Last Updated on 10 months by admin
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD
Photo credit: Williepietersen.com
මෙම මණ්ඩපයේ නිදහස් මතධාරින් ගණනාවක් සිටිනවා.
කිහිප දෙනෙක් බුද්ධිමත් බවට ලං වන සංවේදී බවකින් අදහස් ලියා පළ කරනවා. ඇත්තෙන්ම එය සතුටට කාරණයක්.
ඒ සමගම කියන්න ඕනේ නිගමනවලට ඒමේදී තමාගේ මතය නිවැරදි බව තමාට පමණක් නොව අන් අයටත් පිළිගත හැකි අන්දමින් කරුණු කාරණා හා සාක්ෂි මත ඒ අදහස් පළ කරන්නේ නම් යහපත් බව.
අපි අන්ධයින් පස්දෙනාගේ කතාව අපක්ෂපාතීව නැවත විමසා බලමු.
කතාවට සම්බන්ධ අන්ධයින් පස්දෙනාට අමතරව, මෙය නිරීක්ෂණය කර වාර්තා කරන තවත් එක් පුද්ගලයෙක් හෝ මෙහි සිටිය යුතුයි.
අපි වළිගයෙන් පටන් ගනිමු. එක් අන්ධයෙකුට අනුව එය කොස්සකි. කකුල අතගා එය වංගෙඩියක් බවද, බඩ අල්ලා එය බිත්තියක් බවද, කන්පෙත්ත අල්ලා එය කුල්ළක් බවද, හොඬවැල අල්ලා එය මෝල්ගසක් බවද එකිනෙකාට දැනෙන පරිද්දෙන් අන්ධයින් පස්දෙනා පවසා සිටියා.
මනෝමූලිකව ඔවුන් හරියයි කෙනෙක් පවසනු ඇත. නමුත් යථාර්ථය සෑම විටම මනෝ මූලික වන්නේ නැහැ.
ඇස් පෙනීම අහිමිවීම නිසා සංජානනය පිළිබඳ මොළයේ ඇති ඉන්ද්‍රියම හැකියාව සියුම් හා තියුණු වන බව මනෝ විද්‍යාවේ දී අපි ඉගෙන ගන්නවා.
දැනට වසර පනහකට පමණ ඉහතදී පිළියන්දල නගරයේ ඔරලෝසු කණුව අසළ හිඟා කෑ අන්ධ තැනැත්තෙකුට වෙලාව කීයද කියා කියන්න පුළුවන්කම තිබුණා. එය දැකීමක් නොව දැනීමක්. එය පරචිත්ත විජානයක් හරහාද සිදුවිය හැකියි. අන්ධයා සත්‍ය නොදුටුවත්, සත්‍යය දුටු තැනැත්තාගේ මානසික පණිවිඩයක් ඔස්සේ සත්‍ය කුමක්ද කියා අන්ධයෙකුට වුවත් වටහා ගත හැකියි.
අන්ධයින් පස්දෙනාගේ උදාහරණය නැවත විමසා බලමු.
අන්ධ බවටම වහල් වී, තම තමන්ට දැනුන අන්දමට නොව හිතුන හිතෙන අන්දමට මතය ප්‍රකාශ කිරීමේ සාවද්‍ය බව ඇස් පෙනෙන මිනිස්සුන්ට වැටහිය යුතුයි.
1. ස්පර්ශය 2. ආග්‍රහණය 3. චලනය 4. ශබ්දය හෝ නිහඬතාවය මත විෂය බද්ධ තත්ත්වයන්ට ආසන්න දැනුම් මට්ටමකට ළඟා වෙන්න පුළුවන් කමක් අන්ධයෙකුට වුවත් තිබෙනවා.
සමහරු කැමතියි තමන්ගේ අන්ධ බව දිගටම රැක රැකගන්න. ඒ තුළින් ඔවුන්ට අනුන්ගේ අනුකම්පාව දිනා ගත හැකි නිසා.
දේශපාලන පොර පිටියේ පිනුම් අල්ලන මහාචාර්යවරු සහ අට පාස් අන්ධයින් අතර දැනුම පිළිබඳ තරඟයක් නැත. අන්ධ බව ඔවුන් දෙපිරිසටම පොදු සාධකයක්.
අන්ධ බව ඛේදවාචකයක් කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙහිදී කැපී පෙනෙන ඛේදවාචකය වන්නේ ඇස් පෙනෙන එවුනුත් අන්ධයින් කියූ දෙය පිළිගැනීමයි. මෙතෙක් කල් කන් නෑසුන බිහිරන්ද, තමන්ට ඇසුණු දෙයක් ගැන කතා කරයි.
බෙග් මාස්ටර්ගේ පරණ සිංහල ගීතයක් මගේ මතකයට එනවා.
” ඔබ යයි නම් තනිව අන්ධකාරේ…. නොලැබ ආලෝකේ… සදා සංසාරේ … යා හැකිදෝ සොයා මාර්ගේ”
අඳුරත් අන්ධභාවයත් දෙකම එකක් නොවන බව පමණක් සිත්හි තබාගෙන ඉදිරියට යමු!