අතේ පත්තු වුන, ඇමති විජිතගේ ආරුගම්බේ අතේරෝල්

Last Updated on 5 months by admin

2009 වසරේ කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසුව 2019 පාස්කු ප්‍රහාරය රට තුළ නැවත ත්‍රස්තවාදී බියක් ඇති කළ සිද්ධියකි. ආරුගම්බේ අනතුරු සංඥාව පාස්කු ප්‍රහාරයෙන් වසර 5 කට පසුව රටේ නැවතත් ත්‍රස්ත බියක් මතු කරයි.

පාස්කු ප්‍රහාරය රටේ සංචාරක කර්මාන්තය බිඳවැටීම හා ආර්ථිකය කඩාවැටීම වේගවත් කළ සිදුවීමකි. ආරුගම්බේ අනතුරු සංඥාව, සංචාරක වාරය කටේ තිබියදී පැමිණි එකකි. එයින් ඇති කෙරෙන බිය හා අවිනිශ්චිතභාවය සංචාරක කර්මාන්තයෙන් බැහැර තවත් ක්ෂේත්‍ර ගණනාවක් අවදානමට ලක්වීමට කාරණයකි. (ඒ ගැන ලිපියේ ඉදිරි කොටසක්වලදී පැහැදිලි කෙරෙනු ඇත.)

විදේශ මාධ්‍ය වාර්තා අනුව, සැප්තැම්බරයේ හා ඔක්තෝබර් මුල ආරුගම්බේ සිටි 600-700ක් පමණ සිටි සංචාරකයන් සංඛ්‍යාව දැන් 20ක් දක්වා පහළ බැස ගොසිනි. ආරුගම්බේ සිටි ඊශ්‍රායල් ජාතිකයන් 17 දෙනෙකු ප්‍රදේශය හැර ගොස් ඇත. තවදුරටත් එහි රැදී සිටින්නේ තිදෙනෙකු පමණකි.

ආරුගම්බේ අනතුරු සංඥාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඔක්. 24 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය විජිත හේරත් සහෝදරයා පැවසූ ඇතැම් සියුම් කරුණු කිසිවකුගේ අවධානයට ලක්ව ඇති බවක් පෙනෙන්නට නැත. ඔහුගේ ප්‍රකාශ (දෙරණ ප්‍රවෘත්ති විකාශය 24 දා රාත්‍රී 10) අතරින් කීපයක් මෙසේ සම්පීඩණය කළ හැකිය.

  1. මේ පිළිබඳ විදේශ බුද්ධි අංශ වාර්තා ලංකා බුද්ධි අංශවලට ලැබී ඇත්තේ ජනාධිපතිවරණයට පෙරය. ඒ නිසා ලංකාවේ බුද්ධි අංශවලට මේ අනතුර පිළිබඳව කරුණු අනාවරණය කරගැනීමට නොහැකි වීම වර්තමාන රජය යටතේ ඇති බුද්ධි අංශවල දුර්වලකමක් නොවේ.
  2. වත්මන් රජය පත් වූ පසු පළවන දෙවන ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලටම මේ තොරතුරු බුද්ධි අංශවලින් ලැබුණි. ඒවා ගැන ගැඹුරින් සාකච්ඡා කර අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගෙන ඇත.
  3. මෙය හුදෙක් ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරයකි. ඒ නිසා රටවැසියන්ට හෝ වෙනත් විදේශීය සංචාරයකන්ට මෙයින් බලපෑමක් නැත.
  4. මෙය පාස්කු ප්‍රහාරය වැනි එකක් නොවේ. එනම් ඒ එතරම් සැලකිල්ලට ගත යුතු දෙයක් නොවේ.

ඇමති සහෝදරයා කියන පරිදි මේ පිළිබඳව ජනාධිපතිවරණයටත් පෙර සිට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණේ නම් හා වත්මන් රජය පත් වූ පසු අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගෙන තිබුණේ නම්, ඇමරිකානු තානාපති කාර්යාලය සිය කාර්ය මණ්ඩලයට හා ලංකාවේ සිටින ඇමරිකානුවන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යෑම වහාම නතර කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් නොකරයි. එසේම ඊශ්‍රායලය ඇතුළු අනෙකුත් රටවලටද එවැනි නිවේදන නිකුත් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇත.

ආරුගම්බේ සිටින ඊශ්‍රායල් ජාතිකයකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ඇමරිකානු තානාපති කාර්යාලයේ අනතුරු ඇඟවීමෙන් පසු පළමුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට පැමිණි බවයි. මේ වන විට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 16 දෙනෙකු ඔහුගේ නිවසේ ආරක්ෂාවට සිටී. ඊශ්‍රායල් සොහොයුරන් දෙදෙනකු නැවතී සිටින නිවසක ආරක්ෂාවට පොලිසියේ හා විශේෂ කාර්ය බලකායේ 8 දෙනෙකු යොදවා ඇත. මේ මාසය අවසානයේ තමන් අහංගම ප්‍රදේශයට යන බව ඔවුන් පවසා තිබේ.

විජිත හේරත් සහෝදරයා මාධ්‍ය සාකච්ඡාවේදී පාවිච්චි කළ වචනයකින්ද, රජය මේ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි බව හෝ කිසිදු පූර්ව ආරක්ෂක පියවරක් ගෙන නොතිබුණු හෝ අනාවරණය වේ. ඒ මෙසේය:

ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල වීමේ අනතුර පිළිබඳව ආණ්ඩුව පත් වූ මුල සිටම ආරක්ෂක මණ්ඩල සාකච්ඡා පැවති බව විස්තර කරමින් සිටි ඔහු, “පෙරේදා (22 වැනිදා) රාත්‍රියේම ජනාධිපතිඋතුමත් පොලිස්පතිතුමා, මම, අගමැතිතුමිය, ඒ විමර්ශන කරන ප්‍රධාන අය එක්ක සාකච්ඡා පැවැත්තුවා, පෙරේදා රාත්‍රියේම තවත් ආරක්ෂක පියවරයන් ශක්තිමත් කළා… ඊයේ (23) උදේම ආරක්ෂක මණ්ඩලයේ විශේෂ හදිසි රැස්වීමක් කැඳෙව්වා.. පාන්දර 7ට ජනාධිපතිඋතුමාගෙ ප්‍රධානත්වයෙන්, ඒ ආරක්ෂක කවුන්සිලයෙනුත් අපි තීන්දු තීරණ ගණනාවක් ගත්තා.” යැයි අවධාරණයෙන් කීවේය.

මෙහිදී ඔහු ‘පෙරේදා රාත්‍රියේම’, ‘ඊයේ පාන්දරම’ යනුවෙන් ‘ම’ යන්නක් යොදාගැනීමෙන් අනාවරණය වන්නේ කුමක්ද? කලින් පටන්ම මේ පිළිබඳව සාකච්ඡා පැවතියේ නම්, ඔහු කිය යුතුව තිබුණේ ‘පෙරේදා රාත්‍රියේත්’, ‘ඊයේ පාන්දරත්’ යනුවෙන් ‘ත්’ අකුරක් යොදමිනි. එහෙයින් මේ පිළිබඳව පූර්ව සාකච්ඡා පැවති බවටත් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබුණු බවටත් අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකිය.

මේ මාසයේ මැදපෙරදිග යුද වාතාවරණය ඇතිවී අවුරුද්දක් ගෙවෙන අතර මෙය ඊශ්‍රායල්වරුන්ගේ යම් යම් උත්සව පැවැත්වෙන කාලයක්ද වන බව පැවසූ ඇමතිවරයා, ‘ඒ නිසා ඊශ්‍රායල්වරුන් ගැවසෙන තැන්වල යම් යම් කැළඹිලිකාරී තත්වයක් ඇති කළ හැකි බවට සැකයක් තමයි ඇත්තටම අනාවරණය වුනේ’ යනුවෙන් පැවසීය.

ඊශ්‍රායල් උත්සව සමය ඔක්තෝබර් මාසය පුරාම පාහේ (3-25) පමණ තෙක් පැවැත්වේ. හමාස් ත්‍රස්තයන් ඊශ්‍රායලයට පැන කළ සංහාරයේ සංවත්සරයද ඔක්තෝබරයේය. ඊශ්‍රායලය මේ නිමිත්තෙන් සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළේ සැප්. මාසයේ 25 වැනිදාය. එහිදී ඊශ්‍රායල් ජාතිකයන්ට ලෝකයේ විවිධ රටවලදී එල්ල වූ සහ ප්‍රහාර එල්ල කරන්නට ගත් උත්සාහයන් විස්තර කළ ඊශ්‍රායල් ආරක්ෂක කවුන්සලය රටවල් ගණනාවක් වෙනුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන (4 වැනි මට්ටමේ – රතු) නිකුත් කළාය. එම රටවල් නම්, බංගාලි දේශය, සෝමාලියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, ඇල්ජීරියාව, ජෝර්දාන්, ඊජිප්තුව, (සිනායි අර්ධද්වීපයද ඇතුළුව) තුර්කිය, සහ සවුදි අරාබියයි.

ජනාධිපතිවරණය පැවතියේ සැප්. 21 දාය. ඊටත් පෙර ආරුගම්බේ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ලංකාවේ බුද්ධි අංශවලට තොරතුරක් ලැබුණේ නම්, ඒ තොරතුර ඊශ්‍රායල බුද්ධි අංශවලටද නොලැබෙන්නට හේතුවක් නැත. මන්ද, එය ඊශ්‍රායල්වරුන් ඉලක්ක කර එල්ල කිරීමට නියමිතව තිබුණ බැවිනි. එවන් තොරතුරක් ඊශ්‍රායල් බුද්ධි අංශවලට ලැබුණේ නම්, අනතුරු ඇඟවීමේ නිවේදනයට (අවම වශයෙන් 2 වැනි 3 වැනි මට්ටමේ වත්) ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීම අනිවාර්යය. නමුත් එවැන්නක් නොසිදුවීමෙන් පැහැදිලි වන්නේ ඒ කාලයේ එවැනි බුද්ධි තොරතුරක් ලැබී නැති බවයි. (ඊශ්‍රායල් අනතුරු ඇඟවීම් ලැයිස්තුවේ රටවල් 198ක් පිළිබඳ ඇති නිවේදන අතර ලංකාවේ (1 මට්ටමේ මිශ්‍ර අනතුරු ඇ’ගවීමක්) නමද ඇත. එය වැඩි විස්තර නැති, විවිධ සිදුවීම් ඇතිවිය හැකි බවට වන පොදු නිවේදනයකි. එසේම ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර, මහජන කැළඹීම් සිදුවී ඇති බවත් එවැනි දේ ඇති විය හැකි බවට වන නිවේදනයක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද ඔක්. 2 වැනිදා නිකුත් කර තිබේ. ඒවා මේ සිද්ධියට ඍජුව සම්බන්ධ බවක් පෙනෙන්නට නැත.)

ඇමරිකාව, ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ආදි සියලු රටවල් එකවරම ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද? මෙය පොදුවේ ලොව හැම තැනකම සිටින ඊශ්‍රායල්වරුන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නම් වෙනත් රටවල් ඔවුන්ගේ වැසියන් වෙනුවෙන් අනතුරු ඇඟවීම් නිකුත් කළේ ඇයි?

ඊශ්‍රායල් ආරක්ෂක කවුන්සිලය උපුටා දක්වමින් ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට මේ සිද්ධියට හේතුව, විජිත ඇමතිවරයා පැවසූ හේතුවට වඩා වෙනස් එකකි. ආරුගම්බේ ප්‍රදේශයේ පිටිහි ඊශ්‍රායල් ව්‍යාපාර වර්ජන කරන්නැයි යම් පිරිසක් සමාජ මාධ්‍ය මගින් කළ ප්‍රචාරයක්, මේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට හේතුවයි.

වහාම ආරුගම්බේ ඇතුළු සංචාරක ප්‍රදේශවලින් ඉවත්ව රටින් පිටවන ලෙස හෝ අඩුම තරමින් ආරක්ෂක අංශ වැඩි වශයෙන් සිටින කොළඹ අගනුවරට යන ලෙස ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින ඊශ්‍රායල් ආරක්ෂක කවුන්සලය, ශ්‍රී ලංකාවට වෙනත් ප්‍රදේශවල සංචාරය කිරීම කල් දමන ලෙසද වැඩි දුරටත් ඉල්ලා ඇත.

මේ සිද්ධියට සිංහල බෞද්ධයින් සම්බන්ධ කර බෞද්ධ විරෝධයක් මෙන්ම ශ්‍රී ලංකා විරෝධයක්ද නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයක ලකුණුද පෙනෙන්නට තිබේ. අදාළ ලිපිය මාධයයට සැපයූ ලසාර් බර්මන් Lazer Berman කිතුනු හා තානාපති කටයුතු පිළිබඳ වාර්තාකරුවකු වීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබේ.

‘ගාසා තීරයේ හමාස් සංවිධානයට සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය කරගෙන යන යුද්ධයට එරෙහිව ප්‍රාදේශීය මුස්ලිම් කණ්ඩායම් විසින් කරන ලද විරෝධතාවලට බෞද්ධ බහුතරයක් වෙසෙන දකුණු ආසියානු දේශයේ විශාල ජන පිරිසකගේ සහයෝගය ලැබී ඇතැ’යි එම ඊශ්‍රායල් මාධ්‍ය වාර්තාවේ සඳහන්ව තිබුණි.

මෙයින් පැහැදිලි කරන අතිශය වැදගත් කාරණයක් ඇත. එනම්, ශ්‍රී ලංකාවේ බෞද්ධ බහුතරය ඊශ්‍රායල්වරුන්ට විරුද්ධව මුස්ලිම් ජනයා සමග එකතු වී ඇතැයි අදහසක් ඊශ්‍රායල් රජයට, ආරක්ෂක කවුසිලයට හා ජනතාවට එත්තු ගැන්වීමේ යටි කුට්ටු වැඩපිළිවෙළක් පවතී.

ආරුගම්බේ මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශයකි. එහි පිහිටි Chabad House යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයට යන ඊශ්‍රායල් සංචාරකයන් හා ප්‍රදේශවාසී ඇතැම් මුස්ලිම්වරුන් මෑතකදී අතර නොසන්සුන් තත්වයක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණි. එසේ නම්, බෞද්ධයින් මීට ඈඳෙන පරිදි මාධ්‍ය වාර්තා පළ වීම පිළිබඳව රජයේ අවධානය යොමුකිරීම අප්‍රමාදව සිදුවිය යුත්තකි. රජය මේ ගැන ඊශ්‍රායල් රජය සමග තානාපති මට්ටමින් සාකච්ඡා පැවත්විය යුතු යැයි යෝජනා කරමු.

අප සිටින්නේ මැතිවරණයක් හමුවේය. කිසියම් අන්තවාදී දේශපාලකයකු හෝ කණ්ඩායමක් හෝ ඊශ්‍රායල්වරුන් ආරුගම්බේ ප්‍රදේශයෙන් (හා වෙනත් ප්‍රදේශවලින්ද) පලවා හැර ඡන්ද කුට්ටියක් කඩාගැනීමේ උත්සාහයද මේ සිද්ධිය යට තිබෙනවා වෙන්නට පුළුවන. වසර දහසකට වැඩි ඉතිහාසයක් බෞද්ධ පූජා භූමි ඉවත් කරන්නට වෙහෙසෙන්නවුන්ට, ඊයේ පෙරේදා බිහි වූ යුදෙව් මධ්‍යස්ථාන පෙනෙන්නට බැරිවීම පුදුමයක් නොවේ.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටිති. ඊශ්‍රායලය ලංකාවේ සංචාරක කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් දක්වයි. ඊශ්‍රායලය සහ බටහිර යැයි සම්මත රටවල් අතර පවතින හිතවත්කම ද සැලකිල්ලට ගත යුතුවේ. ලංකාවේ තවත් විශාල ආදායමක් වන ඇගළුම් කර්මාන්තයට බටහිර යැයි සම්මත රටවල් විශාල ශක්තියකි. මේ සියල්ල එකට එකතු කර සැලකිල්ලට ගත්විට, සිංහල බෞද්ධ රටේ වැඩි පිරිසක් ඊශ්‍රායලයට විරුද්ධව මුස්ලිම්වරුන්ගේ විරෝධතාවලට සහයෝගය දක්වන බව ඊශ්‍රායලයේ සහ එහි මිතුරන්ගේ කනට යෑම කිසිසේතම සුබදායක දෙයක් නොවේ.

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී නායකයෙකු බලයට පත්ව ඇතැයි යන විදේශ මාධ්‍ය ප්‍රචාරය මේ සමඟ ගැලපීමෙන් ලෝක දේශපාලනය ගැන අවබෝධයක් ඇති කෙනෙකුට පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකිය.

ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා සහ වාර්තා වන ඇතැම් තොරතුරු ගැඹුරින් සලකා බැලූ විට, මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුම් දීමක් විදේශ බුද්ධි අංශවලින් ලැබී තිබුණු බවට විජිත හේරත් සහෝදරයා කියන කතාව පිළිගැනීමට අසීරුය. මාධ්‍ය වාර්තාවලට අනුව, මේ පිළිබඳව විදේශ බුද්ධි සේවාවලින් අපේ බුද්ධි අංශවලට වාර්තා වී ඇත්තේ ඔක්. 19-23 අතර දිනෙක මෙවැනි ප්‍රහායක් එල්ල වන බවයි. එසේ වී නම්, ඇමරිකානු තානාපති කාර්යාලය, ආරුගම්බේ ප්‍රදේශයට යෑමෙන් වළකින්නැයි තම කාර්ය මණ්ඩලයට හා රටවැසියන්ට අනතුරු ඇඟවීමට, ප්‍රහාරය එල්ල වීමට ඉඩ ඇතැයි පැවසුණු අවසාන දිනය වූ 23 වැනිදා වන තෙක් බලා නොසිටී. අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට, ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු රටවල්ද 23 වැනිදා වන තෙක් බලාසිටින්නේ නැත.

ඇමතිවරයා එවැනි කතාවක් කීමට හේතු අනුමාන කළ හැකිය. එකක් අලුත් රජය පත් වන තෙක් සිටි බුද්ධි අංශ ප්‍රධානීන් දුර්වලයින් බව ඇඟවීමයි. හිටපු බුද්ධි ප්‍රධානියකු වූ සලේ පිළිබඳව මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ ඇමතිවරයා දැක්වූ ප්‍රතිචාරය ඊට සාක්කියකි. අලුත් රජය පත් කළ ආන්දෝලනයට ලක්ව සිටින මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ බුද්ධි අංශයේ ඇතැමුන් ගළවා ගැනීමත් ඇමතිවරයාගේ අරමුණක් බව පෙනේ. රහස්‍ය තොරතුරු විදේශ බුද්ධි අංශවලින් ජනාධිපතිවරණයට පෙර ලංකාවේ බුද්ධි අංශවලට ලබාදුන් බව කීමෙන් ඇමතිවරයා අඟවන්නේ, ජනාධිපතිවරණයට පෙර සිටි බුද්ධි අංශවලට කුමන්ත්‍රණ රහස් අනාවරණය කරගැනීමට නොහැකි වූ බවයි.

ජනාධිපතිවරණයෙන් පසු බුද්ධි අංශය අතුගා සුද්ද කර වැලි දූවිලි සියල්ල ඉවත් කර අලුතින්ම නිලධාරීන් හා ඔත්තුකරුවන් පත් කර ෆුල් සුද්දයක් දමා බුද්ධි අංශයට අමුතු පණක් දී ඇති බවක් විජිත සහෝදරයා සිය කතාවෙන් අඟවන්නට වෙහෙසෙයි.

‘ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර යම් යම් කැළඹිලිකාරී දේ කරන බවට තොරතුරු නොලැබුණු බවත් ඒ නිසා ඒ පිළිබඳව ජනතාවට දැනුම් නොදුන් බවත් ඇමති විජිත පැවසීය. ඔහු පැවසූ පරිදි, මේ පිළිබඳව ජනතාව දැනුවත් කර නැත්තේ, ‘ලැබුණු තොරතුරු පැහැදිලිව විශ්වාසවන්ත තහවරු කරගත් ඒවා විය යුතු නිසා’ය. අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබීමද ජනතාවට මේ ගැන දැනුම් නොදී සිටීමද තවත් හේතුවකි. (අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබුණු ආකාරය ගැන ඉහත විස්තර කර තිබේ.)

තහවුරු වූ විශ්වාසවන්ත පැහැදිලි තොරතුරක් නැති විට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නේ කෙසේද? අනෙක් අතින් විදේශ බුද්ධි සේවාවන් මේ ආකාරයෙන් හෑල්ලුවට ලක් කිරීම නම් එතරම් ඇඟට ගුණ නැති බව ඇමති සහෝදරයා අවබෝධ කරගත යුතුය. ජනාධිපති සහෝදරයා වහාම කළ යුතු රාජකාරිය වන්නේ, මෙවැනි කටයුතු ගැන මාධ්‍ය හමු පැවැත්වීම ඊට සුදුසු පුද්ගලයකුට පැවරීමයි.

මෙය පාස්කු ප්‍රහාරය වැනි එකක් නොවන බවත්, ඊශ්‍රායල් ජාතිකයන් පමණක් ඉලක්ක කර සිදුකිරීමට සැලසුම් කළ එකක් බවත් කීම ඇමති සහෝදරයා වගකීමෙන්, දැනුමෙන් හා බුද්ධියෙන් තොර අයකු බව පෙන්වන ප්‍රකාශයකි. විවිධ රටවලින් පැමිණි සංචාරකයන් සිටින ස්ථානයකට එල්ල කෙරෙන ප්‍රහාරයක් ඊශ්‍රායල් ජාතිකයන්ට පමණක් ඉලක්ක කර එල්ල කරන්නේ කෙසේද? ආරුගම්බේ පිහිටි ඊශ්‍රායල්වරුන් පවත්වාගෙන යන යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයක් වන Chabad House ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි සැක කෙරුණු බව ඇත්තකි. එහෙත්, සංචාරක කලාපයක් හෙයින් එවන් ස්ථානයකට වුව වෙනත් විදේශිකයන් සිටීමේ ඉඩක් තිබේ. ආරුගම්බේ පමණක් දකුණේ හා බස්නාහිර සංචාරක ප්‍රදේශවලද සිටින ජනයාට ඉවත් වන්නැයි ඊශ්‍රායලය නිවේදනය කළාය. යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල වූයේ නම්, ඊශ්‍රායල් ජාතිකයන් පමණක් නොව වෙනත් විදේශිකයන්ද ශ්‍රී ලාංකිකයන්ද ඊට ගොදුරු වන්නට ඉඩ තිබුණි. මෙය පාස්කු ප්‍රහාරය වැනි එකක් නොවේ යැයි ඇමති සහෝදරයා කියන්නේ, ප්‍රහාරය කිතුනු පල්ලිවලට නොව යුදෙව් මධ්‍යස්ථානයක් ඉලක්ක කරගත් එකක් නිසාද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top