය ගෝඨාභයව විනාශ කළ ලොකුම පිල්ලියක් බව තවමත් තේරුම් නොගත් පිරිසක් සිටිති.

දශක කීපයකට පෙර වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කලඑළි බැස්සේද මහාරාජාගේ ‘එම්ටීවී’ රූපවාහිනියේ ආර්ථික සංවාද වැඩසටහන් මෙහෙයවන්නකු වශයෙනි. එයින් වසර කීපයකට පසුව ඔහු දේශපාලනයට පිවිසියේය. නමුත් ඔහු ගැන සඳහන් බොහෝ තැන්වලින් මේ ඉතිහාසය මැකී ගොසිනි. ඔහු ගැන විස්තර ඇති wikipedia, linkedin වැනි වෙබ් පිටුවල මේ ගැන සඳහනක් නැත. (ඒ වෙනත් හර්ෂ ද සිල්වා කෙනෙකු නම්, මේ හර්ෂ ද සිල්වාට අප නිවැරදි කළ හැකිය.) ඒ වෙනුවට හෙතෙම, ආර්ථික විද්‍යාඥයෙකු, බුද්ධිමතෙකු හා දේශපාලකයකු වශයෙන් ප්‍රසිද්ධිය ලබයි.

බැටළුවන් සුදු වුවත් රැලෙන් පිට පනින බැටළුවා හඳුවනු ලබන්නේ කළු බැටළුවා වශයෙනි. පසුගිය දිනෙක හර්ෂගේ ආචාර්ය උපාධිය ප්‍රශ්න කරමින් මුහුණුපොතේ සටහනක් තැබූ සිරිමල් බණ්ඩාර එවැන්නෙකි. ඔහු රැලෙන් පිට පැන ඔළු නවාගෙන රැලේ යන හැමදෙනා අවදි කරමින් මාලිමාවුන්, හර්ෂ, කෝප් කමිටුවේ සභාපතිකමට පත් කිරීම, හාස්‍යයට ලක්කරයි. පාඨකයන් අවදි කරන ඔහු කෝප් මහපුටුවේ සිට හර්ෂ කරන ක්‍රියාව, ජෙරම්, ‘මිරකල් ඩෝම්’ එකට එන ගැහැණුන් හා මිනිස්සුන්ගේ හිසට අත තියා බිම පෙරළනවාට සමාන බව කියයි.

දිවැසිවරුන් එවැනි ක්‍රියා කරන්නේ ලංකාවේ පමණක් නොවේ. අප්‍රිකාවේ දිවැසිවරයෙක් ‘මිරකල් ඩෝම්’ එකට පැමිණි බැතිමතුන්ව එළියේ පිට්ටනියට දක්කා තණකොළ කැව්වේය.

හර්ෂ ආචාර්ය උපාධිධරයකු බව ඔහු ගැන සඳහන් හැම තැනකම පාහේ විස්තර කෙරේ. ඔහු රචනා කළ වැදගත් ආර්ථික විද්‍යා ලේඛනයක් නැති බවට මුහුණුපොත් ලේඛකයා කර ඇති සඳහනේ එක්තරා සත්‍යයක් තිබේ. තමාගේ ප්‍රකාශන 7ක් ඇති බව හර්ෂගේ linkedin පිටුවේ පවසා ඇති නමුදු ප්‍රසිද්ධ අන්තර්ජාල අඩවිවල හමු වන්නේ ඔහුගේ නම ඇති ලිපි දෙකකි. එකක් ඔහු 2008 වසරේ දිමුතු රත්නදිවාකර සමග රචනා කර, unpan1.un.org පළ කළ Using ICT to reduce transaction costs in agriculture through better communication: A case study from Sri Lanka ලිපියයි. (මෙය ඇකඩමියා academia වෙබ් අඩවියේ දැකගත හැකිය.)

හර්ෂ විසින් රචිත වෙනත් වැදගත් පර්යේෂණ නිබන්ධනයක් අන්තර්ජාලයෙන් සොයා ගත නොහැකිය. ගූගල් ස්කොලර් හි නම සඳහන් එකම හර්ෂ ද සිල්වා නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය හර්ෂ ද සිල්වායි.

රීසර්ච්ගේට් researchgate වෙබ් අඩවියේ දැක්වෙන හර්ෂ ද සිල්වා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකාරණ අධ්‍යයන අංශයේ විද්වතෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ linkedin ගිණුමේ සඳහන් ආකාරයට ඔහු ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කර ඇති නිබන්ධනයේ මාතෘකාව An Investigation of a Financial Liberalization Policy in a Financially Repressed Economy: Case of Sri Lanka. යනුයි.

හර්ෂ ආචාර්ය උපාධිය හිමිකරගත් බව කියන මිසුරි විශ්වවිද්‍යාලය 1839 ආරම්භ කරන ලද්දකි. එහි ඩිජිටල් ලේඛනාරක්ෂක ගබඩාවේ (MOrespace) එක්දහස් අටසිය ගණන්වල තරමේ ඉතාම පැරණි උපාධි නිබන්ධන පවා තිබේ. එහෙත් හර්ෂ ද සිල්වා නමින් යුතු අයෙකුගේ ආචාර්ය උපාධි නිබන්ධනයක් එයින් සොයාගත නොහැකිය. හර්ෂ ද සිල්වාගේ ජීව දත්ත තොරතුරුවලට අනුව ඔහුගේ නමේ මැද ඉංග්‍රීසි M අකුරක්ද තිබේ. එනම් හර්ෂ එම්. ද සිල්වා යනුවෙනි. ඒ නම යොදා සෙවුවද මිසුරි විශ්වවිද්‍යාලයේ ඩිජිටල් ගබඩාවෙන් කිසිදු නිබන්ධනයක් හමු නොවේ.

හර්ෂ, ද සිල්වා, හර්ෂ ද සිල්වා, හර්ෂ එම්. ද සිල්වා, ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය යැයි පැවසෙන නිබන්ධන මාතෘකාව, ශ්‍රී ලංකා ආදි පද යොදා සෙවූ විටද කිසිදු තොරතුරක් නොදැක්වේ.

ඕනෑම විශ්වවිද්‍යාලයක් තම ආයතනයේ උගත් විද්‍යාර්ථීන්ගේ ආචාර්ය උපාධි නිබන්ධන ආරක්ෂිතව තබා ගනී. ඒ, ඒවායේ අඩංගු වන්නේ තම විශ්වවිද්‍යාලයේ දායකත්වයෙන් ලෝකයට ඉදිරිපත් කරන ලද නව දර්ශනයන් වන හෙයිනි. හර්ෂ ද සිල්වා මිසුරි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හිමි අයකු නම්, එම විශ්වවිද්‍යාලය ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය ලේඛනාගාරයේ තැන්පත් කර නැත්තේ කිනම් හේතුවක් නිසාද යන්න ගැටලුවකි.

මිසුරි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ප්‍රකට ආදි ශිෂ්‍යයින්ගේ නාම ලේඛන (Notable Alumni) අතර, Government and Public Service ක්ෂේත්‍රයට අදාළව හර්ෂ ද සිල්වාගේ නම තිබේ. එහෙත්, ඔහු මිසුරි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයකු යැයි එයින් කියවෙන්නේ නැත. ආනන්ද, රාජකීය වැනි විදුහලක උගත්, අට පාස් තැනැත්තාද ඒ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමෙන් හෝ උපාධිය හැදෑරීමෙන් ආචාර්ය උපාධිධරයකු විය නොහැකිය. පවත්නා දත්තවලට අනුව, ඇමරිකාවේ ආචාර්ය උපාධි අපේක්ෂකයන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් උපාධිය සම්පූර්ණ කරන්නේ නැත.

හිටපු කථානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය ජපානයෙන් ගෙන්වා පෙන්වන බව, දොස්තර නලින්ද ජයතිස්ස කීවේ මාසයකට අධික කාලයකට පෙරය. රට කඩිනමින් ඩිජිටල්කරණය කරන්නට යන ආණ්ඩුවකට ජපානයෙන් සහතිකයක පිටපතක් ගෙන්වා ගන්නට යන කාලයක්… අගමැති හරිනි අමරසූරියගේ ඒකාබද්ධ ආචාර්ය උපාධියේ නිබන්ධන පිටපත ක්වින් මාගරට් විශ්වවිද්‍යාල ඩිජිටල් ලේඛනාගාරයේ නැත. දැන් හර්ෂ ද සිල්වාගේ ආචාර්ය උපාධිය ගැනද සැකයක් තිබේ.

හර්ෂ ද සිල්වාට ආචාර්ය උපාධියක් නැතැයි කියන්නට අපට නොහැකිය. එහෙත්, ඔහු ආචාර්ය උපාධිය ලබාගත් බව කියන මිසුරි විශ්වවිද්‍යාලයේ උපාධි නිබන්ධන ගබඩා කර ඇති ඩිජිටල් ලේඛනාගාරයේ ඔහුගේ නමින් ආචාර්ය උපාධි නිබන්ධනයක් සොයාගත නොහැකි නිසා ඒ පිළිබඳ සැකයක් ඇතිවීමද නොවැළැක්විය හැකිය. ඒ නිසා ඇත්තටම හර්ෂට ආචාර්ය උපාධියක් තිබෙනවා දැයි අසන්නට අපට සිදු වේ. ඒ සැකය දුරු කිරීම හර්ෂගේ වගකීමකි.

රටේ උත්තරීතරම ආයතනයක් වන පාර්ලිමේන්තුවේ තොරතුරු ගබඩාවේ තිබිය යුත්තේ සාක්කි සහිතව සනාථ වූ විස්තර පමණි. මුදලට ගන්නා ලද ආචාර්ය උපාධි, කලා කීර්ති, දේශමාන්‍ය, දේශබන්ධු වැනි ව්‍යාජ සම්මාන නාම, සම්පූර්ණ නොකරන ලද උපාධි ආදිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නම්වලට මුලින් හා අගින් යෙදීම වරදකි. හර්ෂ ද සිල්වා මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා ද ආචාර්ය උපාධිධරයෙකැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වේ. තමාට ආචාර්ය උපාධිය ලැබුණු හැටි මර්වින් සිල්වා ප්‍රසිද්ධියේ කියා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link