වානේ පන්නරය මොට්ට වූ හැටි

Last Updated on 6 days by admin

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය

බොරුව සහ අසත්‍යය කිරුළුපලන් සිල්ලර දේශපාලනයකට ඇබ්බැහි වී ඇති රටක වත්මන් පරපුරකට මෙවන් දේවල් ලියා කුමන පලයක්දැයි යන මන්දෝත්සාහී බව දැනෙද්දී වුවද මේ අකුරු ලියවෙයි.

ඉතිහාසයේ සිදුවූ  දෙය එමෙන්ම  නැවත සිදුවුවහොත් එය පළමුව හාස්‍යයක්ද දෙවනුව ඛේදවාචකයක් ද වන බව අප අසා තිබේ.

“වානේ පන්නරය ලැබූ හැටි ” කෘතිය ගැන සහ “පාවෙල් කොර්චාගින්” ගැන අද පරපුරේ කී දෙනෙකු දනිත්දැයි සැකසහිත මුත් අපේ යොවුන් වියේ එවැනි වූ සෝවියට් සාහිත්‍ය කෘති අපේ ජීවිතය වූ අතර “පාවෙල් ලා” අපේ වීරයෝ වුහ.

එදා වානේ පන්නරය පොත කිහිප වර කියවුවාට වඩා අද මේ මොහොතේ කියවන විට පුදුම සිතෙයි. වසර 108 කට පසුව වෙනස්කම් ඇතිව වුව අද සිදුවන්නේත් එයම නොවේද? අද යුක්රේනයේ කීව් අග නගරය සහ පරිවාර ප්‍රදේශ යුද්ධයට ගොදුරුව නටබුන්ව  මිනිස් ජීවිත විනාශ වූ විසාලා මහනුවරකි.
1917 රුසියන් විප්ලවයේදී මහා සටන් සිදුවූයේද “උක්රයිනයේ කීයෙව් නගරය” කේන්ද්‍ර කර ගනිමින්ය. ප්‍රතිවිප්ලවවාදී පෝලන්ත සුදු හමුදාවලට විරුධව විප්ලවවාදී රතු හමුදාවෝ දනීපර් ගං තෙරද, ස්ටෙප්ස් තණ බිමෙදීද ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළහ. වෙනස්වීම් සිදුව ඇත්නම් එදා “මෝස් සංඥා ” ක්‍රමය අනුව පණිවුඩ යැවු අතර අද ඩ්‍රෝණ තාක්ෂණයෙන් බෝම්බ හෙළා නගර සමතලා කිරීමයි.

වැඩි ආලවට්ටම් නොදා පවසතොත් යුක්රේනයේ මෙම විනාශයට වගකිව යූතු වන්නේ ඇමෙරිකාව සහ බටහිර ධනපති රටවල් වේ. “සෙලෙන්ස්කි” නම් වූ පුද්ගලයෙකු ජනාධිපති කරවා ඔහු ලවා රුසියාව සහ එහි නායක පුටින් කුපිත කරවා යුක්රේනයට මෙම විනාශය අත් කර දුන්නේ අදාළ  රටවල් කළ සැ ලසුමකිනි. එයින් රුසියාවද අපහසුවට පත්වන නිසා එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමකි.

එම සැලස්මේදී ඔවුනොවුන් අතරද බෙලිකපා ගැනීම් පවතී. යුක්රේන යුද්ධයේදී සරණාගතයන් වැඩි වශයෙන් පැමිණ ප්‍රශ්න ඇතිවුයේ  ඇමෙරිකාවට  නොව එංගලන්තයට සහ යුරෝපා සංගමයේ රටවලටය. ප්‍රංශයේ බඩුමිල සහ ගෑස් පිම්මේ ඉහළ ගියේය. බොහෝ ලාබෙට තිබු සුරියකාන්ත තෙල් මිල නොසිතු ලෙසින් වැඩිවිය. බොහෝවිට එහි ලාබය ලැබෙන්නට ඇත්තේ මෙම රටවල නායකයන්ගේ ගජ මිතුරු ව්‍යාපාරිකයන්ටය. බැටකෑවේ අප වැනි සාමාන්‍ය ජනතාවය. ශ්‍රී ලංකාවේ මහා පරිමාන හාල් මෝල් හිමියන්ගේ මඩිය  තරවී දුප්පත් මිනිසුන් කබලෙන් ලිපට වැටුනාක් මෙනි.

මේ ළඟකදී ලංකාවේ  මාධ්‍යවේදියෙකු එහි නායක චරිතයකින් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය.

“දැන් ඔබලා එකල කියූ මාක්ස්වාදයට, සමාජවාදයට මොකද වෙන්නේ?”

“ආ! ඒවා මේ සෝවියට් සාහිත්‍ය පොත්වල තිබුණ දේවල් නේ!”

අහෝ! පාවෙල් ? අහෝ! නීලව්නා?  (අම්මා පොතේ අම්මා) ඔබලා පුර්වාදර්ශි චරිත කොටගෙන අප අපේ ජීවිතවල කොතරම් දේ නැතිකර ගත්තාද? අහෝ ! නිකොලායි ඔස්ත්රොව්ස්කි ? මක්සිම් ගෝර්කි? අප ඔබලා පෙන්වාදුන් එම වීරවරුන්ගේ, වීරවරියන්ගේ මාවතේ යාමට ගොස් කොතරම් දේ අහිමි කර  ගත්තාද?

පව්! පව්!! ඇත්තටම පව්!!! අපිට  පව්!!!!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top