Don’t be sad when I’ll be gone

Last Updated on 2 days by admin

එදා ජවිපෙ විසින් ජනතාවට දැනුම ලබා දීමට පිළියෙල කර තිබූ පන්ති පහේ පළමු වැන්න මගින් රටේ ආර්ථික අර්බුදයට හේතුව පැහැදිලි කෙරිණි. එමගින් ගොවි ආර්ථික ක්‍රමය වනසමින් බ්‍රිතාන්‍ය පාලකයින් ආරම්භ කළ වානිජ අර්ථ ක්‍රමයේ හදවත වූ කඳුකරයේ තේ වගාව ඇරඹූ හැටි දැඩි විවේචනයට ලක් වූයේය. අලින්ට වනාන්තරය අහිමි වූයේ කඳුකරයේ තේ වගා සංග්‍රාමය හේතුවෙනැයි කීම ඇත්තකි. මුදල් සෙවීමේ අරමුණින් කළ එම ක්‍රියාව නිසා කඳුකර ප්‍රදේශයන්හි විසූ බොහෝ සත්ව වර්ග පරිසරයත් සමගම විපතට පත් වුණි.

ලංකාව හා සමාන වැව් බැඳි රටක් ලෝකයේ තවත් නැත. රටේ දහස් ගණනක් ලොකු කුඩා වැව් හදා ඇත්තේ අලි ඇතුන්ගේ සහාය ගැනීමෙනි. කුඹුරේ සී සෑමටද අලින් යොදා ගැනිණි. එම නිසා අපේ පැරැන්නන්ගේ මනැසට අලි ඇතුන් බෝසත්වරු වූහ. බෝසත්වරයෙකු යනු ඇස් ඉස් මස් ජීවිතය දන් දෙන මහා කාරුණිකයෙකි.

කන්දේ කකා ලන්දේ යන බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ වැඩ ගත්තු

ඉන්දියාව ඉස්ලාම් රටක් වීමෙන් පසු එහි අලුත් වෙළඳාම් ගණනාවක් ඇරඹුණි. ගැහැණුන් සහ ගැහැණු ළමයි අල්ලා ගෙන ගොස් අරාබියේ වෙන්දේසි කිරීම එක් වෙළඳාමකි. අලින් අල්ලා අලෙවි කිරීම තවත් වෙළදාමකි. පෘතුගීසින් අරාබින්ගේ වෙළඳ බලය අල්ලා ගැනීමට ඉදිරිපත් වූ යුරෝපීය ජනවර්ගයකි. කෝට්ටේ කාලයේ මුස්ලිම් පෘතුගීසි ගැටුම සිංහල දේශය තුළ ද සිදු විය. ලංකාවේ ඇත්ගාල් ඇරඹෙන්නේ මේ කාලයේය. අලින් අල්ලා මුස්ලිම් වෙළෙන්දන්ට හා පෘතුගීසි සමාගමට සපයන සිංහල ඒජන්තවරුන් පිරිසක් රටේ බිහි විය. ඕනෑම රටක තමන්ගේ ඒජන්තවරුන් පත් කිරීම යටත් විජිතවාදයේ ප්‍රධාන ලක්ෂණයකි. ඔවුන් අප්‍රිකාවේ මිනිස් සම්පත කොල්ලකෑවේත් ඒජන්තවරුන් මාර්ගයෙනි.

බොහෝ යුරෝපීයයෝ නැවතීමක් නැතිව සිංහල බෞද්ධයාට ගසති. රට බෙදන්ඩ හදති. ඒ මන්දැයි සමහරුන්ට නොවැටහේ. ලොකුම සහ හොඳම එකාට ගැහීම බටහිර ක්‍රමයකි. අර්න්ස්ට් හෙමිංවේ නමැති ඇමරිකානුවාගේ The Old Man and the Sea  (සිංහල පරිවර්තනය – මහල්ලා සහ මුහුද ) කතාවෙන් කියැවෙන්නේ එයයි. කතාවේ ප්‍රධාන චරිතය සන්තියාගෝ නමැති මහලු කියුබානු ධීවරයෙකි. ඔහු මුහුදට බිය නැත. වීර්යවන්තයෙකි. කුණාටුව නොතකා මුහුදු ගිය ඔහුගේ බිලිය විශාල මාළුවෙකු විසින් ගිලිනු ලබයි. ඌ ඔරුවට දාගැනීමට ඔහුට නොහැක. සන්තියාගෝ මෝරුන් හා සටන් කරමින් ඌ ඇදගෙන එයි. වෙරළට ගෙන එනු ලබන්නේ උගේ ඇටසැකිල්ලය. ඒත් ඔහු අධෛර්යය නොවීය.

රටක කොමියුනිස්ට් පාලනයක් ඇති වූ පසු සතුන් හා මිනිසුන් අතර ගැටුම් හටගන්නා බවට මතයක් යුරෝපයේ තිබුණි. එවැනි අදහසක් පැතිරෙන්නට හේතුව ජෝර්ජ් ඕවල්ගේ ‘ඇනිමල් ෆාම්’ නවකතාවයි. (Animal Farm – George Orwell, 1945) ඒ කතාව අඩංගු චිත්‍රපටියද අතිශයින් ජනප්‍රිය විය. ඉංග්‍රීසි පොත දයාරත්න ගරුසිංහ විසින් ‘ගොවිපළේ පෙරළිය’ මැයෙන් සිංහලට පරිවර්තනය කර තිබේ.

මාඕ සේතුංගේ රතුහමුදාව වී කුරුල්ලන් වඳ කිරීමට ඇරඹූ සංග්‍රාමය ‘ඇනිමල් ෆාම්’ නවකතාවට වෙනස් සත්‍ය සිදු වීමකි. විප්ලවයෙන් පසු බලයට පත්වූ මාඕට ධාන්‍ය අස්වැන්න විනාශ කරන වී කුරුල්ලන් ගැන පැමිණිලි ලැබුණි. කෘෂි නිලධාරියෝ සංඛ්‍යා ලේඛණ පෙන්වමින් වසරකට වී කුරුල්ලන් විනාශ කරන ධාන්‍ය වාර්තා ඉදිරිපත් කළහ. මාඕ, වී කුරුල්ලන් මරන්නැයි රතුහමුදාවට කියමින් ඒ සඳහා ගොවින් උසිගැන්වූයේය. එහි ප්‍රතිඵලය වී කුරුල්ලා චීනයෙන් වඳ වීමයි. එයින් පසු භයානක කෘමි වසංගත පැතිරී චිනයේ ගොවිතැන් වැනසෙන්නට විය. (When Sparrows Fall: China’s Great Femine)

තමා මාක්ස්වාදියෙකු යයි කියාගන්නා පුද්ගලයින් ඉස්සර යුරෝපා රටවල විසූහ. දැන් තමන් පිළිබඳව එවැනි හැඳින්වීමක් කරගන්නා නායකයෙක් නැත. මාලිමා රජයේ කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත තමා මාක්ස්වාදියෙකු යයි ඉතා ආඩම්බරයෙන් කීවේ තවමත් ලෝකයේ මාක්ස්වාදී දේශපාලනඥයින් ඇතැයි විශ්වාසයෙන් බව හැඟේ. ඔහු තවත් ප්‍රකාශයක් කරමින් ගොවි බිමට ඇතුළු වන සතුන් පිළිබඳව ඕනෑම තීරණයක් ගන්නැයි ගොවීන්ට කීවේය. එයින් මාලිමාවට ආශිර්වාද කළ සිල්වත් භික්ෂුන් වහන්සේ බලවත් අපහසුතාවයකට පත් වූහ. කතාවෙන් ලොකුම පාඩුව සිදු වන්නේ සිංහල බෞද්ධයාටයි. ලෝකයේ බුද්ධිමත් මනුෂ්‍යයින්ට සිංහලයන් ගැන වැරදි වැටහීමක් ඇති වීම වැළැක්විය නොහැක.

ඥානා මුතුනායක, ‘පවන් සහ මායා’ නමින් අලි කතා සංග්‍රහයක් ප්‍රකාශයට පත් කළාය. මා දන්නා පරිදි දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිසක් එක් වී මෙම පොත එකල ජනාධිපති මහින්ද රාජපක්ෂට පිළිගන්වන ලද්දේ විශේෂ අරමුණක් ඇතිවය. ඒ පොතින් කියන්නේ අලින් තෑගි භාණ්ඩ වශයෙන් විදේශ රටවලට දීම අයහපත් ක්‍රියාවක් බවයි.

පවන් හා මායා සකස් කරන්නට ඥානා පෙළඹුණේ හේතු කිහිපයක් නිසාය. ඉන් ප්‍රධාන වූයේ ලංකාවේ රාජ්‍ය නායකයෙකු පකිස්ථානයට තෑගි දුන්, 35 වසරක් අපා දුක් වින්ද ‘කාවන්’ ඇතා පිළිබඳ තොරතුරු දැන ගැනීමයි. මේ ඇතා ගැන පසු කලෙක ඇමරිකානු ගායිකා චේර් ගැයූ Don’t be sad when I’ll be gone ගීතය (Cher & The Loneliest Elephant) ලෝකයම වේදනාවට පත් කරන ලද්දකි. කම්පාවට පත් පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයින් කාවන් නිදහස් කිරීමට තීරණය කළ නමුත් ඌ ආපසු ලංකාවට දීමට පකිස්ථාන රජය අකමැති විය. ඒ, ලංකාව අලින්ට හිංසා කරන රටක් වශයෙන් සැලකීමෙනි. මෑත කාලයේ ලංකාවට තෑගි දුන් ඇතා ආපසු ගෙන යන්නට තායිලන්තය තීරණය කරන්නට හේතුවත් සත්ව හිංසනය ගැන රට ලබා ඇති අපකීර්තියයි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලංකාවට පැමිණි ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ට අලි පැටියෙකු තෑගි දීම, පවන් සහ මායා ලියන්නට බලපෑ තවත් හේතුවකි. ඒ අලි පැටවා ඇමරිකාවට ගෙන ගොස් මාස තුනක් ගත වන්නට පෙර මිය ගියේය. ඒ හැර ලංකාවෙන් ඇමරිකාවට ගෙන ගොස් දුක් විඳි අලි ඇතුන් පිරිසක් සිටින බව ඇයට දැනගන්නට ලැබුණි.

අලි මිනිස් ගැටුම් යන්න වතු වගාකරුවන්ගේ ප්‍රබන්ධයකි. ඔවුන් අලි මැරීම සාධාරණ බව පෙන්වීම සඳහා අලින් ගැන වැරදි කතා පැතිරවූහ. යුරෝපා රටවල් වෘකයා වඳ කර ඇත්තේ ද මෙවැනි කතා ඉදිරිපත් කරමිනි. බදුල්ලේ උප දිසාපති මේජර් තෝමස් රොජර්ස් අලින් 1500 – 2000ක් අතර සංඛ්‍යාවක් වෙඩි තැබූ ඉංග්‍රීසි ජාතිකයෙකි. වැවිලිකරුවෝ ඔහුගේ කෲර ක්‍රියාව වීර ක්‍රියාවක් සේ සලකා එය සිහි කිරීමට ස්මාරකයක් තැනවූහ. අප්‍රිකානු රටවලද අලින් මැරිල්ල සිදු වේ. බොට්ස්වානාව අලින් මැරිල්ල කළේ පරිසරය සමබර කිරීමට බව පවසමිනි. ඒ කොන්ත්‍රාත්තුව යුරෝපීය සමාගමකට ලැබුණි. ‘රටේ දඩයක්කාරයින් දාලා ඕක කළා නම් උන් මරන්නේ කොර ගහන නොන්ඩි ගහන දුර්වල අලි. සුද්දෝ වෙඩි තියන්නෙ කණ්ඩායමක ඉන්න ලොකුම අලි තෝරලයි’ ඒ ගැන අදහස් දැක්වූ යුරෝපා ජාතිකයකු කියා තිබුණි.

ඉන්දියාව, බුරුමය වැනි ආසියානු රටවල සහ අප්‍රිකාවේ අලි ඇතුන් ගැන තොරතුරු සොයන්නෙකුට අලින්ට වැඩියෙන්ම හිංසා කරන මිනිසුන් වෙසෙන රට ලංකාව දැයි සැකයක් ඇති වේ. රට වැසියන් වැඩි දෙනා ඕනෑම මගුලකට අවමගුලකට පල්ලියේ උත්සවයට රතිඤ්ඤා පිපිරවීම ඊට හේතුවයි. ගෙවියෝ අලින්ට වෙඩි ගසති. වගාකරුවෝ හක්ක පටස් තියති. තවත් සමහරු විදුලිය සැර වද්දති. මේ හැම ක්‍රියාවකින් අලි ඇතුන්ගේ කන් ඇසීම දුර්වල වේ. නැතිනම් උන් මිය යති.

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් වෘක්ෂ නිවාස (ට්‍රී හවුසස්) හැදීම ලංකාවේ ඉතා ජනප්‍රිය ක්‍රියාවකි. එවැනි නිවාස වැඩිම ප්‍රමාණයක් ඇත්තේ අලින් ගැවසෙන විල්ලු හා වැව් පිටි ආශ්‍රිතවයි. මේවාට යන දෙස් විදෙස් සංචාරකයෝ අලින් කලබල කරන නොයෙක් උමතු ක්‍රියාවන්හි නිරත වෙති. මෑත දිනක කිසියම් වුවමනාවක් සඳහා හබරන ප්‍රදේශයට ගිය අපට පුදුම සිතුණි. නොයෙක් ක්‍රමවලට ආණ්ඩුවේ ඉඩම් ලබාගත් වෛවාරණ පුද්ගලයෝ ගස් නිවාස සහිත සංචාරක නිකේතන විශාල සංඛ්‍යාවක් සාදා තිබේ. මෙයින් සමහරක් ඇත්තේ අලි ගැවසෙන වැව් පිටිවලයි.

ප්‍රේමදාසගේ සමහර උදාගම්ද අලින්ට මාරකයකි. වනාන්තර ඇති ප්‍රදේශවල උදාගම් හැදීමේදී අලින් මාරු වන මංකඩවල් ඉලක්ක කර ඇත්තේ අලින් පිළිබඳ වෛරයකින් මෙනි. විල්පත්තුවට යාබද පහළ පුලියන්කුලම උදාගම හොඳම නිදසුනකි.

රිලවුන්, මොණරුන්, දඬුලේනුන්, ඉත්තෑවුන් වැනි සතුන් වගා පාළු කරන්නන් වශයෙන් සැලකීම යුරෝපීය කෘෂි ‘විද්‍යාවෙන්’ සැපයූ දැනුමකි. එම ‘විද්‍යාව’ මීමැසි පාලනය, ගව, එළු, බැටළු, කුකුළු පාලනය ආදි වශයෙන් සතුන් පාලනය කරන ක්‍රම උගන්වයි. පිට රට ඉගෙනුම ලැබූ මේ විෂය පිළිබඳ විශේෂඥයෝ ලංකාවේ සිටිති.

සිංහල බෞද්ධ ජීවන දර්ශනය මගින් කළේ සතුන්ට හානි නොකර ඔවුන් සමඟ ජීවත් වන ක්‍රමය මනුෂ්‍යයින්ට පුරුදු කිරීමයි. සතුන්ටද මනුෂ්‍යයින් සමග ජීවත් වන දැනුම ලබාදුන් ක්‍රම තිබුණි. මීට සමාන යම් යම් ක්‍රම ඇතැම් රටවල භාවිත වේ. යටපත් වූ ඒ සිංහල දැනුම යළි පිහිටුවීම, ලංකාවට ලෝක කීර්තියක් ලබාගත හැකි හොඳ මගකි. සහෝදර ලාල්කාන්ත ඇමතිවරයාට එය කරන්නේ කෙසේ දැයි දැනගැනීමට වුවමනා නම් මිලක් අය නොකර කියා දීමට අපට පුළුවන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link